අධ්‍යාපනික, ඉතිහාසය

ටෙක්සාස් හරක් පට්ටි

0

දහස් ගණනක ගව පට්ටි තැනිතලාව හරහා දක්කාගෙන යාම, ඇමෙරිකන් සිවිල් යුද්ධය අවසානයත් සමඟ 1866 දී පමණ පටන් ගත්තකි. නැගෙනහිර පළාත්වල හරක්මස් සඳහා දැඩි ඉල්‍ලුමක් තිබියදී ටෙක්සාස් පැත්තේ ගවයන් බහුල වශයෙන් ඇතිදැඩි කිරීම නිසා එකෙක්ගේ මිල ඩොලරයක් තරමට ගණන් බැස තිබුණි.

එවකදී ඇමෙරිකාවේ මේ දකුණු ප්‍රදේශයට රේල් මාර්ග පහසුකම් නොතිබුණි. ඒ නිසා ටෙක්සාස්හි ගව පරිපාලනයේ යෙදුන ගොවීන් ඔවුන් ඇතිදැඩි කළ ලෝන්ග්හෝන් ගවයන්ද කැටුව රේල් පහසුකම් පැවති උතුරු පළාත් වෙතට යන්නට වූහ. මෙය විශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිරෙන ප්‍රාන්තයකි. එසේම කිසිවෙකුත් ජීවත් නොවූ පැතිවල ගමන්බිමන් සඳහා පහසුකම් නොවිණ. ඉතින් තැනිතලාවෙ ගවපට්ටි දක්කන ක්‍රමය “කැට්ල් ඩ්‍රයිව්” යැයි හැඳින්වෙන්නට පටන් ගැනිණ.

කැන්සාස්වල ඇති විචිටා, ඩොජ්, ඇබිලේන් යනාදී නගර මෙසේ රැගෙන එන ගවයන් ගාල් කරන, විකුණන, රේල්ලුවට පටවන යනාදී කටයුතු සඳහා ප්‍රධානත්වය ගත් ගව නගර (cow towns) වූහ. චිසම් සහ ගුඩ්නයිට්-ලවින් යනාදී නම්වලින් ඒ ගවයන් රැගෙන යන තැනිතලා පාරවල් හැඳින්විණ.

ඉතින් ඇමෙරිකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල එතෙක් පැවති යුරෝපීය හරක් වර්ග භාවිතය වෙනුවට අඩු මිලට ටෙක්සාස්වලින් එන ලෝන්ග්හෝන් හරක්මස් අලෙවිය වැඩිවිය. අධිවේගී මාර්ගයේ මෙන්ම කුඩා අතුරු පාරවල්වල යද්දීද තැනිතලා යායන්හි නිදැල්ලේ ඉන්නා ලෝන්ග්හෝන් ගවයන් අදත් දැකිය හැකිය.

ටෙක්සාස් වෙතින් 1885 වෙද්දී ලෝන්ග්හෝන් ගවයන් මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් එසේ උතුරු ප්‍රදේශවල රේල්ලු වෙතට දක්කාගෙන ගියා යැයි වාර්තා වෙයි.

1856 සිට 1896 දක්වා කාලය තුලදී ටෙක්සාස්වලින් ගවයන් මිලියන 27 කට ආසන්න සංඛ්‍යාවක් උතුරින් පිහිටන ආර්කන්සා ප්‍රාන්තයට මෙසේ දක්කාගන යන ලදැයි සැලකේ.

හැම “කැට්ල් ඩ්‍රයිව්” (cattle drive) එකකටම අරක්කැමියෙක්ද විය. ගව පට්ටි හසුරුවන මූලිකයාට පසුව මෙහෙයුමේ දෙවැනි වැදගත් පුද්ගලයා ලෙසට සැලකිල්ලට පාත්‍ර වූයේ අරක්කැමියායි. අනිකුත් අයට කළින් හිමිදිරි උදෑසන තනිවම ඔවුන් එන මාර්ගයේ පිටත්වී යන ඔහුගේ ගැල් කරත්තය හැඳින්වුනේ “චක් (chuck) වැගන්” කියායි. එයින් බෙදන ආහාර හැඳින්වුනේ “ග්‍රබ්” (grub) හැටියටයි. ගවයන් දක්කන අනෙකුත් කව්බෝයිස්ලා අරක්කැමියාගේ ඉඳුම්‍ හිටුම් සකස් කරදීම පමණක්‍ නොව ඔහුගේ අශ්වයන් සහ බූරුවන් ගැනද සොයා බැලූහ.

ඒ අරක්කැමියෙක් සාමාන්‍යයෙන් කව්බෝයිස්ලා 100 කට පමණ පිරිසකට එළිමහනේ ආහාර වේල් 3 ක් උයති. හැම දවසක්ම ඇරඹෙන්නේ ඊට කළින්දා ගෙවන ලද තැනෙන් ඈතක පිහිටි ස්ථානයකයි. හැම වේලක්ම උයන්නේ සහ බෙදන්නේ ගැල්‍කරත්තයේ පිටුපසිනි.

නැවුම් එළවළු සහ පළතුරු කිසිත් ආහාර වේලක දකින්නට නොලැබුණි. කෝපි පානය හැම වේලකටම එකතු වූ අතර විවිධ බෝංචි වර්ග විවිධාකාරවලින් උයන ලදි. හරක්මස් සහ පාංපිටිවලින් හදන බිස්කට් යැයි හඳුන්වන කුඩා පාන් කැබලි දිනපතා කන්නට ලැබුණු ආහාරය විය. ඉඳහිට ටින් කරන ලද පීච් ඔවුන්ගේ අහාරයට එකතු කර ගැනිණ. ටින් කරන ලද තක්කාලිවලින් ඔවුන්ගේ විටමින් සී ඌනතාවය පියවා ගන්නා ලදි.

සෑම චක් වැගන් එකකම පැත්තකින් කෝපි කුඩුකරන මෝලක් එල්ලාගෙන යන ලදි. කෝපි ඇට ගෙන යන ලද්දේ රාත්තල් 100 ක ගෝනිය බැගිනි.

අරක්කැමියා සතුව මස් අඹරන මෝලක්ද විය. දක්කාගෙන යන පට්ටියේ ගවයෙක් මරා උයන ආහාරය ‘බැල්ලිගෙ පුතාගේ ඉස්ටුව’ (son of a bitch stew) නමින් විය.

1873 ඉලිනොයි ප්‍රාන්තයේ ඩ කැල්බ් කවුන්ටියේ කෘෂිකාර්මික සංදර්ශනයකදී කටුකම්බි වෙළඳපොලට හඳුන්වා දුනි. ඉඩම් අයිතිකරුවන් සිය භූමිය වටකර කටුකම්බි ගැසීම පටන් ගත්හ. 1886-1887 හේමන්තයේ මහා තැනිතලාවට ගසා ආ හිම කුණාටුව හමුවේ මංමුලාවූ හරක් පට්ටි හැර ගොස් කටුකම්බි ගැසූ ඉඩම්වල හිරවූහ. හිම දියවී යද්දී කටුකම්බි අසල සීතලට ගල්වී මිය ගිය ගවයන් දහස් ගණනක් දකින්නට ලැබිණ. එය මහා මිය යෑම (The Big Die-Up) යැයි හැඳින්වේ.

තවමත් එළිමහනේ හරක් දක්කාගෙන යෑම සිද්ධ වේ. ඒත් අතීතයේ සිදු වූ තරම් මහා පරිමාණයෙන් සහ එතරම්‍ දුර බැහැරකට නොවේ.

මෙම සටහනට එකතු කරන ඡායාරූපය කව්බෝයිස්ලා නැඟ ගිය අශ්වයන් හෝ ඔවුන් දක්කාගෙන ගිය ගවයන් නොවේ. මෙය කුඩා නගර චතුරශ්‍රයක බූරුවන් සඳහා ඉදිකරන ලද ස්මාරකයකි. ගව පට්ටියක රැගෙන යන බූරුවා යනු ඉතා අඩු වියදමකින් එහි යන සියල්ලන්ටම අනතුරුදායක තත්වයක් ගැන පළමුවෙන්ම ඇඟවීමක් ලබාදෙන සත්වයායි.

අරුණි ශපීරෝ වෙතින්

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල