ඉතිහාසය, සාහිත්‍ය කළා විචාර

කතුරු මුවාත් – ඔව් ඒ චිත්තරපටියකි :: Sharpen your scissors

Off

මගේ තාත්තාගේ බාලම නැගණිය අප හැඳින්වූයේ චූටි නැන්දා ලෙසිනි. එනිසා ම, ඇය විවාහ වූ පසු ඇගේ සැමියා, අපේ අලුත් මාමා, ධර්මදාස, අපේ චූටි මාමා විය. ඔහු, තමන්ගේ පවුලේ වැඩිමහල්ලා වීම අපට කිසිසේත් ම, අදාළ නොවී ය.

චූටි නැන්දා මා කැටුව “සිදාදියෙන් හයක්” නම් සිංහල චිත්‍රපටය නරඹන්නට ගිය කතාව මම මීට පෙර සටහන් ගත කළෙමි. ඒ, මල් කුමාරයෙකු වීමට මට ලැබුණු එකම අවස්ථාව මගෙන් ගිලිහී ගොස්, රුවන් මල්ලීට ලැබෙන්නට පෙර ය. එලෙස, රුවන් මල්ලීට මල් කුමාරයෙකු වීමට වරම ලැබුණේ අපේ චූටි නැන්දා සහ චූටි මාමා ගේ විවාහ උත්සව දිනයේ දී ය.

චූටි නැන්දා සහ මාමා විවාහ වූයේ එක්කෝ කපුවෙකු විසින් ගෙනෙන ලද එසේ නැතිනම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීමක් අනුසාරයෙන් ලද මංගල යෝජනාවක් මගිනි. නැන්දා ගුරුවරියක බව මම කතුරු මුවාත් සටහනේ දී සඳහන් කළෙමි. චූටි මාමා ද ගුරුවරයෙකු විය.

යෝජනා සම්මත වී, සියල්ල තීරණය වූ පසු, වෙන්ඩ චූටි මාමා සති අන්ත දිනවල නැන්දා බැලීමට අපේ මහගෙදරට එනවා මගේ මතකයේ හොඳින් තිබේ. ඒ ඔහු ඒ ගමන්වල දී අපට චොකලට් ගෙන ආ නිසා විය යුතු ය.

මට පසුව වැටහුණු පරිදි මේ විවාහාපේක්‍ෂිත යුවලට තනිපංගලමේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වී ඇත. බොහෝ විට සිදුවෙන්නට ඇත්තේ, වෙන්ඩ චූටි මාමා විසින් මේ යෝජනාව චූටි නැන්දාට කිරීමයි.

චූටි නැන්දා එයට එකඟ වී ඇත.

හැබැයි කොන්දේසි සහිතව ය.

එක් සති අන්තයේ දිනයක, අම්මා ද, නැන්දා ද, මම ද වේලාසනින් ම දිවා ආහාරය ගෙන දොළහමාරේ බසයෙන් නිවසෙන් පිටවුණෙමු. බස් ගමනාවසානයේ දී දුම්රියක නැග ගම්පහ නගරය බලා ගියෙමු.

පබ්ලික් හෝල් නම් සිනමා ශාලාව පිහිටියේ ගම්පහ නගරයේ ය.

එදින අපේ බස් රථය ප්‍රමාද වී, අප යන්නට ඇත්තේ ප්‍රමාද වූ දුම්රියකිනි.

අප තිදෙනා පබ්ලික් හෝල් සිනමා ශාලාවට ළඟා වූ පසු මා දුටුවේ චිත්‍රපට දර්ශනය ඇරඹී ඇති බවත්, වෙන්ඩ චූටි මාමා, නොඉවසිල්ලෙන් මෙන් කොරිඩෝරයේ සිටින බවත් ය.

මාමා විසින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් පසු අපට ශාලාව ඇතුළට යෑමට ලැබුණි.

සෙනග පිරී තිබුණු ඒ ශාලාවේ, අම්මා සහ මා එක ස්ථානයක ද, චූටි නැන්දා සහ වෙන්ඩ චූටි මාමා වෙනත් ස්ථානයක ද අසුන් ගත් බව මගේ මතකයයි.

එදා මා නැරඹූ චිත්‍රපටයේ නම කතුරු මුවාත් බව මගේ මතකයේ ඇත.

ඊට අමතරව, සිනමා දර්ශනය අවසානයේ අසල තිබුණු හෝටලයකට ගොස් අප සීනි බනිස් කා තේ පානය කළ බව ද මගේ මතකයේ ඇත.

කතුරු මුවාත්, පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනයක් එහි තිබුණු බව ද මගේ මතකයේ ඇති නමුත්, ඊට අමතරව, කතුරු මුවාත් චිත්‍රපටය පිළිබඳව කිසිවක් මට සිහිපත් කර ගත නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ මා චිත්‍රපට පිළිබඳව ලියූ දෙවන සටහනයි.

ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්න යැයි මේ දිනවල ෆෙස්බුක් හි පැතිරෙන අභියෝගය මට එල්ල කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ය.

පළ කළ හැක්කේ ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය. දිනකට එකක් බැගින් දස දිනක් තිස්සේ මේ කර්තව්‍යය කළ යුතු ය. සෑම දිනම වෙනත් අයෙකුට ද, එම අභියෝගය කළ යුතුය යනාදී වශයෙන් එම අභියෝගයේ නීති මාලාවක් තිබුණි.

මා මුල් සටහනේ ලියූ පරිදි මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඇත්තටම චිත්‍රපට ගැන නොව, ඒවා මාතෘකා කොට ගෙන, ඒ හා බැඳුණු මගේ සිතේ රැඳී ඇති දේ ගැන ය.

රසිකලොජි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල