සාහිත්‍ය කළා විචාර

දශක හයක් පුරා චිත‍්‍රකතා ඔස්සේ ගිය බන්ධුල හරිශ්චන්ද්‍රගේ චාරිකාව

0

පසුගිය දිනක අපේ ජාතිය ප‍්‍රබෝධමත් කළ චිත‍්‍රකතාකරුවන් රැසක් හා දශක හයක් පුරා ශ්‍රී ලංකාවේ චිත‍්‍රකතා රසවිඳි සහෘදයන් පිරිසක් විශේෂ කාර්යයක් සඳහා කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවට මුළු දුන්නා. ඒ ඔවුන් අතරින් චිත‍්‍රකතා කලාවට වසර හැටක් පුරා කළ අපමණ මෙහෙයක් කළ උතුම් මනුෂ්‍යයෙකුට උපහාර පුදන්නයි. ඒ අන් කිසිවකු නොව නිහඬව තැන්පත්ව අව්‍යාජව චිත‍්‍රකතා කලාවට වෙනත් කිසිම සිත්තරෙකු නොකළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ චිත‍්‍රකතාව සම්මානනීය තලයකට ඔසවා කැබූ බන්ධුල හරිශ්චන්ද්‍රයි.

විත‍්‍රකතා කලාව කොයිතරම් පැරණි එකක්ද කීවොත් ඒක මානව වංශකතාව තරම්ම ඈතට විහිදෙනවා. මානවයා මුලින්ම සන්නිවේදනය පටන් ගත්තේ හඬින්; ඒ කියන්නේ ශබ්දය හා සමග රංගනයෙන්. ඒ එක්කම තමයි විත‍්‍රවලින් අදහස් පළ කරන්න පටන් ගත්තේ. දඩයමේ ගිය මානවයා තමන් ලද අත්දැකීම් තමන් සමග නොගිය අය හා බෙදා ගත්තේත් මතු පරපුරට වාර්තා කර තැබුවේත් ලෙන් චිත‍්‍රවලින්. ඒ හින්දයි විත‍්‍ර කතාව මානව සන්නිවේදනයේ අනෙක් ප‍්‍රාරම්භක නිවුන් සහෝදරයා ලෙස අප දකින්නේ.

ලෝකයේ හැම රටකම පාහේ ආදි මානවයා ඇඳි ඒ මුල් යුගයේ චිත‍්‍ර දැක ගන්න පුළුවන්. අපේ රටේ වනගත ලෙන්වල තිබී එවැනි චිත‍්‍ර සොයා ගෙන තියෙනවා. තන්තිරිමලේ බිල්ලෑව ආඬියාගල ආදී ප‍්‍රදේශවල ගල්ලෙන්වලින් එවැනි චිත‍්‍ර දැක ගත හැකියි. කතන්දර කියන්නට චිත‍්‍ර කතා යොදා ගත් පැරණිම සාධක හමු වී ඇත්තේ 12 වන සියවසට අයත් දිඹුලාගල ලෙන්වලිනි. ඒ සියවසටම අයත් පොළොන්නරු යුගයේ සිතුවම් කළ ජාතක කතා මාලාවක් තිවංක පිලිමගෙයින් හමු වී තියෙනවා.

වර්තමාන චිත‍්‍රකතා කලාවට ආභාසය සැපයූ චිත‍්‍ර ප‍්‍රකාශන සම්ප‍්‍රදායන් දෙකක් අපට තියෙනවා. ඉන් ප‍්‍රධාන සම්ප‍්‍රදාය පන්සල් ආශ‍්‍රිතව නිර්මාණය කර ඇති ජාතක කතා හා බුදු සිරිත ඇති බිත්ති චිත‍්‍රකතායි. එය සම්භාවනාවට පාත‍්‍ර කලාවකි. අනෙක බටහිර සම්ප‍්‍රදාය අනුව යමින් කළ පත්තර චිත‍්‍රකතා කලාවයි. සිංහල චිත‍්‍රකතාවක් ලෙස මුලින් පළ වූයේ ‘නීලා’යි. 1951 ඔක්තෝබර් 28 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත‍්‍රයේ පළ වු ඒ චිත‍්‍රකතාව ඇන්දේ ජී.ඇස්. ප‍්‍රනාන්දුයි. එහි කතාව ලියූ ධර්මසිරි ජයකොඩි එහි සිය නම සඳහන් නොකිරීමෙන්ම එකල චිත‍්‍රකතා කෙරෙහි සමාජය තුළ තිබූ පහත් ආකල්පය ප‍්‍රකට වෙනවා. බන්ධුලගේ ආගමනය තමා මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ.

1964 දී මා ලේක්හවුසියට එනකොට බන්ධුල ඊට අවුරුදු දෙකකට කලින් එනම් 1962 දී සිටම දිනමිණට සම්බන්ධ වෙලා හිටියෙ. ඔහු ඒ වන විට තනි දවසේ චිත‍්‍රකතාවක් ලෙස ජාතක කතාවක් ඇන්දා. හැම සඳුදාම පළ වූ ඒ කතා නිසා මා පාසල් යන අවදියේ සිටම ඔහුගේ රසිකයෙකු බවට පත් වී උන්නා.

ඔහු දිනමිණට කැටුව ආවේ එවකට පොකට් කාටූන් විත‍්‍රශිල්පියකු වූ හෙන්රි තෙන්නකෝන්. ඔහුගේ යාළුවෙක් හිටියා දිනමිණේ කර්තෘ මණ්ඩලයේ. ජයවිලාල් විලේගොඩ කියලා. පසු කලෙක සිනමා විචාරකයකු ලෙස කීර්තියක් දිනා ගත් ඔහු තමයි එවකට දිනමිණ ප‍්‍රධාන කර්තෘවරයාව සිටි ඇම්. ද සිල්වා මහත්තයාට බන්ධුලව අඳුන්වලා දුන්නේ. එතුමා තමයි බන්ධුලට ජාතක කතා අඳින්න යෝජනා කළේ. 1956 හා 57 අවුරුදුවල 16 හැවිරිදි ගැටවරයකු ලෙස පාණදුරේ තොරණ ඇන්ද බන්ධුලට ඒක අපූරුවට ගැළපුණා.

ඔය කාලෙදි ලේක්හවුසියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ආවා යොවුන් වියේ පසු වූ රංජිත් විජයවර්ධන මහත්තයා. එතුමා තමයි ලංකාවේ මුල්ම විත‍්‍රකතා පත්තරය වූ ‘සතුට’ පත්තරේට අඩිතාලම දැම්මෙ.

එවකට පැවති බටහිර කොමික්ස්වලින් ළමා මනසට හානියක් වෙතැයි මතයක් ඒ කාලේ ගුරුවරුන් දෙමාපියන් අතර තිබුණා. ඒ නිසා ඒවා දරුවන්ට කියවන්නට දුන්නේ නැහැ. එවැනි දෙයක් සිංහලෙන් පළ කිරීමෙන් අපේ සංස්කෘතියට හානියක් වෙතැයි ඇති වූ බිය නිසා ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ප‍්‍රකාශනයට මුලින් කැමති වුණේ නැහැ. ඒ නිසා විජයවර්ධන මහතා පුද්ගලිකවම මැදහත් වී ඒ නම ඔහුගේ වෙනත් ආයතනයක ලියාපදිංචි කර ලේක්හවුසියට මුද්‍රණය හා බෙදා හැරීම පමණක් බාර දුන්නා. එහි කර්තෘකම බාර දුන්නේ තවත් බන්ධුල කෙනෙකුටයි. ඒ බන්ධුල සමරසිංහට. මේ බන්ධුල හරිශ්චන්ද්‍ර ඒ පත්තරේට ආරම්භයේදී චිත‍්‍ර කතා ඇන්දේ නැහැ. බන්ධුල සමරසිංහ ඒක විශේෂයෙන් සැලසුම් කළේ තරුණ තරුණියන්ගේ සිත් ඇද ගන්නා විදියටයි. එවකට ලේක්හවුසියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියෙකු වූ එඩ්වින් ආරියදාස සූරීන් තමයි බන්ධුල සමරසිංහගේ උපදේශක වශයෙන් කටයුතු කළේ. බටහිර චිත‍්‍රකතාවල ආභාසය ඇතිව තරුණ තරුණියන්ට විශේෂ වූ මනෝලෝකවල චරිතවලින් තමයි ඒ පත්තරය පිරෙව්වෙ. ‘සතුට’ පත්තරය ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වුණා. එනිසාම එක්කම ‘සිත්තර’ කියලා තවත් පත්තරයක් මල්ටිපැක්ස් නම් ආයතනයෙන්. ඒ චින්තන ජයසේනගේ කර්තෘත්වයෙන්. ඒ චිත‍්‍රකතා සමාජය තුළ මහා රැල්ලක් ලෙස විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. දිවයිනේ සිටි දක්ෂ චිත‍්‍රකතාකරුවන් මේ රැල්ලට එක් වුණා.

බන්ධුල ඒ රැල්ලට ගියේ නැහැ. ඔහු නිහඬව දිගටම දිනමිණට චිත‍්‍රකතා ඇන්දා. ඒ කතා දිනපතා දිනමිණේ පළ වූ තනි තීරුවේ කොටස් වශයෙන්. ඒ කතාවලට හැම විටම ඔහු තෝරා ගත්තේ සම්භාව්‍ය සාහිත්‍යයට අයත් කතායි. ඒ සිල්වා මහතාගෙන් පසුව දිනමිණ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස පත්ව ආ ධර්මපාල වෙත්තසිංහ මහතාගේ මග පෙන්වීම යටතේයි. බන්ධුල සමග උසස් රසිකත්වයක් ඇති චිත‍්‍රකතා බිහි කිරීමට උර දුන් අනෙක් චිත‍්‍රකතාකරුවා දයා රාජපක්ෂයි. ඔහු ගැන ‘මල්කැකුළු’ කලින් ඔබට කීවා මතක ඇති.

ජාතක කතා 61 කින් පටන් ගෙන සද්ධර්ම රත්නාවලියේ හා සද්ධර්මාලංකාරයේ කතා 34 ක් හෝමර්ගේ වීර චාරිකාවන්ටත් තවත් ග්‍රීක ප‍්‍රවාදවලටත් අරාබි නිසොල්ලාසයටත් සකුන්තලා නලදමයන්ති වාසවදත්තා ඇතුළු සංස්කෘත සාහිත්‍යයටත් එතැනින් කතාසරිත්සාගරයටත් බයිබලයටත් බන්ධුල ඔහුගේ චිත‍්‍රකතා චාරිකාව ගියා. එහිදී ඔහු නිර්මාණය කළ චිත‍්‍රකතා ගණන 166 ක්. මේ විධියේ විශාල පරාසයක චිත‍්‍රකතා නිර්මාණය කළ අයෙක් ලොව කොතැකනවත් දැකිය නොහැකියි.

ඊළඟට සිළුමිණ පත්තරේ පසු පිටේ ස්ථිර තැනක් බන්ධුලට ලැබුණා. එහිදී ඔහු එබුණේ අපේ ඉතිහාසයටයි. එනම් මහාවංශයටයි. සිංහබාහු උන්මාද චිත‍්‍රා පණ්ඩුකාභය විත‍්‍රකතා ආවේ ඒ අනුවයි.

ඉන් අනතුරුව ඔහු අපේ සාහිත්‍යකරුවන් දෙසට හැරුණා. මුලින්ම හැරුණේ ඩබ්ලියු ඒ. සිල්වා දෙසටයි. ඒක වැරදුණේ එතුමාගේ උරුමකරුවන් සිළුමිණට ගෙවන්න අපහසු තරම් ගණනක් ඉල්ලූ නිසයි. අයි.එම්.ආර්. ඊරියගොල්ල, ඉලංගරත්න, ජී. එච්. පෙරේරා, සෝමවීර සේනානයක වැනි ලේඛකයන් දෙසට හැරුණා.

නවයුගය – සද්දන්ත චිත‍්‍රකතාව ඇන්දේ විද්‍යා ප‍්‍රබන්ධයක් හැටියටයි. ඒ වනවිට බටහිරින් මතුව පසුව අතිශය ජනප්‍රිය වූ ස්ටෙන් ලීගේ ‘ඉන්ක්‍රෙඩිබල් හල්ක්’ ඔහු දැකලවත් තිබුණේ නැහැ.

නවයුගයට මා ලියූ නස්රුදීන් කතාවල එන රූපකාය නිර්මාණය කළේත් ඔහුයි. නිමල් පෙරේරා මහතා තමයි ඒ කතා නවයුගයට ලියන්න කියා මගෙන් ඉල්ලීමක් කළේ. එයට බන්ධුල ඇඳි විත‍්‍රයේ ඇත්තේ නිමල් පෙරේරා මහතාගේ මුහුණුවරයි. අද එතමා ජීවතුන් අතර නෑ. ඒ චරිතය දකින හැම වෙලාවකට මට එතුමා මතක් වෙනවා.

එකල තරුණ නවකතාකරුවකු වූ සෝමවීර සේනානායක ‘සතුට පත්තරේට විත‍්‍රකතා ලියන්නට ආවේ බන්ධුලගේ ‘තනිතරුව’ විත‍්‍රකතාවෙන්. ඒක විත‍්‍රපටයක් වුණා. ඒ වගේ බන්ධුල-සෝමවීර සුසංයෝගය උසස් ගණයේ චිත‍්‍රකතා රැසක් ‘සිළුමිණ’ පත‍්‍රය හරහා පාඨකයන් වෙත ගෙන ඒමට සමත් වුණා. සෝමවීරයන් එතැනින් තමයි විත‍්‍රපටවලටත් ටෙලිවිශනයටත් යොමු වුණේ.

දොම්පෙගේ බන්ධුල හරිශ්චන්ද්‍ර පීරිස් උපන්නේ පානදුරේ කෙසෙල්වත්තේදීය. ඒ මීට වසර 79ඩකට පෙර 1940 මැයි 24 දාය.

ඔබතුමා සියක් ආයු ලබන්නට අපේ පැතුම !

– පර්සි ජයමාන්න

බන්ධුලගේ චිත‍්‍රකතා කියවන්න බලන්න !

මල් කැකුළු

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල