කාලීන සංවාද, විවිධාංග, විශේෂ

පිංකි

0

මේ ඉන්නේ පිංකි. නමට ගැලපෙන සුකුමාල පෙනුමක් නම් නෑ තමයි. ඒත් ඉතින් එක එක්කෙනා තමන්ට දාපු නම් ගැන පිංකිට වගකීම බාරගන්න බැහැ. පිංකි බොහොම විශේෂ සතෙක්. ඒකට හේතුව මෙයා රස්සාවක් කරන බැල්ලියක්.

මේ පින්තූරේ තියෙන ගෙදර නෙමෙයි මෙයාගේ පදිංචිය. ඊට හැතැප්මක් විතර එහා වෙන ගෙදරක්. මේ එයා රස්සාව කරන තැන. මෙයා හැමදාම උදේ හතට මේ ගෙදරට එනවා. ඇවිත් දවසෙන් වැඩිහරියක් ගත කරනවා. උදේට, දවල්ට, රෑට එතැනින් කෑම කනවා. ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්න පරක්කු වෙන්න පිංකි කැමති නැති නිසා රෑ කෑම එක නම් ටිකක් වේලාසනින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හවස හයට විතර රෑට කෑම කාලා පිංකි වැඩ ඇරිලා ගෙදර යනවා.

‘පිංකි’ කියලා නම දාලා තියෙන්නේ රස්සාව කරන ගෙදර කට්ටිය. ඒ කෑම දෙන්න අඬගහන්න ඕන නිසා. රස්සාව කරන ගෙදරත් බල්ලෙක් ඉන්නවා. එයා එක්ක පිංකි ගේ වැඩි බජනයක් නැහැ. කිසිම ආදර සම්බන්ධයක්වත්, යාළුකමක් වත්, තරහක් වත් නැහැ. එයා එයාගේ පාඩුවේ ඉන්නවා. පිංකි රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා. රස්සාවට කියලා ලොකුවට තියෙන්නේ වත්තට එන පිටස්තරයෙකුට බුරන එක විතරයි. වැටක් කැඩුණු තැනකින් හරකෙක් වත්තට ආවොත්, එහෙම නැත්නම් හිඟන්නෙක් ආවොත් එහෙම පිංකි වහාම ක්‍රියාත්මක වෙලා බුරලා ඒ ආක්‍රමණ වළක්වලා දානවා. ගෙදර බල්ලාට ටිකක් නාටු පාන්කඩ පෙනුමක් තියෙන නිසාත්, තමන්ට ටිකක් වැදගත් සැර පාටක් තියෙන නිසාත් මේ වැඩේ හරියට කෙරෙන්න නම් තමන්ම ඉන්න ඕන බව පිංකිට තේරෙනවා. ගෙදර අයත් තමන් ඉන්නවාට අකමැත්තක් නැත්තේ ඒ නිසා වෙන්න ඕන කියලා පිංකිට හිතෙනවා. එහෙමයි කියලා ගෙදර කට්ටිය එක්කවත් එයා වැඩි ඇඟෑලිකමක් නැහැ. කවුරුහරි ළඟට ආවොත් නැගිටලා යනවා. ඒ, රස්සාව කරගෙන ඉන්න අනවශ්‍ය යාළුකම් මොකටද කියලා හිතන නිසා

මේ ගෙදර බලෙන් වගේ රස්සාවට ආවාට ඒ රස්සාව ස්ථිර වෙයිද කියලා බයෙන් තමයි මුලදී පිංකි හිටියේ. කියන්න බැහැනේ ඉතින්, එක බල්ලෙක් ඉන්න ගෙදරකට, උදේ ඇවිත් හවස යන තව බල්ලෙක් නවත්තගන්න ගෙදර කට්ටිය කැමති වෙයිද කවුද දන්නේ? ඒ දවස්වල පිංකි දවල් දවසට හිටියේත් මිදුලේ කෙළවරක. කවුරුහරි ගල් ගෙඩියකින් හරි ගැහුවොත් එහෙම දුවන්න බලාගෙන! ඒ විදිහට දෙගිඩියාවෙන් හිටිය දවසක, හවසක ඇඳිරි වැටීගෙන එනකොට, ගෙදර කුස්සිය පැත්තේ ඉඳන් කෙනෙක් තව කෙනෙකුට කිව්වා “අනේ අර බැල්ලිට ගෙදර යන්නත් තියනවා… ඉක්මනට කෑම ටික ලෑස්ති කරලා දෙන්න!” කියලා. ඒ කතාව නිසා පිංකි දැනගත්තා තමන්ගේ රස්සාව ස්ථිර වෙලා කියලා. එදායින් පස්සේ පිංකි කිසිම බයක් සැකක් නැතිව උදේට රාජකාරියට වාර්තා කළා. හැමෝටම හොඳට පේන හරියෙන්ම හාන්සිවෙලා හිටියා. ගෙදරට එන අමුත්තන්ට ටිකක් වැඩිපුර සද්දෙන් බිරුවා. කෑම දෙන්න අඬගැහුවාම ‘නැතුවට කමකුත් නැහැ!’ වගේ ටිකක් වෙලා වැදගත්කමට ඉඳලාම කන්න ගියා.

කොහොම උනත් මේ රස්සාව පරෙස්සම් කරගන්න තමයි පිංකිගේ බලාපොරොත්තුව. දැන් කාලේ හැටියට ගෙදරට ළඟපාතක ස්ථීර රස්සාවක් තියෙනවා කියන එක කොයිතරම් ලොකු දෙයක්ද? අනික තුන් වේලටම කෑමත් එක්ක!

ප. ලි. පින්තූරය අපැහැදිලි, ළඟට එනවාට අකමැති පිංකි ව බොහෝ දුර සිට ඡායාරූපගතකර crop කළ නිසාය.

Hot Chocolate Days

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල