අධ්‍යාපනික, ඉතිහාසය

දිවෙහි උච්චාරනය​

Off

දිවෙහි හෝඩිය “ශුද්ධ දිවෙහි” සහ “මිශ්‍ර දිවෙහි” කියල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. “ශුද්ධ දිවෙහි” අකුරු 25කින් සමන්විතයි. “මිශ්‍ර දිවෙහි” අකුරු 14 කින් සමන්විතයි. මිශ්‍ර දිවෙහි අකුරු වෙනත් භාෂා වලින් (වැඩි වශයෙන් අරාබි) ආපු ශබ්ධ​. ශුද්ධ දිවෙහි අකුරු ස්වදේශීය දිවෙහි ශබ්ධ නිරූපනය කරනවා. මේ ව්‍යංජනාක්‍ෂර වලට අමතරව ප්‍රාණාක්‍ෂර සඳහා යොදා ගැනෙන පිල්ලම් හෙවත් “ෆිලි” 11 කුත් දිවෙහි හෝඩියේ තියෙනවා.

ශුද්ධ දිවෙහි අකුරු උච්චාරනය​

ශවියනි
ශවියනි අකුර පැරණි දිවෙහි බසේ උසුරුවන්නේ “ශ​” හඬට “ර​” හඬක් මුසු කරමින්. එහිදී “ශ​” හඬ නැගීමට පළමුව දිව උඩු තල්ලේ ගැටීමක් සිදු කරනවා. නමුත් වර්තමානයේදී මේ උසුරුවන ක්‍රමය මදක් වෙනස් වෙලා ශවියනි හඬ නගන්නේ “ශ​” විදිහට​. නමුත් “ශි” සහ “ශෙ” ලෙස උසුරුවද්දී “ර​” හඬ මුසු කිරීම කෙරෙනවා.

රා
රා අකුර උසුරුවන්නේ “ර​” විදිහට​. ඒක ඉංග්‍රීසි “R” වගේ මෘදු විදිහට නෙවෙයි හඬ නංවන්නේ – සිංහල “ර​” වගේ බර දීලා.

ළවියනි
ළවියනි හඬ නැගීමේදී “ට” සහ “ඩ​” හඬ නැගීමේදී වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කිරීමක් කෙරෙනවා.

ණවියනි
ණවියනි හඬ නගද්දිත් “ට” සහ “ඩ​” වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කරන්න ඕනෙ.

zසවියනි
zසවියනි උසුරුවන්නේ ඉංග්‍රීසි “Z” අකුරට සමානව​.

මිශ්‍ර දිවෙහි අකුරු උච්චාරනය​

මිශ්‍ර දිවෙහි අකුරු බොහොමයක් අරාබි භාෂාවෙන් ආපු ශබ්ධ​. මේවා බොහෝ විට යොදා ගැනෙන්නේ ඉස්ලාමයට සම්බන්ධ අරාබි වචන සහ යෙදුම් වලදී. ඒ නිසා එදිනෙදා කතාබහේදී මේවා යොදා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම මේ අරාබි ශබ්ධ ඒ ආකාරයෙන්ම හඬ නැගීම දිවෙහි රාජ්ජේ වැසියන්ට අපහසුයි. ඒ නිසා ඔවුන් බොහෝ විට ඒවා උසුරුවන්නේ තරමක් වෙනස්ව​.

ෆිලි උච්චාරනය​
ෆිලි යොදාගන්නේ ව්‍යංජනාක්‍ෂරයක්ට ස්වරයක් එක් කරන්න (උදා : ක්+උ=කු). ප්‍රානාක්‍ෂරයක් ලියද්දි යොදාගන්න විශේෂ අකුරක් තියෙනවා. ඒක හඳුන්වන්නේ “අලිෆු” කියලා. අලිෆු ට ෆිලි එක් කිරීමෙන් ප්‍රානක්‍ෂරයක් නිරූපනය කරන්න පුළුවන්.

އަ සහ އި එකට යෙදෙනකොට උසුරුවන්නේ එක්කෝ “අයි” විදිහට​. නැත්තම් “ඇ” විදිහට​.

සුකුන්
සුකුන් කියන්නේ “හල් කිරීම​” සඳහා හොදාගන්න අකුර​. සුකුන් උච්චාරනය කිරීම තරමක් සංකීර්නයි. සුකුන් සමඟ යෙදෙන ව්‍යංජනාක්‍ෂරය අනුව වගේම ඒත් එක්ක යෙදෙන අනිත් අකුරු අනුව සුකුන් උසුරුවන් හැටි වෙනස් වෙනවා.

දිවෙහි භාෂාවේ රීතිවලට අනුව සුකුන් යෙදෙන්නෙ අකුරු පහකට පමණයි.
1. අලිෆු සුකුන් (އް)
2. ශවියනි සුකුන් (ށް)
3. තා සුකුන් (ތް)
4. නූනු සුකුන් (ން)
5. සීනු සුකුන් (ސް)

අලිෆු සුකුන් (އް)
1. වචනයක අවසානයේදී අලිෆු සුකුන් යෙදෙන විට ඊට මුලින් යෙදෙන අකුරේ හඬ එක වරම නැවතීමක් කෙරෙනවා (glottal stop).
උදා :
އެކެއް – එකෙʔ
2. වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙන විට ඊට පස්සෙ එන අකුරේ ශබ්ධය ද්විගුණ වෙනවා (gemination).
උදා :
ބައްޕަ – බප්ප​
3. නමුත්, වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙද්දි පසුව එන අකුර ප්‍රාණාක්‍ෂරයක් හෝ “හ​” නම් අලිෆු සුකුන් උසුරුවන්නේ “ං” විදිහට​.
උදා :
އެއްހާސް – එංහාස්

ශවියනි සුකුන් (ށް)
ශවියනි සුකුන් වලටත් බලපාන්නේ අලිෆු සුකුන්ට බලපාන රීති මයි. ශවියනි සුකුන් කිසිම විටෙක “ශ්” යනුවෙන් උසුරුවන්නේ නෑ.
උදා :
ރަށް – රʔ
އަށްޑިހަ – අඩ්ඩිහ​
އަށްހާސް – අංහාස්

තා සුකුන් (ތް)
තා සුකුන් වල උච්චාරනය රඳා පවතින්නෙ මුලින් යෙදෙන ස්වරය මත​.
1. මුලින් යෙදෙන ස්වරය “ඉ”, “ඊ”, “එ” හෝ “ඒ” නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි.
උදා:
ހިތް – හිʔ
ނެތް – නෙʔ
2. මුලින් යෙදෙන ස්වරය “අ” හෝ “ආ” නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි​ ඒත් මුලින් යෙදෙන​ ස්වරය “ඇ” හෝ “ඈ” බවට වෙනස් වෙනවා.
උදා :
ރަތް – රැʔ
މާތް – මෑʔ
3 මුලින් යෙදෙන ස්වරය “ඔ”, “ඕ”, “උ” හෝ “ඌ” නම්, එය උසුරුවන්නේ “ඉ” අකුරක් සහ අලිෆු සුකුන් විදිහට​.
උදා:
އޮތް – ඔඉʔ
މުތް – මුඉʔ
ތޮތްޕެއް – තොප්පෙʔ
ދަތް އަޅާ – දැංඅළා
තා සුකුන් කිසිම විටෙක “ත්” යනුවෙන් උසුරුවන්නේ නෑ

නූනු සුකුන් (ން)
නූනු සුකුන් වල උච්චාරනය රඳා පවතින්නේ ඊට පසුව එන අකුර මත​.
1. වචනයක අවසානයේ යෙදෙන කොට නූනු සුකුන් උසුරුවන්නේ “ං” විදිහට
උදා:
ކާން – කාං
2. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර ස්වරයක්, “ක​”, “ග​” හෝ “හ​” නම්, නූනු සුකුන් උසුරුවන්නේ “ං” විදිහට​.
උදා:
އަންހެން – අංහෙං
ސިންގާ – සිංගා
3. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර “ත​” හෝ “ද​” නම්, උසුරුවන්නේ “න්” විදිහට​
උදා:
ބަންދު – බන්දු
4. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර “ට​​” හෝ “ඩ​​” නම්, උසුරුවන්නේ “ණ්” විදිහට
උදා:
ހަންޑި – හණ්ඩි
5. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර “ප​​​” හෝ “බ​​​” නම්, උසුරුවන්නේ “ම්” විදිහට
උදා:
ޕަންޕު – පම්පු
6. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර “ව​​​​” හෝ “ෆ​​​​” නම්, උසුරුවන්නේ “ංම්” විදිහට
උදා”
ކަރަންފޫ – කරංම්ෆු
7. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර “න​​​​​​” හෝ “ම​​​​​” නම්, ඒ අකුර ද්විගුණ වෙනවා.
උදා:
އަންނަން – අන්නං
މަންމަ – මම්ම

සීනු සුකුන් (ސް)
සීනු සුකුන් හැම විටම උසුරුවන්නේ “ස්” කියල​.
උදා:
ލަސް – ලස්

“හුස් අකුරු”

හුස් අකුරු කියල හඳුන්වන්නේ ෆිලි නොමැති අකුරු. දිවෙහි භාෂාවේ රීති වලට අනුව සාමාන්‍යයෙන් ඕනම අකුරක් ලියද්දි ෆිලි එකතු කරන්න ඕනෙ. ඒත් අවස්ථා කීපයකදි ෆිලි නැති හුස් අකුරු ලියනවා.

හුස් නූනු (ނ)
හුස් නූනු යෙදෙන්නේ “ග​”, “ඩ​”, “ද​” සහ “බ​” අකුරකට කලින්. හුස් නූනු යෙදීමෙන් ඒ අකුරු සංඥක අකුරු බවට පත් කෙරෙනවා.
උදා:
އަނގަ – අඟ​
ބަނޑު – බඬු
ހަނދު – හඳු
އަނބު – අඹු

හුස් රා (ރ)
හුස් රා යෙදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවේ වගේ මෘදු “ර්” උච්චාරනයක් ඇති තැන්වල​
උදා:
ޑޮކްޓަރ – ඩොක්ට​(ර්)
ޑައިރެކްޓަރ – ඩරිරෙක්ට​(ර්)

පාදඩ අසපුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල