අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

කවිය හා කොමියුනිස්ට්වාදය

Off

පසුගිය ශත වර්ෂයේදී, පෘථිවියෙහි සෑම භාෂාවකම පාහේ මහා කවියයෝ කොමියුනිස්ට්වාදීහූ වූහ. නිදසුනක් වශයෙන්, නිශ්චිත හෝ විධිමත් ආකාරයකින්, පහත දැක්වෙන කවීහූ කොමියුනිස්ට්වාදය සඳහා කැපවී සිටිති: තුර්කියේ, නසිමි හයික්මට්; චිලීහි පැබ්ලෝ නෙරුඩා; ස්පාඤ්ඤයේ රෆායෙල් ඇල්බර්ටි; ඉතාලියේ එඩාර්ඩෝ සන්ගිනිටි; ග්‍රීසියෙහි, යානිස් රිට්සස්; චීනයේ, අයි කිං; පලස්තීන, මහමුද් ඩාර්විෂ්; පේරු, සීසර් වැලේජෝ; සහ ජර්මනියේ සියල්ලටම වඩා දීප්තිමත් උදාහරණය වන, බර්ට්ලොට් බ්රෙෂ්ට්. නමුත්, වෙනත් රටක වෙනත් භාෂාවලින් තවත් බොහෝ සෙයින් ලෝකය පුරා කවීන්ගේ නම් අපට උපුටා දැක්විය හැකිය.

කාව්‍යමය කැපවීම හා කොමියුනිස්ට් කැපවීම අතර ඇති සම්බන්ධය නිකම්ම සරල මිත්‍යාවක් ලෙස හෝ දෝෂයක් හෝ වැරදි සහගත නැමියාවක් ලෙස හෝ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රාජ්‍යයන්ගේ රුදුරුකම පිලිබඳ නොදැනීමක් ලෙස තේරුම්ගත හැකිද ? මම විශ්වාස කරන්නේ නැහැ. මගේ තර්කය කරන්නේ, ඊට වෙනස්ව, කාව්‍යකරණය සහ කොමියුනිස්ට්වාදය අතර අත්‍යවශ්‍ය සම්බන්ධයක් පවතින බව කොමියුනිස්ට්වාදය එහි ප්‍රාථමික අර්ථයෙන්, සමීපව අප අවබෝධ කරගන්නේ නම් එනම් සියල්ලන්ටම පොදු වන දේ පිළිබද සැලකිලිමත් වීම, පොදුවේ ඇති ජීවිතයේ ආතතියක් සහිත, පරස්පරවිරෝධී, ප්‍රචණ්ඩ ප්‍රේමය; සියල්ලන්ටම පොදු වියයුතු සහ සැමට ප්‍රවේශ වියහැකි දේ ප්‍රාග්ධනයේ සේවකයන් විසින් අත්පත් කර නොගැනීම පිළිබඳ ඇති අභිලාෂය. කාව්‍යාත්මක අභිලාෂය වන්නේ, ජීවිතයේ දේවල් අහස පොළව සේ සාගර ජලය සේ- එනම්, මුළු ලෝකයට ම අයිතිය හිමිවීමයි.

කවියන් පරම ලෙස අත්‍යවශ්‍ය කාරණයක් නිසා කොමියුනිස්ට්වාදියෝ වෙත්. ඔවුන්ගේ බලප්‍රදේශය වන්නේ භාෂාවයි. බොහෝ විට ඔවුන්ගේ මව් බසයි. දැන්, භාෂාව කියන්නේ සියල්ලන්ටම උපතේදීම දෙන ලද පරම ලෙස පොදු වස්තුවකි. කවියන් යනු භාෂාවට පැවසීමට නොහැකි දේ පැවසීමට උත්සහ ගන්නා පිරිසකි. කවියෙක් යනු භාෂාව තුළ කාව්‍යකරණයට පෙරදී නාමරකරණයක් නොපැවතුණ නාමයකට නාමකරණයක් නිර්මාණය කරන පිරිසකි. මේ නිසා, කාව්‍යකරණය සදහා අත්‍යවශ්‍යව පවතින මෙම භාෂාවට අභ්‍යන්තරිකව ඇති නිර්මාණයන්, සොයාගැනීම්, මව් භාෂාවට ඇති උරුමයම ලැබීම සහ විරුද්ධත්වයක් නොමැතිව සියල්ලන්ටම ඒවා දෙනු ලැබීය යුතුය. කාව්‍ය යනු භාෂවට කවියාගෙන් ලැබෙන ත්‍යාගයකි. නමුත් මෙම ත්‍යාගය, භාෂව වගේම, පොදු බවට පත්වීම උරුම කරගෙන ඇත. එනම්, මෙම නිර්ණාමික ස්ථානය එක් පුද්ගලයෙකු විශේෂයෙන් වැදගත් නොවන සියල්ලන්ම ඒකීයව වැදගත්වන ස්ථානයකි.

මෙසේ, විසිවන සියවසේ විශිෂ්ට කවියෝ කොමියුනිස්ට්වාදයේ අතිශය වැදගත් විප්ලවීය ව්‍යාපෘති තුළ තමාට හුරුපුරුදු යමක් හඳුනා ගත්හ. එනම්, කවියා තමන්ගේ නව සොයාගැනීම් භාෂාවට දෙන්නා සේම සහ භාෂාව එය සියල්ලන්ටම දෙනු ලබන්නා සේ, ද්‍රව්‍ය ලොව සහ සිතුම් ලොව සමස්ථයක් ලෙස ටික දෙනෙකු සතුවන දේපළක් ලෙස නොව සමස්ත මනුෂ්‍යත්වයේ පොදු යහපත අරමුණු කරගෙන සියල්ලන්ටම ලබා දිය යුතුය.

මේ නිසාවෙනි, කොමියුනිස්ට්වාදය තුළ කවීන් සියල්ලටම ඉහළින් මහජනතාවගේ නවුමු ඉරණමක ආකාරයක් දැක ඇත්තේ. මෙහි ‘ජනයා’ යනු, මුලින්ම සහ ප්‍රධාන වශයෙන්ම දුප්පත් ජනයා, කම්කරුවන්, අත්හරින ලද කතුන්, ඉඩම් අහිමි ගොවිජනයාය. මන්ද, මුලින්ම සහ ප්‍රධාන වශයෙන්ම සියල්ල ලැබිය යුත්තේ කිසිවක් නොමැති අයට වන බැවිනි. ගොලුවන්ට, ගොතගසන්නන්ට, පිටස්තරයන්ටය කවිය පිරිනැමිය යුත්තේ’ එසේ නොමැතිව වාචාලයන්ට, ව්‍යාකරණ ඇදුරන්ට හෝ ජාතිකවාදීන්ට නොවේ. එය හිමි විය යුත්තේ නිර්ධනයන්ටය. මාක්ස් විසින් නිර්වචනය කරන ආකාරයට, තමන්ගේ ශාරීරික ශ්‍රමය ඇරෙන්නට කිසිවක් නොමැති අයටය අප මුළු පෘථිවියම, සියලු පොත පතද සහ සියලුම සංගීතය, සියලුම සිතුවම්, සහ සියලුම විද්‍යාවන් අප පිරිනැමිය යුත්තේ. තවත් මොනවාද ? ඔවුන්ටය සියලුම ආකාරයේ නිර්ධනයන්ටය කොමියුනිස්ට්වාදී කවිය පිරිනැමිය යුත්තේ.

වඩා සිත්ඇදගන්නා සුළු වන්නේ මෙයයි. එනම්, මෙමගින් සියලුම කවීන්ට ඉතා ඉපැරණි කාව්‍ය විලාසයක් යළි සොයාගනු ලැබීමට පොළඹවයි. එනම්: වීරකාව්‍යය. කොමියුනිස්ට්වාදියාගේ කවිය මුලදී නිර්ධනයාගේ වීරත්වයේ වීර කාව්‍ය විය. තුර්කි කවියෙක් වන නසීම් හික්මෙට් මේ නිසා ගී කාව්‍ය ආදරයට කැපවුණ කාව්‍ය ලෙසත්, වීර කාව්‍ය මහජනතාවගේ ක්‍රියාකාරකම් සඳහා කැපවුණ කාව්‍ය ලෙසත් විභේදනය කරයි. සීසර් වැලෙජෝ වැනි බුද්ධිමත් සහ හුදෙකලා කවියෙකු ‘ජනරජයේ ස්වෙච්ඡා සේවකයන්ට ස්තෝත්‍රයක්’ වැනි මාතෘකාවකින් කවියක් ලිවීමට මැලි වන්නේ නැත. එවැනි මාතෘකාවක් පැහැදිළිවම යුද අනුස්මරණයක පිළිවෙළට වීරත්ව කැපකිරීමකට අයත් වේ.

මෙම කොමියුනිස්ට් කවියන් ප්‍රංශයේ වික්ටර් හියුගෝ දැනටමත් සොයා ගෙන ඇති දේ නැවත සොයා ගනු ලබයි. එනම් කවියෙකුගේ යුතුකම වන්නේ, භාෂව තුළ වීරකාව්‍යකට අවශ්‍ය ප්‍රභවයන් ගවේෂණය කිරීමයි. එය තවදුරටත් වංශාධිපතියන්ගේ වැඩවසම්වාදය පිළිබද නොව තවත් ලොවක් තැනීමේ කාර්යයෙහි නියුතු මිනිසුන්ගේ වීරත්වයයි. කවීන් විසින් කවිය තුළට සංවිධානය කළ මූලික සම්බන්ධය වන්නේ, එක අතකින් සංකාව සහ ජීවිතයේ අන්ත දුෂ්කරතා, පීඩනයේ භීතිය, අපගේ අනුකම්පාව ඉල්ලා සිටින සෑම දෙයක්ම සහ අනෙක් අතට බදු අය කිරීම, සටන, සාමූහික සිතුවිල්ල, අලුත් ලෝකය – එබැවින් අපගේ ප්‍රශංසාව ඉල්ලා සිටින සියලු දේ අතර නව දේශපාලනයට අධාර කිරීමට හැකියාව ඇති සම්බන්ධයයි. මෙම අනුකම්පාව සහ ප්‍රසංශාව යන අපෝහකය, පහත හෙළීම සහ ඉහළ නැංවීම අතර ඇති ප්‍රචන්ඩ කාව්‍යමය ප්‍රතිරෝධය, මෙම වීරත්වයෙන් ඉවත්වීම ආපසු හැරවීම යනාදියේය කොමියුනිස්ට්වාදී කවියන් ජීවමාන රූපකය යථාර්ථවාදී නොවන නියෝජනය, සංකේතීය බලය සොයන්නේ.

ඔවුහූ සෑම කල්හිම පීඩාවට පත්වූවන්ගේ සදාකාලික ඉවසීම නොබෙදිය හැකි ලෙස ශක්තිමත් ශරීරයන්ගේ සහ පොදු අදහස්වල සාමූහික බලවේගයක් බවට පත්වන මොහොත ප්‍රකාශ කිරීමට ඇවැසි වචන ගාවේෂණය කරති.

මේ නිසා තමයි එක් මොහොතක් –එක් ඓතිහාසික මොහොතක්- පිළිබඳ 1920 ගණන් සහ 1940 ගණන්වල කවි ලියූ සියලුම කොමියුනිස්ට් කවීන් ගයානා කර ඇත්තේ. ඔබ දන්නා පරිදි 1936 සිට 1939 දක්වා දිග්ගැස්සුණු ස්පාඤ්ඤයේ සිවිල් යුද මොහොත.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසැකවම ලොව පුරා කලාකරුවන් හා බුද්ධිමතුන් බලගතු ලෙස බලමුළු ගැන්වූ ඓතිහාසික සිද්ධිය බව සිතා බලමු. එක් අතකින්, කොමියුනිස්ට්වරු ඇතුළු රිපබ්ලිකන්වරුන්ගේ සියලු දෘෂ්ටිවාදීමය නැඹුරුතා සහිත ලේඛකයන්ගේ පෞද්ගලික කැපවීම සැලකිය යුතුය: සංවිධානාත්මක කොමියුනිස්ට්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, හුදු ලිබරල්වාදීන්, හෝ උද්යෝගී කතෝලිකයන් ගත්තත්, ප්‍රංශ ලේඛක ජෝර්ජස් බර්නානෝස් වැනි ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළ අය ගතහොත් මෙම ලයිස්තුව අතිවිශාලය. යුද්ධය මධ්‍යයේ ස්පාඤ්ඤයට ගිය හෝ රිපබ්ලිකන්වරුන්ගේ පාර්ශවයෙන් යුද්ධයට සහභාගී වූ අය පවා යානදී කුමන අය සමග ගනු දෙනු කළත්.

අනෙක් අතට, මෙම අවස්ථාව සම්බන්ධයෙන් ඇති ශ්‍රේෂ්ට නිර්මාණ සංඛ්‍යාව පුදුම සහගත බවින් අඩු නැත. මම දැනටමත් කාව්‍යකරණය පිළිබඳ බොහෝ දේ කියා ඇත. අප දැන් පැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා නම් අලංකාර සිතුවම ගැන කල්පනා කරල බලමු. අප එම ශානරයේ ශ්‍රේෂ්ටතම නවකතා දෙක ගැන හිතමු. අන්ඩ්‍රේ මැල්රුක්ස්ගේ Man’s Hope සහ ඇමරිකානු ලේඛක එර්නස්ට් හෙමින්වේගේ For Whom the Bell Tolls. ස්පාඤ්ඤයේ අතිබිහිසුණු සහ ලේ වැගිරූ යුද්ධය වසර ගණනකට ලෝක කලාව අලෝකමත් කර තිබේ.

ස්පාඤ්ඤ යුද්ධය පැවති කාලයේදී බුද්ධිමතුන්ගේ මෙම දැවැන්ත හා ජාත්‍යන්තර කැපවීම සදහා අවම වශයෙන් හේතු හතරක් මම දකිමි.

පළමුව, 1930 ගණන්වලදී ලෝකය මුහුණ දුන් අතිවිශාල දෘෂ්ටිමය සහ දේශපාලනික අර්බුදය. මෙම අර්බුදයට සාමකාමී අවසානයක් හෝ නෛතික හෝ එකඟවිය හැකි විසඳුමක් නොමැති බවට මහජන මතය මගින් දැනුනා. ක්ෂිතිජය අභ්‍යන්තර සහ භාහිර යුද්ධ සහිත බියකරු එක් වුණා. බුද්ධිමතුන් අතර පරස්පරවිරෝධී දිශාන්නති දෙකක් අතර තෝරා ගැනීමකුයි පැවතුණේ: පැසිස්ට් සහ කොමියුනිස්ට් දිශානති. ස්පාඤ්ඤ යුද සමයේ මෙම ගැටුම සිවිල් යුද්ධයක ආකාරය ගත්තා, පැහැදිලිව සහ සරලව. එම සමයේ මධ්‍යම දෘෂ්ටිවාදී ගැටුමේ ප්‍රචන්ඩ සංකේතය ලෙස ස්පාඤ්ඤය පැවතුණා. එම නිසයි, මෙම යුද්ධය සංකේතීය සහ එම නිසාම විශ්වීය වටිනාකම අපට කිව හැක්කේ.

දෙවනුව,ස්පාඤ්ඤ යුද සමයේ, ලොව පුරා කලාකරුවන්ට සහ බුද්ධිමතුන්ට අවස්ථාවක් උදා වුණා, ජනප්‍රිය කඳවුරට සහය දැක්වීමට පමණක් නොව සටනට ඍජුව සහභාගී වෙන්නත්. එබැවින්, මතයක් ලෙස පැවති දෙය ක්‍රියාවට නැංවීමක් ලෙස වෙනස් වුණා. සාමූහිකත්වයක් ලෙස පැවති දෙය සහෝදරත්වයක් වුණා.

තෙවනුව, ස්පාඤ්ඤ යුද්ධයේ බිහිසුණු බව ජනතාවගේ හිසටත් උඩින් විය. හැම තැනකම ක්‍රෑරත්වය සහ විනාශකාරිත්වය විය. සිරකරුවන්ව ක්‍රමානුකූල සංහාරකරණය, ඉවක් බවක් නැතිව ගම්බිම්වලට බෝම්බ හෙළීම, පාර්ශවයන් දෙකේම නිර්දය බව යනාදිය මේ සියල්ල කුමක් විය හැකිද සහ ඇත්ත වශයෙන්ම ස්පාඤ්ඤ යුද්ධය පුරෝකතනයක් වූ ලෝක ව්‍යාප්ත යුද්ධයක් කුමක් විය හැකිද යන්න පිළිබඳ ජනතාවට අදහසක් ලබා දුන්නා.

සිව්වනුව, ස්පාඤ්ඤ යුද්ධය යනු මාක්ස්වාදී ව්‍යාපෘතිය සාක්ෂාත් කරගැනීමේ ශක්තිමත්ම, සමහර විට, ලෝක ඉතිහාසයේ අනූපමය මොහොතයි. එම නිසාම එය ජාත්‍යන්තරවාදී විප්ලවවාදී දේශපාලනයකි. අන්තර්ජාතික සේනාංක මැදිහත්වීමේ අර්ථය අප මතක තබා ගත යුතුය: ඔවුන් පෙන්වා දුන්නා, දැවැන්ත ලෙස ජාත්‍යන්තර සිත් බලමුලු ගැන්වීම, අන් කවරදෙයකටම පෙර, ජාත්‍යන්තර ජනතා බලමුලු ගැන්වීමක්ද වන බව. මට හිතෙනවා ප්‍රංශයේ උදාහරණය ගැන: ස්වෙච්ඡා සේවය කළ, බොහෝ විට කොමියුනිස්ට්, දහස් ගණන් කම්කරුවෝ ස්පාඤ්ඤයේ සටනට සහභාගී වී තිබුණා. නමුත් මේ ජනතාව ඇමරිකානුවන්, ජර්මානුවන්, රුසියානුවන් වශයෙන් සියලු රාජ්‍යයන්ගෙන් පැමිණි ජනතාවකි. මෙම කැපීපෙනෙන ජාත්‍යන්තර කැපවීම, මෙම වැදගත් ජාත්‍යන්තරවාදී ආත්මීයත්වය විය හැකියි මාක්ස් සිතූ ආකාරයේ වඩා කැපීපෙනෙම සාර්ථකත්වයය. එය වැකි දෙකකින් කෙටි කර දැක්විය හැකි ය: ප්‍රතිශේධාත්මක ලෙස, නිර්ධන පන්තියට පීතෘ භූමියක් නැත, ඔවුන්ගේ දේශපාලනික වාසභූමිය වන්නේ, මිනිසුන් හා ගැහනුන් ජීවත්වන මුළු ලොවමය. ප්‍රතිජානාත්මක ලෙස, ධනවාදී කඳවුර, එහි අවසාන ස්වරූපය වන ෆැසිස්ට්වාදය ඇතුළු, සියලු දෙනාගෙම සතුරා සමග අභිමුඛ වීමට ඉඩ සලසන අවසානයේ ඒ සියල්ලට ඉහළින් විජයග්‍රහණය කිරීමට ඉඩ දෙන්නේ ජාත්‍යන්තර සංවිධානයයි.

එපරිද්දෙන්, වීරකාව්‍ය ජනප්‍රිය වීරකාව්‍ය දිශාවකට එනම් ජනතාවගේ විඳවීම පිළිබඳ සහ ඔවුන්ගේ ජාත්‍යන්තරවාදී වීරත්වය, සංවිධිත සහ සටන්කාමී එකක් ලෙස යාවත්කාලීන කිරීම සදහා ස්පාඤ්ඤ යුද්ධය තුළ කොමියුනිස්ට් කවීන් ප්‍රධාන ආත්මීය හේතු සොයා ගත්තා.

ඇලන් බදියු. The age of the poets

පරි. කුසල් කුරුවිට

BAWA WEB

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල