අතීතකාමය, අධ්‍යාපනික, විචාර

සැවුළු සංහාරය – පස්වෙනි කොටස

0

‘දුවන පුහුල්’ එක්කයි, කළුකුම්ලා එක්කයි විතරද මිනිස්සු තරහ ?

ඔන්න,ටික දවසක් තියෙනවා උත්තර හොයන්න ! එහෙමයි ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ.

ඉතින් උත්තර හෙව්වද?

මිනිස්සු හිතන විදිය ගැන කියන්න පුළුවන් කාටද?

ඇත්තට වෙනමම විශේෂ අධ්‍යයනයක් කරන්න වටිනවා මිනිස් චිත්ත සන්තානයේ හැටි ගැන. මේ සත්ත්ව කරුණාව සම්බන්ධයෙන්. හරකා, ඌරා, මුවා වගේ සතුන්ගේ මස් කන අයත්, ගොවියන්ට වින කටින තරමටම බෝවෙලා තියෙන වඳුරන්ගේ මස් කනවට විරුද්ධයි. කුකුළු මස් කන ගොඩක් අයත් මොනර මාළු කන්නෙ නැහැ. ඔය කිව්ව මොන මසක්වත් නොකන අය මාළු කනවා, බිත්තර කනවා.

ඒ සේරම ජාති නොකන පට්ට වෙජිටේරියන්ලා වැඩි හරියක් මිනිසුන්ව නොමරා මරණ තරම් කුහකයෝ ! කොහොමත් පිටින් උපාසකකම් පෙන්නන වැඩිම දෙනා ළඟ කුහකකම් වැඩි බවයි මං දැකලා තියෙන්නේ. සමහරවිට ඒ මට හමුවුණු අයගේ හැටි වෙන්නැති. ඒක පොදුවේ හැමොන්ටම ආදේශ කරන්න පුළුවන්ද මන්දා !

සතෙක් ලොකු වෙන්න-වෙන්න ඌට මිනිසුන්ගෙ හිතේ තියෙන කරුණාව වැඩිවෙනවා. සතා පුංචි වෙන්න-වෙන්න ඒ කරුණාව අඩු වෙනවද. එක වේලකට කෙනෙක් හාල්මැස්සන් කෑමට ගන්නවා නම් අඩුම තරමින් හාල්මැස්සන් 15-20 ක්වත් කනව නේ. ජීවිත ගණනින් බැලුවොත් කීයක්ද ? හාල්මැස්සෝ – කුකුළෝ මැරුවට කමක් නැහැ; හරක් මරණවට විරුද්ධයි ! මොකක්ද ඒකෙ තියෙන logic එක ? තර්කානුකූලකම ?

හාල්මැස්සෝ මැරුවාම අඩුවෙන්ද පව් සිද්ද වෙන්නේ ?

ඔය හරක් මරනවාට විරුද්ධ පිංවතුන් සමහර වෙලාවට තව අහිංසකයනුත් සම්මාදම් කරගෙන දහස් ගණනක් එකතු කරලා ‘මරන්නට නියම වූ ගවයෙක් නිදහස් කරගැනීමේ’ පුණ්‍ය කටයුත්තක් කරනවනේ. ඒ ගැන අමතක නොවෙන අත්දැකීම් කිහිපයක්ම මට ලැබුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙදියි.

ඔව්, ඔව්. මාදුළුවාවේ සෝභිත හාමදුරුවන් වහන්සේගේ පන්සලේදී තමයි. ‘මංජුලගේ මරියාට මම පැටලුණෙමි’, ‘කෙළින් සනා’, ‘නැණ ලැබ ගත්තෙමි’ වගේ පෝස්ටුවලදී ටික-ටිකනෙ මගේ ප්‍රින්ටින් ජීවිතේ කීවේ. ශ්‍රී නාග විහාරයේ, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු විදියට හත් අවුරුද්දක් තිස්සේ ලබපු අත්දැකීම්වලින් එකක් තමයි මේ. (අනෙක් ඒවා ගැන වෙනමම ලියන්න වෙනවා, ඉදිරියේදී)

ඉතින් අර පින්වන්තයෝ දහස් ගණන් ගෙවලා මරණයෙන් මුදා ගන්න ගවයන් ඉන්නේ කොහෙද, කන්න-බොන්න දෙන්නේ කවුද වගේ ප්‍රශ්නවලට මුලදීම උත්තර හොයන්නෙ නැතිවද මන්දා. ශ්‍රී නාග විහාරයටත් එහෙම හරක් ගෙනත් දමන්න මුලින්ම තීරණය කරලා තිබුණද කියලත් මං දන්නේ නැහැ. ගෙනත් දැම්මා ! රංචු පිටින් නෙවෙයි. වරින්-වර, එකා-දෙන්නා !!

මං දැකපු හැටියට නම් සෝභිත හාමුදුරුවන් වහන්සේ හරිම ලේසියෙන් ‘ගැටවලට’ අහුවෙනවා, ‘බිල්ලට යනවා’. මේ 1992 ට කලින් මං දැකපු දේවල් අනුවයි. ඊට පස්සේ දේවල් ගැන මං කොහොමද දන්නේ, මං ප්‍රෙස් එකෙන් අස් වුණානේ.

මේ ‘හරක්’ ප්‍රශ්නෙදීත් උන්නාන්සේගේ චේතනාව ඉතාම යහපත් එකක් වෙන්නැති. හරකුන් ගෙනත් දැම්මට කවුද උන්ව බලා ගන්නේ ? උන් මොනවද කන්නෙ ? උන් මොනවද බොන්නේ ? අඩු තරමින් තණකොළ ටිකක්….. පුන්නක්කු ටිකක් ? මොකෝ උන් හම්බ කරන් කනවයැ ?

මං දැක්ක හැටියට නම් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේත් හරි ලේසියෙන් …………..

ප්‍රෙස් එකේ රාජකාරි කරනවා මිස දවස තිස්සේ ඔව්වා හොයා-බලන්න මට ඉඩක් තිබුණේ නැහැ. ඒත් (දැන් ධර්ම ශාලාව තියෙන හරියේ, එතකොට තිබුණු පොල්වත්තේ) උදේට අපි වැඩට යද්දී පොල් ගහක බැඳලා ඉන්න හරකෙක් හවස් වෙනකල්ම කාගේවත් හවුහරණයක් නැතිව ඉන්න හැටි දකින්න නම් මට ඉඩ තිබුණා. හරකට උලාකන්න නම් තිබුණේ ලණුව දිග හරියේ බාගෙට වේලිච්ච තණකොළ විතරයි. අනේ, ඌ හිටියේ බාගෙට හාමතේ. ඒ හරියේ පයිප්ප තිබ්බෙ නැහැ. තිබුණත් හරකෙකුට පුළුවනැයි කරාම ඇරගන්න.

උගේ දිය තත්තෙට පිහිට වුණේ අපි. අපය කිව්වේ කුමුදු, ඒකනායක, නෙවිල්, වසන්ත, විජිත, ප්‍රියන්ත වගේ ප්‍රෙස් එකේ පුහුණුව ලබමින්, වැඩ කරමින් හිටි කෙනෙක්. එයාලා වතුර බාල්දි ගණනින් හරකුන්ට ඇද්දේ කවුරුන්වත් කියලා නෙවෙයි. උන් ගැන කරුණාවෙන්. මගේ දර්ශනය නම් උන්ව නිදහස් නොකර මැරෙන්න ඇරියා නම් වඩා හොඳය කියන එකයි !

ඒ කාලේ පන්සලේ හිටි, එතකොට උපසම්පදා වෙලාවත් නොහිටි, උඩහමුල්ලේ රේවත – වතුරුවිල සිරි සුජාත – උඩුවේ ධම්මාලෝක වගේ හාමුදුරුවන් වහන්සේලාත් මෙව්වා දැක්කද, දැකලා මොනවා හිතුවද මන්දා ?

මට අනුව නම් ‘දිගටම දුක් විඳිමින් ඉන්නවාට වඩා මරණය සැපක්’ ! ගොඩ වෙලාවට අපි මරණය දුකක් විදියට හිතනවා. ඒත් මේ පින්තුරය බලන්න. මේ උස්සගෙන යන්නේ මිනී පෙට්ටියක්. විසිතුරු; ප්‍රීතිමත් අවමංගල්‍ය උත්සව ඝානාවේ සුලභ දෙයක් !

මරණය දුකක් නම් මෙච්චර විසිතුරු මිනී පෙට්ටි…………..

අපේ අජිත් මල්ලී ඇති කරමින් හිටි කළුකුම්ලට, ගිනිකුකුළන්ට, තාරාවන්ට, කුකුළන්ට නම් පින තිබුණා හිතේ හැටියට හතර වටේ ගිහින්, පහුරු ගාලා කෑම හොයාගන්න. අජියාත් උන්ට කුකුළු කෑම දුන්නා. හැබැයි, උන්ටත් තහංචියක් තිබුණා. තිරිසනුන්ට මොළයක් තියෙනවාය තහංචි මතක තියාගෙන ඉන්න.

ඒත් උන් අකීකොරු වෙච්ච ගමන් ඕවිටේ සොපිහාමි; කොටුවේ ආච්චි (අනේ කොටුවේ ආච්චිත් නිවන් දකින්න ඕනේ. උදලු ගාන තණකොළ එක්ක තිබ්බ මුකුණුවැන්න ටික තෝරලා අරන් විකුණගන්න මට ඉඩ දුන්නේ එයා. ඉස්සෙල්ලාම මට ‘මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද’ව හඳුන්නලා දුන්නේ එයාගේ පුතා චන්ද්‍රසේන. මතකයිද, ඒවා ‘අජාසත්ත – 3’ පෝස්ටුවේ තිබුණා) අපේ ආච්චිට නඩු කියන්න ආවා.

“බලනවකො ඕයි. අදත් මේ වසංගතේ ඕවිටට පැනලානේ. සේරම පහුරු ගාලා. අනේ ඕයි….. අජියට කියනවකො…….”

එහෙම වෙලාවටය අපේ ආච්චී අපේ අම්මාට ‘වේස’ පට්ටම දෙන්නේ. “මං කොච්චරවත් කියනවා සොපිහාමි අපේ මේ වේසිගෙ පුතාට. කෝ කිව්වට අහනවයැ ? මුන්ව කූඩුවේ තියාගෙන කන්න දීපිය කියලා….” බණින්නේ කාටවත්. වැදෙන්නේ තව කාටවත්. ඒ වගේමයි, අර බනින ටෝන් එක කොටුවේ ආච්චිගේත් හොම්බටම අනිනවා වගෙයි.

(ඒ නැන්දම්මයි ලේලියි; ඒ කියන්නේ අපේ ආච්චියි-අම්මයි දෙන්නම තකට-තක. ගල් ආඳියෝ ! අපේ family හිස්ට්‍රි එකේ කොයියම්ම වෙලාවකවත් ඒ දෙන්නා එළිපිට වලි දාගෙන නෑ. ඒ වගේමයි, මං කලිනුත් කිව්වා වගේ ඔච්චර නීතිකාර, දරදඬු, කෙළින් මනුස්සයා වෙලත් අපේ තාත්තට මැරෙණකල්මත් බැරිවුණානේ ආච්චිලටත් එක්ක එක බත් හැළියක් අපේ ගෙදර උයවන්න. මං කිහිප සැරේ කිව්වත් එක්ක. අපේ තාත්තා ආච්චිලගේ එකම පුතා වෙලත්, ගෙවල් දෙකම එක මිදුලේ තිබ්බා වුණත් ඒ වැඩේ කෙරුණේ නැහැ. ඒක නම් අපේ අම්මාගෙ හපන්කමය කියලයි මට අදත් හිතෙන්නේ)

එහෙම කොටුවේ ආච්චිගේ සම්ප්‍රාප්තියක් සිද්ද වුණාම සතුන් සේරම දවසක් දෙකක් නිවාස අඩස්සියේය.

බොහෝ විට තුන්වෙනි දවසේ උන් නිදහස්ය. දැන්ය මට වැටහෙන්නේ, සමහරවිට එහෙම ගෝරියක් වැටුණු දවසක අපේ අජිතයා ඔරොප්පු මූඩ් එකක හිටියා වෙන්නැති. ‘හොයන්න දෙයක් නැහැ. ගෙදර කුකුල්ලු විතරක් නෙවෙයි, කළුකුම්ලත් ඉන්නේ.’ කියලා කිව්වේ, රබන් ගහලා ගමටම කියන්නා වගේ මහ සද්දෙන්.

රබන් ගහලා ගමටම කියනවා වගේ මහ සද්දෙන්…………

මිනිහා අනුමැතිය දුන්නත් කොහොමද උන්ව මරන්නෙ නැතිව මස් කරන්නේ. මගේ පුරුද්ද ප්‍රශ්න කල් දමමින් ඉඳීම නොවේ. එවෙලේම නිරාකරණය කරගැනීමය. “තමුසේ කිව්වට කොහොමද උන්ව මරන්නෙ ?”

දිසානායක හේවගේ චාර්ල්ස් නොහොත් අපේ සීයා පවුලේ ‘කැබිනට් මණ්ඩලය’ට එයි. (වැඩිමලාත් එයානේ) හැබැයි වැඩියෙන් කතා නොකරයි. කතා කළත් බොහෝ විට අනෙක් අයගේ අවධානය ලැබෙන්නේ නැත. (සලකන්නේ මැටි-පොල්කුඩු ගණනටය) ජාතික ලැයිස්තුවෙන් පත් කරන අයටත් ඊට වඩා සැලකිලිය. ඒත් එදා මගේ ප්‍රශ්නය ඇහුවාම නම් සීයා කතා කළේය. ඒ අනෙක් හැමෝම නිහඬව හිටි නිසා වෙන්නැති.

“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව මස් කරවා ගත්තැකි !”

“එතකොට ඉවරයිනේ.”

“එහෙම කොහොමද ඉවර වෙන්නේ ?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ කතාව නොතේරී නොවේ !

“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම් !” සීයාම උත්තර බැන්දේය.

උදේ හවා බුදුන් පුදන මහෝපාසිකා අපේ ආච්චීත්, මහෝපාසක අපේ අජිතුත් ‘මුඛ බන්ධනය’කට අහුවෙලාය. අනෙක් අයත් ඒ බෝට්ටුවෙමය. නිහඬව ඉන්නවා කියන්නේ ‘තූෂ්ණිම්භූතව’ ඉන්නවා කියනේකය.

තුෂ්ණිම්භූතව වැඩ හිඳිනවාය කියන්නේ ………….

“නිමල් අයියේ, හරිම ලස්සනට බණ පොත්වල පාවිච්චි කරලා තියෙන එකක් තමයි තූෂ්ණිම්භූත කියන වචනේ. බුදුහාමුදුරුවෝ මොකකට හරි අකැමැති වුණත්, කැමැති වුණත් කළා වගේ පෙනෙන්නේ ‘තූෂ්ණිම්භූතව වැඩ සිටීම’.”

අපේ අල්ලාප-සල්ලාපයකදී සුමිතුරු අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය. එදාය මාත් මේ තත්ත්වය හරි හැටි හිතන්නට ගත්තේ.

මූ ණා බක බැකිසියට අනුරාග දෙතී
ලේ නා එදැක වඳුරෙකුහට කියයි නිතී
තේ නා මාමෙ බකුසා රජ වුවත් ඉතී
ඌ නා රිති උගේ මුහුණේ බකුසු ගතී

කියලා කවියකිනුත් කියන්නැහේ, තත්ත්වේ තේරුම් ගත්තත් මට නම් ඔය ‘තූෂ්ණිම්භූතව ඉඳිල්ල නං අරහංය’. හැබෑට, යමක් දැක්කම කට පොපියනවා. ඉතින් කොහොමද පියාගෙන ඉන්නේ ? පුරුදු ගතිය ඉස්සරහට එනවා-එනවාමයි.

ඔය දවස් වෙද්දී රෝහිණී අක්කාටත් එයාගේ පුරුදු ගතිය ඉස්සරහට ඇවිත් තිබුණා. “ඔන්න නිමල් මල්ලී, මං ගෙදරත් කලර් වොෂ් කෙරෙව්වා. හරි නැහැනේ මල්ලී….. පරණ පාටට තිබුණාම. අපේ එකාටනේ හොඳ මදි.”

ඉස්සෙල්ලාත් කිව්ව විදියටම ලොකු ජයසූරිය අයියාත් ‘ඔව් නෝනෙ’ කියලා අනුමත කරන්නට ඇත. එහෙම කළාය කීවාට ඒ සඳහා රෝහිණී අක්කලා අපෙන් සත පහක්වත් නොගන්නා බව සහතිකය. ඇත්තම කිව්වොත්, එහෙම තීන්ත ගෑවාට වියදම් ඉල්ලුවත් දෙන තරම් හයියක් අපට ඒ දවස්වල තිබ්බෙත් නැත. අපට සිද්ධවී තිබුණේ ‘කඩුල්ලේ තරම දැනගෙන කද බඳින්නට’ය.

මූණා බක බැකිසියට අනුරාග දෙතී…………….

ඔහොම විය-පැහැදම් කළත්, ලංකාවේ ඉන්නා තාක් කල් රෝහිණී අක්කලා හිටියේ කුලී ගෙවල්වලය. හැමදාම වගේ එයාලට ‘අය’ට වැඩියෙන් තිබුණේ ‘වැය’ය. නිදහසෙන් ටික කාලෙකට පස්සේ අපේ ආණ්ඩු සේරටම හැදුණු මහා භයානක; දුස්සාධ්‍ය අසනීපයත් ඒකමය. අය ශීර්ෂයට වඩා වැය ශීර්ෂය ලොකුය. අපේ රටේදි වගේම ඉතාලියෙදිත් ඔයාලගෙ ගෙදරට තවම ඒ ලෙඩේ තියෙනවද රෝහිණී අක්කේ ?

ඒ විදියට රෝහිණී අක්කා මානෙල් නංගිගේ මංගල්ලයේ කටයුතුවලින් භාගයකට සිය කැමැත්තෙන්ම කර ගැහුවා වගේම හිටි හැම ගෙදරකම, වැඩවලින් වැඩි හරියකටමත් කර ගැහුවාය. ගෙවල් හිමියෝ වැඩි දෙනෙක්ම එයාලට ගෙවල් කුලියට දෙන්නට හරි කැමැත්තකින් හිටියෝය. කුලියට හිටි ඕනෑම ගෙදරකින් යන්නට පෙර, රෝහිණී අක්කා එයාගේ වියදමෙන්ම ගෙයි තීන්ත ගාවයි !

එච්චර මරි-වැඩ කරන ජෝඩුවක් මෙච්චර කාලෙකට මං නම් දැකලා නැත.

අනේ, අපට එතරම් උදව් කරලත් එයාලගේ වැඩ ගැන මට තූෂ්ණිම්භූතව ඉන්නට බැරි හැටි. ඉතින් අපේ සීයා “ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම් !” කීවාමත් මගේ හිතමිතුරු ආලවකයා මගේ හිස මුදුනටම; කරටියටම නැංගේය ! අපේ ගෙදර අය නම් ඒකට කිව්වේ ‘මූලග්ගින්න තද වෙනවා’ කියලාය. සීයාත්, තාත්තාත් දෙන්නාටම ඒ අසනීපය තිබුණු නිසා මටත් ඒක දායාද වෙලාය කියලා එයාලා හිතන්නැති ! තිස්සෙම හැදුවේ මට ‘කටු පිටින් කොහිල අල’ ගිල්ලවන්නටය.

එයාලා කිව්වේ මට කටු පිටින්ම කොහිල අල දෙන්නට ඕනෑය ………….

ඒ තියා මගේ ගොඩක් යහළුවන් තවම හිතන්නෙත් ඒ විදියටය ! මගෙ මොකෝ !! හිතන දෙයක් හිතා ගන්න ඇරලා ඊළඟ කොටහට යන්නම්, හොඳේ !!!

නිදිගෙ පංච තන්තරේ

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල