අධ්‍යාපනික, විචාර, සාහිත්‍ය කළා විචාර

පාරාදීසය දෑස මානයේ විරාජමාන වනු පිණිස…

Off

The Danger of a Single Story යන්න මාතෘකා කොටගෙන, නයිජීරියානු ජාතික සම්මානනීය ලේඛිකා Chimamanda Ngozi Adichie විසින් පැවැත් වූ සුප්‍රසිද්ධ ටෙඩ් කතාව ඇසුරින් රන්දිකා රණවීර ප්‍රනාන්දු – රන්දිල් විසින් සිංහලයට නගන ලද ලිපිය

“එක් පැත්තක් පමණක් දැකීමේ අනතුර” ලෙසින් මා හඳුන්වන්නට කැමති කාරණය විස්තර කෙරෙන, කතන්දර කිහිපයක් ඔබට ගෙන එන්නම්.

මම ඉගෙන ගත්තේ නැගෙනහිර නයිජීරියාවේ විශ්ව විද්‍යාලයක. මගේ අම්මා කියන්නේ මං පොත් කියවන්න පටන් ගත්තේ අවුරුදු දෙකේ දි කියලා, නමුත් මා හිතන්නේ ඒ වයස අවුරුදු හතරට කිට්ටු කාලයේ විය යුතු බවයි. වේලපහෙන් කියවන්න පටන් ගත්ත මම කියෙව්වේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ළමා පොත්.

ඒ වගේ ම මම බොහොම පොඩි වයසෙන් ලියන්න ගත්ත කෙනෙක්. අවුරුදු හතේ දී පැන්සලෙන් අකුරු කර, චිත්‍ර ඇඳ, පාටකූරු වලින් පාට කර මා නිමැවූ කතන්දර කියවන්න අම්මා බැඳී සිටියා. මම ලිව්වේ තනිකර ම මා කියැවු දේ හා සමාන කතන්දර. මගේ සියලු ම චරිත ධවල වර්ණ හමැති, නීල වර්ණ ඇස් ඇති අය. ඔවුන් කෑවේ ඇපල්! සෙල්ලම් කළේ හිමේ!

ඒ විතරක් ද! ඔවුන් හැමවිට ම කාලගුණය ගැන කතා කළා.

“කොච්චර දෙයක් ද! යන්තන් ඇති ඉර පායලා !”

ඉතින් ඔය කතන්දර මං ජීවත්වුණු නයිජිරියාවේ කාරණත් එක්ක ගැටෙනවා. මා ඒ වනවිට නයිජිරියාවෙන් පිටතට ගිහින් තිබුණේ නැහැ. අපිට කොහෙද හිම! අපි කෑවේ අඹ!.

ඒ විතරක් නෙමෙයි, අපට කාලගුණය ගැන අමුතුවෙන් කතා කර කර ඉන්න හේතුවක් තිබුණේ නැහැ.

මගේ චරිත නොසෑහෙන්න ජින්ජර් බියරුත් බිව්වා, මොකද මං කියවපු බ්‍රිතාන්‍ය පොත්වල මිනිස්සු බිව්වේ ඒවානේ. නමුත් ජින්ජර් බියර් කියන්නේ මොන වගේ බීමක්දැයි අදහසක්වත් මට තිබුණේ නැහැ.

මට හිතෙන විදිහට මේ සිද්ධියෙන්, යම් දෙයක් මතුපිටින් ගැනීමෙන් කෙතරම් සාවද්‍ය සංකල්පනාවන් අපේ සිතේ මුල් බැස ගන්නවාද, එයින් කෙතරම් අගතියකට පත්විය හැකිද යනාදිය ගැන පෙන්නුම් කෙරෙනවා, විශේෂයෙන් ම කුඩා දරුවෝ. මම කියවපු පොත් වල හිටපු සියල්ල විදේශිකයින් වූ නිසා මම හිතාගෙන හිටියේ හැම පොතක ම චරිත එසේ විය යුතුයි කියලා. මා පුද්ගලික ව දන්නා කාරණා ඒවායෙහි තිබිය නොහැකියි කියලා. හැබැයි මා අප්‍රිකානු පොත් සොයාගත්ත දවසේ මේ සිතුවිලි වෙනස් වුණා. ඒවා මහා ගොඩක් තිබුණෙත් නැහැ, විදේශීය පොත් තරම් පහසුවෙන් හොයාගන්න හැකි වුණෙත් නැහැ.

චිනුආ අචබේ සහ කමරා හොලයේ ආදී කතුවරුන් නිසා සාහිත්‍ය පිළිබඳ මගේ දැක්මෙහි දිශානතිය වෙනස් වුණා. කිසිදා පෝනිටේලයක් නොවන-ඇකිලුණු කෙස් ඇති මා වැනි චොක්ලට් වර්ණ හමැති කෙල්ලන්ටත් සාහිත්‍ය තුල ඉඩඇති බව මට වැටහුණා. එයින් පසු මා දන්නාදේ ගැන ලියන්න පටන් ගත්තා.

චිනුආ අචබේ

කමරා හොලයේ

මා කියවූ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පොත් වලට මම කැමතියි. ඒවා මගේ පරිකල්පනය කලඹන්න හේතුවුණා. ඒවා මට නව ලෝක වෙත මග විවර කළා. නමුත් එහි අනපේක්ෂිත ඵලයක් ලෙස මා වැනි මිනිසුන්ට සාහිත්‍ය තුල ඉඩක් ඇති බව ඉබේට ම මට නොපෙනී ගොස් තිබුණා. ඉතින් අප්‍රිකානු කතුවරුන්ගේ පොත් සොයා ගැනීමෙන්, මෙහි දී “එක් පැත්තක් පමණක් දැකීමේ අනතුරින්” ගැලවෙන්නට මට හැකි වුණා.

නයිජිරියානු මධ්‍යම පාංතික පවුලක් (පිංතුරය අන්තර්ජාලයෙනි)

මම එන්නේ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික නයිජීරියානු පවුලකින්. මගේ පියා මහාචාර්යයවරයෙක්. අම්මා පරිපාලන නිලධාරිනියක්. සාමාන්‍යයෙන් අපිට අපේ උදව්වට ගෙදර වැඩට මිනිස්සු හිටියා. ඒ අය බොහෝවිට පැමිණියේ අසල ගම්මාන වලින්. මට අවුරුදු අට ලබද්දි, ෆිඩේ නම් වූ පිරිමි ළමයෙකු අපේ නිවසට පැමිණියා. ඔහු ගැන මගේ අම්මා පැවසූ එකම දේ ඔවුන් ඉතාමත් ම දුප්පත් පවුලක් යන්නයි. යැම් අලත්, හාලුත් අපේ පරණ රෙදිත් ඔහු අතේ ඒ පවුලට යවන්න අම්මා පුරුදු ව සිටියා. කොයි වෙලේ හරි මා කෑම ඉතිරි කළොත් මෙහෙම කියන්නත් අම්මා අමතක කළේ නැහැ. “සේරම කන්න! ෆිඩේගේ පවුලේ උදවිය වගේ කී දාහක් නම් කන්න දෙයක් නැතිව ඉන්නවද?” මේ දේවල් නිසා ෆිඩේගේ පවුල ගැන මගේ හිතේ තිබුණේ තදබල අනුකම්පාවක්.

එක් සෙනසුරාදාවක අපි ඔහුගේ ගමට චාරිකාවක් ගිය වෙලේ ෆිඩේගේ අම්මා, ඔහුගේ සහෝදරයා විසින් රාෆියා කෙඳි (පාම් කොල වේලා සාදා ගන්නා කෙඳි වර්ගයක්) වලින් අලංකාරව මෝස්තර යොදා සාදන ලද කූඩයක් අපට පෙන්වූවා. ලොකු පුදුමයක්!. ඔහුගේ පවුලේ කිසිවෙකුට කිසිවක් සෑදිය හැකි බව මට සිතී තිබුණේ නැහැ. “අනේ දුප්පත් මිනිස්සු, අසරණ මිනිස්සු, දෙයක් කරගත නොහැකි මිනිස්සු” ආදී මා අසා ඇති කතා නිසා ඔවුන් දුගීන් ලෙස මිස වෙනත් කිසිවෙකු ලෙස සිතීමත් මට කළ නොහැක්කක් වී තිබුණා. ඔවුන්ගේ දරිද්‍රතාව මට මෙහිදී, “එක් පැත්තක් පමණක් දැකීමේ අනතුර” වී තිබුණා.

නැවත මේ කාරණය මට සිහිවුණේ වයස 19 දී, ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට නයිජීරියාවෙන් පිටත් වුනාට පස්සේ. මගේ ඇමරිකානු කාමර සගයා මගෙන් ඇසුවා මෙච්චර හොඳට ඉංග්‍රිසි කතා කරන්නේ කොහොමද කියලා, නයිජිරියාවට රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රිසි භාවිතා කරන්න සිදු වුණා කිව්වහම ඇය වියවුලට පත් වුණා. ඇයට මගේ “ගෝත්‍රික සංගීතය” අසන්නට උවමනා වුණා. ඇය තවදුරටත් අපේක්ෂා භංගත්වයට පත් කරමින් මම මා සතු වූ “මාරියා කැරේ”ගේ කැසට් පටය වාදනය කළා.

මා දකින්නත් පෙර මා වෙනුවෙන් ඈ වික්සෝප වෙමින් සිටියා. ඈ අවශ්‍යයෙන් ම සූදානම් ව හිටියේ අප්‍රිකානුවෙක් වුණු මා ගැන, තමන්ගේ උසස් තත්ත්වයේ සිට අනුකම්පා උපදවාගත් කෙනෙකු වන්නටයි. ඈ සතුව අප්‍රිකාව “එක් පැත්තකට කර” නිමවූ තමන්ගේ ම අදහසක් තිබුණා. මහා විනාශයක් පිළිබඳ පැත්තක්… ඒ පැත්තට අනුව අප්‍රිකානුවන්ට කිසිසේත් ම ඇයට සමාන වීමේ අවස්ථාවක් නැහැ, සෝකයෙන් බර ව ජීවත් වනවාට වඩා වෙනත් සංකීර්ණ හැඟීම් තිබීමේ හැකියාවක් නැහැ, ඔවුන් හා සම මට්ටමේ සම්බන්ධතා වලට කිසිසේත් ම ඉඩක් නැහැ.

ඇමරිකාවට යන්නට පෙර මා කිසිදා අප්‍රිකානුවෙකු ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් ඇමරිකාවේ දී, කොයි මොහොතේ හෝ අප්‍රිකාව ගැන කතාවක් ඇදුනාද, සේරම මං දිහාට හැරෙනවා. නැමිබියාව වැනි රටවල් ගැන නොදන්නවා වුණාට මොකද, මේ අලුත් හැඳින්වීම මම කැමැත්තෙන් වැළඳ ගත්තා පමණක් නොවෙයි, දැන් බොහෝ කාරණා වලදී අප්‍රිකානුවෙකු ලෙස මා ගැන හිතන්නත් පුරුදුවෙලා. එහෙම වුණත් සමහර වෙලාවට අප්‍රිකාව රටක් හැටියට හඳුන්වද්දි දැනෙන්නේ බලවත් අපහසුවක්. ලඟම උදාහරණය දින දෙකකට එපිට දි ගුවන් යානයේ දී යම්කිසි පුණ්‍ය කටයුත්තක් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කීවේ, “ඉන්දියාව, අප්‍රිකාව සහ අනෙකුත් රටවල්”යනුවෙන්.

ඉතින් අවුරුදු කිහිපයක්, අප්‍රිකානුවෙකු ලෙස ඇමරිකාවේ ගත කරද්දි, මගේ සගයා මා වෙනුවෙන් දක්වන ලද ප්‍රතිචාරය වටහා ගන්න මට හැකි වුණා. මම නයිජීරියාවේ ඇති දැඩි නොවුණා නම්, අප්‍රිකාව ගැන මා දන්නෙත් ලොව පුරා ජනප්‍රිය ප්‍රතිරූපයට අනුව නම්, මා වුවත් අප්‍රිකාව කියන්නේ ලස්සන භූමි දර්ශන තිබෙන, අලංකාර සතුන් සිටින, මිනිසුන්-නිරතුරු නිරර්ථක සංග්‍රාම වල පැටලී අනවබෝධයෙන් හැසිරෙන, දරිද්‍රතාවෙන් හා ඒඩ්ස් රෝගයෙන් රංචු පිටින් මියයන, තමා වෙනුවෙන් හඬක් නගන්නට නොහැකිව, ධවල වර්ණ කාරුණික විදේශිය හස්තයකින් ගලවා ගන්නාතුරු බලා සිටින රටක් විදිහට දකින්න තිබුණා. මමත් අප්‍රිකාව දෙස, කුඩා ළමයෙකු ලෙස ෆිඩේගේ පවුල දෙස බැලූ ආකාරයට බලන්න තිබුණා.

අප්‍රිකාව ගැන මේ “එක් පැත්තකට කර නිම වූ කතාව” උපදින්න ඇතැයි මට හිතෙන්නේ බටහිර සාහිත්‍යයෙන්. වසර 1561දී ලන්ඩන් නුවර වෙළෙන්දෙකු වූ ජෝන් ලොක්, බටහිර අප්‍රිකාව බලා සිදුකළ සිය මුහුදු සංචාරය ගැන තැබූ සිත්ඇදගන්නාසුළු සටහනේ කලු අප්‍රිකානුවන් ගැන මෙහෙම සඳහන් කරනවා. “නිවාස නැති තිරිසන්නු, ඔලු නැති මිනිස්සු, ඔවුන්ගේ ඇස් හා කට ඇත්තේ පපුවේ”

දැන් මේක කියවන හැමවිට ම මම හඬනගා සිනාසෙනවා. අපි ජෝන් ලොක්ගේ පරිකල්පනයට ප්‍රශංසා කරන්න ඕනෑ. නමුත් වැදගත් කාරණය, බටහිර දී අප්‍රිකාව ගැන කියැවෙන කතන්දර සම්ප්‍රදායේ ආරම්භය ඔහුගේ ලියැවිලි වලින් නියෝජනය වන බවයි. සහරාවට දකුණින් වන අප්‍රිකානු රටවල්, සෘණාත්මක, සපුරා වෙනස්, අඳුරු මිනිසුන් ඉන්නා රටවල් හැටියට කියැවෙන සම්ප්‍රදායක්. අපූරු කවියෙකු වන රඩ්යාඩ් කිප්ලින්ගේ වචන වලින් කියනවා නම්, “අර්ධ-යක්ෂ, අර්ධ-ළමා” මිනිසුන්!

වරක් මහාචාර්යය කෙනෙකු මට පැවසුවේ මගේ නවකතා, “නිර්ව්‍යාජ අප්‍රිකාව” නිරූපණය නොකර බවයි. ඔව්, පොඩි පොඩි වැරදි තැන් තිබුණු බව මාත් දැන් පිළිගන්නවා. නමුත් ඒ නවකතාව “අප්‍රිකානු අව්‍යාජත්වය” පිළිඹිබු කිරීමේ දී අසමත් වූයේ මන්දැයි මට වැටහුණේ නැහැ. එහෙම නැත්නම් ඒ කියන “අප්‍රිකානු අව්‍යාජත්වය” මා දැන නොහිටියා විය යුතුයි. මහාචාර්යයවරයා මට කීවා මෙහෙම. “ඔයාගේ චරිත හරියට මං වගෙයි. උගත් මධ්‍යම පාංතික මිනිස්සු. කාර් පදිනවා. කෝ ඒ ගොල්ල බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඉතිං එතැන “නිර්ව්‍යාජ අප්‍රිකාව” නිරූපණය වන්නේ නැහැ!”

යමක් ගැන “එක් පැත්තක් විතරක් ගෙන” කතන්දරයක් නිර්මාණය කර, මිනිසුන්ට මුළු ලෝකයට ම එය ම විතරක් පෙන්වමින්, එය ම පමණක් ඇති බව ධාරණය කරමින්, නැවත නැවතත් එය ම කරමින් යන විට එය පිටස්තරයින්ගේ සිත් තුල ඇත්තක් බවට පත් වන්නේ ඒ විදිහටයි.

මේ එක් පැත්තක කතාව ගැන කතා කරද්දි “බලය” මග නොහැරිය හැකි සාධකයක්. ලෝක බල ව්‍යුහය ගැන සිතද්දි මට නිතර ම ඉග්බෝ භාෂාවේ වචනයක් සිහිවෙනවා. “nkali”-“to be greater than another – තවකෙකුට වඩා ශ්‍රේෂ්ට වනු පිණිස” එහි තෙරුමයි. අපේ ආර්ථික හා දේශපාලනික ලෝක සළකා බැලුවොත් මේ වචනයේ සිද්ධාන්ත මත ක්‍රියාත්මක වන බව පැහැදිලියි. කොහොමද ඒ කතන්දර කියැවෙන්නේ, කවුද කියන්නේ, කවර මොහොතේ ද කියන්නේ, කොපමණ කතන්දර කියැවෙනවාද, මේ සියලු කාරණා බලය මත රඳනවා.

බලයෙන් හැකියාව ලැබෙන්නේ කෙනෙකු ගැන කතන්දරයක් කීමට පමණක් නොවෙයි, ඒ මිනිසාගේ කතාව ස්ථිරසාර ව ලියන්න බලය නිසා හැකියාව ලැබෙනවා. පලස්තීන ජාතික කිවියර මවුරිඩ් බාඝවුටි මෙහෙම කියනවා. “ඔබට පිරිසක් නැති කර දැමීමට අවශ්‍ය නම්, පහසු ම දේ ඔවුන් හෙලා දකිමින්, ඔවුගේ කතාව පුන පුනා පැවසීමයි”. ස්වදේශීය ඇමරිකානුවන්ගේ ඊ තල වලින් මිස බ්‍රිතාන්‍යයන්ගේ ආගමනයෙන් කතාව ආරම්භ නොකළ විටත් අප්‍රිකානු රාජ්‍යයන් හී පිරිහීමෙන් මිස එහි පිහිට වූ විදේශීය කොළනි වලින් කතාව ආරම්භ නොකළ විටත් ලැබෙන්නේ සපුරා ම වෙනස් කතන්දර!.

මා ලඟ දී දේශනයක් පැවැත් වූ විශ්ව විද්‍යාලයක සිසුවෙකු මට මෙහෙම කියනවා. “නයිජීරියානු පිරිමි ශාරීරික ව පහරදෙන මිනිස්සුවීම ලැජ්ජාවක්. ඔබේ නවකතාවේ පියාත් එහෙම කෙනෙක්”. මම ඔහුට මෙහෙම පැවසුවා. “මම ලඟ දී නවකතාවක් කියෙව්වා. ඒකේ නම ඇමරිකන් සයිකෝ. හරිම ලැජ්ජාවක්, ඒකේ තරුණ ගැටවු දිගින් දිගට ම මිනී මරන්නෝ”.

ඔහු කී කාරණයෙන් අපහසුවට පත් වූ නිසා කීවා මිස එක පොතක එක චරිතයක් මිනිසුන් ඝාතනය කළා කියා ඒ චරිතයෙන් මුළු මහත් ඇමරිකාව ම නියෝජනය වනවා කියලා මා කිසිදා සිතන්නේ නැහැ.ඒ අර සිසුවාට වඩා මා හොඳ පුද්ගලයෙකු නිසා නොවෙයි. ඇමරිකාවේ සංස්කෘතික හා ආර්ථික බලය පිළිබඳ ව විවිධ කතන්දර රාශියක් මා සතුව තිබීමත්, ඇමරිකාවේ ලේඛකයින්ගේ රචනා මා කියවා තිබීමත්, ඇමරිකාව ගැන “එක් පැත්තක් දැක” නිම වූ කතන්දරයක් පමණක් මා සතුව නොමැති වීමත් නිසයි.

කතුවරුන් බොහෝවිට, අසතුටුදායක ළමාවියක් ගතකළ අය සාර්ථක ව ජීවිතය දිනන බව ලියනු දුටුවිට, මගේ දෙමව්පියන් මට කළා යැයි ලිවිය යුතු භයානක දේවල් නිර්මාණය කරගන්නේ කෙසේදැයි මා කල්පනා කළා.

මොකද, මගේ ළමාවිය සතුට දෝරේ ගලාගිය, සිනාහ හඬින් පිරුණු, තදින් එකිනෙකාට බැඳුනු පවුලක ගත වූවක්.

නමුත් මටත් හිටියා සරණාගත කඳවුරුවල මිය ගිය සීයලා. මගේ ඤාති සහෝදර පෝලේ මිය ගියේ ප්‍රමාණවත් තරම් සෞඛ්‍යය සත්කාර නොලැබීමෙන්. මගේ ලඟම මිතුරෙකු ඔකොලොමා හී ගුවන්යානා අනතුරකින් මිය ගියේ අපේ ගිනි රථවල වතුර නැති කමින්. මම වැඩුණේ, උගත්කමේ අගයක් නොදන්නා, නපුරු හමුදා පාලනයක් යටතේ. ඒ නිසා සමහර වෙලාවට මගේ දෙමව්පියන්ට ඔවුන්ගේ වේතන ලැබුණේ නැහැ. කුඩා දරුවෙකු හැටියට උදේ කෑම මේසයෙන් ජෑම් බෝතලය අතුරුදන්වන හැටි, පසුව මාගරින් නොපෙනී යනහැටි, පාන් මිල අධික වූ හැටි, සලාක ක්‍රමයට කිරි ලැබුණු හැටි මා අත්දැක්කා. මේ හැමට ම ඉහළින්, සාමාන්‍යකරණය වූ දේශපාලන භිතිකාවක් අපේ ජීවිත ආක්‍රමණය කරමින් තිබුණා.

මේ සියලු කතන්දර එකතු වී මා නමැති පුද්ගලයා නිර්මාණය කරනවා. නමුත් සෘණාත්මක කතන්දර විතරක් ගැනීම නිසා මගේ අත්දැකීම් තැලී පොඩි වී මා නැමැත්තා ගොඩ නගන්නට හේතූ වූ අනෙකුත් කතන්දර නොපෙනී යනවා. “එක් පැත්තක් දැක නිමවන” කතන්දර නිසා උපදින්නේ ඒකාකාරී බවක්. ඒ ඒකාකාරී බව පෙන්වන්නේ සම්පූර්ණ අසත්‍යයක් නොවේ, නමුත් එයින් උපදින්නේ අසම්පූර්ණ සත්‍යයක්. ඒ “එක පැත්තක් දැක නිමවූ” කතන්දරය, අවසානයේ අදාළ කාරණයෙහි සම්පූර්ණ කතාව බවට පත්වීම ඛේදයක්.

යම් කෙනෙකු ගැන හෝ ස්ථානයක් ගැන සියලු කාරණා නොදැන හරියාකාරව සම්බන්ධතා ගොඩනැගිය නොහැකි බව මගේ අදහසයි. එක් කරුණක් විතරක් දැන සිටීමෙන්, අනෙකාගේ ගරුත්වයට හානි වෙන්න පුළුවන්. අපේ මානුෂික සමානාත්මතා නොපෙනී යන්න පුළුවන්. එමගින් අප එකිනෙකාගේ තිබෙන සමානකම් වලට වඩා වෙනස්කම් උදක් ම මතුකර පෙන්වන්නට ඉඩ තිබෙනවා.

“ෆිඩේගේ පවුල දුප්පත් බව ඇත්ත, නමුත් ඒ අය මහන්සි වී වැඩ කරන උදවිය” බව මගේ අම්මා මට පවසා තිබුණා නම් ? අප්‍රිකාවේ විවිධත්වය ලෝකය පුරා විකාශය කෙරෙන අප්‍රිකානු රූපවාහිනි නාලිකාවක් අපට තිබුණා නම්?

මගේ නයිජීරියානු පොත් ප්‍රකාශක මුහ්ටාර් බාකරේ, ඔහුගේ සිහිනය වූ පොත් ප්‍රකාශන ආයතනය අරඹන්නට බැංකු රස්සාවක් අත්හැරිය අපූරු මිනිසෙකු බව මගේ කාමර සගයා දැන සිටියා නම්? ලෝක සම්මුතිය වුණේ නයිජීරියානුවෝ සාහිත්‍ය ඇසුරු නොකරන්නන් බවයි. නමුත් ඔහු එකඟ වුණේ නැහැ. ඔහුගේ අදහස වුණේ, ඔබ ඔවුනට කියවන්න සාහිත්‍යයක් ගොඩ නගනවා නම්, කියවන්න හැකියාව ඇති අය අනිවාර්යයෙන් කියවනු ඇති බවයි.

මම සෑම ගිම්හානයේදී ම ලාගෝස් හී වැඩමුළු පවත්වා ලිවීම පිළිබඳ අපේ ජනතාවට උගන්වනවා. ඒ සඳහා අයැදුම් කරන ප්‍රමාණය ගැන ඇති වන්නේ සතුටුදායක පුදුමයක්. ඒ අය කතා ලියන්න, කියන්න දක්වන්නේ සතුටුදායක උනන්දුවක්.

මගේ නයිජීරියානු ප්‍රකාශකත් මාත් එකතු වී ලාභ නොලබන අරමුදලක් පිහිටුවා ගත්තා. එහි නම ෆරෆිනා. එයින් අලුතින් පුස්තකාල ඇති කිරීම, තිබෙන පුස්තකාල වැඩි දියුණු කිරීම, සිය පුස්තකාල වල කිසිවක් නැති පාසල් පුස්තකාල වලට පොත් ලබා දීම, විශාල වශයෙන් වැඩමුළු පවත්වා කියවන්න, ලියන්න හුරු කරවා අපේ කතන්දර ලොවට කියන්න උනන්දු ඇති අයට මග පෙන්වීම ආදී කාරණ ඉටු කරගැනීමේ විසල් සිහිනයක් අපට තිබෙනවා.

බොහෝ කතන්දර බොහෝ ආකාරවලට බලපානවා. මනුස්සයෙකු නැති කරන්න, අවමානයට පත් කරන්න සමහර කතන්දර උපයෝගී වනවා. ඒ වගේ ම කෙනෙකු ශක්තිමත් කරන්න, කෙනෙකුට මිනිසත්කම ලබා දෙන්නට කතන්දර වලට හැකියි. මිනිසෙකුගේ ගෞරවය විනාස කරන්න කතන්දර වලට හැකිසේම, බිඳුනු අභිමානය නැවත ගොඩනගන්නත් කතන්දරවලට පුළුවන.

“එක් පැත්තක් දැක නිමවන” කතන්දර අප විසින් ප්‍රතික්ශේප කළ මොහොතේ ම, යම් ස්ථානයක් ගැන එක කතාවක් පමණක් නොපවතින බව අවබෝධ කරගත් මොහොතේ ම, පාරාදීසය අප දෑස මානයේ විරාජමාන වන්නේ අසුරු සැනෙකින් !

2019.02.10 වන දින ඇත්ත පුවත්පතේ අලංකාරය අතිරේකයේ පළ වූ ලිපිය

නිදහස් සිතුවිලි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල