බ්ලොග් නවකතා

සුහදිනියේ – 07

0

කලින් කොටසට

බේගල් හැටකෝටියක් ඇදබාන්න බලාගෙන හිටියත් ඒ මොකවත් නැතුව මධුලිකාව දැක්ක ගමන් තුවාන්ගේ අයියා ඕනේ වැඩටික කරලා දුන්නා. කකුලේ වළලුකරේ තරමක පිපිරුමක් නිසා වේදනාවට කෙල්ල බෙරිහන් දෙනවා; ආයෙත් ජබර කලන්තේ. මාරම වැඩේ කියන්නේ ඒක දැකලා මගේ ඇඟේ අමාරුව ඔන්න ඔහේ තියෙද්දී තුවාලවලටවත් බෙහෙත් නොදා එන්නේ තව ටිකෙන්.

බෙහෙත් දාල වෙළුම් පටි දාල ඉවර වෙනකොට මාව ඇවිදින මමියක් වගේ උනත් ඇඟට පොඩි සහනයක් ආවා. ඩිස්පැන්සරියෙන් එලියට බැස්සාම තමයි වෙලාව බැලුවේ. ඒ වෙනකොට වෙලාව රෑ දහයත් පහුවෙලා! මධුලිකාවත් කාර් එකේ දාගෙන මමත් විරන්ගයත් හෙමින් හෙමින් ගේ ළඟට එනකොට අපි දෙන්නා කතාවෙලා හිටියේ ඊළඟ පියවර මොකද කරන්නේ කියලා.

මේ වෙලාවට විජේදාස පිටිපස්සේ ගේට්ටුව යන්තම් වහලා ඉස්සරහ මුරකුටියට යනවා අනිත් ගේට්ටු චෙක් කරන ගමන්. ඒ අනුව මම කලේ පිටිපස්සේ පොඩි ගේට්ටුවෙන් ඇතුලට විරංග තල්ලු කරලා ඇතුලෙන් ඇරව ගන්න එක. මේක ඉතින් මම ක්ලබ් ගියාම, ඕනෙම හොර ගමනක් ගියාම කරන වැඩක් නිසා මට ගලේ කෙටුවා වගේ විස්වාසයි.

හෙමින් වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වගගත්තම ඊළඟ අභියෝගය තමයි මධුලිකාව උඩට අරගෙන යන එක. වෙනදට නම් බැල්කනියේ මම හොරාට දාලා තියෙන ලණුවෙන් උඩට නගින එක තමයි. ඒත් මේ හරහට ඉන්න කලන්තේ ෆැක්ටේරියක් එක්ක කොහොමද ඒ සර්කස් දාන්නේ?
ඔත්තු බලන්න විරංග යවලා මම කලේ බැල්කනියේ පහල ගේට්ටුවෙන් උඩට යන ගමන් ගේ ඇතුලේ තත්වය බලාගත්ත එකයි. ලකුණු අනුව නම් අම්මා නින්දට ගිහින් කුස්සි අම්මා නම් ඇහැරගෙන වගේ.

ආයෙමත් විනාඩි පහක් විතර සද්දයක් නැතුව ඉන්නකොට බැල්කනියේ පහල ගේට්ටුව ගාවින් අඩි සද්දයක් ඇහුනා. ඒ නම් විරංගයා වෙන්න බැහැ.

ඉවරයි!

මම එතනම ගල් ගැහුනේ උඩට ගියොත් අනිවාර්යයෙන් අහුවෙන නිසාත් ආපහු හැරෙන්න බැරි නිසාත්.

“පුංචි මහත්තයා??”

හුටා! විජේසිරි? මූ කොහොම මාව හොයාගන්නවද මන්දා බල්ලෙක්ට එන ඉවක් වගේ. ක්ලබ් එකට ගිහිල්ලා ආපු හැමදාම මූ මේ වගේම තමයි. අන්තිම කොටසේදී වැඩේ කනවා! අද නම් තත්වය දරුණුයි. මට දෙලෝ රත් උනේ කාර් එක තිබ්බේ පිටිපස්සේ හින්දා.

මම යන්තමට උගුර පාදලා පොඩ්ඩක් විතර ගැඹුරට හදාගත්තා.

“මෙතැන බැල්කනියේ යතුර දෙනවකො අයිසේ…”

“අදත් කොහෙද ගියා නේද? ”

“හරි හරි… නවත්තගනින් උඹේ බණ.. දීපන් ඉක්මනට යතුර මට පරක්කු වෙනවා”

කළුවරේ හිටගෙන හිටපු මාව හරියට නොදැක්ක උනත් විජේසිරිගේ මුහුණෙන් පෙනුනා මාව අඳුන ගත්ත බවත් ; මගේ තුවාල නොදැක්ක බවත්.

ඉක්මනින් විජේසිරිගේ අතින් යතුර උදුරාගත්ත මම පඩිපෙළේ තව පඩියක් ඉහලට අඩියක් තිබ්බා.

“මහත්තය…. ”

“හරි බං.. බණ එපා කිව්වනේ! උඹ අම්මට එහෙම කියන්නේ නැහැ හරිද?”

“.. මහත්තයා… මේ අර ”

ඒ පාර නම් මට යම් අනතුරක සේයාවක් දැනුන නිසා ආපහු හැරිලා බැලුවා. එතකොට තමයි විජේසිරි මාව හඳ එළියෙන් හරියටම දැක්කේ.

“…. දෙයිහාමුදුරුවනේ… මේ මොකද මහත්තය තුවාල වෙලා? කාර් එක හැප්පුනාද ? හත්වලාමේ…”

“කෑගහන්න එපා මනුස්සයෝ. මට අවුලක් නැහැ. තමුසෙගෙ සද්දෙට දැන් මුළු ගෙදරම ඇහැරෙනවා. මට කිසි අවුලක් නැහැ. බෙහෙත් දාගෙන ඉන්නේ. දැන් තමුසේ යනවා ගිහින් නිදාගන්නවා. අම්මට එහෙම කියන්නේ නැහැ හරිද?”

පොඩ්ඩක් කෙඳිරියක් වගේ දාල මිනිහව කැමති කරගන්න මට පුළුවන් උනා.

වැඩි අමාරුවක් නැතුවම මධුව මගේ කාමරේට ගෙනියාගන්න පුළුවන් උනත් , හරියට කෙලින් කටින් ඉන්න බැරි මට විරන්ගයා මධුලිකාව උසාගෙන යාම බලාගෙන ඉන්න එක තමයි කාලා ඉන්න බැරිම. මගේ මුළු සර්වාංගයම පිච්චෙනවා වගේ.

‘හරි හරි… එහාට වෙයන් මම බළාගන්නම්’

‘හරි… උඹ හිටපන් මම උස්සන්නම්’

කිය කියා මම පුප්පගෙන ඉන්නකොට විරංගයා නක්කල් හිනාවක් දාගෙන උදව් කළා.

“අඩෝ මේ… මට පුප්පන්නේ නැතුව හිටපන්. උඹ අර තඩි ලණුවෙන් ගැටගහුවේ නැතිනම් කෙල්ලට ඔතරම් තුවාල වෙනවද? කොහෙද ඉතින් උඹ ඉතින් දන්නේ…….”

ඉතිරිවා මම අහගෙන හිටියේ නැහැ. ඌ පුටු පුටු ගගාම බනිනවා. මම ඔත්තු බලනකල් විරංග කෙල්ලට නිදාගන්න තැනක් ලැස්ති කරමින් හිටියේ.

එකපාරටම පඩිපෙළේ විදුලි බල්බය දැල්වුණා. අඩියට දෙකට ඇතුලට පැනපු මම විරංගගේ මුණ දිහා බලනකොටම ඌට තේරුනා මොකක් නමුත් අමුත්තක් කියලා. දබර ඇඟිල්ල තොල්දෙක මැද්දට තියලා සද්දයක් කරන්න එපා කියලා සන් කරපු මම මගේ ඇඳේ ඇඳඇතිරිල්ල මධුලිකාව සම්පුර්ණයෙන් වැහෙන විදියට වහලා , කාමරේ වායුසමීකරණය ක්‍රියාකරවන බොත්තම් එබුවා. විරංග ඉක්මනින් ජනෙල් තිර අතරට රිංගුවේ මොනවා හිතාගෙනද කියලා මම දන්නේ නැහැ.

ඌට පිස්සු!

දොර ගාව කවුදෝ හිටගන්නවා තේරුනත් මම පොත් මේසේ උඩ තිබ්බ ලැප්ටොප් එකේ වයර් අකුළමින් ඉන්නවා වගේ රඟපෑවා. කාමරේ කරුවල උනාට එළියේ තිබ්බ මොකක්හරි ආලෝකයක් ඇඳ උඩට වැටිලා තිබ්බා. යන්තමින් ඒ ඇතිරිලි උස්පහත් වෙන්නේ මධුලිකා හුස්ම ගන්න වේගෙට.

එකවරම කවුරුහරි කෙනෙක් මගේ ඉනෙන් අල්ලලා තදකරලා බදාගන්නවා දැනෙනකොට මාව ඇත්තටම අනපේක්ෂිත ගැස්මකට ලක් උනා තමයි.

මලා ! චාපා !! මේ කෙල්ල කොහෙද මෙහෙ? මේ වෙලාවේ ?

“ඒයි ! පි.. පිස්සුද?”

“කෑගහන්න එපා ළමයෝ.. මේ මම… ඇයි අඳුනන්නේ නැද්ද?”

“පි.. පි.. පිස්සුද?”

මම චාපාව මකුළුවෙක් ගලවලා දානවා වගේ ඇදලා ඈතට කළා. අඩ අඳුරේ චාපාගේ මුණ මට හරියට පේන්නේ නෑ. මේ පිස්සුව මොකද මෙහෙ කරන්නේ?

“…. කෝ.. කොහෙන්ද.. කොයි වේලාවේද ආවේ?”

“ආ… හරි විකාරයක්නෙ… මේ ගෙදරට මට කොයි වෙලේක එන බැරිද?”

චාපා ආයෙමත් පැනලා මාව බදාගෙන ඔලුව පපුව අස්සේ හිරකරගත්තා. මගේ තුවාල චප්ප වෙලා රිදුනත් කෑගහන්න විධියක් නෑ!

“… කොහෙද අනේ ගියේ… මම හවස ඉඳල බලාගෙන හිටියා… ආන්ටිලා පන්සල් ගියපු නිසා මම හිතුවේ ඔයා ඉදී කියල.. මොකද මෙච්චර රෑ උනේ? අපිත් එක්ක ක්ලබ් යන්න තමයි මෙයාට රෑ වෙන්නේ…”

මේකි මෙතන හුරතල් වෙන්න ගත්තා. මට විරංග ජනෙල් තිරෙන් එබිලා බඩ අල්ලාගෙන හිනාවෙනවා පේනවා. හොම්බට අනින්න හිතයි මට. අපොයි දෙවියනේ ඒ අස්සේ මධුලිකාත් මෙතැනමයි! මම ආයෙමත් චපාව තල්ලු කරලා එහාට කළා.

“පිස්සු නැතුව ඉන්න චාපා”

“පිස්සු තමයි ඉතින්…. ඔයාටත් පිස්සුනේ ඉතින්… මගේ පිස්සු කොල්ලා..”

මට දැන් කරකියාගන්න දෙයක් නැහැ. මේ කියන එව්වා මධුලිකා අහගෙන. මට කාලා ඉන්න බැරි ඒකයි. මේකි තව මොනවත් කියවන්න ගියොත් නම් මම ඉවරෙටම ඉවරයි. චාපාට කියන්න දෙයක් ඔලුවට එන්නත් නැහැ. මම කටහඬ බාල කළා.

“චාපා…. විරංග ඉන්නවා හලෝ..”

එකපාරටම ගැස්සුනත් චාපා වටපිට බැලුවේ බයක් වෙච්ච විධියට නම් නෙවෙයි. කොහොමත් චාපා කියන්නේ බයක් තියෙන කෙල්ලෙක් නෙවෙයි. මමත් කැමති උනේ එයාගේ ඒ තිබ්බ රැඩිකල් බයනැතිකමට තමයි.

“මේ…. ළමායි.. අපිත් මෙහෙ ඉන්නවා හරිද…”

විරංග නානකාමරේ පැත්තේ ඉඳන් එන ගමන් කතාකලා. ඌ කොහොමද එතනට ගියේ. ඌ කොහොමත් මට වඩා සුත්තර කාරයා.

“හි හි හි….. මේ දෙන්නා මොකද මේ ලයිට් නිවාගෙන කළුවරේ කාමරේ කරන්නේ?”

එහෙම කියාගෙනම එකවරම පැනපු ගමන් චාපා කාමරේ ලයිට් එක දැම්මා. ඒ හුස්මටම මම ලයිට් එක නිමුවා.

“… ඒ මොකද ඒ?… ලයිට් නිවාගෙන දෙන්නා මොකද කරන්නේ?”

චාපා ආයෙමත් ලයිට් එක දැම්මා. මම ආයෙමත් නිමුවා.

“එපා හලෝ… එලියට පේනවා…”

මාව තල්ලු කරපු චාපා ආයෙමත් ලයිට් එක දැම්මා. මම ඒ වෙනකොට ඇඳ වහගෙන වගේ හිටගෙන. විරන්ගයි මමයි මුනෙන් මුණ බලාගෙන.

“… ඕක ඔෆ් කරනවා හලෝ.. එලියට පේනවා..”

“එළියට පේනවා?”

“…………….”

විරංග මගේ දිහා බැලුවා. මගේ කන් දෙකෙන් දුන් දානවා වගේ. මෙහෙම නවනින්ගිරාවක් නම් වෙලා නෑ උපන්තේකට. චාප ඉන්නවා රැලිකරගත්ත නළලක් දාගෙන; අත් දෙකත් ඉනේ තියාගෙන. මට පෙනුනා විරංග එකපාරක් බලනවා චාපාගේ කොටම කොට ගවුමේ වාටිය දිහා. ඊට පස්සේ මගේ මුණ දිහා. මම ඌට එරෙව්වා.

“ඔයාල දෙන්නා ලයිට් ඔෆ් කරගෙන කළුවරේ…. ආ….. මේ මොකද මේ වෙලා තියෙන්නේ ඔයාගේ නළලට? ආ… අතත් තුවාල වෙලා නේද?….”

එච්චරයි කියන්න ලැබුනේ… මම පැනපු ගමන් මගේ සාක්කුවේ තිබ්බ ලේන්සුව නහයට තියලා චාපාව තද කරලා අල්ලගත්තා. විරංග ෆුල් හොල්මන්. තත්පර දෙකක් ගියේ නැහැ. සිහිසුන් වෙචච චාපා මගේ ඇඟටම වාරු කරලා අල්ලාගෙන මම විරංග දිහා බැලුවා.

“අල්ලපන්…. මේකි වයින් බීලා ඉන්නේ. ෂුවර් එකටම අම්මණ්ඩි එක්ක එන්න ඇත්තේ. සිහිය එන්න කලින් ගෙනිහින් දාමු පහල කාමරේට”

විරංගට ඇහැක් ඉඟි මරපු මාව ප්‍රශ්න කරන්නේ නැතුව ඌ ඉක්මනින් චාපාව උස්සලා හරහට ගත්තා.

“අනේ මන්ද බන්.. තෝ හින්දා මට කෙල්ලෝ වඩාගන්නයි… නලවන්නයි…. ඉවරයක් නැහැ”

චාපාව උස්සගෙන විරංග එලියට යනකොට මමත් මගක් දුරට ගිහින් ඔත්තු බැලුවා. මගේ අනුමානය හරියටම හරි. ඔක්කොම නිදි.

වෙනදට චාපා ආවහම ඉන්න කාමරේ ලයිට් දාලා බැලුවහම චාපාගේ පුංචි අම්මාත් එලෙසම මත්වෙලා වැටිලා ඉන්නවා ඇඳේ. ඊට මෙහාට වෙන්න චාපාව තියලා, කණ්නාඩි මේසේ තිබ්බ සුවඳවිලවුන් ටිකක් තරමක් හලලා එළියට ආවේ හොරු දෙන්නෙක් වගේ.

විරංගත් මමත් දෙන්නම දන්නවා වයින් බිව්වම චාපා මත්වෙලා විකාර කරන බව. චාපා ලඟට එනකොටම මට වයින් සුවඳ දැනුන නිසා මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා.

“කොහෙන්ද බන් උඹට ෆෝමලීන්?”

පඩිපෙළ නගින ගමන් විරංග හැරිලා ඇහුවේ රහසින් වගේ. ඌ දිහා යන්තම් හිනාවක් දාපු මම මුකුත් කියන්නේ නැතුව ඔලුව වැනුවා.

තුවාන්ගේ අයියාගෙන් මම මේක ඉල්ලගෙන තියාගත්තේ මතු ආරක්ෂාවට. සමහර වෙලාවට මධුලිකාට උනත් එරෙහිව පාච්චි කරන්න වෙන්න පුළුවන්. ඔක්කොම කියන්න ඕනේ නැහැනේ.

ආයෙමත් කාමරේට ගිහින් එබෙනකොටම මට අමුත්තක් තේරුණා.

‘දෙවියනේ.. කෙල්ල නැහැ!’

කවුරුත් කියන්න කලින් විරංගත් මමත් දෙන්නම දෙපැත්තට දිව්වා. මම දිව්වේ ආපු කොරිඩෝව පැත්තට. ඒ යනකොට යන්තමට හෙවනැල්ලක් වගේ ජනේලෙන් පෙනුනේ තුවාල වෙච්ච කකුල අද්දමින් කොරිඩෝවේ පඩිපෙළ බහින්න හදන මධුලිකා. මම විදුලි වේගයෙන් ගිහින් මධුලිකාගේ අත්බාහුවේ උඩින්ම තද කරලා අල්ලගත්තා.

මාව දැකපු ගමන් කෙල්ල කෑගහන්න හදනකොටම ආයෙත් හිතන්නේ නැතුව එයාටත් තිබ්බා ෆෝමලීන්!
********** මතු සම්බන්ධයි ***********

කඩදාසි කොලේ

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල