අතීතකාමය, ප්‍රහසන

මාළු බාමුද ?

Off

හෝ ගාලා වැස්ස.
පිදුරු පලෙන් බේරෙන වතුර කහ පාටයි.
මලයාටයි මායි නිවස අඩස්සියේ .
දෙය්යනේ දෙසැම්බර් නිවාඩුවට වෙච්ච දෙයක්.

කිරි පිටි ටික ටික කිරි පිටි ටික
ටාක් ⁣ටාක් ක්වාක්
හුටාක් හුටාක් හුටාක්

ගෙබ්බෝ එක සිරුවට සිංදු කියන්නේ දඹ ගහ ගාව බාගෙට ගොඩ වේච්ච සීයාගේ ලිදේ ඉදන්.
අපි දෙන්නත් ගෙම්බන්ට එකතු වුණා.

“යකෝ කට පියාගෙන ඉදපියව්කෝ
කනක් ඇහිලා ඉන්න නෑනේ”
මාමාගේ ගෝරනාඩුවට අපි දෙන්නාගේ ගෙබි ගී නම් නැවතුණාට ගෙම්බන්ට නම් වගේ වගක් නෑ.
උන් තවත් අළුත් ශද්ද හදා හදා උන්ගේ බජව්ව දිගටම කරගෙන ගියා..

පහුවදා නම් රිටිගලට උඩින් ඉර අමාරුවෙන් එබිලා හිටියා.
අම්මා හදපු කුරහන් රොටිය කුරපලා හැඳි ගාපුවත් ඉක්මණට ගිලදැම්මේ අපි එනකං සනතා බලාන ඉන්න බව දන්න හින්දා.

මල්ලීයි මායි ඉදිකඩුල්ලේ උඩ ඉදන් හූ කිව්වා…..
ඒ හූව තමා කැඳවුම් සංඥාව.

සරම කැහිපොට කවමින් ෂර්ලියාගේ කාර් එක ආච්චිලාගේ කොහු අඹ ගාව දී අමාරුවෙන් බ්‍රේක් ගැහැව්වා..

“ඒ අන්න ඉහලාඹතලේ වාන් දානවළු..
යමු මාළු බාන්න”

“ආයිෂ් අප්පා අන්න මරු එත්
කෝ බං බිලි පිති”

“හෑ……එක තමා යමව්කෝ සනතා ගාවට”

අපි තුන් දෙනාම කාර් ඉස්ටාට් කරගත්තා.
මල්ලීගේ කාර් එක අළුත් එකක්.
එක තමා පෙරමුණ ගත්තේ.

අපි යද්දී සනතා තාත්තාගේ මේල් නයින්ටියේ නැගගෙන එකතැන පදිනවා.
තාත්තා ලගක නැතුව ඇති නැත්ත ඉතිං සනාතට බයිසිකලේ පැත්තට එන්න දෙන එකක්යැ.
සනතාගේ අක්කා රංජා, කිරි අම්මාත්තෙක්ක (කිරිඅම්මා කිව්වාට ඈ වයස අවුරුදු දොලහක ගැටිස්සියක්, ගැටිස්සියක් කිවාට කිරිඅම්මා නම් ලෑලි කෙල්ලකි) ලිඳට යන්න සුදානම.
දත් මදින්න කාපු අඟුරු හින්දා දෙන්නගෙම කට වටේ තවත් තඩි කළු කටක්,

“කොහේ යන්නද උදෙන්ම ”
මේ අක්කලානං එපා කරපු ජාතියකි. හොඳ වේලාවට අපි තුන්දෙනා නම් වාසනාවන්තයෝ.
එහෙම වාසනාවක් සනතාට නැත.

“උඔට මොකටද අපි යන දිහා..
යන තැනක පලයන්කෝ”
සනතා⁣ට එයද මදිය. සරමද උස්සා පුක ඇඳ පැවේය….

“චීය්යා කඩප්පුලියා….
වරෙන් රංජෝ යන්න”

කිරි අම්මා රංජාගේ අතින් ඇඳගෙන ගමන ඉක්මන් කලේ තව ටිකක් හිටියොත් තවත් කළු පුක් කිහිපයක්ම දැක ගැනීමට වෙන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

සනතෝ,
ඉහලාඹතලේ වාන් දාලා යන්ද මාළු බාන්න…

අපේ කණ්ඩායමේ සනතා බාලයා වුවද ගමේ ගොඩේ වැඩ අපිට වඩා හොඳින් ඔහුට හැකිය.
මා සහ මල්ලී ගමට එන්නේ නිවාඩුවටය.
ඒ ආ විට අපේ නියමුවා සනතාය.
ෂර්ලියා අපේ අනිත් සගයාය.
පොඩ්ඩ ඇත්තං බේරි වෙනවා සේ හොස්ස අඟින් මැස්සෙක් ගිය විටද මරා ගන්න හදයි.

හරි, එහෙනම් මං අපේ වත්ත පහලින් පණුවෝ ටිකක් කොටාන එන්න……
උඹලා ගිහි වී රාත්තල් දෙක තුනක් අරගෙන වරෙව්”

ආනන්ද මාමාගේ කඩේදී වී නයිලෝන් නුල් පන්දුවකටත්, තෙප්පිලි කට්ටකටත්, හකුරු බැයකට සහ පොල්කටු විස්කෝතු කිහිපයකටත් මාරු විය.

ඉහලාඹතලේ වැවේ වාන ගල් තලාවකි. එය හරහා වැව් බන්ට් වෙන්වි ගොස්ය.
ගල් තලාව හරහා යන වතුර ගල් තලාව ආසන්නයේ ඇති වලට පිරි එයින් ඔබ්බේ ඇති ගල් තලාව හරහා ගොස් ඇලට වැටේ . ඇලේ යන වතුර කොහේ යන්නේදැයි ඒ දවස්අවල අපිට තිබූ ලොකුම ලොකු ප්‍රශ්නයකි.

ගල් තලාව හරහා යන වතුර පාරේ තිත්තින් පොදි පොදි පිනා යයි.
මේ තිත්තින් ඩබොල් අමරයා, ලේනා බණ්ඩය්යා එකතු කරගෙන මැහි ගසා වේලයි.

දිය පාරේ එන කාවය්යන්, තෙප්පිලින් වානේ පතුරුවලින් කොටන්නේ රෑටය.
එම ඉරණම අත් නොවු මාළුන් ඇල පාරට යයි.
එහෙම නැතිනම් ඇලපාරට මෙහායින් වු කහදිය වල තම තාවකාලික නිවහන කර ගනී.

කහදිය වල අසල කුරටියා සහ කයිල ගාලකි.
එය ඉහලාඹතලේ කිට්ටුව උන් මිනිසුන්ගේ පොදු වැසිකිලියද විය.
එනිසා අපි මුළින් තඩි ගු ගොඩවල් කොලවලින් වැසුවද ගඳ වසා දැමීම නම් කල නොහැකි විය.
ෂර්ලියාගේ චප්ප නහය තවත් චප්ප කර ගත්තේ මාළු ඇල්ලීමේ ආසාව ගඳට වඩා වැඩි වු නිසාය.

සනතා ඉනේ ගසාන හුන් වක්පිහෙන් කුරටියා කොට්ටක් කඩා එයට නූලත් බැඳ මිලයට ගත් තෙප්පිලි කට්ටත් බැන්දේය.
කුඩා ලිී කැල්ලක් නුලේ මැද බැන්දේ ඉපියාටයි.

“වැඩේ හරි…..”
පණු පොල්කට්ටෙන් තඩි ගැඩවිලෙක් තෝරා බිලී කොක්කේ ඇමුණු සනතා එයට කෙල තලියක් ගසා කහදිය වලේ වතුරට විසිකලේ ජයග්‍රාහී හිනාවකිනි.
“අන්න…….
ෂර්ලියා වතුරේ නිසලව තිබු ඉපියා එහෙ මෙහේ යනු දුටු විට කෑ ගැසීය.
“කට වහපියකෝ”
සනතා මුර ගෑවේ වතුරේ ඉන්නා මාළුන්යට අපේ කතාව ඇසෙයැයි සිතා විය යුතුය.

සනතා බීලි කොක්ක ඇද්ද විට තඩි පෙතියෙක් බීලි කොක්කේ ඇමිණි සිටියේය.
වැඩේ මරුය. කහදිය වලේ වූ කාවය්යන් දෙදෙනෙක්ද මඩකරියෙක්ද උඩටවිත් වැලක ඇමුණුන විට බිලී පිත්ත මා ගත්තේය.
පණුවා අමුණා දුන්නේය සනතාය. කෙල තලිය ෂර්ලියාගෙනි.

මා මගේ මංගල මාළුවා බා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බිලි කොක්ක වතුරට දැමිමි.
“අය්යේ ආන්…….
කවදත් මගේ සහායට එන මල්ලී වැඩේ සාර්ථක බව පෙන්නීය.
බිලී කොක්ක ගස්සා ඇද්දෙමි.

මගේ හිසට උඩින් ගිය බිලි කොක්ක සරම පසා ගෙන තට්ටම කා ගෙන යටට බැස්සේ රෑ තරු දවල් පෙන්නමිනි.
මගේ විලාපයට පැත්තක අහවල් වැඩය කරමින් උන් ජන්ගුවා සීයා දුවගෙන ආවේ ඇට්ටි⁣ම්බෙනි.
තට්ටමේ ඇමිණි තිබු තෙප්පිලි කට්ට ගලවා අත් බේතක්ද බැඳ උන්දැ ගියේය.

අල්ලාගෙන තිබු මාළුන් කහදිය වලට විසිකොට ආපිට ගෙදර යනවිට මා අනිත් උන්ට මේ ගැන කාටවත් නොකියනා ලෙස ඉල්ලුවද පසු සෙල්ලම් කිරීමට සනතාලාගේ ගෙදර ගියවිට කිරිඅම්මා මාළු බාන්න යමුදැයි ඇහුවේ ඔලොක්කු හිනාවකනි.

ඒත් මට ඒ වනවිට එකීට සරම උස්සා පෙන්නීමට බැරි තාත්තා පසුපසට බේත් දමා පැලැස්තරයක් ගසා තිබු බැවිනි.

කළු ලෑල්ල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල