අධ්‍යාපනික, ඉතිහාසය, විචාර, විවිධාංග

ඔබේ සුසුමේ සුව දැණුනේ…

Off

පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජානවලට අමතරව “දැනුම” කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.

ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දැනුම් සම්භාරය ක්‍රමයෙන් විශාල වෙද්දී, මිනිස් දරුවෙකුට පිරිපුන් මිනිසෙකු වෙන එක වඩා වැඩි කාලයක් ගත වන කටයුත්තක් බවට පත් වුනා. මිනිස් දරුවන්ට දෙමවුපියන්ගේ රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. දරුවෙකුට මේ රැකවරණය වැඩිපුරම ලැබුණේ මවගෙනුයි. දරුවෙකුගේ මව කවුද කියන එක සැක සහිත දෙයක් නොවන නිසා එය එසේ වීම පුදුමයක් නෙමෙයි.

වැඩි වැඩියෙන් දරුවන් වදන හා හදන මිනිස් ගැහැණියකට තමන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය සම්පත් සොයා යන්න ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුම වන්නේ අවශ්‍ය සම්පත් වැඩියෙන් සම්පාදනය කළ හැකි මිනිස් පිරිමියෙක්ව තෝරා ගැනීමයි. ඒ නිසා වැඩි සම්පත් ප්‍රමාණයක් සැපයිය හැකි මිනිස් පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ ඉල්ලුම වැඩි වුනා. මුල් කාලයේදී එවැනි පිරිමින් වුනේ වඩා ශක්ති සම්පන්න හා ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල පිරිමින්. එවැනි පිරිමියෙකුට ගැහැණුන් සොයා ගැනීම අපහසු වුනේ නැහැ.

මිනිස් ගණනයක වැඩි ගැහැණුන් පිරිසකගේ ආකර්ශනය ලැබුවේ ගහණයේ සිටි හැඩිදැඩි පිරිමින්. ඔවුන් ගහණයේ වඩා ආකර්ශනීය මිනිස් ගැහැණු ටික මුලින්ම තෝරා ගත්තා. ඉන්පසුව ඉතිරි වූ ගැහැණුන්ට ආකර්ශනය කර ගත හැකිව තිබුණේ සම්පත් සැපයීමක් ලොකුවටම කළ නොහැකි වූ සෝමාරි පිරිමින්.

කෙසේ වුවත්, එවැනි ගැහැණුන්ට දෙවන විකල්පයකුත් තිබුණා. ඒ හැඩිදැඩි පිරිමියෙක්ගේ දෙවන බිරිඳ වීම. එහිදී සම්පත් බෙදී යාමක් සිදුවුණත් ඇතැම් විට හැඩිදැඩි පිරිමියෙකුගේ සම්පත්වලින් අඩක් සෝමාරි පිරිමියෙකු විසින් සපයන මුළු සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වූ නිසා මේ පුරුද්දේ පරිණාමික වාසියක් තිබුණා.

ඉහත හේතුව නිසා, මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම ගණනයේ ශක්තිමත්ම මිනිසුන්ට සහකාරියන් එක් අයෙකුට වඩා සිටිද්දී, දුර්වලම මිනිස් පිරිමින්ට සහකාරියක නොලැබී යාම නිසා ඔවුන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වුනේ නැහැ.

මිනිස් පිරිමියෙක් ශරීර ප්‍රමාණය අනුව මිනිස් ගැහැණියකට වඩා 15% කින් පමණ විශාලයි. එයින් පෙනෙන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමින්ට තමන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැඩි ඉඩක් ලැබී තිබෙන බවයි.

කාලයත් එක්ක මිනිසුන් වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ධ වෙද්දී ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ ගිහින් මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වෙද්දී, ජාන හා දැනුමට අමතරව ප්‍රාග්ධනයත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ගැහැණියකට වැඩියෙන් සම්පත් සැපයිය හැකි පිරිමියෙක් වුනේ වැඩි ප්‍රාග්ධනයකට හිමිකම් කී පිරිමියෙක්. ඒ එක්කම හැඩි දැඩි පිරිමින් සතු වූ ගැහැණුන්ගේ කැමැත්ත ප්‍රාග්ධනය හිමි පිරිමි වෙත විතැන් වෙන්න පටන් ගත්තා. කෙසේ වුවත්, මෙවැනි වෙනසක් එක වර වෙන්නේ නැහැ. ඒ නිසා, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ වන ආකර්ශනය තවමත් මුළුමනින්ම ක්ෂය වී නැහැ.

ශරීර ප්‍රමාණය, ප්‍රාග්ධනය හෝ බලය තිබෙන පිරිමින් විසින් සහකාරියන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කර ගැනීමත් ඒ දේවල් නොතිබුණු පිරිමින්ට සහකාරියක නොලැබී යාමත් බොහෝ සමාජවල කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. මේ පුරුද්ද ක්ෂය වී ගිහින් එක් ගැහැණියක හා එක් පිරිමියෙකු අතර විවාහය සම්මතය බවට පත් වීම සිදු වුනේ බටහිර සංස්කෘතිය පැතිරීමට සමාන්තරවයි. මැද පෙරදිග කලාපයේ මුස්ලිම් රටවල හා බොහෝ අප්‍රිකානු රටවල අදටත් එක් පිරිමියෙක් හා ගැහැණු කිහිප දෙනෙක් අතර සිදුවන බහු විවාහ සාමාන්‍ය දෙයක්.

අද අප බටහිර සංස්කෘතිය සේ හඳුනා ගන්නා සංස්කෘතියේ මූලිකාංග බොහොමයක්ම පැරණි ග්‍රීසිය ආශ්‍රිතව බිහිවූ දේවල්. හෙලනික සංස්කෘතිය ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීම පිටුපස මහා ඇලෙක්සැන්ඩර් විසින් කර තිබෙන කාර්යභාරය ඉතා විශාලයි.

අධිරාජ්‍යයන් බිහි කර ව්‍යාප්ත කළ වෙනත් බොහෝ පුද්ගලයින් වගේම මහා ඇලෙක්සැන්ඩර් වීරත්වයට පත් වන්නේත් “මහා” වෙන්නේත් යුද්ධයෙහි දැක්වූ සාමාර්ථය මතයි. පැරණි ග්‍රීසියේ සිට උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා බටහිර ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය වන අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩනගනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයෙන් පසුව ඔහු විසින් ගොඩනැගූ අධිරාජ්‍යය කෑලිවලට කැඩී ගියත් හෙලනික සංස්කෘතියේ බලපෑම ඒ ප්‍රදේශවල තවදුරටත් ඉතිරි වෙනවා.

යුරෝපීයයන්ට යටත් වෙන්න කලින් ලංකාවේ බහුභාර්යා විවාහ වගේම බහුපුරුෂ විවාහත් අසම්මත දේවල් සේ සැලකී නැහැ. ලෝකයේ වෙනත් බොහෝ රටවල වගේම ලංකාවේත් ඒකවිවාහ ප්‍රචලිත වන්නේ ක්‍රිස්තියානි බලපෑම් එක්කයි. එහෙත්, ඒකවිවාහ කියන්නේ මුල සිටම ක්‍රිස්තියානියේ වූ අංගයක් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසක් බවට පත් වෙන්නේ ක්‍රිස්තියානිය මැද පෙරදිග කලාපයේ සිට යුරෝපයට පැතිරෙද්දීයි. ඒකවිවාහ කියන්නේ ක්‍රිස්තියානිය පැතිරෙන්න පෙර හෙලනික සංස්කෘතිය තුළ ප්‍රචලිත වූ සමාජ සම්මතයක්.

කිසියම් සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයක් වෙනස් සංස්කෘතියක් තිබෙන කණ්ඩායමකගේ පාලනයට නතු වූ පමණින් දෙවන කණ්ඩායමේ සංස්කෘතිය මුල් සංස්කෘතිය වෙනුවට ආදේශ වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක සැපයුම් සාධකවලට අමතරව ඉල්ලුම් සාධකත් බලපාන බව අමතක නොකළ යුතුයි. බොහෝ විට එවැනි ආදේශනයක් සිදුවන්නේ ආගන්තුක සංස්කෘතිකාංගයකට කිසියම් පරිණාමික වාසියක් ඇති විටයි.

ඒකවිවාහ කියන්නේ හෙලනික සංස්කෘතිය තුළ ඇති වූ විකෘතියක්. පරිණාමික අර්ථයෙන් විකෘතියක් කියන්නේ නරක දෙයක් කියන එක නෙමෙයි. සාමාන්‍ය සම්මතයට වඩා වෙනස් දෙයක් කියන එකයි. එය හොඳ හෝ නරක වෙනසක් වෙන්න පුළුවන්. මේ හොඳ හෝ නරක තීරණය කරන්නේ කාලය විසින්.

බොහෝ විකෘතීන් පරිණාමික වාසියක් නැති විකෘති. මේ කරුණ ජානමය විකෘතිවලට වගේම සමාජයීය විකෘතිවලටත් අදාලයි. එවැනි විකෘතිවලට පැවැත්මක් නැහැ. එහෙත් ඇතැම් විකෘති පවතින තත්ත්වයට සාපේක්ෂව වඩා වාසිදායකයි.

මේ වාසිදායකකම තීරණය වන්නේත් බාහිර සාධක මතයි. උදාහරණයක් ලෙස උෂ්ණත්වය අඩුවෙන් දැනීමේ ජානමය විකෘතියක් ගැන හිතමු. කාන්තාර දේශගුණයකදී මෙය වාසියක් වුවත් ධ්‍රැවාසන්න ප්‍රදේශයකදී නම් අවාසිදායක කරුණක්. සංස්කෘතික හෝ සමාජයීය විකෘතිවලටත් මේ කරුණ අදාළයි.

සමාජ සම්මතය ඒක විවාහ වූ සමාජයක් ස්වභාවිකත්වයෙන් දුරස්ථ වුවත් වඩා “සාධාරණ” සමාජයක්. එවැනි සමාජයක සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න පිරිමියෙක්ට වුවත් සහකාරියක සොයා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. සමාජයක බහුභාර්යා සේවනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී පහළ තට්ටුවේ පිරිමින්ට ගැහැණු හොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා.

කලින් කී පරිදි ප්‍රාග්ධනය හා බලය වැඩිපුර තිබෙන පිරිමියෙකුට වැඩි සහකාරියන් පිරිසක් සමඟ පවුල් කන්න පුළුවන්. එවැනි අය වැඩි වන තරමට පහළ තට්ටුවට ඉතිරි වන ගැහැණු ප්‍රමාණය අඩු වෙනවා. සමාජයක් ලෙස වඩා සෞභාග්‍යමත් වෙද්දී ස්වභාවිකවම සම්පත් බෙදී යාමේ විෂමතාවයනුත් වැඩි වෙනවා. ඉහළ තට්ටුව සතු ප්‍රාග්ධනය හා බලය වැඩි වෙද්දී ඔවුන් විසින් ගැහැණුන්ගෙන් වැඩි කොටසක්ද අයිති කර ගන්නවා. පහල තට්ටුවේ පිරිමින්ට තනිකඩයින් වෙන්න වෙනවා.

පිරිමියෙකුට ගැහැණියක් හොයා ගැනීම අමාරු වන විට ඔවුන් එය වඩා පහසුවෙන් කළ හැකි ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ආදායම් විෂමතා වැඩි තැනක ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි ගැහැණුන් සොයා ආදායම් විෂමතා අඩු ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. එසේ වෙද්දී, එවැනි සමාජයකට යුද්ධයකට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා. පිරිමි වැඩි සමාජයකට යුදමය වාසියක් ලැබෙනවා.

දැන් මේ සිදුවීම්වල චක්‍රීය බලපෑම පැහැදිලි විය යුතුයි. යුදමය ශක්තිය වැඩි රටක් වඩා පොහොසත් වෙද්දී ඒ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා. ගැහැණු බෙදී යාමේ විෂමතාවයත් වැඩි වෙනවා. එවිට ඒ රටේ පිරිමි රටින් පිටතට සංක්‍රමනය වෙනවා. එසේ යන්නේ ආදායම් විෂමතා අඩු සාපේක්ෂව දුප්පත් රටකටයි. එවිට ඒ දුප්පත් රටේ පිරිමි ප්‍රමාණය වැඩි වී යුදමය ශක්තිය වැඩි වෙනවා. ඒ රට පෝසත් වෙනවා. නැවත ඒ රටටත් පළමු රටට සිදු වූ දෙයම වෙනවා. මේ ක්‍රියාවලිය අධිරාජ්‍යය බිහිවීමේ ක්‍රියාවලියට යම් පමණකින් තිරිංග හෙළනවා.

හෙලනික සංස්කෘතිය ඇතුලෙ සිදු වූ ඒකවිවාහ සම්මතය නම් වූ “විකෘතිය” නිසා ඉහත චක්‍රය කැඩුණා. රටේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම හා ආදායම් විෂමතා ඉහළ යාම සිදු වෙද්දී ඒ හේතුව නිසාම සමාජයේ පහළ ස්ථරවලට වූ පිළිගැනීම නැති වී ගියේ නැහැ. දුප්පත් මිනිහෙක්ට වුනත් ගැහැණියක් හොයා ගන්න පුළුවන් වුනා. ඔහුටත් පොහොසතෙක්ට වගේම මිනිහෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලැබුණා. ආර්ථික සෞභාග්‍යයට හා සමාජ සාධාරණත්වයට එක්ව පවතින්න පුළුවන් වුනා. මෙය ඒ කාලයේ වෙනත් බොහෝ සමාජවලට සාපේක්ෂව වෙනස් තත්ත්වයක්.

ඇලෙක්සැන්ඩර් විසින් තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරද්දී අලුතෙන් අල්ලා ගත් ප්‍රදේශවල ජීවත් වූ මිනිස්සු හෙලනික සංස්කෘතියේ වූ සමාජ සාධාරණත්වයට ආකර්ශනය වුනා. ඒ සමාජ සාධාරණත්වය ගැහැණුන්, ළමුන් හෝ වහලුන් දක්වා ව්‍යාප්ත නොවූ සීමිත එකක් වුවත් අඩු ආදායම්ලාභී වැඩිහිටි පිරිමියෙකුට සමාජයේ කිසියම් පිළිගැනීමක් ලැබීම ඒ කාලයේ හැටියට ලොකු වෙනසක්. ඒ නිසා සහ තවත් හේතු නිසා, ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියත් හෙලනික සංස්කෘතිය අකාලයේ මැරුණේ නැහැ.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල