ඉතිහාසය, කාලීන සංවාද, දේශපාලන, විචාර

කුවේරට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද ?

Off

ගොඩක් පවුල්වල අඹු සැමියන් අතර පොඩි පොඩි ආරවුල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඔය වගේ දේවල් වෙන්නේ මිනිස් පවුල් වල විතරක් නෙමෙයි. දෙවිවරුන්ගේ පවුල්වලත් ඔය වගේ ආරවුල් ඇති වෙනවා.

බොහෝ කාලයකට කලින් දවසක සතුටින් පවුල් කමින් සිටි විෂ්ණු හා ලක්ෂ්මී අතරත් ඔය වගේ ආරවුලක් ඇති වුනා. ආරවුලට හේතු වුනේ ඔවුන්ගේ වෛකුන්ඨ භවනට ආ අමුත්තෙක්. අමුත්තා භෘගු සෘෂිවරයා. භෘගු කියන්නේ සප්තාර්ශීගෙන් එක්කෙනෙක්.

මේ සප්තාර්ශීන් ගැන මා මීට පෙර ලියා තිබෙනවා. එම ලිපියේ සඳහන් වූ ලැයිස්තුවේ හිටියේ මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු යන හත් දෙනා වුවත් වෙනත් විකල්ප සප්තාර්ශී ලැයිස්තු ගණනාවක්ම තිබෙනවා. භෘගු ආදේශ වන්නේ ඉහත ලැයිස්තුවේ මරිචි වෙනුවටයි.

වෛකුන්ඨ භවනට භෘගු එන කොට විෂ්ණු ආදීශේෂ නම් මන්ත්‍රය ජපකරමින් සිටිනවා. ඒ නිසා, අමුත්තෙකු පැමිණ සිටින බව ඔහුගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. මෙයින් කෝපයට පත් වන භෘගු විෂ්ණුගේ පපුවට පයින් ගහනවා. අර ඒ දවස්වල අරලියගහ මන්දිරේ ඇතුළෙත් ඔය වගේ දේවල් වුනා කියනවනේ. අපිනම් දැකලා නැහැ.

කොහොම හරි ගහපු පාර වදින්නේ විෂ්ණුගේ හදවත වාසභවනය කරගෙන සිටින ලක්ෂ්මීටයි. මේ සිද්ධියෙන් පස්සේ ලංකාවේ පොලීසිය සමහර වෙලාවට කරනවා වගේ විෂ්ණු විසින් කරන්නේ වින්දිතයා වූ ලක්ෂ්මී ගැන හොයා බලනවා වෙනුවට වැරැද්ද කරපු භෘගුගෙන් සමාව අයැදිමින් ඔහුගේ කකුල අතගාන එකයි.

ඔය වගේ වෙලාවක පවුල් ආරවුලක් ඇතිවෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. දිව්‍ය ලෝකයේ කියලත් ඕකේ වෙනසක් නැහැ. ගුටි කාල ඉන්න තමන්ගේ බිරිඳ ගැන නොසලකා වැරැද්ද කරපු භෘගුගෙන් සමාව යැදීම ගැන විෂ්ණු එක්ක අමනාප වන ලක්ෂ්මී වෛකුන්ඨය පමණක් නෙමෙයි දෙවුලොවම හැර යනවා. එසේ යන ඇය ඕපපාතිකව මිනිස් ලොවේ උපදිනවා.

සැමියෙක්ට බිරිඳකගේ අගය තේරෙන්නේ ඔය වගේ අවුලක් වුනාට පස්සෙනේ. විෂ්ණුට කියලත් වෙනසක් නැහැ. ඔහු සිය බිරිඳ හොයාගෙන මිනිස් ලොවට එනවා. ඇවිදින් චෝල රටේ වෙන්කත කන්ද කිට්ටුව තියෙන පුෂ්කරනී විල අසල වූ සියඹලා ගහක් යට වේතුඹසක් ඇතුළට වී භාවනා කරමින් සිටිනවා. ඔය වෙන්කත කන්දත් රූමස්සල වගේ හිමාලයෙන් ගෙනාපු කොටසක් කියලයි කියන්නේ.

මේ එක්කම වගේ රටේ කිරි ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. රටේ කිවුවේ චෝල රටේ. මේ දවස්වල ලංකාවේ තියෙන කිරි ප්‍රශ්නය වගේ එකක්නම් නෙමෙයි.

හිටපු ගමන්ම රජ්ජුරුවන්ගේ එළදෙනකගේ කිරි නැතිව යනවා. ඒ ගැන හොයා බලන්න එළදෙන පස්සෙන් එන ගොපල්ලා එළදෙන සියඹලා ගහයට වේතුඹස ඇතුළේ ඉන්නා කාට හරි දිනපතා කිරි දෙන බව දැනගන්නවා. මේ විදිහට රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්නේ කවුද කියා හොයා බලන්න ගොපල්ලා වේ තුඹසට පොරවකින් ගහනවා. පොරෝ පාර වදින්නේ විෂ්ණුගේ නළලට. විධායක බලැති රාජ්‍යනායකයින්ගේ මල්ලිලාටත් පොරෝ පාරවල් වදින එකේ දෙවිකෙනෙක්ට පොරෝ පාරක් වදින්න බැරිද ?

පොරෝ පාර නිසා ඇති වෙච්ච තුවාලයට බෙහෙත් හොයාගෙන ඉබාගාතේ යන විෂ්ණු නවතින්නේ ශ්‍රී වරාහස්වාමිගේ අසපුවේ. මේ වනවිට විෂ්ණු පෙනී සිටින්නේ සිරිනිවාස යන නමිනුයි. ශ්‍රී වරාහස්වාමි කියන්නේ ඌරෙක් ලෙස පහළ වූ විෂ්ණුගේ තෙවන අවතාරය. කතාව ටිකක් බැක් ටු ද ෆියුචර් වගේ. දැන් විෂ්ණුට වෙනත් ස්වරූපයකින් විෂ්ණුම හමු වෙනවා.

සිරිනිවාස වරාහස්වාමිගෙන් නවාතැන් ඉල්ලා හිටියත් නොමිලේ නවාතැන් දෙන්න වරාහස්වාමි කැමති වෙන්නේ නැහැ. ඔහු ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් අපේක්ෂා කරනවා. තමන්ගේම පුනර්භවයකට වුනත් නොමිලේ නිවාස පහසුකම් සපයන්න බැහැනේ. තමන් අයත් වන්නේ ප්‍රාග්ධනය අහිමි පංතියට බව කියන සිරිනිවාස තමන් අත කිසිදු මුදලක් නැති බව පවසනවා.

කොහොම හරි අන්තිමේදී සිරිනිවාස වරාහස්වාමි එක්ක ඩීල් එකක් දාගන්නවා. මේ ඩීල් එක අනුව, තමන්ගේ බැතිමතුන් සියලු දෙනාම තමන්ට වඳින්න කලින් වරාහස්වාමිට වඳින බවට වග බලා ගැනීමට සිරිනිවාස පොරොන්දු වෙනවා. වරාහස්වාමිට පළමු මනාපය හා තමන්ට දෙවන මනාපය දෙන්න කියා සිරිනිවාස ඔහුගේ බැතිමතුන්ට දැනුම් දෙනවා. එහි හිලවුවට සිරිනිවාසට නවාතැන් ලැබෙනවා.

සිරිනිවාස වරාහස්වාමිගේ ආශ්‍රමය කිට්ටුව අඩු වියදම් නිවාසයක් හදාගන්නවා. වෛකුලදේවී නම් වූ කාන්තාවක් සිරිනිවාසගේ දායිකාවක වීමෙන් නොනැවතී ඔහුගේ කිරිමවු ලෙස ඔහුට සත්කාර කරමින් රැක බලාගන්නවා.

මේ අතරේ චන්ද්‍රවංශයට අයත් ආකාශරාජ නම් වූ රජු තමන්ට දරුවන් නැති නිසා දරුවන් ලබා ගැනීමට කරන පූජාවක කොටසක් ලෙස හාන්න කුඹුරට යනවා. නගුලෙන් පස් පෙරලද්දී ඔහුට නෙලුම් පොහොට්ටුවක් හමු වෙනවා. පොහොට්ටුව පරීක්ෂා කරද්දී එය තුළ ගැහැණු දරුවෙකු සිටින බව පෙනෙනවා. ආකාශරාජ රජු විසින් මේ දැරිවිය සිය දියණියක සේ හදා වඩා ගන්නවා. නෙළුමෙන් උපන් නිසා ඈ පද්මාවතී සේ නම් කෙරෙනවා. මේ විදිහට පද්මාවතී ලෙස උපදින්නේ විෂ්ණුගේ බිරිඳව සිටි ලක්ෂ්මියයි. එහෙත් පද්මාවතී ඒ බව දන්නේ නැහැ.

ඔහොම කාලයක් යද්දී දවසක දඩයමේ ගොස් වෙහෙසව ගසක් යට වාඩි වී සිටින සිරිනිවාසගේ හා සිය මිතුරියන් සමඟ මල් නෙලන්න කැලයට පැමිණ ගී ගයමින් නටන පද්මාවතීගේ දෙනෙත් හමුවෙනවා. ඔවුන් එක් වරම එකිනෙකාට ප්‍රේම කරන්න පටන් ගත්තත්, පද්මාවතීගේ මිතුරියන් විසින් මේ “දඩයක්කාරයාව” එළවා දමනවා.

ප්‍රේමයෙන් ආතුර වන සිරිනිවාසගේ කෑම රුචිය ගිලිහී ගිහින් බලා ගත් අතේ බලා ඉඳිද්දී ඔහුගේ කිරිමවු වූ වෛකුලදේවී විසින් කරුණු විමසනවා. මේ අවස්ථාවේදී සිරිනිවාස විසින් පද්මාවතිය කෙරෙහි තමන් තුළ වන ප්‍රේමය ගැන වගේම තමන් විසින් මෙතෙක් හෙළි කර නොතිබුණු සැබෑ අනන්‍යතාවයත් ඇයට හෙළිකර ආකාශරාජ වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන සේ ඇගෙන් ඉල්ලා සිටිනවා.

මේ විවාහ යෝජනාව ගැන ආකාශරාජ විසින් බ්‍රහස්පතිගෙන් විමසනවා. එහිදී බ්‍රහස්පති විසින් විවාහය අනුමත කරනවා. විවාහයට කැමැත්ත ලැබේදැයි සැකයෙන් ඉන්න සිරිනිවාස විසිනුත් සාත්තර කියන්නියකගේ වෙසින් රජ මැදුරට ගොස් වර්ණපාල කළා වගේ වැඩක් කරනවා. විවාහය තීන්දු වෙනවා. හැබැයි අවුල තියෙන්නේ ඊට පස්සෙයි.

විවාහයනම් තීන්දුයි. ඒත් ඉතිං කෝ වෙඩින් එක ගන්න සල්ලි ? මහජන මුදලින් යැපෙන, කවදාවත් රස්සාවක් නොකරපු සිරිනිවාස අතේ සතපහක්වත් තියෙන එකක්යැ ?

කොහොම වුනත්, සිරිනිවාසට ජයට මගුල් කන්නත් ඕනෑ. තමන්ගේ අතේ සතේ නැති බව මාමණ්ඩිට පෙන්නන්නේ කොහොමද ?

දේව මණ්ඩලයටම ආරාධනා කරලා මගුලනම් ජයට ගත්තා. සැරසිලි වැඩ සියල්ල සැලසුම් කළේ විශ්වකර්ම විසින්. හැබැයි ඔය ඔක්කොම කළේ ණය වෙලා. ණය ගත්තේ ගිවිසුමක් ගහලා කුවේරගෙන්. ගිවිසුම අනුව, ණය හා පොලිය ආපහු ගෙවනකම් විෂ්ණුට නැවත වෛකුන්ඨ භවනට යන්න බැහැ. ඒ විදිහටම කියලා නැතත් කුවේර විසින් වෛකුන්ඨ භවන ඇපයට තියාගෙන බවයි කතාව අනුව පේන්නේ.

ඔය ණය තාම එහෙම්මමයි. හැබැයි හොඳ වෙලාවට ණය ගෙවන්න උදවු කරන්න සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවෙත්. දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයේ භාරකාරයෝ තමයි ඔය ණය හා පොලිය එකතු කරලා කුවේරට ගෙවන කටයුත්ත කරමින් ඉන්නේ. ණය ගැන සඳහන් කරමින් ඔවුන් දිගින් දිගටම මුදල් එකතු කරනවා. සිරිනිවාසට නැවත වෛකුන්ඨ භවනට යන්න උදවු කරන්න මිනිස්සු සල්ලි දෙනවා. සමහර අය තමන්ගේ බරට රත්තරන් දෙනවා. එහි හිලවුවට විෂ්ණු විසින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරනවා.

තිරුපති දේවාලයේ මේ මූල්‍ය වසර තුළ අපේක්ෂිත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2,894ක්. වාර්ෂිකව ඔය වගේ විශාල ආදායමක් ලැබිලත් තිරුපති දේවාලයේ පාලකයින්ට තවම සිරිනිවාස-පද්මාවතී මගුලට කුවේරගෙන් ගත්තු ණය ගෙවා අවසන් කරන්න හැකි වී නැහැ. මේකත් ලංකාවේ රාජ්‍ය ණය වගේම ගෙවුවට ගෙවුවට ඉවර නොවන ණයක් වගේ.

ලංකාවේ ආණ්ඩුව පහුගිය කාලයේ තොරතුරු දැනගැනීමේ පණතක් සම්මත කළානේ. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව ඔහොම පණතක් සම්මත කළේ 2005 දී. සමාජ ක්‍රියාකාරිකයෙකු වන නරසිංහ මූර්ති විසින් 2014 දී මේ පණතේ ප්‍රතිපාදන යටතේ තිරුපති දේවාලයේ පාලකයින්ගෙන් පහත තොරතුරු ඉල්ලා හිටියා.

1. විෂ්ණු විසින් කුවේරගෙන් ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය කොපමණද ?
2. විෂ්ණු විසින් එම ණය ලබාගෙන තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහාද ?
3. මේ වනවිට කුවේර වෙත විෂ්ණු විසින් ආපසු ගෙවා ඇති මුදල කොපමණද ? එයින් කොපමණ මුදලක් පොලී ලෙසත් කොපමණ මුදලක් ණය වාරික ලෙසත් ගෙවා තිබේද ?
4. මේ වනවිට විෂ්ණු විසින් කුවේරට ගෙවීමට ඉතිරිව ඇති හිඟ මුදල කොපමණද ?

නරසිංහ මූර්තිට මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණාදැයි දැනගන්නට නැහැ. මාස කිහිපයකට පෙර වාර්තා වී තිබුණේ දෙවියන්ට අපහාස කිරීම මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ලංකාවේ ආණ්ඩුවටත් විෂ්ණුට වගේම ණය ප්‍රශ්නයක් තිබෙනවා. මේ ණය අර්බුදය ඇති කළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් නොවූවත් එම ආණ්ඩුව පැවති කාලය ණය අර්බුදය ඔඩු දිවූ කාලයක්. රාජපක්ෂ ණය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. එසේ වුවත්, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදුවී තිබෙන්නේත් රාජ්‍ය ණය තවත් ඉහළ යාම පමණයි.

මහින්ද රාජපක්ෂට වගේම රනිල් වික්‍රමසිංහටත් විසඳන්න තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ ණය ප්‍රශ්නය විතරක් නෙමෙයි. මේ දෙන්නාම විෂ්ණු විසින් කුවේරගෙන් ගත් ණය ගෙවන එක ගැනත් සැලකිලිමත්. ඒ නිසා, මේ දෙන්නම කාලයෙන් කාලයට තිරුපති ගිහින් තමන්ගේ බරට රත්තරන් හෝ වෙන මොනවා හරි දී කුවේරගේ ණය පියවන්න උදවු කරනවා. මේවා ඒ අයගේ පෞද්ගලික අවකාශයට අයත් දේවල් ලෙස අප සලකන නිසා මේ ලිපිය තිරුපති දේවාලය ගැන කරුණු ඉදිරිපත් කරන්නක් මිස කාගෙවත් පුද්ගලික විශ්වාස පිළිබඳව කරන විවේචනයක් නෙමෙයි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල