ඉතිහාසය, සංගීතය

ඩාලිංගේ රෝස මල

0

කොණ්ඩේ රළින් රළ පීරා මුදුන් කර
මල් පටියෙන් බැඳලා
කෝ මගෙ ඩාලින්… කෝ මගෙ ඩාලින්
මං දුන්නු රෝස මල….

මම්මාට බය වී
පප්පාට බය වී
මූදට වීසි කලා
මූදේ රළින් රළ
නැග එන මහ රළ
ඒ මල ගිල ගත්තා
මල මගෙ නොවෙමයි
ඩාලිං මගෙමයි
මට ඕනැ ඩාලිං තමයි….!

අපේ තාත්තා කලාකාමියෙකි. ඉහතින් එහෙන් මෙහෙන් මට මතක තියන තරමින් ලියා ඇති ඩාලිංගේ රෝස මලේ සිංදුව, එයා ඉඳ හිට කියන නූර්ති සිංදුවකි. ඉඳ හිටය කියන්නේ සිංදු කියන වැඩේට කෑම බීමත් සර්පිනාවක් හෙමත් එක්ක කාණ්ඩයක් සැදී පැහැදුනු වෙලාවටය.

හොඳටම සැදී පැහැදී තාත්තා මේ සිංදුව සර්පිනා සංගීතයත් එක්ක කියනවා මට අන්තිමට අහන්නට ලැබුණේ රස්සාවට එතනෝල් නිෂ්පාදනය කරන එක්කෙනෙකුගේ ගෙදරක තිබුණු සාජ්ජයකදීය. සර්පිනාව ගැහුවේ බාත්ඛණ්ඩේ උපාධි කාරයෙක් වූද, ඒ කාලේ අපේ ඉස්කෝලේ සංගීත ආචාර්යවරයා වූද, සිතාර් වාදක, ජස්ටින් සිල්වා මහත්තයාය. ඩොල්කිය ගහන්නත්, මේස හැඳි තට්ටු කරන්නත් තවත් දෙන්නෙක් සිටියෝය.

සිංදුව මොන නූර්තියේද නොදනිමි. ඒත් කතාව යුනිවර්සල්ය. කොල්ලා ආසාවෙන් ගෙනත් දුන්නු රෝස මල, ඩාලිංගේ අතේ නැත. මම්මා පප්පාගේ උදහසට, කොල්ලාගේ චිත්ත ප්‍රීතියයටය. මල රළට බිලිය. ඒත් ඉතින් හිත හදා ගන්නවා ඇරෙන්න මේ වෙලාවේ කොල්ලාට කරන්නට අන් කිසිවක් නැත.

රෝස මලේ පෙතිවත් පේන්නට නැතත්, මෝඩ කතාවක් දෙකක් කියා හැමෝම ලජ්ජා කෙරුවත්…. අවුරුද්දකට ඉස්සරින් දවසක, මූදු රැල්ල දිගේ පීනා ගෙන ආ, අළුත් ඩාලිං ගැන රටේ ජනතාව තියාපු බලාපොරොත්තුව තාම බිංදුවටම බැහැලා නැතිය කියා මට තාමත් හිතේ.

[රෝස මල ලුණුගලිනි. අපේ නැන්දම්මාගේ ගෙවත්තෙනි.]

ලොකු අකුරු

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල