අතීතකාමය, විචාර

තක්කඩියන් ගැන ජනකතා…

Off

ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම්වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදී ගනිමින්, තව ප්‍රදේශවලදි ඒවා විකුණමින් යන ගමනක්…

ගම්වල ගොඩක් ගම්මු ඔය තවලම්වලට ණයයි. ඒ වගේම අර ලොකු අප්පුත් ඒ ගමට එන තවලමකට ණය වෙලා උන්නා.

දවසක් එයට ආරංචි උනා අල්ලපු ගමට අර තවලම ඇවිත් කියලා. ඉතින් හොඳටම විශ්වාසයි පහුවදා තමන්ගෙ ගමටත් එන වග.

ලොකු අප්පු කරපු දේ, පහුවදා උදේ එයාගෙ අක්ක කෙනෙකුට කිව්වා වී බිස්සට වෙලා හැංගිලා ඉන්න කියලා. ඒ කරලා අර වෙළෙන්දො එනකොට තරමක පොල්ලක් තියාගෙන පිහියකින් සුද්ද කරමින් හිටියා.

වෙළෙන්දො ටික ලොකු අප්පුගෙ ගෙදරටම ඇවිත් ලොකු අප්පුගෙ අතින් අල්ලගත්තා.

“අපිට ගනුදෙනුවක් තියෙනව නේද ඉළන්දාරියා…?” එක වෙළෙන්දෙක් කිව්වා.

“පොඩ්ඩක් අතාරින්ඩ මුදලාලි, මේ පොඩි වැඩක් කරන්න යන්නෙ” ලොකු අප්පු කියලා, අරයගෙ අත ගසල දැම්මා. ඒ කරලා, පිලේ වාඩිවෙලා විටක් කකා හිටපු ආච්චි අම්මව අල්ලගෙන, අර පොල්ලෙන් තට්ටුකරලා වී බිස්සට දැම්මා.

ඊටපස්සෙ ලොකු අප්පු අර මුදලාලිල දිහාවට හැරුණා.

“විටක් හෙම කාල ඉමු නේද?” කියලා බුලත් තට්ටුවත් දික් කළා. පොඩි වෙලාවක් ආගිය කතා කතා කරලා එහෙම,

“දැන් එළියට එන්ඩ” කියලා ලොකු අප්පු වී බිස්ස දිහාවට කෑගැහුවා. එතකොට අර උදෙම්ම වී බිස්සට රිංග ගත්ත අක්කා හිනා වෙවී එළියට ආවා.

ඒක දැකපු මුදලාලිලට ණය අමතක උනා. ඒ ගොල්ලන්ට ඕනෙ උනා ලොකු අප්පුගෙන් අර තිරිහන් පොල්ල ඉල්ල ගන්න. ලොකු අප්පු කැමති උනේම නෑ ඒක දෙන්න. පස්සෙ පස්සෙ ඒ මුදලාලිලගෙ පෙරැත්තෙ නිසා බේරෙන්නම බැරි තැන, මුදලාලිලා ගාව තිබුණු ඔක්කොම සල්ලි ටික අරගෙන පොල්ල දෙන්න ලොකු අප්පු කැමති වුනා.

බොහොම සතුටින් තමන්ගෙ ගමට ගියපු වෙළෙන්දො අතට අහුවුණ තරම් වයසක ගෑණු පිරිමි හැම එකාටම පොල්ලෙන් තඩිබාලා වී බිහි වලට ඇදලා දැම්මා. සමහරු අර පොල්ලෙ මැජික් එකේ සැරට වී බිස්ස ඇතුළෙම මළා. ඒත් එක්කෙනෙක් වත් තරුණ උනේ නෑ.

මුදලාලිලට හරිම තරහයි ලොකු අප්පු කරපු කැත වැඩේ ගැන. ඒ ගොල්ල කරපු දේ, චණ්ඩියෙකුත් එක්කරගෙන ගිහින් ලොකු අප්පු අල්ලලා, හොඳටම ගහලා, අතපය බැඳලා, ලොකු ගෝණියකට දාලා, කට බැඳලා උස්සගෙන ගියා ගඟට දාන්න. ඒ යන අතරෙ චණ්ඩියට රා බොන්න ඕනෙ උනා. ඒ ගමන ගෝණිය පාර අයිනෙ ගහක් යට තියලා, ඒ ගොල්ල ගියා රා බොන්න.

ඔය අතරෙ රෙදි මුදලාලි කෙනෙක් රෙදි පොට්ටනි දෙකකුත් අරං ඔය පාරෙන් යන්න ආවා. එයාගෙ අඩි සද්දෙ ඇහිලා ලොකු අප්පු කෑ ගහන්න ගත්තා.

“මට යන්ඩ දීපියව්…! මාව ලෙහපියව්…!! මට බෑ රජ වෙන්න…!!!”

රෙදි මුදලාලිට පුදුම හිතුණා මේ කෑ ගැහිල්ලට. එයා හණි හණිකට ලොකු අප්පු ගාවට ඇවිත් “මොකද කෑගහන්නෙ ?” කියලා ඇහුවා.

“මේ බලනවකො. රජතුමාට පිස්සු හැදිලා. එයාගෙ දුව ගොවියෙකුට බන්දලා දීලා රජකම දෙන්ඩ හදනව. මම බෑ කිව්වා. ඒක අහන්නැතුව මාව ගෝණියකට දාගෙන යනව රාජ පුරුසයො…”

ඉතිං සුළු දෙයක්නෙ. මේ මෝඩයට රජ වෙන්න බැරිනම් මම රජ වෙන්නම් කියල හිතපු රෙදි වෙළෙන්දා, ගෝණියෙ කට ලෙහලා ලොකු අප්පුව එළියට ගත්තා. ඊට පස්සෙ එයා ගෝණියට බැහැලා ලොකු අප්පුට කිව්වා කට ගැට ගහන්න කියලා. ලොකු අප්පුත් අඬ අඬා ගෝණියෙ කට ගැට ගැහුවා. ඒ කරලා රෙදි පොට්ටනිත් අරං ගඟ පහලට ගියා.

ගඟ පහලට ගියපු ලොකු අප්පු, එක රෙදි පොට්ටනියක් ගඟ අයිනෙ තිබුණු ගහක අත්තක එල්ලුවා. ඔය අතරෙ රාබීල ආපහු ඇවිත්, අර ගෝණිය ගඟට විසි කරපු මුදලාලිල ටික ගඟ දිගේ පහළට ආවා. ඒ එනකොට ලොකු අප්පුව දැක්කා. කට්ටිය එකතු වෙලා ගඟට දාපු මිනිහා, පොඩ්ඩක්වත් තෙමිලත් නැතුව, පොට්ටනියකුත් අතේ තියං ඉන්නව දැක්කම මුදලාලිලට හරි පුදුමයි.

“උඹ කොහොමද බේරුණේ ?” මුදලාලිල ඇහුවා.

“මම බේරුණේ නෑ. මේ ගඟේ පතුලෙන් නාග ලෝකෙට පාරක් තියෙනව. ගෝණියකට බැහැලා ගඟට වැටුණම කෙලින්ම යන්නෙ නාගලෝකෙ. තමුසෙල මාව ගඟට දාපුහාම මමත් නාග ලෝකෙට ගියා. එහෙ රෙදි ඕසෙට… මම රෙදි පොට්ටනි දෙකක් ගැට ගහගත්තා. ඒත් එහෙ උදවිය මට එක පොට්ටනියයි ගේන්න දුන්නෙ. බොරු නං අර බලන්ඩකො අනික් රෙදි පොට්ටනිය ගං පතුලෙ තියෙන හැටි…” කියල ලොකු අප්පු අත දික් කරල පෙන්නුවා.

ගහේ එල්ලපු රෙදි පොට්ටනියෙ ඡායාව ගඟේ වතුරට වැටිලා. ඒක දැකපු මුදලාලිලා ටික පොරේ ලොකු අප්පුට ඒ අයවත් ගඟට දාන්න කියලා. ගෝණි දෙක තුනකුත් ගෙනත් දුන්නා.

ලොකු අප්පු බෑ කිව්වා. “තමුසෙලා මාව මරන්නනෙ හැදුවෙ. මට බෑ තමුසෙලා පෝසත් කරන්න…”

ඊට පස්සෙ මුදලාලිලා ඒ වැඩේට සල්ලි දෙන්න ඇහුවා. පැයක් විතර පෙරැත්ත කරල කරලා අන්තිමේ ලොකු අප්පු එකඟ වුනා. අර මුදලාලිලාගෙන් සල්ලි අරගෙන එකා එකාව ගෝණිවලට දාලා ගඟට තල්ලු කළා.

පොඩි මෙන්ඩා සහ ලොකු මෙන්ඩා වෙනුවෙනි…

ඩ්‍රැකියගෙ අඩවිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල