අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

බැලුම පාට වෙයිද ?

0

ඔය ඉඳ හිටලා දවසක අපි යාළුවෝ එක්ක මානුෂික සබඳතා පවත්වලා ආපහු නිවසට එනකොට පොලීසියෙන් නවත්වලා බැලුමක් පුම්බලා දෙන්න කියා ඉල්ලා හිටින්න ඉඩක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක හදිසියේවත් බැලුම කොළ පාට වුනොත් සිද්ද වෙන අවුල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා කාල් මාක්ස් කියල තියෙන නිසා මාක් කරගෙන හරියටම කාලක් ගැහුවා කියලා පොලිස් නිලධාරියාගෙන් බේරෙන්න බැහැනේ. ඒ නිසා, ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තිබෙන ඉඩප්‍රස්තා අවම කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි.

රථවාහන ආඥාපණතේ 151 වගන්තිය අනුව, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය කිරීම නීතිමය වරදක්. මේ වරද වරදක් වීම සඳහා රිය අනතුරක් සිදුවීම හෝ වාහනය නිසි සේ ධාවනය නොකිරීම වැනි දෙයක් සිදුවිය යුතු නැහැ.

කිසියම් රියැදුරෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සැකයක් ඇති වුවහොත් පොලිස් නිලධාරියාට අදාල රියදුරා මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා “බැලුම් පුම්බන” ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටිය හැකියි. එසේ නැත්නම් අදාළ රියැදුරාව රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කළ හැකියි. රියැදුරා විසින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් පණත අනුව එසේ මත්පැන් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මතම රියැදුරා මත්පැන් පානය කර ඇති බව උපකල්පනය කළ හැකියි.

මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය නොකළ හැකි බව කීම අවිනිශ්චිත ප්‍රකාශයක්. මේ විදිහට වාහනයක් ධාවනය කළ නොහැක්කේ මත්පැන් පානය කර කොපමණ කාලයක් ඇතුළතද ?

කිසියම් අයෙක් මත්පැන් පානය කර සිටීද යන්න නිගමනය කිරීමේ නිර්ණායකයක් ලෙස බොහෝ රටවලදී කරන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පරීක්ෂා කර බැලීමයි. බොහෝ බටහිර රටවල යමෙක් මත්පැන් ගෙන වාහනයක් ධාවනය කිරීමේ වරදට වරදකරු කළ හැක්කේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.08% මට්ටම ඉක්මවා ඇත්නම් පමණයි. මේ සීමාව මීට වඩා අඩු හා වැඩි රටවල් හා ප්‍රදේශත් ඕනෑ තරම් තිබෙනවා.

රථවාහන ආඥාපණතේ ප්‍රතිපාදන අනුව අදාළ විෂය භාර ඇමතිවරයාට රියැදුරෙක් මත්පැන් පානය කර තිබේද යන්න නිශ්චිතව නිගමනය කරන ආකාරය සඳහන් කරමින් නියාමන කොන්දේසි සකස් කළ හැකියි. මේ ආකාරයේ නියාමන කොන්දේසි අදාළ විෂය භාර ඇමතිවරයා විසින් 1979 ජූලි 13 දින ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් පානය කර රිය ධාවනය කිරීමට යමෙක් වරදකරු වෙන්නේ රුධිර මිලිලීටර 100 ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 0.08කට එහෙමත් නැත්නම් මිලිග්‍රෑම් 80කට වඩා වැඩිනම් පමණයි. මේ ගැසට් නිවේදනය ඉන්පසුව යාවත්කාලීන කර ඇති බවක් මා දන්නේ නැහැ. ඒ නිසා, එය තවමත් වලංගුයැයි මා හිතනවා.

ඉහත ගැසට් නිවේදනය හා රථවාහන ආඥාපණත එක්ව ගත් විට මත්පැන් පානය කර රිය ධාවනය කළ බවට යමෙකුට චෝදනා කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් හෝ ප්‍රශ්වාස වාත පරීක්ෂාවක් වැනි නිශ්චිත පරීක්ෂාවක් කිරීමෙන් පසුව පමණයි. වෛද්‍යවරයෙකු විසින් එවැනි පරීක්ෂාවක් සිදු නොකර යමෙක් මත්පැන් පානය කර ඇති බව නිගමනය කර ඇති විටක චුදිතයාට වෛද්‍යවරයාගේ එම නිගමනය අභියෝග කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ වෛද්‍ය මතය හා පහළ අධිකරණය ලබාදුන් තීන්දු අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇති අවස්ථාත් තිබෙනවා. කෙසේ වුවත්, මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් එයට අභියෝග කරන්න යන්නේ නැහැ.

රථවාහන පොලිස් නිලධාරියකු අතේ ප්‍රශ්වාස වාත පරීක්ෂණ උපකරණයක් ඇති විට මත්පැන් පානය කර සිටින රියැදුරෙකුට ගැලවෙන එක පහසු නැහැ. බැලුම පුම්බපු ගමන් බඩු මාට්ටු. දැන් ලංකාවේ ගොඩක් රථවාහන පොලිස් නිලධාරීන් අතේ බැලුම් තිබෙනවා. ඒ නිසා, තමන්ගේ රුධිරයේ මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80කට වඩා වැඩියි කියා සැකයක් තිබේනම් සුක්කානමට අත නොතැබිය යුතුයි. එසේ නොකිරීමෙන් නීතියෙන් ගැලවෙන්න වගේම තමන්ගේ හා අනුන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඉන්නත් පුළුවන්.

ඔහොම කිවුවට අපි මානුෂික සබඳතා පවත්වලා අවසන් කරලා රෑ දෙගොඩ ජාමේ ගෙදර යන්න කලින් බැලුම් පුම්බලා බලන්නේ නෑනේ. එහෙමනම්, ඒ වගේ වෙලාවක දළ වශයෙන් තමන්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇස්තමේන්තු කර ගත හැකි ක්‍රමයක් තියෙනවද ?

වැඩේ ගොඩක්ම අමාරු නැහැ. මුලින්ම තමන් ඇල්කොහොල් මිලිලීටර් කීයක් බිව්වද කියන එක ගණන් හදා ගන්න ඕනෑ.

අපි හිතමු 8.8% ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තියෙන මිලි ලීටර 625 ක බියර් බෝතලයක් බිව්වා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල් මිලි ලීටර 55 ක් පමණ රුධිරයට එකතු වෙලා. 33.3% ක සාන්ද්‍රණයක් තිබෙන අරක්කු බෝතලයක් (මිලි ලීටර 750 ක්) හතර දෙනෙක් එක්ක බිව්වොත් ඇල්කොහොල් මිලි ලීටර 62.5 ක් රුධිරයට එකතු වෙලා.

මේ විදිහට රුධිරයට එකතු වන ඇල්කොහොල් නිසා රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය කොයි තරම් ඉහළ යනවද කියන එක ශරීරයේ බර හා ස්ත්‍රී පුරුෂභාවය අනුව තීරණය වෙන දෙයක්. එකම ඇල්කොහොල් ප්‍රමාණය බොන බර වැඩි කෙනෙක්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යන්නේ බර අඩු කෙනෙකුට වඩා අඩුවෙන්. සමාන බර තිබෙන පිරිමියෙකුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් ගැහැණියකගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවා.

රුධිර මිලිලීටර 100 ක තිබෙන ඇල්කොහොල් මිලිග්‍රෑම් ප්‍රමාණය හොයා ගන්න බීපු ඇල්කොහොල් මිලි ලීටර ගණන කිසියම් අනුපාතයකින් ගුණ කළ යුතුයි. බර කිලෝ ග්‍රෑම් 76 ක් පමණ වන පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.5 ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම් 94 ක් පමණ දක්වා ඉහළ යනවා. 8.8% සැර බියර් බෝතලයක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම් 82.5 ක් පමණ දක්වා ඉහළ යනවා. සමාන බර ගැහැණියකගේ සිරුරේ මේ සාන්ද්‍රණය 10% කින් පමණ වැඩියි.

සිරුරේ බර අඩු වැඩි වෙද්දී ඉහත අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 60 ක් බර පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.9 ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම් 119 ක් පමණ දක්වා ඉහළ යනවා. අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත ආකාරයෙන් සොයාගන්න පුළුවන්.

ඇල්කොහොල් සාන්ද්‍රණය (මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම්) = පානය කළ ඇල්කොහොල් ප්‍රමාණය (මිලි ලීටර) * 115/ සිරුරේ බර (කිලෝග්‍රෑම්)

මේ පිරිමියෙක් හා අදාළව. ගැහැණියක් හා අදාළවනම් 115 වෙනුවට 126 යොදාගෙන ගණන හදාගන්න පුළුවන්.

දැන් ඔය විදිහට ගණන හදාගත්තට පස්සේ 80 කිට්ටුවට ඇවිත්නම් ඒ කියන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට අහුවෙන්න ඉඩ තිබෙනවා කියන එකයි. ඒ වෙලාවට, සුක්කානමට අත තැබිය යුත්තේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම අඩුවෙන්න කාලයක් දීමෙන් පසුවයි. ඒ සඳහා කොයි තරම් වෙලාවක් යනවද?

ගැහැණු පිරිමි හෝ මහත කෙට්ටු වෙනසක් නැතුව රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන නිශ්චිත වේගයක් තියෙනවා. කෑම කෑවට, දෙහි බිව්වට, තේ කෝපි බිව්වට, නෑවට, ව්‍යායාම කළාට ඒ වේගය වෙනස් කරගන්න බැහැ. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම් 15 කින් අඩු වෙන්න පැයක් පමණ යනවා. බීපු අරක්කු ප්‍රමාණයේ හා සිරුරේ බර අනුව (කිලෝ 60 ක පිරිමියෙකුට) සාන්ද්‍රණය මිලි ලීටර 100 කට මිලි ග්‍රෑම් 119 ක් පමණ දක්වා නැගල නම් සාන්ද්‍රණය 80 මට්ටමට බස්සගන්න පැය 3 කට කිට්ටුව යනවා. නමුත්, ඒ ප්‍රමාණයම බීපු කිලෝ 76ක පිරිමියෙකුට පැයෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

මෙහෙම කිවුවට මේ ගාණ හදාගන්න එකත් ටිකත් බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ තේරෙනවා ඇති නේද ? එහෙම තේරෙනව නම් ඒත් හොඳම වැඩේ සුක්කානමට අත නොතියා ඉන්න එක. නැත්නම් ලාල්කාන්ත සහෝදරයාට වුණා වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල