අධ්‍යාපනික, විචාර, සාහිත්‍ය කළා විචාර

Dramaturgy කියන්නේ මොකද්ද ?

Off

‘මෙහි දැක්වෙන්නේ Dramaturgy ගැන ඉතාම සරල සංක්ෂිප්ත පැහැදිළි කිරීමකි. Dramaturgy අපට අලුත් වචනයක් වුවත් ලෝකය තුළ එය භාවිතයට පැමිණ සැලකිය යුතු කාලයක් ගත වී ඇත. අප යම් කලා නිර්මාණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන අනිවාර්ය විෂය පරාසයක් ලෙස මෙය හඳුනාගත හැකි ය. මෙය සිංහලෙන් ‘නාට්‍ය කේන්ද්‍රීය ගවේෂණය’ ලෙස නම් කළ හැකි ය. මෙරට මේ දක්වා සිදු කර ඇති නිර්මාණ තුළ මෙම විෂය පරාසය නියෝජනය කරන තනතුර වන ‘නාට්‍ය කේන්ද්‍රීය ගවේෂකයා’ගේ භූමිකාව වෙන්ව අපට හඳුනාගැනීමට හැකියාවක් ලැබී නැත. මෙතෙක් කල් එම කාර්යයභාරය විවිධ ආකාරයේ එනම් අධ්‍යයක්ෂවරයා, රචකයා, රංගභූමි පාලක… වැනි වෙනත් කෙනෙකු විසින් ඉටු කරමින් සිටියි.

මෙම ලිපිය සඳහා මැඩ්ගා රොමැන්ස්කාගේ ලිපි මූලාශ්‍ර ලෙස යොදාගෙන ඇත.

කලාව තුළ විශේෂයෙන්ම නාට්‍ය කලාව තුළ Dramaturgy යන්නෙහි මැදිහත්වීම ග්‍රීසිය තෙක් ම ගමන් කරයි. නාටකීය අවස්ථාවක් අර්ථාන්විත හා විස්තර සහිතව, පුළුල්ව පිළිවෙලකට සැකසීම Dramaturgy ලෙස කෙටියෙන් හැඳින්විය හැකි ය. මෙය එක්තරා ආකාරයකින් නාට්‍ය රචකයාගේ කාර්යයට සමාන ය. නමුත් එහි ගැටලුව වන්නේ ඕනෑ ම අයෙකුට නාට්‍ය රචනා කළ හැකි ය. නැතිනම් ඕනෑ ම අයෙකුට ඉතා නරක නාට්‍යයක් වුව රචනා කළ හැකි ය. නමුත් Dramaturg කෙනක් බවට පත් වීම සියළු දෙනාට නොහැකි ය. මන්ද ඒ සඳහා අවශ්‍ය වන සියල්ල විශ්ලේෂණය කොට විචාරාත්මක ව විංසයෝජනය කොට සියලු කොටස් නාටකීය ආකෘතියකට ගෙන ඒමට සියලු දෙනාට නො හැකි ය. තවත් ආකාරයකින් කියන්නේ නම් අප දන්නා පරිදි අපට හමුවන ඉතා ම සංවිධිත ලෙස නාට්‍ය රචනා කළ පළමුවැන්නා වන්නේ ඊස්කිලස්ය. එසේ නම් නාට්‍ය කලාව, රචනා කලාව, දේශපාලනය, නීතිය, සමාජ ආචාරධර්ම එකට මුසුකළ නිශ්චිත ආකෘතියක් පිළිබඳ අදහසක් ගෙන ආ ඇරිස්ටෝටල් අපට පළමු බටහිර Dramaturg ලෙස හැඳින්විය හැකි ය. එනම් ඊස්කිලස් තම නාට්‍ය කලාව තුළ නිර්මාණශීල ලෙස පිහිටුවන විට ඇරිස්ටෝටල් ඒවා තවත් සාධක සමඟ යළි අර්ථ කථනය කරයි.

මේ සඳහා බ්‍රේෂ්ට්ගේ නාට්‍ය කදිම උදාහරණයක් සපය යි. බ්‍රේෂ්ටියානු නාට්‍ය යනු ඉතිහාසය, දේශපාලනය, සෞන්දර්ය, රංග න්‍යාය යන මූලික කරුණු පර්යේෂණාත්මකව හා පැහැදිලිව යොදාගැනීමට සිදුවීම Dramaturgy පිළිබඳ නව මානයක් විවිර කළ මොහොතකි. ඊට පෙර පැවති නාට්‍යවල අපට මෙවැනි ආකාරයේ දේශපාලන න්‍යායක්, රංග කලා න්‍යායක්, ඉතිහාසය සෞන්දර්යාත්මක යොදාගත් අවස්ථා හමුවන්නේ නැත. ග්‍රීක, රෝම, මධ්‍යකාලීන යුගයේ නාට්‍ය කලාව, එලිසබතියානු යුගය හා නූතනවාදී නාට්‍ය කලාව තුළ එවැනි ප්‍රවනතාක් අපට හමුවන්නේ නැත. දේශපාලනය හා විවිධ සන්දර්භීය මැදිහත්වීම් එම නාට්‍ය කෘති සමඟ බලපෑම් සහගත ලෙස සම්බන්ධ වී තිබුණද බ්‍රේෂ්ටියානු රංග ආකෘතිය තරම් ඒවා සමස්ථ රංගය දරා සිටින ආකාරයේ භූමිකාවක් ඉටු කළේ නැත. තවත් පැහැදිලිව කියන්නේ නම් බ්‍රේෂ්ටියානු නාට්‍ය එහි දුරස්තීකරණ රංග රීතිය – මාක්ස්වාදය උපමාත්මක ලෙස භාවිතා කරමින් න්‍යායගත කොට ඇති – ඉවත් කිරීම හෝ එය අමතක කොට අර්ථ කථනය කිරීම කළ නොහැකි ය. පසුව තවත් ජර්මානු නාට්‍ය රචකයෙකු වන හයිනර් මුලර් මෙම මැදිහත්වීම නාට්‍ය කලාව තුළ ස්ථාපිත කිරීම උත්සහ ගත්තේය. 1970 දශකයේ පමණ එංගලන්තයේ කීනෙත් ටයිනන් වැන්නන් සාහිත්‍ය කළමනාකරු යන නමින් මෙම ක්‍රියාවලියට මැදිහත් විය. මෙලෙස ක්‍රමයෙන් යුරෝපයේත් දැනට ලෝකයේ බොහෝ නාට්‍ය හා රංග කලාව ක්‍රියාත්මක වන තැන්හි Dramaturgy විෂයක් ලෙස හදාරණ අතර නිර්මාණ සඳහාද උපයෝගී කර ගනියි.

ඇරිසටෝටල්ගේ සහ බ්‍රේෂ්ට්ගේ උදාහරණ උදාහරණ තුළින් Dramaturgy යන්න විස්තර කර බලමු. කථා වින්‍යාස සකසමින්, දේශපාලන, සමාජ, සංස්කෘතික මැදිහ්තවීම පිළිබඳ විමර්ශනයක නියැලෙමින් ඒවා සමාජගත කිරීම සඳහා යොදාගන්නා න්‍යාය පිළිබඳ සැලකිලිමත් වෙමින්, වඩා වැඩි පිරිසකට නිර්මාණයට ඇතුළත් විය හැකි අවකාශයක් නිර්මාණය කිරීමට උත්සහ දැරීම Dramaturgy ලෙස හැඳින්විය හැකි ය.

Dramaturgy යන්න උදාහරණකින් පැහැදිලි කරන්නේ නම් ග්‍රීක නාට්‍යයක් වන ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය අප මෙරට නිෂ්පාදනය කරනවා යැයි සිතන්න. එහිදී Dramaturg විසින් විශ්ලේෂණය කළ යුතු කාර්ය භාරය බොහෝය. පළමුව ග්‍රීක පිටපත පරිශීලනය කොට ඒ තුළින් එවකට සාමාජ දේශපාලන සන්දර්භය, සංස්කෘති කරුණු, ඇරිස්ටෝටලියානු රංග න්‍යාය, භාෂාව, රිද්මය, පුරා කථා…. පිළිබඳ විමර්ශනය කළ යුතුය. මෙහිදී භාෂාව යන්න අවධානයට ගන්නේ නම් එම නාට්‍යය නියෝජනය කරන කථිකාවක් ඇත. එය සන්දර්භීය ලෙස විවිධ ආකාරයේ නියෝජනයන් ලෙස පෙනී සිටියි. එම කථිකාව අද දවසේ කථිකාව සමඟ අභිමුඛ කරවීමට අවශ්‍ය සුදුසුකම් තෝරා ගැනීම මෙහිදී සිදු විය යුතුය. එලෙසම අද දවසේ මෙරට දේශපාලන තත්ත්වය හා මෙරට සන්දර්භය පිළිබඳ විමර්ශනය කළ යුතුය. පසුව ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය මෙහි නිෂ්පාදනය කිරීමේදී එහි තුළ මෙරට සන්දර්භයට ආමන්ත්‍රණය කළ හැකි අවස්ථා හා හැකියාවන් හඳුනාගත යුතුය. ඒවා අධ්‍යක්ෂවරයාට යෝජනා කරන අතරේ මේ වන විට මෙරට ප්‍රේක්ෂකාගාරය පිළිබඳ විමර්ශනය කළ යුතුය. එම විමර්ශනය තුළින් ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය මෙරට භාරගන්නා ආකාරය මෙන්ම ප්‍රාදේශීය ලෙස, පංතිමය ලෙස, අධ්‍යාපනය හෝ වෙනයම් ඕනෑ ම වර්ගීකරණයක් තුළ එය මෙරට ස්ථානගත වන ආකාරය පිළිබඳ පර්යේෂණය කළ යුතුය. පුහුණුවීම් ආරම්භය ලෙස දළ වශයෙන් නළුවරණයේ සිට අවසාන මොහොත තෙක් සෑම අවස්ථාවක ම ඊට අවශ්‍ය පර්යේෂණාත්මක හා බුද්ධිමය දායකත්වය ලබා දිය යුතු ය. උදාහරණයක් ලෙස පුහුණුවීම් තුළ දී ලබා ගන්නා ආහාර පාන හෝ පුහුණුවීම් සිදු කරන වේලාව හෝ පුහුණුවීම් සිදු කරන පිළිවෙල පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම ද ඔහු සතු වගකීමකි. මේ තරම් සුවිසල් කාර්ය බොහොමයක් ඔහුට පැවරේ.

මෙහිදී ‍මෙය ස්වතන්ත්‍ර නිර්මාණයකට ද එලෙසම අදාළ වේ. එම නිර්මාණයට යටත්වන තේමාව, පසුබිම ඇතුළු බොහෝ සන්දර්භීය තත්ත්වයන් විමර්ශනය කිරීම හා පෙර කී පරිදි එය භාරගන්නා ප්‍රේක්ෂකයන්ගේ ස්භාවය නිර්ණය කිරීමත් සිදු විය යුතුය. එම නිසා මෙම ක්‍රියාවලිය සියලුම කලා නිර්මාණ සඳහා එක ලෙස වැදගත් වේ. නමුත් මෙම ක්‍රියාවලිය මෙම නමින් තොරව මේ දිනවල වඩා සක්‍රීව සිදු වන්නේ නැත. එවැනි සම්ප්‍රදායක් නොමැති වීම ඊට ප්‍රධාන හේතුවයි. මේ සඳහා අපට ඇත්තේ හුරුවකි. ඒ වෙනුවෙන් ඉවෙන් මෙන් සංවිධාන ගත වීම පමණක් නිර්මාණකරුවන් අතින් සිදු වේ. නමුත් මෙය මඟහැර යා නොහැකි අනිවාර්යෙන් සැලකිල්ලට ගත යුතත්තකි.

අද වන විට ලෝකය තුළ Dramaturgy යන්න විෂයක් ලෙස ඉහත සඳහන් කළ සීමාවට වඩා බොහෝ පරාස වෙත විසරණය වී ඇත. එහිදී ගෝලීයකරණය පිළිබඳ අදහස කලාව තුළ අර්ථ කථනය වන ආකාරයත්, මානව හැසිරීම්, අන්තර් සංස්කෘතික හා පාරසංස්කෘතික සම්බන්ධතා කලාව තුළ ප්‍රකාශමාන වන ආකාරයත්, ශරීරය – එහි හැසිරීම, ස්භාවය – භාෂාවක්, සෞන්දර්යාත්මක පෙනී සිටීමක් හා විවිධ මානසික, සංස්කෘතික නියෝජනයන්ගේ පෙනී සිටීමක් ලෙස අර්ථ කථනය වන ආකාරයත්, විවිධ විචාර හා කලා න්‍යාය තුළ අද දවසේ කලාව අර්ථ කථනය වන ආකාරයත්, පවතින දේශපාලන සමාජ තත්ත්වයන් කලාව තුළ නියෝජනය වන ආකාරයත්, සන්දර්භය තුළ කලාව තේරුම් ගැනීමේදී අත්‍යවශ්‍ය කොන්දේසි පිළිබඳ අවධානය යොමු කිරීමත්, නිර්මාණයක් කරනවා යනු එහි පර්යේෂණාත්මක මැදිහත්වීමක් එනම් නිර්මාණකරුවා පෙළන ගැටලුවකට උපකල්පිත විසඳුමක් සොයන ලෙසට නිර්මාණය දිශානත කරවීටමත්…. අවසාන අර්ථයෙන් අද දවසේ කලාව කරන්නේ කොහොමද? යන්න වෙත මෙම විෂය මඟහැර යා නොහැකි මැදිහත්වීමක් කරමින් සිටියි. මෙරට සිනමාව, වේදිකා නාට්‍ය, දෘශ්‍ය කලාව හා සංගීතය තුළ මෙම විෂයෙහි නිල මැදිහත්වීමක් නොමැති කම තුළ බොහෝ නිර්මාණ හුදකලා වී ඇත.

රංග මනුප්‍රිය

බව web

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල