අධ්‍යාපනික, දේශපාලන, විචාර, විද්‍යා හා තාක්ෂණ, සාහිත්‍ය කළා විචාර

මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග

Off

මහේෂ් හපුගොඩගේ “මගේ ලෝකයෙන් පසු ලෝකය” කෘතිය පිලිබඳව පැවති සංවාදයේ සියළුම කතා ඇසුවෙමි. මහේෂ් හපුගොඩගේ හෝ දීප්ති කුමාර ගුණරත්නගේ කතාවේ මූලික හරයන්ට මගේ කිසිදු විරෝධතාවයක් නැත. නමුත් මේ රැස්වීමේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකය කෘතිය (මා කියවා නැත) ගැන සාකච්ඡාව හා ඔහු ජාතිකවාදයට නැඹුරු වීමේ හේතුවක් විග්‍රහ කිරීමට නම් එය එතරම් සාර්ථක වී නැත යනු මගේ අදහසයි.

මහේෂ් හපුගොඩගේ “භක්තිය යනු දෙවියන්ගෙන් ‘නිදහස්’ වීමට ඇති හොඳම මාර්ගය වන්නේය” ලිපියේ මෙවැන්නක් සඳහන් වෙයි. “එසේ නම් බටහිරට ගොස් විද්‍යාඥයෙක් වීමට මුලපිරූ නලින් ද සිල්වා ‘මට බටහිර අරුතකින් විද්‍යාඥයෙක් විය නොහැකි’ (IMPOSSIBLE) බවට ඒත්තු ගනිමින් මෙරටට නැවත පසු බසින විට අනූව දශකයේ දීප්ති කළේ කුමක්ද ? ඔහු කලේ බටහිර දියුණු මතවාද ලාංකික පොළොව මත පැල කිරීමට උත්හාස කිරීමයි. (IMPOSSIBLE INTO POSSIBLE) එසේ නම් ‘අනූව දශකයේ යමක් සිදු වී ඇත’ යන ප්‍රවාදය සත්‍යයකි. නලින් යථාවට බිය වූ බව අප කියන්නේ ඒ නිසාය.”

සැබවින්ම ආචාර්ය නලින් ද සිල්වා යථාවට බිය වූයේද ? මගේ අදහස නම් යථාවට බිය වූයේ එවකට තිබූ පරණ (කොප, ලසසප) හා ඒ කාලයේ පිබිදී ආ නව වාමාංශය (ජවිපෙ) යන්නයි. දීප්තිට බටහිර මතවාද (හේගල්, ලැකාන්ගේ සිට ජිජැක් දක්වා) ලංකාවේ පැල කිරීමට අවකාශයක් බිහිවුනේ එනිසාය. කොටින්ම නලින්ද සිල්වා සහ ගුණදාස අමරසේකර ජාතික චින්තනයට යෑමෙන් නොදැනුවත්වම හෝ ඔවුන් බිහි කළ අවකාශය නිසාය.

මම එය මෙසේ පැහැදිලි කරමි. ගුණදාස අමරසේකර මහතා ද මට මතක විධිහට මුලින් තරමක් දුරට වාමාංශික අදහස් තිබූ අයෙකි. එය නලින් ද සිල්වා මහතාගේ තරම් දැඩිව පැන නැගුනක් නොවේ. මාලින්ද සෙනෙවිරත්නගේ ලිපියකට අනුව ආචාර්ය නලින් ද සිල්වා මහතා අමරසේකරගේ “ධර්මපාලතුමා මාක්ස්වාදියෙක්ද” කෘතිය තදබල විවේචනයකට ලක් කොට ඇත.

අපේ තරුණ වයස අප පසු කලේ ගුණදාස අමරසේකරගේ “යලි උපන්නෙමි”, “කරුමක්කාරයෝ”, “අසත්‍ය කතාවක්” මෙන්ම මාර්ටින් වික්‍රමසිංහගේ “සත්ව සන්තතිය” ආදී ග්‍රන්ථ කියවමිනි. මේවා අපට සමාජය මෙන්ම දැනුමද ප්‍රශ්න කරන්නට කියාදුන් පොත් පත්ය. මට ඉතා හොඳින් මතක ලිපි පෙළක් ආචාර්ය නලින්ද සිල්වා දිවයින පුවත්පතට ලියුවේය. උපාලි විජේවර්ධන ජීවතුන් අතර සිටි ඒ කාලයේ (ඔහු අතුරුදහන් වුනේ ’83 පෙබරවාරිවලය) එම පුවත්පත අද තරම් අතිශය ජාතිවාදී නොවූ තරමක් දුරට හොඳ විද්වත් ලේඛකයන්ගෙන් පිරුණු එකක් විය. මට මතක විධිහට නලින් ද සිල්වා මහතා සෝවියට් කඳවුරේ “සමාජවාදී පන්තිය” ගැන කියුවේද මේ ලිපි පෙළ තුලය. නිලධාරී පෙලැන්තිය සමාජවාදී පන්තියක් ලෙස නම් කළ නොහැකි වුනත් එදා ඔහුගේ අදහස් වටිනා ඒවා විය.

ඔහුගේ ගණිතමය දැනුම, අභ්‍යවකාශ තාරකා විද්‍යාව හා ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනීම විසින් එංගල්ස්ගේ “ඓතිහාසික භෞතිකවාදය” ප්‍රශ්න කිරීම සඳහා ඔහුව පොළඹවන්නට ඇත. එංගල්ස් “ඓතිහාසික භෞතිකවාදය” ග්‍රන්ථයේ ඉදිරිපත් කරන විද්‍යාව සම්බන්ධව හා තාරක විද්‍යාව සම්බන්ධ කරුණු සියල්ලම වාගේ යල් පැන ගිය ඒවා වුවත් ඒවා දේවත්වයේ ලා සැලකීමම ඔහුටද ප්‍රශ්නයක් වන්නට ඇත. එංගල්ස් පොත ලියන විට ලෝකයා දැන සිටියේ එක මන්දාකිණියක් එනම් සෞරග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීර පථය ගැන පමණකි. එංගල්ස් සඳහන් කරන්නේ එපමණකි. එසේම පරිණාමවාදය පිලිබඳ ඉමහත් ප්‍රීතියට පත්ව මාක්ස් විසින් ප්‍රග්ධනයේ දෙවෙනි වෙළුම ඔහුට පුදන්නට කැමති වුවද ඩාර්වින් මාක්ස්ට ලිපි ලියා නැත. (එක ලිපියක් හැර)

එංගල්ස් උදම් ඇනුවේ සත්ව සන්තතියේ පරිණාමය ඩාර්වින් ඉදිරිපත් කල ලෙසටම මාක්ස් මිනිස් සංහතියේ පරිණාමය ඉදිරිපත් කල බව පවසමිනි. ඓතිහාසික භෞතිකවාදය තුල එංගල්ස් තර්ක කළේ එකල දැන සිටි සීමිත විශ්වයේ (මන්දාකිනියේ) පරිණාමය හදාරමින් ලෝකයේ පරිණාමයද ඒ අනුව විග්‍රහ කල හැකි බව කියමිනි. නමුත් අප දැන් දන්නේ මේ පරිණාමය හුදු අහම්බයක් පමණක් බවයි. නමුත් ඒ අහම්බය අපට භෞතික විද්‍යා නියමයන් ඇසුරින් පැහැදිලි කරවා ගත හැකිය.

මහේෂ් හපුගොඩ සිතන්නේද එංගල්ස්ගේ පොත සර්ව සම්පුර්ණ එකක් කියාද ?

පසු කාලයක පෙරටුගාමී සමාජවාදීන් ජවිපෙන් කැඩී යාමට ප්‍රථම පුබුදු ජයගොඩ ප්‍රමුඛ විශ්ව විද්‍යාල සිසුන් විසින් ක්වන්ටම් භෞතිකය ගැන පොතක් ලියා තිබුණි. මට මතක විධිහට එහි නම “ක්වන්ටම් ලෝකයේ දයලෙක්තිකය” වැනි එකකි. එහි අවසානයේ ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනුම මාක්ස්වාදී අදහස්වලට විරුද්ධ නොවන බවට තර්කයක්ද ගෙන එයි.

බොහෝ ක්වන්ටම් භෞතික විද්‍යාවේ නියමුවන් පෙරදිග දර්ශනයන් පිලිබඳ අවබෝධයකින් යුක්තව සිටි බව නොරහසකි. සමහරවිට තමන් හැර දමා තිබූ පෙරදිග දර්ශනය වෙත යන්නට ගණිතඥයකු වන ද සිල්වා මහතාට සිතෙන්නට ඇත. නමුත් ඔහු නිවැරදි නොවන තැන මා ඇතුළු වෙනත් බොහෝ අයට අනුව නම් බටහිර විද්‍යාව අසත්‍යයක් යයිද එය ඉවත දැමිය යුතුයිද ඔහු විසින් ඉදිරිපත් කරන තර්කයයි.

වර්තමානයේ බොහෝ බටහිර විද්‍යාඥයන්, මිට අවුරුදු 40-50 කට කලින් සිටි අය තරම් අන්තවාදී හෝ වාර්ගික නැත. ඉන්දීය, ශ්‍රී ලාංකික හා අප්‍රිකානු විද්‍යාඥයන් බොහොමයක් බටහිර රටවල සේවය කරති. එනිසා බටහිර විද්‍යාව යනුවෙන් අමුතු දෙයක් අද නැත. ජපානය හා චීනයද විද්‍යාවේ දියුණුවට ප්‍රාග්ධනය හා දැනුම සපයන ප්‍රධාන පෙලේ රටවල් දෙකකි. ඒවා ආසියාතික රටවල්ය. පෙරදිග දර්ශනයන් හා බටහිර දර්ශනයද, භෞතික විද්‍යාවද එකතුවුණු නවීන විද්‍යාවේ දියුණුවට උරදෙන්නවුන් තවදුරටත් නලින්ද සිල්වා මහතා කියන පරිදි “යුදෙව් චින්තකයන්” පමණක්ම නොවේ.

උදාහරණයක් ලෙස භෞතික විද්‍යාවේ ක්වන්ටම් භෞතිකයේ අරී අට මග ගනිමු. (eightfold way) පරමාණුවල ද්විතියික අංශුන් (subatomic particles) වන හඩ්රෝන්ස් (hadrons) නිවැරදිව ව්‍යුහගත කිරීම සඳහා වන නියමයන් භෞතික විද්‍යාඥ මරේ ගෙල්මන් (murray Gell-Mann) හැඳින්වූයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසය. ඔහු බෞද්ධයෙකි. (සමාවන්න, සිංහල බෞද්ධයකු නොව ඇමෙරිකානු බෞද්ධයෙකි) ඔහුගේ මෙම අරි අට මග ව්‍යුහගත කිරීමෙන් ක්වාර්ක් මොඩල සොයා ගැනීමට මග පෑදුනි. බෞද්ධයෙකු වශයෙන් ඔහු එම නම භාවිතා කලේ ක්වන්ටම් අංශුන්වල පුදුම සහගත හැසිරීම් නිසා විය හැකිය. (ස්ට්‍රෙන්ජ්නස් strangeness කියා තත්වයක්ද මේ අංශුන්වල ඇත. සිනා නොවන්න)

මෙම මම කලකට ඉහත ලියූවකි. ක්වන්ටම් යුගල බන්ධනය හෙවත් සහසම්බන්ධතාවය

නමුත් ක්වන්ටම් අංශුන්වල එම හැසිරීම මගින් දෙවියන් සිටින්නේ යයි හෝ එම දෙවියන් නාථ දෙවියන් විය හැකියි කියා කොහෙත්ම ඔප්පු වන්නේ නැත.

මේ නාථ දෙවියන් ගැන කලකට ඉහත ලියුවකි. පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

අප මතක තබා ගත යුත්තේ බොහෝ නියමයන් ඉදිරිපත් කර තිබෙන්නේ තවත් කිසියම් ස්වභාවික නියමයකට හෝ රීතියකට, රාමුවකට සාපේක්ෂව බවයි. නිව්ටන්ගේ භෞතික විද්‍යාව හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව වෙනස් වන්නේ ඒවා වැරදි නිසා නොව භාවිත කරන ලද රාමුව නිසාය. ආචාර්ය නලින් ද සිල්වා මෙය හොඳින් දන්නා බවට සැකයක් නැත. මේ ගැන මා ලියා ඇති මේ ලිපියෙන් පහත කොටස උපුටා ගනිමි. නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද ?

නිව්ටන්ගේ වස්තූන් දෙකක ගුරුත්වාකර්ෂණ බලය නියමයන් සත්‍ය වන්නේ නිව්ටන් අවකාශය (space) (නිරපේක්ෂ) නියතයක් (absolute space) ලෙස සැලකීම නිසාය. ඔහුට අනුව වෙනස් වූයේ කාලය පමණි.

අයින්ස්ටයින් අවකාශය හා කාලය යන දෙකම නියතයන් ලෙස සැලකුවේ නැත. ඔහුට අනුව මේ දෙකම විචල්‍යයන්ය. මේ අනුව අයින්ස්ටයින් අවකාශ කාලය (space-time) නමැති සංකල්පය ඉදිරිපත් කළ අතර එය නියත යයි නිගමනය කළේය

ක්වන්ටම් අංශුන් ගැන කතා කරද්දී අවකාශ-කාලය (Space-Time) ද නියත නොවන අතර අවකාශය හා කාලය නියත ලෙස ගෙන ක්වන්ටම් අංශුවක පිහිටීම ගණනය කල නොහැක.

සමහර භෞතික විද්‍යාඥයන් බෞද්ධ හෝ හින්දු වේදයන්හි ඉගැන්වීම් කියවා තිබෙන බවට සැකයක් නැත්තේ ඔවුන් යථාර්තය යනු නියතයක් නොව අදහසක් බවට පෙරදිග දර්ශනයන් හැදෑරීම තුලින් වටහා ගෙන සිටි බැවිනි.

ගෙල්මන් අරී අට මග ගැන විස්තරයක් මෙහි තිබේ. ඔබට කිසියම් භෞතික විද්‍යා දැනුමක් මේ ලිපිය කියවීම සඳහා අවශ්‍යය. Gell-Mann’s Eight Fold Way

ක්වන්ටම් භෞතිකයේ ගණිතමය අවබෝධය අපට කියන්නේ අපගේ යථාර්තය දිගින් දිගටම වෙනස් සම්භාවිතාවන් ලෙස ප්‍රාදුර්භූත වන බවයි. එනම් ඇත්තේ එසේ වීමට ඇති සම්භාවිතාව පමණි. අප සංවේදී වන්නේ හෝ ජීවත් වන්නේ ඉන් එක සම්භාවිතාවක පමණකි. (වඩාත් අවබෝධ කර ගැනීමට ශ්රෝඩින්ගර්ගේ පූසා ගැන කියවන්න)

අප දන්නා පරිදි සෑම පරමාණුක අංශුවකටම (particle) ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් (charge) හා ශක්තියක් (energy) ඇති ප්‍රති-අංශුවක් (anti-particle) තිබේ. මේවායේ ස්කන්ධය සමානය. (mass) ඉලෙක්ට්‍රෝනයට පොසිට්‍රෝනයද, නියුට්‍රොනයට ඇන්ටි නියුට්‍රොනයද, ප්‍රෝටෝනයට ඇන්ටි ප්‍රෝටෝනයද මීසෝනයට ඇන්ටි මීසෝනය ආදී වශයෙනි.

ඒ කියන්නේ පදාර්ථයට (matter) ප්‍රති පදාර්ථයක් (antimatter) ඇති බවය. මේ අංශුන් හා ප්‍රති අංශුන් එකිනෙකා හමුවූ විට එකිනෙකා විනාශ (annihilate) කරගනු ලබන අතර එම සංසිද්ධියේදී ෆොටෝන් වැනි අංශුවක් නිපදවනු ලැබේ. (මේ ප්‍රති අංශුන්වලින් පොසිට්‍රෝනය 1932 දී පෝල් ඩිරැක් හා කාල් ඇන්ඩර්සන් විසින් කරන ලද පරීක්ෂණයකදී සොයා ගන්න ලදී.)

මෙවැනි අදහසක් එනිසා පැන නැගිය හැකිය. අප සෑදී ඇත්තේද මේ පරමාණුක අංශුන්වලින්මය. එම හැම අංශුවකටම ප්‍රති අංශුවක් ඇත්නම් ප්‍රති අංශුවලින් පමණක් ඉපදුනු ප්‍රති-ඔබ කෙනෙක් හෝ ප්‍රති-මම කෙනෙක්ද සිටිය හැකිය. මේ ප්‍රති-මම හෝ ප්‍රති-ඔබ වෙනත් ප්‍රති-විශ්වයක එනම් anti-particle හෙවත් antimatter විශ්වයක සිටිය නොහැකිද ? එවැනි සම්භාවිතාවක් තිබිය නොහැකිද ?

මේ ගැන දිගින් දිගට තව ලිවිය හැකි වුවත් මගේ මූලික අදහස මෙයයි. මේ නිසා තව දුරටත් අපට මිනිස් පරිණාමය පිලිබඳ ඩාර්වින්ගේ මතය පරීක්ෂණ හා නිගමන මගින් තහවුරු කල හැකි වුවත් විශ්වයේ පරිණාමය ඉතා කුඩා අංශූන්ගේ හැසිරීම දක්වා ලඝු කිරීමේදී මුලික ඓතිහාසික භෞතිකවාදයේ සඳහන් කරුණුවල බිඳ වැටීම වැළැක්විය නොහැකිය.

දයලෙක්තික භෞතිකවාදය යනු ඇත්ත වශයෙන්ම යථාර්තය වටහාගැනීම සඳහා වන මාර්ගයකි. එය කෙනෙකුගේ සිතුවිලි, භාවයන් හෝ භෞතික ලෝකය වටහා ගැනීමක් විය හැකිය. කාර්ල් කවුට්ස්කි මේ වදන් යුගල සංයෝජනය කරන විට (coined) අදහස් කලේ සෑම චලනයකම (movement), අන්තර් සම්බන්ධයකම (interconnection), වෙනස් වීමකම (change), එහි විලෝමය (ප්‍රතිපක්ෂය) හා එකිනෙකට පරස්පරවූ (contradictory) පාර්ශ්වයන්ගේ එකතුව (unity) නියත වශයෙන්ම හේතු සහිතව වටහා ගැනීමේ ක්‍රමය ලෙසයි. සරල ලෙස කීවොත් සෑම ප්‍රපංචයකම පක්ෂ හා විපක්ෂ යනුවෙන් දෙකක් ඇති අතර ඒවා ගැටීම මගින් ඒවායේ එකතුව පෙන්නුම් කරනු ලබයි.

අංශුන් හා ප්‍රති-අංශුන්වලට මේ දයලෙක්තික භෞතිකවාදී අදහස ගැලපිය හැකිද ? අංශුන් හා ප්‍රති අංශුන් ගැටීමෙන් නිපදවන නව ෆොටෝනය හේගල් කිවූ සින්තසිස් එකද ?

එසේ නම් ක්වන්ටම් භෞතිකය මගින් පදාර්ථය පවතින්නේ එක් සම්භාවිතාවක් ලෙස යනුවෙන් නිවැරදිවම හෙළි දැක්වීම තුල මේ අදහස් තව දුරටත් වලංගුද ?

මේ නිසා අපට සමාජවාදය පිලිබඳ පරණ ආකල්පය තවදුරත් ඉදිරියට ගෙන යා හැකිද ?

දිප්ති කුමාර හා මහේෂ් හපුගොඩ ආදරය ගැන කියන්නේ එනිසා විය යුතුය. මට වැටහෙන ආකාරයට ඔවුන්ට අනුව (හෝ ජිජැකියානු දර්ශනය තුල) ආදරය හා මිනිස් සම්බන්ධතා වර්ධනය කිරීම තුලින් ධනවාදය අවසන් කිරීමේ අඩිතාලම ගොඩ නගා ගත හැකිය. ප්‍රති-දීප්ති හා ප්‍රති-මහේෂ් වෙනත් ප්‍රති-විශ්වයක වෛරය (පන්ති වෛරය) අත්හදා බලනවා විය හැකිය.

දීප්තිගේ කතාව;
(සංවාදයට විවෘතයි)

ගෙල්මන්ගේ සංවාද 1:

ගෙල්මන්ගේ සංවාද 2

මාක්ස් හා ඩාවින්ගේ ලිපි ගැන:
http://friendsofdarwin.com/articles/marx-capital/
https://www.jstor.org/stable/2709077?seq=1#page_scan_tab_contents

මාන අටක විශ්වය

කොළඹ ගමයා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල