අතීතකාමය, ප්‍රහසන

සාජම්මහත්තයගේ කතා

Off

ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාරධූර නිලතලයක් දැරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයාම තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි.

ඒකෙත් හැටි. අපේ ගමට එතුමා සාජම්මහත්තයා උනේ පොලීසියට බැදෙන්ඩ ඉන්ටවීව් ගිය දවසේමයි. ඒ ඉන්ටවීව් ගිය දවසේ හවස උන්දැ හැමදාම කන බුලත් විටට එදා මත් වෙන පුවක් ගෙඩියක් හපලා කානුවක වැටිලා ඉන්දැද්දී අපේ එකෙක් එතුමාගේ සරම ගලවලා ඔලුව වටේ ඔතලා එක අතක් සැලියුට් ගහන විදිහට හදලා හැමෝටම පෙන්නුවට පස්සේ. වාසනාවකටද අවාසනවකටද මංදා ඒ කාලේ ඔය හැම කොල්ලයි බල්ලයි අතේම කැමරා තියන ෆෝන් තිබ්බේ නැතිකොට ඒ අමර දසුනේ මතකය තියෙන්නේ අපේ – ඒ කාලේ කොල්ලෝ- කීප දෙනෙක්ගේ හිත්වල විතරයි. හැබැයි සාජම්මහත්තයා මුළු ගමටම ඇහෙන්ඩ කියපු කුණු හරුප ටිකත්, කවද හරි දවසක එතුමා පොලීසියේ සාජම්මහත්තයෙක් වෙච්ච දවසට අර නසරානි වැඩේ කරපු එකාගේ අම්මාට දඩාවතේ යන බල්ලෝ ලව්වා කරවනවා කියපු දේවල් ටිකත් අපේ ගමේ අදටත් පුරාවෘත්තයක් විදිහට පවතිනවා !

එදා ඉදන් තමයි සාජම්මහත්තයා කියන නම වැටුනේ.

අද කට්ටකාඩුවට අපේ සාජම්මහත්තයගේ වැඩ දෙක තුනක් ලියන්ඩ කියල හිතුවා. කැමතිනං කියවන්ඩ මගේ මොකෝ !!

ඔන්න සාජම්මහත්තයා කොස්තාපල් වෙලා ටික කාලයක් ගියාම කෑගල්ල දිස්ත්‍රික්කේ පොලීසියකට අනුයුක්ත උනා. ඔය අනුයුක්ත වීම සාජම්මහත්තයාගේ කටේ නිතරම තියන වචනයක් පොලීසිය ගැන කතා කරන කොට. මට පොලීසියෙන් වාහන ඇක්සිඩන්ට් එකක රිපෝට් එකක් ගන්ඩ උනේ ඔය කාලෙදි. දවසක් දෙකක් ගිහින් හෙන කට්ටක් කාලා බැරි වෙච්ච තැන මම ගියා සාජම්මහත්ත්යලගේ ගෙදර. එතුමාගෙන් උදව්වක් ඉල්ලගන්ඩ.

ආ මල්ලි එන්ඩ එන්ඩ ඉඳ ගන්ඩ ! සාජම්මහත්තයා කට පුරා හිනා වෙලා කිව්වේ බුලත් කෙල පාරක් මිදුලේ ක්‍රෝටන් ගස් ගොන්නට ගහල ඉවර වෙලා.

අයියෙ පොඩි උදව්වක් ඉල්ලගන්ඩ කියල ආවේ අයියට කියලා.

ඇයි මල්ලි මොකද්ද වෙන්ඩ ඕන ?

මේ පොලිස් වාර්තාවක් ගන්ඩ ඕන ඇක්සිඩන්ට් එකක. ………….පොලිසියෙන් !

මාත් අනුයුක්ත වෙලා හිටියේ ඒ පොලිසියටනේ මල්ලි.

ඒක තමයි..ඇයි අයියා දැන් එහෙ නැද්ද ?

නෑනේ මල්ලි…මාව කිලිනොච්චියට අනුයුක්ත කරලනේ ගිය මාසේ ඉඳන් !

ඇත්තට ? ඒ මොකද එක පාරටම ?

පොඩි අවුලක් උනා නේ මල්ලි.

මොකද්ද අයියා අවුල ?

දවසක් රෑ දහයට විතර මාව අනුයුක්ත කරා මල්ලි කරඩුපොන හන්දියේ ඩියුටියට. ලගදි ආපු ගම් බට්ටෙකුයි අලුත්ම බැච් එකේ පොලිස් රාළහාමි කෙනෙකුයි එක්ක.

ඉතින්.

ඔය වගේ වෙලාවල්වල මල්ලි අපි උන්ව හදා ගන්ඩ ඕන. නැත්තං උං අපේ කරේ නගින්ඩ එනවා පොලිසිය ඇතුලෙදි.

හ්ම්…ඉතිං..

ඔහොම ටික වෙලාවක් යනකොට කාර් එකක් ආවා ඉර කපාගෙන. මං හිතන්ඩත් කලින් අර අලුත් එකා ගැහුවා විසිල් එක. දැන් ඉති මට සෙකන්ඩ් වෙන්ඩත් බෑනේ. මම හොඳ කුණු හරුප දෙකක් කිව්වා. කියල ගියා අර කාර් එක ලඟට.

ඉතිං

ඉතින් කියන්නේ මල්ලි කාර් කාරයා කැබි හෝල් එක අරගෙන මොනවද හොයනවා. ඒ අතරේ අරුන් දෙන්නත් ආව මං ගාවට. මටත් හොද වෙලාවනේ මල්ලි. මම කාර් කාරයාට තව කුණු හරුප තුන හතරක් කියල ඇහුව මොකද ප…වෙවුලන්නේ තෝ බීලා නේද ඉන්නේ කියලා ?

කාර් කාරයා කිව්වා නෑ. රාළහාමි. මම මේ නුවර යන ගමන්. බීල එළවන්ඩ තහනං නේ නේද කියල.

ඉතිං ඇත්තනේ.

ඇත්ත තමයි මල්ලි. හැබැයි ඌ කොහොමද මට නීතිය උගන්නන්නේ ? මම උගේ කොලර් එකෙන් ඇදල මගේ මූණ ගාවට උගේ මූණ ලං කරලා බැලුවා ගඳයිද කියල. එහෙමට ගඳකුත් තිබ්බේ නෑ. ඒ උනාට මං ඌට දුන්න බැලුමක් පුම්බන්ඩ. ඒ උනත් ඒක නෙගටිව් උනා. ඒ උනාට මට ෂුවර් ඌ බීලා ඉන්නේ කියල. මම මොකද අද ඊයේ පොලීසියට අනුයුක්ත වෙච්ච එකෙක්ද නෑනේ !!

ඊට පස්සේ ?

ඊට පස්සේ මෙන්න මූ කියනවා එකනේ රාලහාමි මම කිව්වේ මම බීලා නෑ කියල. අපරාදේ බැලුම කියල !

මං පැනපු ගමන් කාර් කාරයාගේ කනට දෙකක් ගැහුවා. ඌ හිටියෙ නිකං හිමිජ්ජා වගේ. මං දන්නවා මල්ලි බීපු එවුන්ව දැක්ක ගමන්ම. මං උගේ බෙල්ට් එකෙන් අල්ලගෙන හොඳ කුණුහරුපෙන් පැවසුවා ඇති වෙන්ඩ. ඒ වෙලාවේ මල්ලි අර ගම් බට්ටයි රාලහාමියි තක්බීර් වෙලා බලං හිටියේ. මටත් හොඳ අවස්ථාව නේ ඉතින් මාත් ටිකක් තදේටම හිටියා කාර් කාරයාට.

මං ලයිසන් ඔක්කොම අරගෙන අරූව පොලීසියට ගෙනිච්චා කූඩුවේ දාලා දෙකක් අනින්නං කියල. ඌ කොහොමද මට නීතිය උගන්නන්නේ ?

ඊට පස්සේ ?

අපි පොලීසියට යන කොටම අපේ ඕ.අයි.සී ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්ඩ යනවා. පොර අර කාර්කාරයා දැක්ක ගමන් සැලියුට් එකක් ගහලා ඇයි සර් මේ මොකද කියල අහපි.

නෑ මේ පොඩි ප්‍රශ්නයක් උනා නෙ. මේ රාලහාමි හිතුවේ මම ඩ්‍රින්ක් එකක් දාලා කියල ඒකයි කියල කාර් කාරයා කිව්වා.

ඊට පස්සේ සර් ඒ මනුස්සයව ඔෆිස් එකට එක්කගෙන ගියා. මම ආපහු කරඩුපොන හන්දියට අනුයුක්ත උනා. පහුවදා ට්‍රාන්සර් එක ආවා මල්ලි කිලිනොච්චියට. මං තාම වැඩ බාර ගත්තේ නෑ. ගෙදරින් කියනවා කලබල හින්ද යන්ඩ එපා කියල.

අර කාර් කාරයා ඕ.අයි.සී.ගෙ යාලුවෙක්ද ?

වෙන්ඩ ඇති මල්ලි. ඔය ලොක්කො පගා මරුවෝ. උන් රුපියල් දාහට අම්ම අප්පා උනත් විකුණයි. එහෙව් එකේ මං වාගේ නීතිගරුක නිලධාරියෙක් ගැන බලයිද ?

මේ කතාවේ තිබ්බ අමුතු ගතිය හින්දම මම පහුවදා අර පොලීසියට ගියාම තව රාලහාමි කෙනෙකුගෙන් අහල බැලුවා. එයා කියපු විදිහට නං අපේ සාජම්මහත්තයා බඩට ඇනල, කුණු හරුපෙන් බැනලා තියෙන්නේ ළඟදී වැඩ බාර ගත්තු, සිවිල් ඇඳුමින් සැරසිලා හිටපු, මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිතුමාට ! එතුමා බොහොම නිරහංකාර විදිහට තමන්ගේ බලපත්‍ර ඉදිරිපත් කරද්දී තමයි සාජම්මහත්තයා අර විදිහට තග දාලා තියෙන්නේ. තමන්ගේ පොලිස් බලය පෙන්නන්ඩ ගිහිං කුජීත වෙච්ච සාජම්මහත්තයා කිලිනොච්චියේ වැඩ බාර නොගත්ත හිංදා ‘සේවය අත් හිටවූ සේ’ සලකන්ඩ ආණ්ඩුව තීරණය කළා.

ඒ උනාට සාජම්මහත්තයා අපේ ගමට නං සේවයේ හිටියා දිගටම.

ඔන්න ඔහොම ඉන්න කොට බක් මෑ ඇවිල්ලා අපේ ගමේ අවුරුදු උත්සවේ ලෑස්ති උනා. මේකෙ එක තරඟ ඉසව්වක් තමයි ‘සැගවුණු භාණ්ඩය සෙවීම’. මේක වෙන්නේ හරි සරල විදිහකට. ගමේ රහසක් රැක ගන්ඩ පුළුවන් වැදගත් කෙනෙක් මොනවා හරි බඩුවක නමක් ලියල පෙට්ටියක් ඇතුලට දානවා. ඊට පස්සේ අර පෙට්ටිය සීල් කරනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් රුපියල් දෙකක් දීලා අර භාණ්ඩය මොකක්ද කියල තමුන්ගේ අනුමානය කියන්ඩ. දිනන කෙනාට වටිනා තෑග්ගකුත් අර රුපියල් දෙක ගානේ එක්කහු වෙච්ච සල්ලි ටිකත් හම්බ වෙනවා.

ඔන්න ඔය කියන අවුරුදු උත්සවේ සැගවුණු භාණ්ඩය මොකද්ද කියල තීරණය කරලා කොලේ නම ලියන්ඩ බාර උනේ සාජම්මහත්තයාට. මේ ඉසව්ව කොච්චර නැගලා ගියාද කියනවා නං දවල් දොළහ වගේ වෙනකොට රුපියල් හයසීයක් විතර එකතු වෙලා ක්‍රීඩකයන්ගෙන්. ඒ කියන්නේ හරියට භාණ්ඩෙ නම කිව්වොත් රුපියල් දාහක් විතර දිනාගන්ඩ පුළුවන් තෑග්ගේ වටිනාකමත් එක්ක. රුපියල් දෙකකින් දාහක් දිනා ගන්නවා කියන්නේ සෙල්ලං වැඩක්ද ? ඔය කියන කාලේ දාහක් කියන්නේ සතියක් විතර කුදාර් වෙන්ඩ කසිප්පු බීලා බූරුවා අතකුත් ගහන්ඩ තරං සල්ලි ප්‍රමාණයක් ඕං.

අපේ රණසිංහ අයියට ගණදෙවි නුවණ පහල උනේ එතකොට. සාජම්මහත්තයා අරක්කුවලට මල පෙරේතකමක් දක්වන බව දන්නා රණසිංහ අයියා දවල් දොළහ හමාරට විතර සාජම්මහත්තයත් එක්ක බොන්ඩ සෙට් උනා. එක වගේ වෙනකොට සාජම්මහත්තයා කන කඩා වැටෙන්ඩ ඔන්න මෙන්න.

ඔන්න රණසිංහ අයියා වැඩේ පටන් ගන්නවා.

මේ…. සාජම්මල්ලි මොකද්ද අර හැංගිච්ච භාණ්ඩේ විදිහට දාලා තියෙන්නේ ?

ආ මේ කොස්සක් නේ….කොස්ස..කොස්ස..ගේ අතු ගාන්ඩ ගන්නෙ

රණසිංහ අයියා සස් ගාලා පුතාට රුපියල් දෙකක් දීලා කියනවා කොස්ස කියල ටිකට් එකක් ගන්ඩ කියල…

තව වීදුරු බාගයක් විතර බොනකොට සාජම්මහත්තයා කියනවා මෙහෙම…

රණේ අයියා …මං ගෙදර යනන්කොට කොස්සක් අරං යන්ඩ මතක් කරනවද ? ගෑණි මට කිව්වා කොස්සක් අරන් එන්ඩ කියල කඩේට ගිහිං.. ඒ ආපු පාර නේ මේ අවුරුදු උත්සවේට සෙට් උනේ…

එතකොට සැගවුණු භාණ්ඩේ කොස්ස නෙවෙයිද ?

කොහෙද යකෝ ඒක සැගවුණු භාණ්ඩේ උනේ…? මම පිහියනේ ඒකට දැම්මේ !!

රණසිංහ අයියා තව රුපියල් දෙකක් දීලා පුතාට කියනවා පිහිය කියල ටිකට් එකක් ගන්ඩ කියල.

තව ටිකකින් සාජම්මහත්තයා කියනවා මෙහෙම

අයියට කියන්ඩ කවුද එවුන් වගයක් මගෙන් ඇහුවා සැගවුණු භාණ්ඩේ මොකද්ද කියල. අයිය නං එහෙම අහන්නේ අඩු ගානේ අරක්කු ටිකක් වත් දීලනේ. අරුන් එහෙමත් නෑ. මං උන්ට කිව්වා පිහිය කියල.

ඒ කියන්නේ පිහිය නෙවෙයිද ?

නෑ..අයිය කවුද කියන්නේ පිහිය කියල…මම දැම්මේ කැත්ත නේ !!

ඔහොම දහ දොළොස් පාරක් උනාට පස්සේ රණසිංහ අයියා සැගවුණු භාණ්ඩය දිනා ගැනීම පැත්තකින් තියල අර බීපු බෝතලෙම්ම සාජම්මහත්ත්යගේ ඔලුවට තඩි බෑවා. වැඩේ නතර උනේ ඉස්පිරිතාලේ ගිහින් ඔලුවට මැහුම් තොගයක් දාලා. වැඩේ තවත් දෙල් උනේ මේ කතාව ගමේ කොල්ලෝ බල්ලෝ ඔක්කොම අතරට ලීක් උනාම. කාලයක් යනකල් රණසිංහ අයියා දැක්කමයි සාජම්මහත්තයා දැක්කමයි කවුරුත් ඇහුවේ දැන් එතකොට සැඟවුණු භාණ්ඩය මොකද්ද කියල. එහෙම අහපු ගමන් සැගවුණු භාණ්ඩය කෙසේ වෙතත් සැගවෙච්චි අවයව ගැන නං අහගන්ඩ පුළුවන් කම තිබ්බා !

ඔහොම කාලේ ගතවෙලා ගිහිං ටික දවසකින් සාජම්මහත්තයා ආපහු පොලීසියට ගියා. ඒ උනත් මනුස්සයා බුලත් විට කෑම වත් පිනා අරක්කු ෂොට් එකක් දමා ගැනීමවත් නතර කලේ නෑ.

කට්ටකාඩුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල