අධ්‍යාපනික, කාලීන සංවාද, විවිධාංග

ගිරවා වගේ කතා කරල තනිව විඳින පුතා ! (Non-verbal Learning Disabilities)

Off

‘අනේ මන්ද, අපේ කොල්ල දැන් දැන් ඉස්කෝලේ යන්න හොරයි, හැමදාම ඉස්කෝලෙ මග හරින්න මොනවා හරි කියනවා, ගියත් පැත්තකට වෙලා තනියම වගේ ඉන්නේ, මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල’

‘ඔයා පන්තියේ ටීචර් එක්ක කතා කළාද කුමාරි’

‘හ්ම්….. එයානම් කියන්නේ, පුතූ හරිම දක්ෂයි, හුඟක් අහිංසකයි කිසිම කරදරයක් නෑ කියල. ඒ වුනාට මට වෙනසක් දැනෙනවා ලොකු දුවත් එක්ක බලත්දි, කතාවටනං දක්ෂයා, ගෙදර ආ වේලේ ඉඳන් කියවනවා, ගණන් වලට නම් ටිකක් දඟලනව වගේ , ඒත් මට බය ඉස්කෝලෙදි ඇයි මෙහෙම තනි වෙලා ඉන්නේ කියල. කිසිම යාළුවෙක් නෑ වගේ මෙයාට’

එකෝමත් එක කාලෙක, එකෝමත් එක අම්ම කෙනෙක්, එයාගේ යාළුවෙක් එක්ක මෙහෙම කතා වෙන්න ඇති. තවත් දේ කතා වෙන්න ඇති. ඒ කතා මොනව වෙතත්, අද මගේ කතාවට මුළ පුරන්න මේ දෙබස ගත්තෙ මේ කියන්න හදන තත්ත්වය ඔබ් දරුවා තුල වුනත් තිබෙන්න පුළුවන්. නැත්නම් ඔබ දන්නා දරුවෙක් තුල, නැත්නම් ඔබේ පන්තියේ ඉන්න දරුවන් අතරේ මේ කියන්න හදන ලක්ෂණ තිබෙන දරුවෙක් ඉන්න පුළුවන්. ඔව් ! අන්න ඒ දරුවට උදව්වක් ඕන, නමුත් උදව්වක් ඉල්ලන්න නැති වෙන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබට මේ කියන්න හදන ගැටළුව ගැන දැනුමක් අරගෙන, පෙර කී තත්ත්වයේ දරුවෙක් ගැන විමසිලිමත් වෙනවා නම්, නිසි තැනට යොමු කරන්නට ‘යහපත් සැකයක්’ ඇති කරගන්නට පුළුවන් වුනොත්, බිඳෙන්නට ඉඩක් ඇති අනාගතයක් ‘වාසනාවන්ත’ කරගන්නට ඔබට උපකාර වුනා වෙන්න පුළුවන්.
නමුත් අපේ රටේ තිබෙන මෙම ගැටළු පිළිබඳ නොදැනුවත්කම නිසා සහ ඒ සඳහා ඇති පහසුකම්වල ඌණතාව නිසා මේ කියන ලක්ෂණ දැක්කත් ‘ලොකු වෙනකොට හරියයි’, ‘අපේ ළමයින්ට ඔහොම ලෙඩ හැදෙන්න විදියක් නැහැ’, ‘ඒ ළමය කාටවත් පෙන්නන්න ඕන නැහැ, ඔය කූලෑටි ගතිය හරියාවි’ වගේ කතා කියල දරුවගේ අනාගතයට උපකාර කිරීම පැත්තක දාල, ගැටළුව සාමාන්‍යකරණය කරන්නට අපේ සමහර දෙමාපියන් උත්සාහ කරනවා. කෙසේ වෙතත්, මේ කියවන එක් අයෙක් හරි යම් දැනුමක් ගනීනම්, තවත් මේ ගැන සොයන්නට පෙළඹේ නම් මට එය සතුටක්.

දැන් අපේ කතාවට එමු. අද අපි කතා කරන්න හදන්නේ, තවත් අධ්‍යපන විබල්‍යතාවයක් (ගැටළුවක්) ගැන. මෙතැනදි තවත් කියල කිව්වේ මීට පෙර තවත් විශේෂ අධ්‍යාපන විබල්‍යතා කිහිපයක් ගැන කතා කරල තිබෙන නිසා. ඒ ලිපිවලට යන්නට කැමති නම්, මෙතැනින් ඒ ලිපිවලට යන්න පුළුවන්.

අද මාතෘකාව ‘නිර්වාචික අධ්‍යාපන විබල්‍යතාවය’ නැත්නම් Non-Verbal Learning Disabilities. දැන් මේ නම කියවූ ගමන්ම ඔබ තීරණය කළා නේද මේ ගැටළුවෙදි ‘දරුවා කතා කරන්නේ නැතිව ඇති’ කියල. මුලින්ම එහෙම හිතුනත් ඇත්තම තත්ත්වය ඊට ප්‍රතිවිද්ධයි කියල ඔබට වැටහේවි කතාවේ ඉදිරියට යත්දි.

කතා නැති දරුවෝ(ද)

ඇත්තම කිව්වොත් මේ ගැටළුවෙන් විඳවන දරුවන් ‘හොඳ කතාකාරයෝ’, බොහෝ විට කුඩා කා,යෙදි, අනෙක් සම වයසේ දරුවන්ට පෙර කතා කරන්නත් පටන් ගන්න ඇති. එතැන ඉඳන් ගෙදර පාළුව මකන, නැවතිල්ලක් නැති ‘කතාකාරයෙක්’ වෙන්න පුළුවන්. මුල් අවුරුදු කිහිපයේ වෙනසක් නැහැ වගේ. පොඩි පොඩි ප්‍රශ්න පටන් ගන්නේ, මොන්ටිසෝරි යන්න පටන් ගත්තට පස්සේ, නැත්නම් ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සෙ. මොන වගේ ප්‍රශ්නද දකින්න ලැබෙන්නේ ?

සෙල්ලම්වලට යත්දි දුවත්දි සමබරතාවය නැතිව වැටෙනවා ටිකක් අසාමාන්‍ය විදියට, පිංතූර අඳිත්දි, කතුරකින් කපත්දි, ගණන් හදත්දි හරියට වරදිනවා. ඒ ඔක්කොටම වඩා අනෙක් හැමෝටම යාළුවෙක් හිටියට මේ දරුවට කිසිම යාළුවෙක් නැහැ. ඉන්ටර්වල් එකට සෙල්ලම් කරන්න කිසිම කෙනෙක් නැතිව තනියම ඉන්න තමයි වෙලා තියෙන්නේ. කොහොම හරි යාළුවෝ අතරට යැව්වත් ඉක්මණින්ම එයාලගෙන් අයින් වෙලා, නැත්නම් තරහ වෙලා එනව තනිවෙන්න. හරිම කාංසාවකින්, තිගැස්මකින් තමයි දවස ගෙවන්නේ ගෙදර යනකම්ම.

යාළුවොන්ගෙන් ඇහුව්වොත් කියාවි, ‘අනේ මෙයාට කිසිම විහිළුවක් තේරෙන්නෙ නැහැනේ, ඒකයි අපිත් එක්ක හැම තිස්සෙම තරහ වෙලා යන්නෙ’ කියලා. කොහොම වුනත් මේ ‘කරදර’ මොනව තිබුණත්, දරුව ‘හරිම අහිංසකයි, ටිකක් කුලෑටියි’, පත්නියේ ඉස්සරට ඇවිත් කතා කරන්න බයක් නැහැ, කැමතියි යාළුවන්ටත් කතා කරන්න, ඒත් සෙල්ලමට වැඩිය නැහැ. සම වයසේ දරුවන් තුල දකින්නට ලැබෙන ‘සමාජශීලී බව’ මේ දරුව තුල දකින්න බැහැ.

ටිකක් ලොකු පන්තියක ඉන්න දරුවෙක් නම්, ඔය කිවු ලක්ෂණවලට අමතරව, ගණිතය විෂයට, විද්‍යාව පාඩමට ටිකක් අකමැත්තක් පෙන්වනවා. ඒ විෂයන්ට ලැබෙන ලකුණුත් හුඟක් අඩුයි. ඒත් කථණයට අදාල විෂයයන්වලදි, ගායනාවලට, පාසලේ සමිතිවල ඉස්සරහට ඇවිත් කතා කරන්න එහෙම හැකියාවක් පෙන්වාවි. ඒ වුනාට ටීචර් කියවන පාඩම ලියාගන්න ගියාම, ලියාගත් සටහන තේරුම් ගන්න ගියාම මේ දරුව හුඟක් අපහසුතාවට පත්වෙනවා. මේ නිසාමයි, සටහන් ලියන, ප්‍රස්ථාර අඳින, වාක්‍යවලින් පැහැදැලි කරල රචනා ලියන විෂයන්වලදි දරුවගේ දක්ෂතාවය සෑහෙන දුරට අඩු වෙන්නෙ.

මේ දරුවන්, වෙනස් පරිසරයකට, අළුත් තැනකට ගියොත් හරිම නොසන්සුන්, සාමාන්‍ය දරුවෙක්ට වඩා කළබල වෙන, බිඳෙන තත්ත්වයකට පත්වෙනවා. මෙන්න මේ ‘අකමැති’ තත්ත්වයට පත් වෙන්න මේ දරුවා නොරිසි නිසාම, පාසලේ, පන්තියේ පැත්තකට වෙලා ‍’කොන් වෙලා’ තනියම පාසල් කාලය ගත කරන්නට උත්සාහ කරනවා. මේ නිසාම ඔහුගේ/ඇයගේ පෞරුෂය ‘බිඳුනු’ තත්ත්වයකට පත් වෙන්නෙ කාලයත් එක්කමයි.

දැන් මේ කියාගෙන ගිය ලක්ෂණ ටික කෙටි කළොත්,
කතාවට දක්ෂයි හුඟක්, එක දිගට කතා කරයි. (හැබැයි කියන දේ බොහොම පොඩි කාරණයක්)
ගණිතය, විද්‍යාව වගේ විෂයන්ට දක්ෂතාවය අසාමාන්‍ය විදියට,’අඩුයි’
ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න ගියොත්, ‘වෙලාව මදිවෙලා’ ලකුණු අඩු වෙනවා (මොකද කාලය ගැන වැටහීම, සංවේදී බව අඩු නිසා)
සමාජශීලි බව අඩුයි, යාළුවන් අඩුයි, තනිවෙලා ඉන්නයි කැමැත්ත.
යහළුවන්ගේ විහිළු තහළු, ඉඟි තේරුම් ගන්නට අමාරුයි
අනෙක් අයගේ ‘මුහුණේ ඇති හැඟීම්, සංඥාවන්’ හඳුනාගන්නට බැහැ.
පාසල් කාලය තුල ඉන්නේ හරිම කාංසා සහගත බවකින්
සෙල්ලම් කරන්නටත් ඒ තරම් හැකියාවක් පෙන්වන්නේ නැහැ
නිවස හැර වෙනත් පරිසරයකදි ‘බියගුළු, බිඳුනු පෞරුෂයක්’ පෙන්වන්නෙ
පාසලේදි හුඟක් වෙලාවට ‘ප්‍රශ්නවලට’ අහු වෙනවා. හේතුව යාළුවන් කියන ඕනම දෙයක් ‘දැඩිව විශ්වාස කරන නිසා’ (යාළුවන් ඇති කරගන්න ඇති වුවමනාවට)
කට පාඩමින් කියන්න හරිම දක්ෂ වුනත්, පොතක් බලාගෙන කියවන්න හරිම අමාරුයි.
පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් ගියොත් අනෙක් දරුවන් සතුටින් ඉත්දි මේ දරුව හුඟක් අපහසුතාවක් පෙන්වාවි.

දැන් ඉතින් මොකක් ප්‍රශ්නේ ?

ප්‍රශ්න කීපයක් !

පළමු සහ වැදගත්ම, මේ ලක්ෂණ පෙන්වන දරුවන් බොහොමයක්, වෙනත් විශේෂ අධ්‍යපන විලබ්‍යතාවයකින් හෝ ඔටිසම් වර්ගයේ රෝග තත්ත්වයකින් පෙලෙන්නට ඇති අවස්ථාව වැඩියි.

දෙක, නිසි උපකාර නොකරොත් පාසලේ ඉහළ පන්තිවලදි, දරුවගේ අධ්‍යාපනික දක්ෂතා බිඳ වැටෙන්නට ඇති අවස්ථා ඉහළයි.

තුන, යහළුවන් සමඟ එක්ව, සමාජශීලී වීමට ඇති හැකියාව බිඳවැටීමත් එක්ක, දරුවා තනිව, සමාජයෙන් කොන්වූ, බිඳුණු ‘පෞරුෂයක්’ සහිත දරුවෙක් වීමේ අවදානම.

හතර, ඉහත කී සාධකවල එකතුව නිසාම දරුවා ‘මානසිකව, කාලීනව’ පීඩා විඳීමෙන්, දරුවාගේ මානසික සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානම.

පහ, නිසි කලට, නිසි උපකාර ලදොත් සමාජයට යහපත්, ඵලදායක පුරවැසියෙක් ලෙස ලොවට වැඩක් කළ හැකි දරුවා, ඉන් ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කිරීමේ අවස්ථාවක් ඇති බව.

හරි, දැන් මොකක්ද කරන්න ඕන ?

මේ වගේ ලක්ෂණ, දරුවා පෙන්වනවා නම්, හොඳම දේ, ඔබේ පවුලේ වෛද්‍යවරයා එක්ක මේ ගැන කතා කරන එක, නැත්නම්, ප්‍රදේශයේ රෝහලේ ඉන්න, ළමා මානසික රෝග පිළීබඳ වෛද්‍යවරයාගෙන් උපදෙසක් ගන්න එක. දැන් කලබල වෙන්න එපා මේ දරුවට හැදුනු පිස්සුවක් කියල, කොහෙත්ම නැහැ, මේ දරුවගේ මොළයේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව (මොළයේ දකුණූ අර්ධයේ) ඇතිවන ගැටළුකාරී තත්ත්වයක්. නමුත් අපේ රටේ ඒ සඳහාම විශේෂඥතා දක්වන වෛද්‍යවරුන් ඉතා සීමිතයි. ඒ නිසා, ඊට ආසන්නම විශේෂඥ උපදෙස් ලබා ගන්න ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තමයි සුදුසුම.

කෙසේ වෙතත්, මෙය වෙනත් රෝගයක ලක්ෂණ කොටසක් නොවේ නම්, මෙ ලක්ෂණවලටම කියල ‘බෙහෙතක්’ නැහැ. කෙරෙන්නෙ ‘චර්යාමය චිකිත්සීය ප්‍රතිකාර’ ක්‍රියාවලියක්. ඒකට සෞඛ්‍ය කණ්ඩායම වගේම, පාසලේ ගුරුවරු, පවුලේ හැමෝගෙම සහයෝගය අත්‍යවශ්‍යයි. නමුත් මේ ලක්ෂණවලට හේතුව, වෙනත් රෝගයක් බව හඳුගත්තොත්, යම් ඖෂධීය ප්‍රතිකාරත් ලැබෙන්නට පුළුවන්. (එය තීරණය කරන්නට, චර්යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පරික්ෂණ කිහිපයකට දරුවාට මුහුණ දෙන්නට වේවි)

නිසි කලට, නිසි උපකාරය (ප්‍රතිකාර සහ උපදේශ) ලැබුණොත්, කාලයත් සමඟ දරුවගේ හැකියාවන් ඉහළට ගැනීමටත්, ක්‍රමාණූකූලව සමාජශීලී කරමින්, පැවති මානසික පීඩනය නැති කිරීමටත්, ඒ ඔස්සේ ඉදිරි දිනෙක සමාජයට ඵලදායී පුරවැසියෙක් ලෙස සමාජගත කිරීමටත් ඔබට, අපට හැකියාවක් ලැබෙනු ඇත.

දැන් මේ පහල තියෙන් ප්‍රශ්න 12 ටිකක් විමසන්න, එයින් ප්‍රශ්න 4 කට හෝ වැඩි ගණනකට පිළිතුර ඔව් කියල ලැබෙනව නම්, අදාල දරුව Non-verbal Learning Disabilities තත්ත්වයෙන් පෙළනවද කියල ‘සැකයක්’ ඇති කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ප්‍රශ්නාවලියෙන් රෝගයක් තීරණය කරන්නට බැහැ. ඒ සඳහා විශේෂඥ සෞඛ්‍ය වෘත්තිකයෙක්ගේ සහය ලබා ගත යුතුම වෙනවා.

(නැවතත්, මතක තබා ගන්න මෙය තනි ‘රෝගයක්’ නොවේ. ලක්ෂණ ගණනාවක එකතුවක්, ඒ වගේම ඔටිසම් ආශ්‍රිත කණ්ඩායමේ හෝ විශේෂ අධ්‍යාපන විබල්‍යතා කියන රෝගතුල රිංගා ගත් ලක්ෂණ කාණ්ඩයක් විදියටත් Non-verbal Learning Disabilities මතුවන්නට පුළුවන්. ඒ නිසා, තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමයි හුඟක්ම වැදගත්)

මෙන්න ඒ ප්‍රශ්න ටික,
පෙර පාසල් හෝ මුලික පන්තිවල ඉන්න ඔබේ දරුවාට තවමත් කතුරු භාවිත කිරීමේදී, සපත්තුවේ ලෙස් ගැට ගසා ගැනීමේදී, නැත්නම් වාක්‍යයකට අකුරු එකතු කිරීමේදී (ලීවිමේදී) සම වයසේ වෙනත් දරුවන්ට වඩා ‘දැනෙන’ දුර්වලකමක් ඇත්ද ?
පාසලේදී දරුවා, සම වයසේ දරුවන්ගෙන් වෙන්ව, ඊට වඩා වයසින් අඩු දරුවන් සමඟ රැඳෙන්නට වැඩි කැමැත්තක් දක්වනවාද ?
අළුත් පරිසරයකට දරුවා රැගෙන ගිය විට, අනෙක් දරුවන්ට සාපේක්ෂව මේ දරුවා අසාමාන්‍ය ලෙස අපහසුතාවයකට පත්වනවාද, කාංසා සහගත බවක් පෙන්වනවාද ?
මිතුරන්ගේ උපන් දින සාද හෝ එවැනි උත්සවවලට සහභාගීවීමට (ආරාධනා ලැබුණද) අකමැත්තක් දක්වනවාද ?
අවශ්‍ය පිළිතුරු ලබා දුන්නද දරුවා එම ප්‍රශ්නම නැවතත් අසනවාද ?
දරුවා හඩනඟා යමක් කියවූවද, අදාල ඡේදයෙන් ප්‍රශ්නයක් ඇසූවිට පිළිතුරු දීමට නොහැකිව අපහසුතාවට පත්වනවාද ?
දරුවා කතාවේදී, වයසට වඩා පැසුනු බවක් දක්වුවත්, සමාජය ඉදිරියේ කාංසා සහගත චර්යාවක් දක්වනවාද ?
මේ දරුවා, අනෙක් අය පිළිබඳව සංවේදී නොවී, ආත්මාර්ථකාමී, තමා ගැන පමණක් සංවේදීවන බවක් සහ අපරිණත බවක් දක්වනවාද ?
යම් සිදුවීමක් හෝ ක්‍රියාවක්, පරිපූර්ණව නොදැක, එක් ක්‍රියාවක් හෝ එක් දෙයක් පමණක් දකින ස්වභාවයක් දරුවා වෙතින් දකින්නට ලැබේද ?
දරුවා, වයසට ගැලපෙන විමසීමකින් තොරව, අනෙක් අය කියන දේ කරන දේ පිළිබඳව ‘අතිශය විශ්වාසී සහ පිළිගන්නා බවක්’ ඇත්ද ?
කතාබහක් අතර කෙරෙන, ‘විහිළුවක්’, විකට ඉඟියක් වටහා ගන්නට දරුවාට නොහැකිද ?
දරුවා, අවස්ථාවට නුසුදුසු චර්යාවන් පෙන්වයිද ? (වැදගත් යමක් කතා කරන අතරතුර, අහේතුකව හඬනගා සීනාසීම වැනි)

අද දවසට මේ කතාව ප්‍රමාණවක් කියල හිතනවා, මේ මාතෘකා ඒ තරම් ‘රස සාර’ කතා නොවෙන්න පුළුවන්. ඒ මේ කතා ඔස්සේ යම් දැනුමක්, යම් අයෙක් ලබාගෙන, ‘බිඳෙන්නට ඉඩ ඇති’ දරුවෙක් ඉන් මුදවා ගන්නට හැකියාවක් ලබා ගත්තොත් එය කෙතරම්ම ‘රස වේද ?’

නැවත දිනෙක යළි හමුවන තුරු සමුගන්නම්, ආයු බෝ වේවා !!

සොඳුරු සුව අසපුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල