අධ්‍යාපනික, ඉතිහාසය, විචාර

දිවෙහි – අසල්වැසියන්ගේ බාසාව

0

“දිවෙහි” කියන්නෙ මාලදිවයිනේ ජනතාව අයත් වෙන ජන වර්ගය හඳුන්වන නම​. ඔවුන්ගේ භාෂාව හැඳින්වෙන්නෙත් ඒ නමින්මයි. “දිවෙහි” කියන එකේ තේරුම “දූපත් වල වැසියෝ” කියන එක​. දිවෙහි බසින් මාලදිවයින හැඳින්වෙන්නේ “දිවෙහි රාජ්ජේ” කියල​. ඒකෙ තේරුම “දූපත් රාජ්‍යය​” කියන එක​.

දිවෙහි භාෂාව “ඉන්දු – ආර්‍ය​” භාෂා පවුලේ සාමාජිකයෙක්. ඒක අයත් වෙන්නේ “දකුණු දිග” උප පවුලට​. මේ දකුණු දිග ඉන්දු – ආර්‍ය භාෂා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මහාද්වීපික සහ දූපත් කියල​. මහාද්වීපික භාෂා අතරට ගැනෙන්නේ මරාති, කොන්කනි, කත්කරි වගේ ඉන්දියානු උප මහාද්වීපයේ බටහිර ප්‍රදේශ වල කතා කරන භාෂා.

දකුණු දිග ඉන්දු – ආර්‍ය භාෂා වල “දූපත්” ගණයට වැටෙන භාෂා දෙකක් තියෙනවා. ඒ සිංහල සහ දිවෙහි.

දිවෙහි වරු මාලදිවයිනට එන්නෙ ක්‍රි.පූ. හතරවෙනි සියවසේදී පමණ ලංකාවෙ ඉඳලා. ඒ කියන්නෙ ලංකාවේ ලිඛිත ඉතිහාසය පටන් ගත්ත කාලෙදිම වගේ. මේ සංක්‍රමන දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ “එළු” කියල හැඳින්වුනු ලංකාවේ කතා කෙරුණු ආදි සිංහල භාෂාවෙන් බිඳී ගිහින් තමයි දිවෙහි භාෂාව බිහි වෙලා තියෙන්නෙ.

මේ නිසා දිවෙහි භාෂාව සිංහල භාෂාවට ඉතාමත් කිට්ටු සමානකමක් දක්වනවා. ඒ වගේම 12 වන සියවසේ දී ඉස්ලාම් ආගම පැමිණීමත් එක්ක අරාබි භාෂාවෙන් දිවෙහි බසට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා.

වර්තමානයේදී දිවෙහි භාෂාව මව් බස විදිහට කතා කරන 340,000 ක පමණ ජනතාවක් මාලදිවයිනේ සහ තවත් 10,000 ක පමණ ජනතාවක් ඉන්දියාවට අයත් “මලිකු” හෙවත් “මිනිකෝයි” දූපතේ වාසය කරනවා.

දිවෙහි බසේ උප භාෂා

මාලදිවයින සමන්විත වෙන්නේ දූපත් පොකුරු හෙවත් අතොළු ගණනාවකින්. අතීතයේ මේ දූපත් පොකුරු අතර ගමනාගමනය දුෂ්කර වුනා. මේ නිසා මේ දූපත් පොකුරු පැවතුනේ එකිනෙකාගෙන් හුදෙකලාව​. මේ භූගෝලීය සාධකය නිසා දිවෙහි බස උප භාෂා ගණනාවකින් සමන්විත වුනා.

වර්තමානයේදී ගමනාගමනයේ දියුණුවත් එක්කම මේ උප භාෂා බොහොමයක් අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒත් අදටත් උප භාෂා හයක් හඳුනාගන්න පුළුවන්.

1. මාලේ බස්
2. මලිකු බස් (මොහ්ල්)
3. හද්දුන්මති බස්
4. හුවදු බස්
5. මුලාකු බස්
6. අඩ්ඩු බස්

මේවා අතරින් හුවදු බස්, මුලාකු බස් සහ අඩ්ඩු බස් පොදුවේ “දකුණු දිග උප භාෂා” කියල හඳුන්වනවා. මේ දකුණු දිග උප භාෂා මාලේ බස් වලට වඩා සැලකිය යුතු වෙනස්කම් වලින් යුක්තයි.

මාලේ බස්
දිවෙහි බසේ ප්‍රධාන උපභාෂාව සහ “නිළ​” භාෂාව වෙන්නේ මාලේ බස්. උතුරුදිග අතොළු සියල්ලේම කතා කරන්නේ මාලේ බස්.

මලිකු බස්
ඉන්දියාවට අයත් මලිකු දූපතේ කතා කෙරෙන්නෙ මලිකු බස්. මලිකු බස් මාලේ බස් වලින් වෙනස් වෙන්නෙ මද වශයෙන්.

හද්දුන්මති බස්
දකුණට වෙන්න පිහිටි අතොළුවක් වන හද්දුන්මති අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හද්දුන්මති බස්. මාලදිවයින බෞද්ධ රාජ්‍යයක්ව පැවති කාලයේ හද්දුන්මති අතොළුව ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වුනා. ඒ වගේම දිවෙහි බසින් ලියැවුනු පුරාණම ලියවිලි හමුවෙලා තියෙන්නෙ හද්දුන්මති අතොළුවෙන්.

හුවදු බස්
දකුණුදිග අතොළුවක් වන හුවදු අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හුවදු බස්. සිංහල භාෂාවට වඩාත්ම සමාන උප භාෂාව වෙන්නේ හුවදු බස්. බොහෝ විට මේකට හේතුව හුවදු අතොළුව සහ ලංකාව අතර කෙරුණු සමීප වෙළඳ ගනුදෙනු වෙන්න පුළුවන්. සිංහලයෙන් ආපු වචන විශාල ප්‍රමාණයක් හුවදු බස් වල අඩංගුයි.

මුලාකු බස්
මාලේ බසින් වඩාත්ම වෙනස් උප භාෂාව මුලාකු බස්. මුලාකු බස් කතා කෙරෙන්නේ දකුණු දිග අතොළුවක් වන ෆුවාමුලාකු හි. මුලාකු බස් හි වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂනය වෙන්නේ වචනයක අගට යෙදෙන “ල්” ශබ්ධය​. එය වෙනත් කිසිම උප භාෂාවක නැති ලක්‍ෂනයක්. ඒ වගේම අනෙක් උප භාෂා වල “උ” ස්වරයෙන් අවසන් වන වචන මුලාකු බස් හි අවසන් වෙන්නෙ “ඔ” ස්වරයෙන් (ෆන්නු – ෆන්නො). තවත් වෙනසක් වෙන්නේ “ශ​” උසුරුවන ආකාරය​. මාලේ බස් වල දී “ශ​” උසුරුවන්නේ එයට “ර​” ශබ්ධයකුත් එක් කරමින්. ඒත් මුලාකු බස් වල එය උසුරුවන්නේ “ෂ​” විදිහට​.

අඩ්ඩු බස්
වඩාත්ම දකුණින් පිහිටි අඩ්ඩු අතොළුවේ කතා කෙරෙන්නේ අඩ්ඩු බස්. අඩ්ඩු බස් මුලාකු බස් වලට යම්කිසි සමානකමක් දක්වනවා. ඒ වගේම අඩ්ඩු අතොළුව අතීතයේ සිටම උගතුන් බිහිවුනු අතොළුවක් නිසා අනෙකුත් උප භාෂා වලට වඩා අඩ්ඩු බස් විධිමත් සොබාවයක් ගන්නවා. දකුණු දිග අතොළු තුනේ පොදු භාෂාව විදිහට භාවිතා වෙන්නේ අඩ්ඩු බස්.

දිවෙහි හෝඩිය

දිවෙහි හෝඩිය අතීතයේ සිට වර්තමානය දක්වා විශාල පරිවර්තන රැසකට මුහුණ දීලා තියෙනවා. පැරණිම දිවෙහි අකුරු හමුවෙන්නේ ක්‍රි.ව​. 7 වෙනි සියවසෙන්. ඒ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි විදිහට​. මේ අකුරු අද “එවේල අකුරු” නමින් හැඳින්වෙනවා. එවේල අකුරු පැරණි බ්‍රාහිමී අක්‍ෂර මත පදනම් වෙලා තියෙනවා.

ක්‍රි.ව​. 12 වෙනි සියවසේ ලියැවුනු “ලෝමාෆානු” නමින් හැඳින්වෙන තඹ සන්නස් වල තියෙන අකුරු එවේල අකුරු වලින් තරමක් වෙනස්. ඒවා එවේල අකුරු වල පරිනාමයෙන් බිහිවුනු බව පැහැදිලියි. මේ අකුරු අද හැඳින්වෙන්නේ “දිවෙස් අකුරු” නමින්.

18 වෙනි සියවසේ මුල් භාගයේදී “ෆන්ඩිත​” හෙවත් යකැදුරන් තමාගේ රහස් බෙහෙත් වට්ටෝරු ලියා තියන්න “තාන​” නමින් හැඳින්වුනු රහස් හෝඩියක් නිර්මානය කර ගත්තා. මේ හෝඩියේ අකුරු අරාබි අකුරු මත පදනම් වෙලා නිර්මානය වෙලා තියෙනවා. පසුව උගතුන් විසින් අරාබි වචන සහ යෙදුම් දිවෙහි බසින් ලිවීමේදී තාන හෝඩිය භාවිතා කරන්න පටන් ගත්තා. ක්‍රමයෙන් තාන අකුරු දිවෙහි ලිවීමේ ප්‍රධාන ක්‍රමය බවට පත් වුනේ දිවෙස් අකුරු භාවිතය අභාවයට යවමින්. නමුත් 20 වෙනි සියවසේ මැද භාගය වන තුරු දිවෙස් අකුරු භාවිතය සම්පූර්නයෙන්ම නැති වුනේ නෑ.

වර්තමානයේදී දිවෙහි බසේ නිළ හෝඩිය විදිහට සැලකෙන්නේ තාන අකුරු.

එවේල අකුරු

බ්‍රාහ්මී අක්‍ෂර මත පදනම් වුනු එවේල අකුරු බැලූ බැල්මට සිංහල අකුරු වලට ඉතා සමීප බවක් උසුලනවා. “එවේල අකුරු” කියන එකේ තේරුම “පැරණි අකුරු” කියන එක​. එවේල අකුරු හමු වෙන්නේ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි කීපයක පමණක් නිසා සම්පූර්ණ එවේල අකුරු හෝඩිය ප්‍රති නිර්මානය කර ගැනීමට පුරා විද්‍යාඥයන් අසමත් වෙලා තියෙනවා.

එච්.සී.පී. බෙල් මහතා එවේල අකුරු ප්‍රතිනිර්මානය කිරීමේදී පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා.

එවේල අකුරු

දිවෙස් අකුරු

එවේල අකුරු පරිණාමය වීමෙන් තමයි දිවෙස් අකුරු නිර්මානය වෙලා තියෙන්නෙ. තඹ පත් වල ලියන්න සුදුසු ආකාරයෙන් අකුරු හැඩ ගැහිල තියෙනවා. ඒ එක්කම සිංහල බසට තිබුනු සමානකම් සෑහෙන පමණ අඩු වෙලා තියෙනවා. මෙහිදී “අං” ශබ්ධය නැති වී තිබීම විශේෂත්වයක්.

දකුණු දිග අතොළු වල​, විශේෂයෙන් අඩ්ඩු අතොළුවේ දෙවැනි ලෝක යුද්ධ සමය වන තුරු දිවෙස් අකුරු භාවිතය තිබිල තියෙනවා. නමුත් වර්තමානයේදී දිවෙස් අකුරු දන්න මාලදිවයින් වැසියන් ඉන්නෙ අතළොස්සක් පමණයි.

දිවෙස් අකුරු

තාන

වර්තමානයේ නිළ දිවෙහි හෝඩිය විදිහට භාවිතා වෙන්නේ තාන අකුරු. තාන අකුරු අරාබි අකුරු ඇසුරෙන් නිර්මානය කර ගත්ත නිසා තාන අකුරු ලියන්නේ දකුණේ සිට වමට​. දකුණේ සිට වමට ලියන එකම ඉන්දු – ආර්‍ය භාෂාව වෙන්නේ දිවෙහි.

තාන හෝඩිය පැරණි දිවෙහි බසින් ආ ශබ්ධ වලින් වගේම අරාබි බසින් ආ ශබ්ධ වලිනුත් සමන්විතයි. නමුත් මේ අරාබි ශබ්ධ දිවෙහි බසේ වචන වල යෙදෙන්නෙ කලාතුරකින්. බොහෝ විට ඒවා යොදා ගැනෙන්නෙ අරාබි වචන සහ යෙදුම් (විශේෂයෙන් ඉස්ලාමය හා සම්බන්ධ) ලිවීමේදී.

තාන හෝඩිය පණකුරු 10 ක්, ගතකුරු 39 ක්, හල් කිරීම සඳහා භාවිතා කරන “සුකුන්” නමින් හැඳින්වෙන අකුර සහ ගතකුරු නොමැතිව පණකුරු ලිවීමේදී භාවිතා කරන “අලිෆු” නමින් හැඳින්වෙන විශේෂ අකුරකින් සමන්විතයි.

1950 සිට “ණ​” අකුර හෙවත් “ණවියනි” තාන හෝඩියෙන් ඉවත් කර තියෙනවා. ඒත් සමහර අවස්ථා වලදී ඒක තාන හෝඩිය ලිවීමේදී ඇතුලත් කෙරෙනවා.

බොහෝ තාන අකුරු සඳහා ඉංග්‍රීසි අකුරක් (හෝ අකුරු දෙකක සංයෝජනයක්) නියම කරල තියෙනවා. ඒ දිවෙහි වචන ඉංග්‍රීසි හෝඩිය භාවිතයෙන් ලිවීම සඳහා.

තාන හෝඩිය​

තාන අකුරුවල ප්‍රභවය​

තාන අකුරු මුල් දිවෙහි බසේ වගේම අරාබි බසේ ශබ්ධත් උසුරුවන්න පුළුවන් ආකාරයටයි නිර්මානය කරල තියෙන්නෙ. මේ නිසා අපිට ප්‍රධාන වශයෙන් තාන අකුරු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ දිවෙහි ශබ්ධ සහ අරාබි ශබ්ධ විදිහට​.

දිවෙහි ශබ්ධ ගණයට වැටෙන්නේ තාන හෝඩියේ පළවෙනි අකුරු 24. ඒ “හා” සිට “චවියනි” දක්වා තියෙන අකුරු.

මේ අකුරු අතරින් ෆාෆු සහ ශවියනි සුවිශේෂයි. ඒ එම ශබ්ධ දෙක ඉන්දු – ආර්‍ය භාෂා වල නොමැති ශබ්ධ වීම නිසා. ෆාෆු උසුරුවන්නේ ඉංග්‍රීසි F අකුරට සමානව​. ශවියනි උසුරුවන්නේ ශ අකුරට ර ශබ්ධයකුත් මුසු කරලා.

ඒ වගේම zසවියනි සහ ජවියනි දිවෙහි ශබ්ධ ලෙස ගැනුනත්, ඒවා ඇත්තෙන්ම පර්සියානු බසින් ණයට ගත් ශබ්ධ​.

අරාබි ශබ්ධ විදිහට ගැනෙන්නේ තාන හෝඩියේ ඊළඟ අකුරු 14. ඒ කියන්නෙ ට්ටා සිට හ්වාවු දක්වා තියෙන අකුරු. මේ අකුරු ශබ්ධ කරන ආකාරය සිංහල බස හුරු අයෙක්ට ආගන්තුකයි. ඒ වගේම දිවෙහි බසෙත් මේවා යෙදෙන්නෙ කලාතුරකින්. විශේෂයෙන් හ්වාවු, ට්ටා, තාලු වගේ අකුරු යෙදෙන්නේම නැති තරම්.

මේ අකුරු උසුරුවන ආකාරය ගැන දිවෙහි කතා කිරීමේදී එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒවා නිවැරදි අරාබි උච්චාරනයෙන්ම කරන්න ඕනෙ කියල බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඊට ළඟින් යන දිවෙහි උච්චාරනයක් කිරීම ප්‍රමානවත් වෙනවා. උදාහරණයකට දාදු උසුරුවන්නේ “ත්ද​” කියල වුනත්, ඒක “ද​” කියල කිව්වත් ලොකු වැරැද්දක් නෑ.

මේ අකුරු භාවිතා කරන්නේ අරාබි වචන සහ යෙදුම් ලිවීමට​. ඒ නිසා මේ අකුරු ලිඛිත භාෂාවට බොහෝ දුරට සීමා වෙනවා.

පාදඩ අසපුව

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල