විවිධාංග, සංචාරක හා ඡායාරුප

මොටෝසයිකල් දිනපොත 03 – පැච් කතා

Off

වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණද, ඒ කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහසය. ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස් අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත රථයකිනි. දුම්රියේ නැගී නුවරඑළිය වෙත යන ගමන, මෝටර් රියක නුවරඑළිය වෙත යන ගමනට වඩා හාත්පසින් වෙනස් වනවා තරමටම, යතුරුපැදියේ නුවරඑළි ගමනද වෙනම තලයක ඇති අත්දැකීමකි. කෙටියෙන්ම කිවහොත් හිරු නැග එන හෝරාවේ යතුරුපැදියකින් රටේ මධ්‍යම කඳුකරයේ කඳු අතර හුදෙකලා වීම යනු ඔබව වෙනම ලෝකයට ගෙන යන්නකි.

දිගටම පණගැන්වූ එන්ජිමෙන් උණුසුම් වෙමින්

රාත්‍රී අටට කිරිබත්ගොඩින් පිටත් වූ ගමනට තරමක බාධාවක් එල්ල වන්නේ හරියටම අලුයම දෙකට පුස්සැල්ලාවේදී පසුපස රෝදයේ හුළං යෑමෙනි. මහනුවර-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තේ වත්තක් මැද මොටෝසයිකලය නවතා එන්ජිම නිවා දැමූ පසු හාත්පසම පැතිර ගියේ අසල සිටින්නාවද නොපෙනෙන කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයකි. කිලෝ ගණනක් බර කැමරා, ඇඳුම් සහ අත්‍යවශ්‍ය ආම්පන්න මොටෝසයිකලයට පටවා තිබියදීම එය නැවතත් කඳු බෑවුම ඔස්සේ ආපහු පහළට තල්ලුකරගෙන ආ පසු ටයර් කඩයක් සොයා ගැනීමට අපට හැකි විය. මොටෝසයිකල ගමන්වලට “මැජික් නම්බරය අංක දෙක” යැයි මා කියන්නේ මේ හේතුව නිසාය. එක්කෝ යතුරු පැදි දෙකක් ගමනට එකතු විය යුතුය, නැතිනම් එකම යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කල යුතුය. බොහෝවිට සුමට නොවන මොටෝසයිකල ගමන්වල මුහුණ දීමට සිදුවන අවදානම්වලට සූදානම් විය යුත්තේ එසේය. නමුත් යතුරු පැදි දෙකකට වඩා සහභාගීවන ගමන් බිමන් සඳහා මගේ උනන්දුවක් නැත්තේ අවශ්‍ය තැනක කැමති නම් පැය ගණනක් හෝ ගමන නවතා අවට පරිසරය නිස්කලංකව ගවේෂණය කිරීමේ නිදහස මා සතු කරගැනීමටය. පසුව අකුරු අමුණා ලියවුණද මේ සටහන්වලට වචන අනුපිළිවෙල ගලා එන්නේ බොහෝ විට එසේ ගතවන විරාමයන්වලදීය.

යාන්තමින් නුවරඑලියට

කෙසේ හෝ පසුදා උදෑසන වනතුරු යතුරු පැදිය මුරකිරීමේ රාජකාරියේ උන් සගයාට වැඩේ තනිවම බාර කරමින් මට නින්ද ගොස් තිබුනේ, නිදිමත පහවෙන්නට යැයි කියා කඩා විවර කල දෙවනි රෙඩ්බුල් කෑනයෙන් පලමු උගුර පානය කල මොහොතේම වාගේය. පසුදා පහන්වන තුරුම ඉඳ හිට අතපය උණුසුම් කරගත්තේ විටින් විට ස්ටාට් කර ධාවන තත්ත්වයේ තබා ගත් මොටෝසයිකලයේ එන්ජිමේ ආනුභාවයෙනි. ධාවනය වන මොටෝසයිකල් එන්ජිමක් යනු සීතලට හොඳ ගිනිමැලයක් සේම වැස්සෙන් තෙත බරිත වූ පසු ඇඳුම්, මේස් සහ සපත්තු වියලාගත හැකි හොඳ මෙවලමක් බව අත්දැකීමෙන්ම කිව හැකිය. රෑ එලිවෙනතුරු ධාරානිපාත වැස්සක තෙමෙමින් කොළඹ සිට බලංගොඩ හරහා බණ්ඩාරවෙල සහ බදුල්ල බලා ගිය ගමනකදීද උණුසුම් එන්ජිම හොඳ ප්‍රතිකර්මයක් වූ බව මතකය. කෙසේ හෝ පුස්සැල්ලාවේ පැච් කතාව කෙලවර වන්නේ උදේ අට වනතුරුම ගමනට පැය හයක ප්‍රමාදයක් එකතු කරමිනි.

මැද සිටින්නේ නුවරඑලියේදී එකතු වූ “සමකය වටේ” යන නලීන් අයියාය

කිලෝමීටර් හයසියයක මොටෝසයිකල් ගමනකදී දෙවරක් පැච් යෑමේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන් මාස දෙකකට පමණ පසුවය. රෑ එලිවෙනතුරු “හොල්මන් වැස්සකට” ද මුහුණ දෙන්නට සිදු වූ මේ ගමනේ පළමු පැච් එක යන්නේ බණ්ඩාරවෙල නගරය පසුකර සුලු දුරකින් පසුවය. අතරමගදී මීරිගම, ඇහැලියගොඩ සහ බළංගොඩ නගරවලදී රොටී, ආප්ප සහ ප්ලේන්ටී ආදිය සප්පායම් වී සිටියද බණ්ඩාරවෙලදී බරසාර උදේ ආහාර වේලක් ලබා ගැනීමේ උවමනාව තදබල ලෙස තිබූ බව මතකය. ආහාරවේල බරසාර කරගැනීමට තරම් මට්ටකම කඩයක් නුදුටු තැන නගරයද පසුකර කිනිගම හන්දියට එද්දී අපට හමු වූයේ සිරා බුෆේවකි. බත්ද, පරිප්පු හා සම්බෝල, කුකුළු මස් ආදිය යහමින් බෙදාගෙන භුක්තිවිඳ, වටලප්පම්ද යහමින් බඩට යවා කඩේ තරුණයා හා අල්ලාප සල්ලාපයට වැටුනේ මදක් හුස්ම ගැනීමට තරම්වත් බඩ බහින තුරුය.

සාමාන්‍යයෙන් මොටෝසයිකල් සංචාරවලදී ආගන්තුකයන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙනවිට ඔවුන් අප ගැන අසන පැණවලට දිය හැකි සරල පිලිතුරු කිහිපයක් අපි මුල සිටම පුරුදු වී ඇත්තෙමු. බොහෝවිට එම උත්තර අර්ධ-සත්‍යය. අසන ප්‍රශ්නවලට ඇත්තම නොකියා සියල්ල ලඝුකොට කීමේ ප්‍රධානම හේතුව අපව ‘මැජික් එකක්’ ලෙස පෙනීම වලක්වා ගැනීමය. ඒ පැණවලට ඒ සරළ පිලිතුරු කිහිපය ලබා දුන් පසුව එලඹෙන්නේ අප ඔවුන්ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ වාරයය. කිනිගම පාර ඔස්සේ ඇල්ල නගරයට ලඟා විය හැකි වඩා දර්ශනීය මාර්ගයක් ඇතිවග අප දැනගන්නේ කඩේ තරුණයා හා යෙදුන ඒ අල්ලාප සල්ලාපයේදීය. ඉතින් සුපුරුදු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය මගහැර, නැවත සෑහෙන දුරකට නගරයක් හසු නොවන හුදෙකලා මාර්ගයට අප යොමුවන්නේ ඒ අනුවය. අවාසනාවක මහත, ඒ ගමනේ පලමු පැච් එක යන්නේ ඒ මාර්ගයේ දරුණු කඳු, පල්ලම් සහ වංගු පසුකරමින් කිලෝමීටර තුනක් පමන පැද යෑමෙන් අනතුරුවය ! විනාඩි හතලිහක පමණ දහදිය මුගුරු හෙලීමකින් අනතුරුව නැවත මාර්ගය වෙනස් කිරීමට තීරණය කල ස්ථානය වෙතටම මොටෝසයිකලය තල්ලු කිරීමට සිදුවන්නේ ඒ අනුවය ! නැවතත් මදක් විපරම් කිරීමෙන් අනතුරුව සොයාගත් ටයර් වෙළඳසැලකින් අවශ්‍ය අලුත්වැඩියාව කරගන්නා අතරතුර මා යාබද නිවසකට ගොඩ වැදුනේ ශරීර කෘත්‍යය වෙනුවෙනි. මගේ සගයාට එවන් අවශ්‍යතාවක් ඒ වනවිට නොවූයේ ඌ උදේ පාන්දරම හපුතලේ දුම්රියපොලේ ‘නිරීක්ෂණ චාරිකාවක්’ අතරතුර බර සැහැල්ලුකරගෙන සිටි නිසාය. කෙසේ හෝ අලුත්වැඩියාවෙන් පසුව වෙහෙසටත් හිතේ අමාරුවටත් තීරණ ගැනීමේ අයිතිය පවරා, අපි සුපුරුදු බදුල්ල පාර ඔස්සේම ඇල්ල බලා හැල්මේ ඇදුනෙමු.

රැය පහන්වනතුරු කල ධාවනයකින් පසුව උදෑසන හමුවන හුදෙකලා කැලෑබද මාර්ගයක් යනු කෙටි නින්දකට තෝතැන්නකි.

සාර්ථක සංචාරයකින් පසු ආපසු එන ගමනේ දෙවන පැච් එකද යන්නේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදීය. වාසනාවට කිලෝමීටර දෙකක් ඇතුලත ටයර් වෙලඳසැලක් තිබූ හෙයින් පැය බාගයක් තුල ටියුබයම මාරුකොට අලුත්වැඩියා කරගැනීමට හැකිවීම අපේ වාසනාවය.

පැච්කතා හමාර කිරීමට මත්තෙන් ලිවිය යුතු honorary mentions ද ඇත ! ටයර් ටියුබය හිල් වී හුලං බිඳුවක් නැති බව දැන දැනම “වෙන දෙයක් වෙත්දෙන්” කියා පැදගිය උපරිම දුර කිලෝමීටර් හතලිස් පහකි. වේගය අවම වශයෙන් පැයට කි.මි. 40 ට වඩා පවත්වා ගන්නටද සිදු වූයේ වේගය අඩුකල සැනින් දැනෙන්නට ගන්නා අධික පුනරාවර්තී ගැස්ම නිසාය. එම රාත්‍රියේ මට තිබුණේ විකල්ප දෙකකි. එකක් උදෑසන වනතුරු මොටෝසයිකලයද සමග පැය දොලහක් පමන පාර අයිනේ ගත කර, උදෑසන කෙසේ හෝ නගරයක් සොයා ගැනීමය. දෙවැන්න, සිදුවන අලාභහානියක් පසුව විඳ දරාගෙන මොටෝසයිකලය පැද ගොස් ගෙදරට වී නිදා ගැනීමය. ඉතින් මා තෝරාගත්තේ දෙවැන්නය ! රිම් එකට හෝ ටයරයට කිසිදු හානියක් වී නොතිබූ අතර, ටියුබය මාරු කිරීමට සිදු වූ නමුත්, පසුදා උදෑසන මගක් තල්ලුකරගෙන එන විට පෙරදා රාත්‍රියේ එතරම් දුරක් පැද ආ හැටි සිටිපත් වී ‘ඔන්න ඔහේ’ නිවස සමීපයේ ටයර් කඩය දක්වා ඉතිරි දුර පැද යාමට සිත් වී මගදී පොලිසියෙන් දඩයක් කෑමට නම් සිදු විය. ඊට හේතුව තල්ලුකරගෙන යාමේ අටියෙන් එලියට බැස්සේ හෙල්මට් නොමැතිව බව මෙහි ලියා තබන්නට නුඋවමනා තරම්ය !

අල්තයීර්ගේ අඩවිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල