අතීතකාමය, විචාර

සමිත හාමුදුරුවන්ගේ වෛද්‍ය සායනය, අඹ වෙළෙන්දාගේ ගසා කෑම,මහාබෝධියේ වෙසක් උත්සවය,ලොක්කාගේ විස්කි පානය සහ කරුපාගේ සැළකිලි

0

අපි ලියමින් හිටපු සේනගේ කතාව මැදට භික්‍ෂු පරිච්ඡේදයක් ආව නිසා සේනගේ කතාව ඉවර කරන්නට නොහැකි විය. හාමුදුරු කතා ටික මේත් එක්කම ලියා අහවරයක් කරන්නට හිතුවේ ඊට පසු සේනගේ කතාව ලියන්නට සිතාගෙනය.

සමිත හාමුදුරුවෝ මහාබෝධියේ ඉන්න කාලේ අවුරුදු පතා කළ සමාජ සත්කාරයක් වූයේ කාංචිපුරම් පැත්තේ දුප්පත් ගමක වෛද්‍ය සායනයක් පැවැත්වීමය. සායනය කළේ ඒ ගමේ ඉන්න හාමුදුරුවන්ගේ හිතවතෙකු වූ බෞද්ධ මහත්මයකුගේ ගෙදරය. ඒ අවුරුද්දෙත් හාමුදුරුවෝ සායනය පවත්වන්නට කටයුතු සුදානම් කරගෙන කාංචිපුරම් යන්නට මටත් ආරාධනා කළහ. වාහන දෙකක්ම යන නිසා ඉඩ තියෙන බැවින් සිය පවුලම කැටුව පැමිණෙන්නැයි වැඩිදුරටත් කීහ. කාලය මට මතක හැටියට 1999 හෝ 2000 වසරේ ග්‍රීෂ්ම කාලයයි. ඔය කියන ග්‍රීෂ්ම කාලය දකුණු ඉන්දියාවට කොයි තරම් තදින් බලපවත්වන්නේද කිව්වොත් පාරේ තාර පවා උණුවෙන තරමට රස්නය තදය.

ඉතින් එක නිවාඩු දවසක අපි කට්ටියම කාංචිපුරම් ගියේ හාමුදුරුවන්ගේ මුලිකත්වයෙනි. වෛද්‍යවරයා වුණේ ඇපලෝ රෝහලේ වැඩකරන අපේ හිතවත් ජෝශප් තරුණ මහතාය. වාහන දෙකේම බෙහෙත් ද්‍රව්‍ය සහ ඒ ගමේ ළමයින්ට දෙන්නට පාසැල් උපකරණ පටවා තිබුණි. උදේම පිටත්වුණ අපි උදේ දහයටත් පෙර කාංචිපුරම් වලට ලඟා වූයෙමු. ගමේ අය විසින් වෛද්‍ය සායනය පවත්වන්නට ගිය අයව ආදරයෙන් පිළිගන්නා ලදුව කල් වෙලා නොහැර සායනය ආරම්භ විය. මටත් බෙහෙත් ගැන සුළු දැනීමක් තිබුණු නිසා ඒ පැත්තෙන් වෛද්‍යවරයාට උදව් කරන්නට හැකිවිය. හාමුදුරුවෝ සිය හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී ඉන්නා අතර තල් අතු හෝ පොල් අතු සෙවිළි කළ කුඩා ගෙවල් ඇති ඒ ගමේ සුන්දරත්වයෙන් වශීවූ හැලපිත්, හැලපැට්ටාත් ගමේ අය සමග එකතුවී ගෙයක් ගෙයක් ගානේ ඇවිදින්නට වූහ.

දවල් කෑමට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු ක්‍රමයට ආහාර පිළියෙල කොට තිබුණු අතර අපි ඒ කෑම කෑවේත් ඒ අයගේ පිළිවෙලට බිම ඉඳගෙන කෙහෙල් කොළවලට බත් මාළුපිණි බෙදාගෙනය. හවස දෙක දෙකහමාර වෙද්දී සියළුම රෝගීන්ට ප්‍රතිකාර කොට සායනය අවසන් කරන ලදී. අපි ආපසු එන්නට වුයේ අව්ව නිසා පරිසරය හොඳටම ගිනියම් වී තියෙද්දීය. කුඹුරු මැදින් ගම් මැදින් වැටී ඇති පාරේ ආපහු එද්දී එක තැනක තල් වලු කීපයක් තියාගෙන සිටි මනුස්සයෙක් දැක හාමුදුරුවෝ වාහන නතර කළහ. තල් කුරුම්බා ග්‍රීෂ්ම දාහයට දිව ඔසුවක් සේය. තල් කුරුම්බා විකුණන මිනිහා කපාදුන් කුරුම්බා ලොඳ හිතේ හැටියට කවුරුත් සප්පායම් වුණේ වෙලාවේ හැටියට ඒවා අපූරු කෑමක් නිසාය.

එන ගමන කාංචිපුරම් ටවුමේ ටිකකට වාහන නතර කළේ ගෙවල්වල ගෙනයන්නට අලුත් එළවළු පළතුරු ටිකක් ගන්නටය. අඹ කඳු පිටින් ගොඩගසා තිබුණේ අවටපිට සුවඳින් පුරවමිනි. හැලපි එළවළු තෝරද්දී මම අඹ විකුණන වෙළෙන්දෙක් ලඟට කිට්ටු කළේ අඹ ටිකක් ගන්නටය. ලොකු අඹයක් මට මතක හැටියට පයිසා පනහක් හෝ හැටක් මිළ විය. මම උරයක් පුරා අඹ මිලදී ගත්තෙමි. මගෙත් වෙළෙන්දාගේත් අතර වූ ගණුදෙනුව දොස්තර ජෝශප් මුල සිටම අසා සිටි බව මම දැන නොසිටියෙමි. සල්ලි බේරද්දී දොස්තර ජෝශප් වහාම එතැන පෙනී සිටියේය.

” අඹ ගෙඩියක් කීය ගානෙද ගත්තේ?” දොස්තර ජෝශප් අසා සිටියේය. මම මිළ කීවෙමි.

” මේ අඹයක් එච්චර වටින්නෙ නෑ! මේ මිනිහ වැඩිපුර සල්ලි අරගෙන.” කී දොස්තර ජෝශප් වෙළෙන්දා ලඟට ගොස් ඔහුට බැන වදින්නට විය.

” මෙයා විදේශිකයෙක් බව දැනගෙන උඹ වැඩිපුර සල්ලි ගසා කෑවා නේද? මනුස්සයින්ව ඔය විදියට ගසා කන්න උඹට ලැජ්ජා නැද්ද? වහාම වැඩිපුර ගත්ත සල්ලි ආපහු දීපං.”

වියදම් වුණේ සුළු මුදලක් නිසා වැඩේ අතහැර දාන්නැ’යි මම දොස්තර ජෝශප්ට කිව්වත් ඔහු එයට කැමති වුණේ නැත.

” නෑ නෑ එහෙම අත ඇරියොත් මෙයා තව අයට ඔය වැඩේ කරනවා’යි” කියූ දොස්තර ජෝශප් ගේ ගෝරනාඩුවට බයවූ වෙළෙන්දා වැඩිපුර ගත් මුදලට තවත් අඹ ගොඩක් මට ලබාදීම නිසා ප්‍රශ්නය සමථයකට පත්විය.

මහාබෝධියේ බලය වෙනත් කණ්ඩායමක් අතට පත්වුණේ ඔය වකවානුවේදීය. ලංකාවේ ආණ්ඩු බලය විවිධ දේශපාලන පක්ෂවලට මාරු වෙනවා මෙන්ම මහාබෝධියේ පාලන බලය සංවත්සරයේදී එක් එක් කණ්ඩායම් වලට මාරුවෙයි. එවර මහාබෝධියේ බලය අල්ලාගත්තේ බානගල උපතිස්ස හාමුදුරුවන්ද තිනියාවල පාලිත හාමුදුරුවන්ද ඇතුළු කණ්ඩායමකි. සමිත හාමුදුරුවෝ සහ ජයතුංග මහතා සේවය අවසන් කර ලංකාවට පිටත් කර හරින ලදී. මහාබෝධිය පාලනය කරන්නට අලුතින් පත්වුණේ රතනජෝති හාමුදුරුවෝය. උස මහත ඇති කාර්යශූර හිමිනමක්වූ රතනජෝති හාමුදුරුවන්ගේ සහායට ටික දිනකින් තවත් තරුණ හාමුදුරු නමක් පත්කර එවන ලදී. වයස අවුරුදු විසි ගණන් වල සිටි උපසම්පදාව වත් ඒ වනවිට ලබා නොසිටි පොඩි හාමුදුරුවන්ව අපි ධම්මදින්න යනුවෙන් හඳුන්වමු.

රතනසාර හාමුදුරුවන් වැඩිපුර කැමතිවුනේ පුජා වත්පිළිවෙත්, දාන මාන, දරුවන් පැවිදි කිරීම ආදී ආගමික කටයුතු වලට වුවත් ධම්මදින්න පොඩි හාමුදුරුවෝ වැඩිපුර ඇලුම් කළේ පෙරහැර, උත්සව පැවැත්වීම් ආදී ලොකු ප්‍රචාරයක් ලබාදී කරන මහා පරිමාණයේ වැඩවලටය. හාමුදුරුවරුන් දෙන්නාගේ ක්‍රමය දෙවිදියක් වුණත් පොඩි හාමුදුරුවන්ගේ වැඩවලට ලොකු හාමුදුරුවෝ බාධා කරන්නට නොගියේ ප්‍රශ්න ඇතිවන නිසා මෙන්ම බානගල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වූ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වැඩි බලයක් තිබුණු නිසාත්ය. හාමුදුරුවරු දෙන්නාගේ කෑම පුරුදුද එකිනෙකට වෙනස්ය. ලොකු හාමුදුරුවෝ කොළ කැඳ වළඳන්නට, බත් මාළුපිණි, එළවළු, කරෝල, මැල්ලුම් වලට වැඩි මනාපයක් දක්වද්දී පොඩි හාමුදුරුවෝ වළඳන්නට කැමති වුණේ ප්‍රයිඩ් රයිස්, ප්‍රයිඩ් චිකන් ආදී පොෂ් කෑම වර්ගය. ඒ නිසාම දෙන්නාට දානය හදද්දී අපට කෑම දෙවිදියකට හදන්නටද සිදුවිය. කොහොම වුණත් හාමුදුරුවරු දෙදෙනාම මගෙත් එක්ක ඉතා හොඳ මිත්‍රකමක් පවත්වාගෙන ගිය නිසා මට නම් කිසිම අවුලක් ඇතිවුණේ නැත.

හැම මාසයකම අවසානයේ මහාබෝධියේ මාසික ගිණුම් තුලනය කොට විස්තරය කොළඹ මහාබෝධියට යැවීම අනිවාර්ය කාර්යයකි. කලින් මේ රාජකාරිය කළේ ජයතුංග මහත්තයා වුණත් ජයතුංග මහත්තයා ලංකාවට ගිය පසු ඒ රාජකාරිය කරන්නට වුණේ රතනජෝති හාමුදුරුවන්ටය. ගිණුම් හදන්නට නොදන්නා රතනජෝති හාමුදුරුවෝ ඒ රාජකාරිය කරවාගත්තේ මට කියලාය. මාසයකට වවුචර විස්සක් වත් නැති මහාබෝධියේ ගිණුම හදන එක මට කජු කන්නා වගේ වැඩක් වුණත් හාමුදුරුවන්ට එය ලොකු වැඩක්වූ නිසා මහාබෝධියට යන එන වෙලාවල්වලට හාමුදුරුවෝ මට තෑගිත් දෙන්නට පුරුදු වුණේ කරන උදව්වටය. තෑගි වශයෙන් ලැබුණේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගෙන් හාමුදුරුවන්ට ලැබෙන තේ කොළ පැකට්, සිද්ධාලේප කුප්පි, පොත් ආදී දේවල්ය. මට දුන්නාය කියා හාමුදුරුවන්ට අඩුවක් නැත්තේ හාමුදුරුවන්ට ලැබෙන දේවල් කාමරයක් පුරවා ඇති බැවින්ද ලංකාවේ තේ කොළ අපට නිතරම නොලැබෙන නිසා ඒවා අපට වටින බැවින්ය. මම වඩා කැමති වුණේ හාමුදුරුවන්ට ලැබෙන පොත් මට දෙන එකටය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙද්දී ඒ අවුරුද්දේ වෙසක් මාසයද උදාවිය. වෙසක් එකට උත්සව පවත්වන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවන් ලැස්ති වුණේ මාස ගණනකට පෙර සිටය. මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පොඩි හාමුදරුවන්ගේ අභිප්‍රාය විය. වෙනදාට පන්සිල් අරන් රැස්වීමක් තියා තේ බොන්නට දී ඉවර කරන වෙසක් උත්සවය වෙනුවට නව අංගෝපාංග සහිත වෙසක් උත්සවයක් පොඩි හාමුදුරුවෝ සුදානම් කළහ. කෙනට් පාරේ සිට එන පෙරහැරකට පසු නැටුම් සංදර්ශනයක්ද මහා පිංකමක් හා රැස්වීමක්ද එම වැඩ පිළිවෙලට අයත් විය. මුළු වැඩ සටහනම සජීවීව ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නටද කටයුතු යොදා තිබිණි. ඊට අමතරව මහාබෝධි පරිශ්‍රයම වෙසක් කූඩු වලින් හා විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද්දේ විශාකපට්නම් වල හා කොචින් වල පුහුණුව ලබන නාවික හමුදාවේ කොල්ලන් විසිනි. නේවි එකේ කොල්ලන්ට මාස තුනකට වරක් ලැබෙන දීමනාව ලබාගන්නට එන්නේ මගේ ලඟට නිසා උන් මාත් එක්ක ගොඩක් හිතවත්ය. ඒ නිසාම හවසට කට්ටියම සැට් වෙන්නේත් අපේ ගෙදරය. නේවි කොල්ලෝ එන්නේ හිස් අතින් නොවේ, උන් කෑමද බීමද ඇතිවෙන්නට අරගෙන එති. නමුත් ප්‍රශ්නය වී තිබුණේ ඒ හෝටල්වල හදන මස් මාළු ලුණු මිරිස් රහක් හෝ සැරක් නැති එකය. ඒ නිසාම හැලපි කීවේ අපරාදෙ සල්ලි වියදම් කර කඩෙන් මෙලෝ රහක් නැති කෑම ගේන්නට අවශ්‍ය නැති බවය. “අපට ලුණු මිරිස් සැරට පොල් සම්බෝලයක් තිබුණත් ඇති අක්කේ” කියා කොල්ලන් කීවත් “පව්, ලංකාවෙ කොල්ලොනේ” කියන හැලපි හැමදාම ලොකු බත් හැලියක් උයා කොල්ලන්ට කන්නට දෙයි.

වෙසක් උත්සවය සාර්ථක කරගන්නට අපටත් විශාල දායකත්වයක් දක්වන්නට සිදුවී තිබුණි. වැඩට ඇවිත් හිටපු අයගේ කෑම බීම, ඊට අමතරව නෑම( ග්‍රීෂ්ම කාලයේ මහාබෝධියේ නල ළිං වලින් එන්නේ ලුණු වතුරය. ඒ නිසා මහන්සි වී දාඩිය පෙරාගෙන වැඩකරන කොල්ලන් ගෙවල්වලට එක්කරගෙන ගොස් නෑමේ පහසුව සලසන්නටද සිදුවිය) ආදී සැම දෙයක්ම සොයා බලා කළ යුතු විය. පොඩි හාමුදුරුවන් පේන්න නැති වෙලාවට මගහැර ගෙදර ගියත් ටිකකින් පොඩි හාමුදුරුවෝ ගෙදරට කතා කර වහාම එන්නැයි අණ කරති. වෙසක් උත්සවයේ සුදානම දැන් පිමි පනිමින් ඉදිරියට යයි. අපේ කාර්යාලයටත් අලුතින් ලොක්කෙක් ආවේ ඊට මාස කීපයකට පෙරය. අලුත් ලොක්කාද මේ වගේ මහ පරිමාණයේ උත්සව වලට බොහෝ කැමැත්තක් දැක්වූ අයෙක් වීම නිසා පොඩි හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට ඔහුගේ පූර්ණ සහයෝගය ලැබිණි. වැඩ සටහන ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට එන නිවේදකයාට ගුවන් ටිකට්පත් ලබාදීම ප්‍රශ්නයක් වී තිබියදී ලොක්කා වහාම ඒ සඳහා අනුග්‍රහය දෙන්නට ඉදිරිපත් විය.

අපේ හිටපු ලොක්කා ඉතා හොඳ මහත්මයෙකි. ඒ වුණාට වැලට සිගරැට් බොයි. නිදියගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම සිගරැට් එක කටේ ගහගත්තු ගමන්මය. උදේට කාර්යාලයට එන්නේ සිගරැට් බන්ඩල් එකකින් බාගයක් අරගෙනය. දවල් කෑමට ගෙදර යන්නේ ඒ ඔක්කොම බීලා ඉවර කරලාය. හවසට සිගරැට් බන්ඩලයේ ඉතිරි බාගය අරගෙන එයි. නිල නිවසේ තනිවම ජීවත්වූ අලුත් ලොක්කා වඩා කැමති විස්කි බොන්නටය. පරණ ලොක්කා සිගරැට් බොනවා වගේම අලුත් ලොක්කා නිදාගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම විස්කි බොයි. ඒ බොන්නෙත් අපි වගේ වීදුරුවකට වක්කරගෙන සෝඩා කලවම් කරගෙන නොවේ, රෙඩ් ලේබල් බෝතලය කටේ තියාගෙනය. දවසක් අපේ මහජන සම්බන්ධතා නිලධාරියා වූ නාගේශ්වරන් කාර්යාලයේ ගෝලයා වූ කරුපයියාට කතාකළේය. දෙමළෙන් කළ කතාවේ සිංහල පරිවර්තනය මෙහෙමය.

” කරුපා, ලොකු මහත්තය හැමදාම හවසට බෝතලේ කටේ තියාගෙන විස්කි බොනවා, අද හවසට ගිහිං මහත්තය බොන තැන සෝඩා බෝතලයක්, වතුර බෝතලයක්, වීදුරුවක් එහෙම තියපන්. ඔහොම අමුවෙන් විස්කි බොන්න හොඳයැ.”

” හොඳයි ෂර්” කියා කරුපා පිටත්ව ගියේය. මේ කතාව මමත් අහගෙන හිටපු නිසා පහුවදා වැඩට ගිය විට කරුපාට කතාකර විස්තරය ඇහුවෙමි.

” ඈ කරුපා, ඊයෙ ගිහිං ලොකු මහත්තයට සෝඩා, වීදුරු එහෙම දුන්නද?”

” අයියෝ ෂර්, හරි වැඩේනෙ උනේ.”

වෙච්ච දේ මට හිතාගත හැකිය. පැලෙන්නට හිනාව ආවත් අමාරුවෙන් තදකරගෙන හිටියේ විස්තරය කරුපාගේ කටින්ම අහගන්නටය.

” ඇයි, මොකෝ ලොකු මහත්තය සෝඩා එපා කිව්වද?”

” නෑ නෑ මම ගිහිං එළියෙ ස්ටූල් එක උඩ වීදුරු, සෝඩා, වතුර බෝතල් එහෙම තියල බලාගෙන හිටියා. ලොකු මහත්තය විස්කි බෝතලේකුත් අරන් උඩ ඉඳල පහළට බැස්සා. මමත් ඈතට වෙලා බලාගෙන හිටියා. අර මම තිබ්බ වීදුරු,බෝතල් දැක්ක විතරයි කෑ ගහන්න ගත්තා. වට් ඊස් දිස්, හූ කෙප්ට් දිස් ෆකින් ග්ලාසස් ඇන්ඩ් සෝඩා, ත්‍රෝ දීස් බ්ලඩි බොට්ල්ස් අවේ, කියල අර වීදුරු,බෝතල් ඔක්කොම වීසි කරල විස්කි බෝතලේ කඩල කටේ තියාගෙන චූස්, චූස්, ගාල බීගෙන බීගෙන ගියා.( ලොක්කා බෝතලේ කටේ තියාගෙන බීපු ආකාරය කරුපා රඟපා දැක්වීය) මම හෙමිහිට කුස්සිය පැත්තෙ ගේට්ටුවෙන් එළියට පැනගත්තා.”

මට හිනාව නවත්වා ගන්නට බැරිවිය.

” හිනා තමයි, තව පොඩ්ඩෙන් මමත් ගුටි කනවා, ආයෙ නම් නාගේෂ් මහත්තයගෙ ලණු කන්නෙ නෑ”යි කියමින් කරුපා යන්නට ගියේය.

මහාබෝධියේ වෙසක් උත්සව කමිටුව අපේ අලුත් ලොක්කාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් රැස්වී වැඩවල ප්‍රගතිය සාකච්ඡා කරයි. ආදී කාලයේ පටන් ලොක්කාගේ හොඳම හිතවතෙකු වූ අර්ජුන කමිටුවේ ලේකම්ය. එක රැස්වීමකදී අර්ජුන කීවේ මුළු උත්සවයම රූපගත කොට වැඩ සටහනක් ලෙස ප්‍රචාරය කරන්නට රූපවාහිනී සංස්ථාවට යැවිය යුතු බවය. ලොක්කා ඒ වැඩේටත් එක පයින් කැමැත්ත දුන්නේය. දැන් වෙසක් උත්සවය ළඟ ලඟම එයි. වෙසක් එකට දින දෙකකට පමණ පෙර හාමුදුරුවෝ ලෑස්ති කර ගත් නැටුම් කණ්ඩායමද, ලංකා මහාබෝධියේ නියෝජිතයා ලෙස සමන්ද, ලක්හඬ ගුවන් විදුලියෙන් රවිමල් හඳුවලද චෙන්නායි නගරයට පැමිණ මහාබෝධියේ ලැගුම් ගත්හ෴

හැලපයා

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල