කාලීන සංවාද

කොලොම්පුරේගේ ඉල්ලගෙන ඇන ගැනීම, කටුස්සාගේ අනාගත ස්වරූපය, කම්මලේගේ හදිසි අතුරුදහන් වීම, යකාගේ විදුරු බිඳිල්ල, නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ කණ්ඩා ගේ සාදර සමාදර බ්ලොග් හැන්දෑව Blogger’s Eve March 2019

Off

මාස දෙහෙකටත් වැඩි කාලයක් ඉඳල අපේ කණ්ඩා ට උණක් බෝ වෙලා තිබ්බනේ බ්ලොග් කාරයෝ ටිකක් එකතු කරගෙන පාටියක් දාන්න.. අපිනම් ඔය නිතර දෙවේලේ තැන තැන සෙට් වෙන එවුන් වෙච්චි ඕකේ ඒ හැටි ලකයක් ගැන හිතුවේ නැති උනත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් එක හා අටම්පහිය ෆේස්බුක් පේජ් එක හරහා බ්ලොග් මන්දගාමී වෙන්න නොදී ඇදගෙන යන නයනේ, නිදි, අතුල අබේරත්න වගේ ජේෂ්ඨ පුරවැසියෝ සෙට් එකටත් විප්‍රවාසව ඉඳල ඇරියස් එක්ක එන කණ්ඩාටත් මේක මහා පරිමාණයෙන් ම කරන්න ඕනි උනා.

ඉතින් දැන් මාස දෙහෙක වගේ ඉඳල මේ වෙනුවෙන්ම හැදිච්චි මැසෙන්ජර් ගෘප් එකක ඔය ගැන කතා වෙනවා. කණ්ඩා ලංකාවට එන දිනය අල්ලලා මාර්තු පළවෙනිදා තමයි දිනය දාගත්තේ. පංච තන්තරේ අලුතෙන්ම ලියන ‘නිදි’ බොස් කලිම්ම එකඟ උනා එයාගේ මහරගම වාසභවන පළවෙනිදාට මේ පුණ්‍ය කටයුත්තට වෙන් කරන්න. ඒ විතරක් නෙවෙයි එදාට එයා ගානේ දවල් (ඕනිනම්) හා රාත්‍රී (අනිවාර්ය) භෝජනයත් සුදානම් කරන්න භාර ගත්තා. තව එක එක්කෙනා ඉතින් කජු, කිරිපැණි, වරක, මල් පැල, නැදුන් පැල වගේ ඒවා බාර ගත්තා. පාටි දැම්ම වගේ නෙවෙයි අන්තිමේ බජට් දෙන්න බැරි නිසා ඔන්න මම නම් ළූණු සිවියක්වත් භාර ගත්තේ නෑ මේ වගකීමෙන්මයි කියන්නේ හිටං.. බීම මයේ හිතේ කණ්ඩා ගෙන්.. ආ.. තව එකෙක් ඔක්කොටම වඩා වටිනා වැඩක් භාර ගත්තා.. ඒ පාටියට දින කවුන්ට් ඩවුන් කරන්න. මේ බැරෑරුම් කටයුත්තට අත ගැහුවේ පාටියට සහබාගි වෙන්න වැඩිම උනන්දුවක් තිබ්බ කොලොම්පුරේ ආරච්චි අසංග යා.. හරි දැන් ඉතින් දවස් ගැනගෙන ගැනගෙන ඔහොම එනවා.. එනවා.. එනවා.. මෙන්න බොලේ එකපාරටම නොහිතූ හෙනයක් පාත් උනා..

අපේ කොලොම්පුරේ ආරච්චියාගේ ඇඟේ ඉන්න නාවිකයා එලියට පැනල අහක යන ගෝරියකට මැදිවෙලා පිහි ඇනුමක් කාගෙන කළුබෝවිල ඇඩ්මිට් කරන්න උනා කියහන්කෝ.. අපිනම් අවන්කවම සතුටු උනා එක දවසේ පාටිය දවස් හතක් අදින්න ලැබෙන එකයි පළවෙනිදා වෙනකම්ම ඉන්න ඕනි නැති වෙන එකයි නිසා පණිවුඩේ දැකපු ගමන්.. ඒ උනාට මේකට ඒ හැටි හෙනයක් නෑ.. දවස් දෙකක් විතර අතපසු උනත් ආරච්චියා ඉස්පිරිතාලේ ඉඳගෙනම ආපහු දින ගනින වැඩේ පටන් ගත්තම අපි ආයෙම හිත හදා ගත්ත ඔරිජිනල් ප්ලෑන් එකේ පාර්ටියට විතරක් සෙට් වෙන්න. හැබැයි පස්සේ බැලින්නම් සාධාරණ සැකයක් ආවා මූ බලෙන්ම පිහියෙන් ඇන ගත්තද කියල මොකද ඉස්පිරිතාලේ ඉඳන් කියෙව්වෙම නර්ස් නෝනලා ගැන. ආයි ඇනගෙන ආයි එන්න තිබ්බත් කැමතියි කියල තමයි කියුවෙනම්. චූ බටේ ගහල තිබ්බ නිසා යන්තම් අතපය නොහොල්ල ඉඳල සම්හව් පාර්ටියට කලින් දවසේ ටිකට් කප්පව ගත්ත උනත් අනේ කොල්ලට වෛද්‍ය (සහ අපේ ) උපදෙස් මත පාර්ටියට නම් සහබාගි වෙන්න බැරි උනා. ඒ වෙනුවට පාර්ටිය දවසේ උදේ කණ්ඩාත්, නයනේ සහ අටමා ත්, අතුල අබේරත්න අයියත් ගල්කිස්සේ කොලොම්පුරේ ගේ ගෙදරට ගිහින් ඔහුගේ දුක සැප බලල ඇවිත් තිබුනා.. උගේම බාසාවෙන් කියුවොත් Moral of the Story – අධික උනන්දුව බයානක ප්‍රථිපල ගෙනත් දෙන්න පුළුවන්..

පිනට කෑව පිහි පහර සමඟින් කොලොම්පුරේ ආරච්චි කළුබෝවිල සිටියදී..

ඔන්නොහොම මාර්තු පළවෙනිදා ත් ආවා කියමුකෝ. ප්ලේන් එක නතර කරන්නත් කලින් දොර ළඟ ඉඳන් එළියට පැනපු කන්ඩා දුවගෙන ගිහින් අසංග යාවත් බලලා උගේ වැලන්ටයින් ව නැන්දම්මාට බාර දීල බැලන්ටයින් විතරක් අරන් මහරගම ඇවිත් තිබුන.. හවස තුන හමාර විතර වෙද්දී අටම පණිවුඩේ දාල තිබ්බ ෂාප් ෆොර් ඔ ක්ලොක් පාටිය අරඹන බවට. මමත් කම්මලෙත් (16:10 අවිස්සාවේල්ල ට්‍රේන් එකට සෙට් වෙන්න ගියත් මට ඒ ට්‍රේන් එක මිස් වෙච්චි බැවින්) 16:35 කෝච්චියෙන් කොටුවෙන් පිටත් වෙලා කරදරක් නැතුව 17:15 වගේ වෙද්දී ‘ඇහැ ඇරගෙන’ අපි එනකම් බලාගෙන හිටපු ‘නිදි’තුමාගේ මාලිගෙට සැපත් උනා. අපි යනකොටත් චෙෆාකි, නයනේ, අතුල, අටම්, මුද්දා හෙවත් ඇනොපිලිස්, ලොක්කා සහ ලොක්කගේ යාළුවත්, නිදිගේ අතිජාත මිත්‍රයින් දෙපලකුත් සෙට් වෙලා හිටියා.. පස්සේ අඳුනා ගත විදියට එයින් එක් අයෙකු නිදි ගේ බ්ලොග් වල නිතර කියවෙන ඔහුගේ ලංගම හිතවතා ‘නෙවිල්’.. අති දක්ෂ ගායකයෙකු මෙන්ම වාදකයෙකු වූ නෙවිල් සාදයේ අවසාන බාගය සම්පුර්ණයෙන්ම ඔහුගේ අණසකට යටත් කර ගැනීම යන්තම් වැළකුණේ අටමාගේ සිංදු ආදිපත්‍යය පැතිරීම නිසයි..

මේ අතර අපි යනවිට ‘වොෂ්’ එකක් දාගන්න බාත් රූම් එකට ගිහින් හිටි අතුල අබේරත්න මයා සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී අප අතරට ආවා.. අතුල අයිය දැක්ක ගමන් ඔක්කොම කතාවුනේ මේ නම් වයසට ගිය කටුස්සාම තමයි කියල.. අම්මප.. කතා බහත් ඒ වගේමයි.. එකම වෙනස කටුස්ස වගේ අතුල අයිය බල්ලට මචන් කියනකන් ගහන්නේ නැති එකයි වැදගත් කතා බහක් අස්සේ අත උස්සල ගොන් කතාවක් කියන්නේ නැති එකයි විතරයි මගේ හිතේ.. හෙහ් හෙහ්.. ඉතින් ඔහොම කඩින් කඩ විඩෙන් විඩේ සතෙන් සතේ කට්ටිය එකතු වෙන්න ගත්ත.. ඉවාන් සහ ප්‍රා ජේ, තිලිණ, ඉයන් එහෙම එනකොට සාදය නැගලම යන්න ගත්ත.. කටගැස්මට හදල තිබ්බ මයියොක්ක සහ කොච්චි ලුණුමිරිස, කුකුළා, දුවන පුහුල්, කරත්ත එංජින් අස්සේ පට්ට රෝස්ටඩ් කජු එකක් තිබ්බ මතකයි. සාදය නැගලම යන වෙලාවේ තමයි මද්දා ආවේ මිනිහගේ රෝද දෙකෙන් කොහෙද රස්තියාදුවකුත් ගහල.. තනියම නෙවෙයි හැබැයි තමන්ගේ ඇබේණියත් එක්ක.. බ්ලොග් ලියන කාන්තා පාර්ශවේ අපි මේකෙන් හිතා මතාම හලලා තිබ්බේ රෑ රාත්තිරියේ ඔය ගෑණු පරානවලට ආරස්සාව සපයන අමතර වගකීමක් ගන්න බැරි නිසා. හැබැයි මද්දගේ ගෑල්ලමය එතන එකම ගෑණු පරානේ වුනත් කිසිම අපහසුතාවයකින් තොරව සාදයට සහබාගිවීමේ හැකියාව තිබ්බ.. ඒක අපි අනිත් හැම බ්ලොග් එකමුතුවකමත් දැකල තියෙනවා. බ්ලොග් ලියන කියවන හැමෝම හොඳ සමාජශීලි වැදගත් මහත්වරු නෝනාවරු වීම ආඩම්බරයක්.

මූණු ටික බලධාරියා විසින් කපා හරින ලදී..

ඔය අතරේ තමයි කම්මලයට ඒ අනුවේදනීය කෝල් එක ආවේ.. පස්සේ ඒ ගැන දැනගත්තත් (අනේ අහන්න නම් එපා මොකක්ද කියල..) එවලේ හිතා ගන්න බැරි උනා කම්මලේ මොකද එච්චර කලබල උනේ කියල.. කොහොම හරි ඉඳගෙන හිටපු තැනින් දඩිබිඩි ගාල නැගිට්ටේ විදුරු දෙක තුනකුත් පොඩි කරගෙන.. අපි හිතුවේ දෙයියෝ කෝප වෙලා කියල අපි තනියෙම බොනවට.. ෆෝන් එක කණේ ගහගෙන ගිය කම්මලේ ටික වෙලාවකින් මිසින්. ඒකෙන් මේකෙන් උනේ කම්මලේව හොයන්න යන මුවාවෙන් යසට හිටි අතුලයාත් වරක බෙදන්න යන්න කියල මල ගෙදරක කෝප්ප හෝදන්න යන්න තියෙනවා කියල පැන ගත්ත පාටියෙන්. මොනවා උනත් මිනිහා ගිය එකෙන් මහරගම ටවුම පුරා ෆෝන් එකකුත් කනේ ගහගෙන පිස්සෙක්.. පිස්සෙක් වගේ ඇවිද ඇවිද හිටපු කම්මලයව කුදලාගෙන කාරෙකට දාගෙන පරිස්සමෙන් ගේ ගාවින්ම ගිහින් බස්සල තියෙනවා. නැත්නම් අද ගම්පහ මළගෙයක්.. ඔය අතරේ කරටි කැඩෙන්න ගසල හිටිය ලොක්කත් මතුගම පිරිතකට යන්න තියෙනවා කියල රෑ දහයට විතර මහරගමින් පැන්න යාළුවාත් එක්ක. පිරිත් අහපු තරම වැඩිවෙලා තවම දෙන්න නිවන් ගිහින්ද කියලනම් තවම හොයන්න බැරි උනා..

ලොක්කගේ පිරිතයි කම්මලේගේ මතක බණයි අතුල අයියගේ වරකා දානෙයි ඔක්කොම ඉවර වෙන කොටත් පාටියට සාමාජිකයෝ එන එක නැවතිලා තිබ්බේ නෑ. අන්තිමට (මතක විදියට) ආවේ නිදි ගේ කතාවල නිතර දකින්න ඉන්න තවත් චරිතයක්. ඇස් දොස්තර අයේෂ්මන්ත.. බැලුවම අපේ මුද්දා ගේත් හිතවතෙක්. දොස්තර මහත්තය ආපු ගමන් අටම දුන්න නිදි ගේ බ්ලොගින් ගැන එක්ස්ප්ලනේෂන් එකක් ආයි මං හිතන්නේ නෑ නිදි ගේ යාළුවො එකෙක්වත් උන්දෑගේ දිහා ඇහැක් ඇරලා බලයි කියල.. කොටිම්ම කියුවොත් නිදි ව හාන්සි කරලම දැම්ම.. හෙහ් හෙහ්.. අටමාගේ ආදිපත්‍යය පතුරුවේ කතා ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි.. සම්පුර්ණ සිංදු සිලෙක්ෂන් එකත් තනිකරම වගේ කරේ අටම තමයි.. සික්ස් එයිට් බීට් එකේ එකක් ඉවර වෙනකොටම.. “පබළු නගේ නාමල් තිලකේ.. සුමනෝ.. ඕ …ඕ ” කියල ඇල්ලුවම ආයි ලොවෙත් කියලම මිසක් අතාරින්නෙ නෑ. අටම එහෙම එක හිතින් නොහිටින්න නෙවිල් ලොක්ක තාමත් අපිව වට කරගෙන ඩොල්කිය ගහමින් සින්දු කියනවා. අටම නොවන්න අම්මප එකෙක්වත් ඒ සිංදු ඇහිල්ල කිවිල්ල නතර කල්ල නැගිටියි කියලනම් හිතන්න බෑ.

අටම මොන මඩ ගැහුවත් ඒ වියතුන් සබාව මැද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී තමන්ගේ කොටහ නොපිරිහෙලා ඉටු කරපු සිරුරින් ඉතා කුඩා දැවැන්ත මනුස්සයෙක් හිටියා.. ඒ තමයි එතන ප්‍රධාන සහය නළුවා වෙච්චි නිදි මහත්තය. නිදි කියුවට මං දැක්ක විදියට එතන හොඳටම ඇලට් එකේ හිටිය මනුස්සය. කණ්ඩා පාර්ටි දාන්න සහයට අල්ලාගෙන තිබ්බේ සුපිරිම ඩයල් එකක් නෙව. කතා බතා සින්දු බින්දු අස්සේ ඒ ඔක්කොටම දායක වෙන ගමන් අපි කවුරුත් දන්නේ නැතුව නිදි මහත්තය සුපිරි රාත්‍රී භෝජනයක් ලැස්ති කරලා. ඉන්දියානු ක්‍රමේට පූරි එක්ක සම්බාරු හා පොල් සම්බෝල, බත්, කුරහන් පිට්ටු, පෝක්, මාළු බොකු, පරිප්පු එක්ක තව මොන මොනවද තිබ්බ මතකයි.. එවලේ කා ගන්න බැරිව දුක් උනා විතරක් නෙවෙයි දැන් මේ ලියද්දි මතක් වෙද්දීත් දුකයි. අමාරුවෙන් පූරි කෑල්ලක් එක්ක මොන මොනවද ටිකක් කෑවේ. ඒ පූරි ‘සුපිරි හෙවත් පට්ට’ කියල එවලේම ලෝකේ වටේම හොඳට පූරි කාල එක්ස්පිරියන්ස් තියෙන ඉයන්, ප්‍රා වගේම චෙෆ් ආකිටෙක් ගෙන්ද පැසසුමට ලක් උනා.. ඉතින් තව මොනවද? කාල ඉවරයි කියල හිතුවද? පුහ්.. අන්දරේ කිරි කාපු විදිය කලින් අහල තිබ්බට හැබැවටම පළමෝත අත්දැකීමක් විදියට ගත්තේ ඊයේ තමයි. කාල තියෙනවද කුරහන් පිට්ටු කිරි සමඟ කිතුල් පැණි?. අතුරු පසට නිදි මහත්තයාගේ අතින්ම.. වාව්.. එහෙම රහක්. ස්තුතියි බොස් එකෙන්ම.

කුරහන් පිට්ටු, කිරි සමඟ කිතුල් පැණි.. නිදි ගේ පංච තන්ත්‍රය ඇසුරිනි..

පහුවෙනිදා හෙවත් අද උදේ ඉඳල ආපහු රාජකාරි ගොඩක් කරන්න දීල තිබ්බ නිසා අපි කීප දෙනෙක් මධ්‍යම රාත්‍රියට ආසන්නව එන්න පිටත් වෙනකොටත් සාදය සම්පුර්ණයෙන්ම නැවතිලා තිබ්බේ නෑ. ඒ උනාට අපිට එන්න උනා ඉතින්. අපි ආවයින් පස්සෙත් ආයෙම දෙයියෝ කෝප වෙලා විදුරු කීපයක් වට්ටලා බින්දා කියලත් ආරංචියි. දෙයියෝ වැට්ටුවට බින්දේ ටයිල් වල වැදිච්ච නිසා ඔන්න නිදි මහත්තය හෙටම ටයිල් ගලවනවලු ගෙදර. ඔයින් මෙයින් මහරගමින් ඩ්‍රොප් කරන්න කියල ඉයන් ගේ වාහනේට නැගපු කණ්ඩා ව මත්තේගොඩ උගේ ගේ දොරකඩිනුත් මාව මගේ කොම්පඥ්ඥවීදියේ නවාතැන ළඟිනුත් පරිස්සමින් බස්සල ඉයන් ගෙදර යනකොට අඩුම අලුත් දවසෙත් පලවෙනි හෝරාව ගෙවිල තියෙන්න ඇති. කාලෙකින් හමුවෙච්චි විසි දෙනෙකුට ආසන්න බ්ලොග් සහෝදරත්වය- බ්ලොග් ලියවෙනවා අඩුයි කියලාවත් කියවනවා අඩුයි කියලාවත් බින්දුවකින්වත් අඩු වෙලා නෑ.. බජට් ඉල්ලන්න, ආණ්ඩුවට මඩ ගහන්න ටොයි බයි වෙනස හොයන්න කවුරුවත් හිටියෙත් නැති නිසා වැඩේ නැගලම ගියා. වෙන මොන වැඩේ තිබ්බත් අද කියට හරි මේක ලියල පබ්ලිෂ් කරන්නම ඕනි කියල හිතා ගත්තේ ඒ කාලෙකින් ගත්ත ‘පට්ට ෆන්’ එකට සාධාරණය ඉටු කරන්නම ඕනි නිසා. මේ සාදයට බර කර ගහපු උන්ගෙන් අසංග ට ඉක්මනින්ම සුවය ලැබී තව පාර්ටියක් සංවිධානය කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් සංවිධානය කරපු බරපැන දරපු හා සහබාගි උණු හැමෝටම A BIG SALUTE! Thanks Guys! It was such a wonderful day.. Thanks again!

– කල්‍යාණ මිත්‍ර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල