
මේ වනවිට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා.
ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික එකක්. ඒ වගේම, ඔහුගේ පාලන කාලය තුළ සිංගප්පූරුව තුළ ඉතා දැඩි නීති ක්‍රියාත්මක වුනා. ඒ නීති නොපිළිපදින අයට දැඩි දඬුවම් ලබා දෙනු ලැබුවා. මේ නීති හා දඬුවම් මොනවාද කියා විස්තර කරන්න මා වචන නාස්ති කරන්නේ නැහැ.
සිංගප්පූරුව ලංකාවේ බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී රටක්. ලංකාවේ ලී ක්වාන් යූ කෙනෙකු බිහි වී ලංකාව කෙටි කලක් තුළ සිංගප්පූරුවක් වනු දැකීම මෙවැනි අයගේ අභිලාෂයයි. මේ අය දරන අදහස් දළ වශයෙන් පහත ආකාරයට පෙළ ගැස්විය හැකියි.
1. ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.
2. සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි)
3. සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.
4. මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.
5. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.
6. සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා. (එසේ නැත්නම් එකතැන නැවතී තිබුණා)
7. ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.
8. “xxx”ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. (මේ අවස්ථාවේදී, ගොඩක් අයට මේ “xxx” ගෝඨාභය රාජපක්ෂ. නමුත්, ඉහත 1-6 අදහස් ගෝඨාභය රාජපක්ෂ ගැන කතාබහක් ඇතිවෙන්න පෙර සිට කාලයක් තිස්සේ පවතිනවා)
මේ අදහස් ගැන මට කියන්න තියෙන්නේ මේ කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ නොවේනම් වැඩිම වුවහොත් අර්ධ සත්‍ය බවයි.
ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.
අද ලෝක සිතියමේ දැකිය හැකි ආසියානු රටවල් බොහොමයක් ලංකාවට නිදහස ලැබෙන විට ස්වාධීන රටවල් සේ පැවතුණේ නැහැ. උදාහරණයක් විදිහට සිංගප්පූරුව, මැලේසියාව හෝ බංග්ලාදේශය නමින් ස්වාධීන රටවල් ඒ වනවිට තිබුණේ නැහැ. ඒ නිසා, අද රටවල් සේ තිබෙන බොහෝ බිම් පෙදෙස්වල ඒ වනවිට ලංකාව සමඟ සංසන්දනය කළ හැකි සංවර්ධන නිර්ණායක නැහැ. ඒ වගේම, ඒ වෙද්දී පැවති ස්වාධීන රටවල් සියල්ලේම ඒක පුද්ගල ආදායම වැනි සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කෙරුණේත් නැහැ.
ඇතැම් ආසියානු රටවල 1960 හෝ ඊට පසු වසරක සිට ඒක පුද්ගල දදේනි පිළිබඳ දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 142 ක්. මහ බැංකු වාර්තාවල තිබෙන ලංකාවේ ආර්ථික වර්ධන වේගයන් හා ජනගහණ වර්ධන වේගයන් අනුව නිදහස ලැබෙන විට ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 118 කට ආසන්න විය යුතුයි. 1960 වන විට ජපානයට අමතරව සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, පිලිපීනය, හොංකොං ආදී තවත් රටවල් ගණනාවක ඒපුදදේනි ඒ වසරේදී ලංකාවේ ඒපුදදේනිට වඩා වැඩියි. ඒ වෙද්දී තිබුණු පරතරය අනුව, මේ වෙනස වසර 12 ක් තුළ ඇති වූ එකක් වෙන්න ඉඩක් තිබෙන්නේ කොරියාව හා අදාළව පමණයි. ඒ අනුව, ලංකාව හිටියේ ජපානයට පමණක් පසුපසින් කියන එක පිළිගතහැකි කරුණක් නෙමෙයි.
සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි)
මේ ප්‍රකාශය කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් නිතර නිතර කියන එකක් වුවත් මෙවැන්නක් කියා ඇති තැනක් මට හමු වී නැහැ. මෙය ඔහුගේ කිසියම් ආසන්න ප්‍රකාශයක් මත පදනම්ව බිහි වූ “කතන්දරයක්” විය හැකියි. මේ කතාව ඇත්තක්නම් ඔහු ඒ ගැන පසුකාලීනව සඳහන් කිරීමට සැලකිය යුතු ඉඩක් තිබුණා. ලී ක්වාන් යූ විසින් වරින් වර ලංකාව ගැන නිශේධනාත්මක ප්‍රකාශ නම් ගණනාවක්ම කර තිබෙනවා.
සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.
මේ කතාව හරියට ලංකාවේ සිවිල් යුද්ධය දිනුවේ රාජපක්ෂලා නිසා කියනවා වගේ කතාවක්. ලංකාවේ සිවිල් යුද්ධය දිනන්න රාජපක්ෂලාගෙන් විශාල දායකත්වයක් ලැබුනා වගේම සිංගප්පූරුව දියුණු රටක් වෙන්න ලී ක්වාන් යූගෙන් විශාල දායකත්වයක් ලැබුණා තමයි. වෙනත් අයෙක් ලංකාවේ බලයේ සිටියානම් ඇතැම්විට යුද්ධය නොදිනන්න ඉඩක් තිබුණා වගේම වෙනත් අයෙක් සිංගප්පූරු අගමැතිව සිටියානම් ඇතැම්විට සිංගප්පූරුව මේ තරම් ඉක්මණින් දියුණු රටක් නොවෙන්නත් ඉඩ තිබුණා.
නමුත්, ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම වගේම සිංගප්පූරුව දියුණු වීමත් සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. මේ දෙකම වෙන කිසියම් අයෙකු අතින් වුවත් සිදුවිය හැකිව තිබුණා. (එයින් අදහස් කරන්නේ වෙන ඕනෑම අයෙකු අතින් කියන එක නෙමෙයි).
වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නොවී මහින්ද රාජපක්ෂ වුනා නම් ඒ වෙලාවේ යුද්ධය අවසන් වෙනවා කියා කවුරු හරි හිතනවානම් එය මුලාවක්. සිංගප්පූරුව දියුණුවීම ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. යුද්ධයක් දිනීම හෝ රටක් දියුණු කිරීම සඳහා පාලකයෙක් අවදානම් තීන්දු ගත යුතුයි. නමුත්, මේ අවදානම් ගැනීම්වලින් හැම විටම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය යම් තරමකට වාසනාව මතත් තීරණය වන දෙයක්. ලැබෙන ප්‍රතිඵලය අනුව කෙනෙක් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් විය හැකියි. බලාපොරොත්තු වූ විදිහට වැඩේ කෙරුණොත් වීරයා වන කෙනාගේ වාසියට ඉතිහාසය ලියැවිලා අවශේෂ කරුණු අමතක වී යනවා.
අවසන් ප්‍රතිඵලය පැත්තකින් තිබ්බොත්, ලංකාව සම්බන්ධවම වුවත් මෙවැනි අවදානම් තීන්දු ගත් පාලකයින් ඉන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. වැඩේ පත්තු වුනානම් මේ අයත් ලී ක්වාන් යූලා. ලී ක්වාන් යූ කියන්නේ දැවැන්ත චරිතයක්. නමුත්, ලී ක්වාන් යූ ප්‍රතිරූපය මේ වෙද්දී එය පුම්බලා තියෙන තරමටම ලොකු එකක් නෙමෙයි.
මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.
එළියට දැමීමේ කතාවෙන් පටන් ගත්තොත්, සිංගප්පූරුව නිදහස් රටක් වුනේ 1965 දි. ඊට පෙර සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්ව පැවතුනා. නමුත්, සිංගප්පූරු මැලේසියා දීගය දෙවසරක ඉතා කෙටි දීගයක්. 1963 දක්වා වසර 16ක පමණ කාලයක් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ස්වාධීන පාලනයක් ලෙස හා වෙනම බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස මැලේසියාවෙන් වෙන්ව පැවතුනා. මැලේසියාවට නිදහස ලැබෙන විට මැලේසියාව සමඟ එකතු වෙන්න වැඩිපුරම අවශ්‍ය වුනේ සිංගප්පූරුවටයි. ඒ වනවිටත් (1959 සිට) සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ. පසුගිය සියවසේ මුල භාගයේදී ලංකාවේ ඇතැම් දෙමළ නායකයින්ට මුළු රටේම නායකයින් වීමට තිබුණු ආකාරයේ උවමනාවක් සමහර විට ලී ක්වාන් යූටත් තිබුණා වෙන්න පුළුවන්.
සිංගප්පූරුව හා මැලේසියාව එකතුව සිටි දෙවසර තුළ වුවත් රටවල් දෙක හරියටම එකම රටක් විදිහට ක්‍රියාත්මක වුනේ නැහැ. මේ දීගය මුල සිටම අවුල් ගොඩක් තිබුණු දීගයක්. මැලේසියාවෙන් එළියට දැම්මේ හදිසියේ වුවත් එය කොයි වෙලාවක හෝ සිදුවන දෙයක් බව ලී ක්වාන් යූ පැහැදිලිවම දැන සිටියා.
සිංගප්පූරුව කියන්නේ කිසිදු වගාවක් කරන්න ඉඩක් ඉතිරිව නොතිබුණු බිමක් බව ඇත්ත. නමුත්, ඉංග්‍රීසින් විසින් කාලයක් තිස්සේම සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබුණා. එය ලී ක්වාන් යූගේ දැක්ම මත සිදු වූ සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒ වගේම, ලී ක්වාන් යූ විසින් භාරගත් සිංගප්පූරුව සංවර්ධිත රටක් නොවූවත් සැලකිය යුතු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් එක් රැස්වී තිබුණු තැනක්. එය කිසිවක් නොතිබුණු දුප්පතුන් පිරී සිටි මුඩුබිමක් නෙමෙයි.
සිංගප්පූරුව නිදහස් රටක් වූ 1965 දි සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 516.5 ක්. නමුත්, ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 152.9 ක් පමණයි. ලී ක්වාන් යූ අගමැති ධුරය භාරගත් කාලයට ගියත් සිංගප්පූරුව කියා කියන්නේ ඒ වනවිටත් ජපානය හැරුණු විට ආසියාවේ හොඳම ජීවන තත්ත්වයක් තිබුණු තැනක්. 1960 දි සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428 ක්. ලංකාවේ නම් ඇමරිකන් ඩොලර් 142 ක් පමණයි. ඒ වගේම මැලේසියාවත් මේ කාලය වෙද්දී පවා හිටියේ ලංකාවට වඩා උඩින්. 1960 දි මැලේසියාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 235 ක්. එසේ නැත්නම් ලී ක්වාන් යූ මැලේසියාව සමඟ එකතු වෙන්න හිතන්නේ නැහැ.
ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.
ලී ක්වාන් යූගේ දරදඬු පාලනය සිංගප්පූරුව අද තියෙන තැනට එන්න උදවුවක් වුවත් සිංගප්පූරුව අද තියෙන තැනට ආවේ ඔහුගේ දරදඬු පාලනය නිසාම කියා කියන්න බැහැ. මේ දරදඬු පාලනය වගේම රාජ්‍ය මූලික සංවර්ධන උපාය මාර්ගයත් සිංගප්පූරුවට වාසිදායක වුණේ සුවිශේෂී හේතු කිහිපයක් නිසා. ඒ ගැන පසුව වැඩිපුර කතා කරමු.
සිංගප්පූරුවට වේගයෙන් දියුණු වෙන්න මූලික වශයෙන්ම උපකාරී වුනේ එහි ආනයන අපනයන ආර්ථිකයයි. සිංගප්පූරුවට ආනයන අපනයන වේගයෙන් වර්ධනය කර ගනිමින් දියුණු වීමට උපකාරී වූ කරුණු අතර ලී ක්වාන් යූගේ දරදඬු පාලනයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබීම, භූගෝලීය පිහිටීම, කුඩා දූපතක් වීම, කුඩා ප්‍රදේශයක ජීවත් වූ නොවිසුරුණු කුඩා ජනගහණයක් සිටීම, සංස්කෘතික සාධක (චීන සම්භවය හා ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ පුහුණු වී සිටීම) ආදී කරුණු ගණනාවක් බලපා ඇති බව සිතිය හැකියි.
මේ කරුණු අතරින් ලී ක්වාන් යූගේ දරදඬු පාලනයේ දායකත්වය කුමක්ද කියා අපට බැලිය හැක්කේ ආසන්න වශයෙන් හෝ අනෙක් සාධක ගැලපෙන වෙනත් තැනක් ඇත්නම් පමණයි. එසේ නැතුව සිංගප්පූරුව ලංකාව හෝ වෙනත් අහඹු තැනක් සමඟ සසඳා අපට නිගමනවලට පැමිණිය නොහැකියි.
හොඳ වෙලාවට එවැනි තැනක් තිබෙනවා. ඒ හොංකොං. හොංකොං කියා කියන්නේත් බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ, චීන සම්භවයක් සහිත මිනිසුන් වෙසෙන, කුඩා දූපතක්. දුපතේ ප්‍රමාණය හා ජනගහණය අනුව හොංකො බොහෝ දුරට සිංගප්පූරුවට සමානයි. බ්‍රිතාන්‍යය විසින් චීනයෙන් 99 අවුරුදු බද්දට ලබාගෙන තිබුණු හොංකො දූපත 1997 දී නැවත චීනයට භාර දෙනු ලැබූ නිසා සිංගප්පූරුව හා සංසන්දනය කළ යුත්තේ ඊට පෙර කාලයයි. මේ කාලයෙන් වැඩි කොටසක් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති සේ කටයුතු කළ අතර ඉතිරි කාලය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා.
1960 දි සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428 ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428 ක්. 1997 දි සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 26,276 ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 27,330 ක්. රටවල් දෙකේම ආදායම් වර්ධනය වී තිබෙන්නේ එකම රටාවකට බව පහත ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. (චීනයේ කොටසක් වුනාට පස්සේ හොංකොංවලට සිංගප්පූරු ගැම්මටම යන්න බැරි වුනා) ඒ කියන්නේ ලී ක්වාන් යූ හා ඔහුගේ දරදඬු නීති සමඟ සිංගප්පූරුව යම් ප්‍රගතියක් අත්පත් කරගත්තානම් ලී ක්වාන් යූ කෙනෙක් නොසිටි හොංකොං රටත් ඒ කාලය තුළ එවැනිම ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.
ගොනා එක්ක කරත්තයත් යා යුතුයි. නමුත්, කරත්තය ගොනාට කලින් යා යුතු නැහැ. රටවල් දියුණු වෙන කොට මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉස්පාසුවක් ලැබෙනවා. එතකොට ටිකින් ටික විනය හැදෙනවා. එය ස්වභාවිකවම වෙන දෙයක්. ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ලිපිය දිග් ගැහෙනවා.
සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා.
කලින් කිවුවා වගේ සිංගප්පූරුව කවදාවත් ලංකාවට පසුපසින් හිටියේ නැහැ. සිංගප්පූරුව කියන රට හැදෙන විටත් එහි ඒපුදදේනි ලංකාවේ මෙන් තෙගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ලංකාව පසුපසට ගිහින් නැහැ. 1960 දි ඇමරිකන් ඩොලර් 142 ක් පමණක් වූ (නිදහස ලැබෙන විට ඇමරිකන් ඩොලර් 118 ක් පමණක් වූ) ලංකාවේ ඒපුදදේනි මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 4000 පන්නා තිබෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වී තිබෙනවා. 1960 දි ලංකාවට වඩා පසු පසුපසින් සිටි තායිලන්තය වැනි ඇතැම් ආසියානු රටවල් මේ වෙද්දී ලංකාව ඉක්මවා ඉදිරියට ගොස් ඇති බව ඇත්තක් වුවත් පිලිපීනය වැනි වෙනත් ඇතැම් ආසියානු රටවල් හා 1960 දි ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අප්‍රිකානු රටවල් ගණනාවක් පසුකරන්න ලංකාව සමත් වී තිබෙනවා. සිංගප්පූරුව තරම් වේගයෙන් ලංකාව ඉදිරියට ගොස් නැතත් ලංකාව එන්න එන්නම පස්සට ගියා කියන එක බොරුවක්. (ඒ වගේම පහුගිය දශක දෙක දිහා බැලුවොත් ලංකාව සිංගප්පූරුවට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.)
ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමන එක හොඳ අදහසක් නෙමෙයි. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචාව දූෂණය නාස්තිය අවම කිරීම වගේ දේවල් කළ යුතුයි. හැබැයි මේ දේවල් කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. සිංගප්පූරුව සිංගප්පූරුවක් වෙන්න හේතු වූ සුවිශේෂී තත්ත්වයන් සියල්ල ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරන්න බැහැ.
කලකට පෙර ඔය කුරුණෑගල පැත්තේ මීවැල්ලාව කියා පන්සලක බෝධියකින් බුද්ධ රූපයක් මතු වුනා. ඒ එක්කම රටේ හැම පැත්තෙන්ම ඔය ගමට ට්‍රිප් යන්න පටන් ගත්තා. ඒ එක්කම මේ අභ්‍යන්තර සංචාරකයින් ඉලක්ක කරගත් ආර්ථිකයක් ගමේ හැදුණා. ඔය වගේ සිද්ධියකින් පස්සේ ගමක් කෙටි කලක් ඇතුළත වේගයෙන් දියුණු වෙන්න පුළුවන්.
මීවැල්ලාව රැල්ල ටික කාලයකින් නැතුව ගියා. ඔය වගේ සමහර රැළි කාලයක් දිගටම තියෙනවා. ඉන්දියාවේ පුත්තපාර්තිය ගැන හිතන්න. සායි අනුගාමිකයින් නිසා ඇති වුනු විශාල ආර්ථිකයක් එහි තිබෙනවා. නමුත්, මෙවැනි ආර්ථිකයක් විශාලනය කරන්න බැහැ. (unscalable) සිංගප්පූරු ආර්ථිකයත් ඒ වගේ එකක්. එය හොංකොං වගේ තැනකට හරියනවා. නමුත්, ලංකාවට හරියන්නේ නැහැ.
මාලදිවයින වගේ රටකට සංචාරක ව්‍යාපාරය වගේ දෙයකින් පමණක් ගොඩ යන්න පුළුවන්. රටේ ජනගහණය ලක්ෂ හතරකට පොඩ්ඩයි වැඩි. අවුරුද්දකට ඒ වගේ තුන් ගුණයක් සංචාරකයෝ එනවා. දැනට එහි පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහ ගුණයකින් වැඩි කරන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. මිලියන් දොළහක් මාල දිවයිනට ගෙන්වා ගන්න තරම් සංචාරක ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. එවිට රටට එන සල්ලිවලින් මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම හත් අට ගුණයකින් ඉහළ යන්න පුළුවන්. එක මාලදිවයින් වැසියෙකුට වසරකට සංචාරකයෝ තිහක් විතර එනවනේ.
හැබැයි ලංකාවට ඔය ඉලක්කයට යන්නනම් වසරකට සංචාරකයෝ මිලියන හයසීයක් ගෙන්න ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක් කුඩා වෙද්දී බාහිර ඉල්ලුම ගැන වැඩිපුර අවධානය යෙදිය යුතු වුවත් රටක් ලොකු වෙද්දී අභ්‍යන්තර ඉල්ලුම ගැන හිතන්න වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, චීනය, සෝවියට් දේශය වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම කොයි තරම් වාසිදායක වුවත්, ලොකු දේශීය ඉල්ලුමක් හා දේශීය නිෂ්පාදිතයක් නැතුව වැඩිදුර යන්න බැහැ. මොකද ඒ රටවල්වල තරමට අවශ්‍ය තරම් විශාල බාහිර ආර්ථිකයක් නැහැ.
ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටකට අවශ්‍ය නම් ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගන්න බැරිකමක් නැහැ. නමුත්, ලංකාවට ඒක කරන්නත් බැහැ. කරන්න ගියොත් දැන් ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි එහෙම කියලා දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අමතක කරලා සිංගප්පූරුව වගේ වෙන්නත් බැහැ. ඔය දෙකේ මනා සංකලනයක් ලංකාවට අවශයි. මේක මීට වඩා බර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අවශ්‍ය නැහැ නේ.
සිංගප්පූරු ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ආනයන අපනයන වෙළඳාම මතයි. දළ වශයෙන් කිවුවොත් සිංගප්පූරුව කරන්නේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල්වලින් වැඩිපුර ආනයනය කරලා චීනය, කොරියාව වගේ රටවලට වැඩිපුර අපනයනය කරන එකයි.
සිංගප්පූරු ජාතිකයින් බහුතරය මැන්ඩරීන් චීන්නු. ඒ නිසා, ඔවුන්ට අනෙක් කහ මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක පහසුයි. ඒ එක්කම බටහිර එක්ක ගණුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික පුහුණුවත් ඔවුන්ට තිබෙනවා. චීන්නුන්ට මෙය නැහැ. ඒ නිසා, සිංගප්පූරු කාරයෙක්ව අතරමැදියෙක් විදිහට තියාගන්න එක චීනටත් වාසියි. සුද්දටත් වාසියි.
සිංගප්පූරුව කාලයක් තිස්සේ ගත්ත මේ වාසිය වෙන රටකට ඒ විදිහටම ගන්න බැහැ. ඒ වගේම මේ වාසිය ලංකාව තරමේ රටකට විශාලනය කළ හැකි එකකුත් නෙමෙයි. (මේක දළ පැහැදිලි කිරීමක් පමණයි) ඒ වගේම දැන් ටික කලක ඉඳලා බටහිර එක්ක ගනුදෙනු කළ හැකි චීන්නු, කොරියන් කාරයෝ වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ වාසියත් ක්‍රමයෙන් ගිලිහෙනවා. සිංගප්පූරුව නම් දැන් ගොඩ ගිහින් ඉවර නිසා ආපහු වැටෙන්නේ නැහැ. ඒත් වෙන රටකට අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත් අනාගතේ ඔය වාසිය ගන්න බැහැ.
“xxx”ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි.
මේ සංවාදයට පුද්ගලයෙක් කොහෙත්ම වැදගත් නැති වුනත් මේ වෙලාවේ ලී ක්වාන් යූ කෙනෙක්ට ලංකාවේ තිබෙන ඉල්ලුම එක්ක වැඩිපුරම ගලපමින් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නම නිසා අපට ඔහුව මුළුමනින්ම මග හැර කතා කරන්නත් බැහැ. හැබැයි මේ ඉල්ලුම ගෝඨාභය නම මතු වෙන්න කලින් සිටම කාලයක් තිස්සේ තිබුණු එකක්. ජේආර් මතු වෙද්දීත් මේ කතිකාව යම් තරමකට මතු වී තිබුණා. අනෙක් අතට ගෝඨාභය ගැන පුද්ගලයෙකු සේ සැලකුවොත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වීම මේ වනවිටත් දුරස්ථ කරුණක්.
ලී ක්වාන් යූ කෙනෙක් විදිහට ලංකාවේ මිනිස්සු ගෝඨාභයව තෝරා ගත්තත්, වෙන කෙනෙක් තෝරාගත්තත් ඒ තෝරා ගන්නා පුද්ගලයා බලයට පත් වූ පසු ක්‍රියා කරන්න ඉඩ තිබෙන ආකාරය ගැන කිසිම සහතිකයක් නැහැ. ලෝක ඉතිහාසය පුරා විවිධ රටවල සාර්ථක වූ එක් ආඥාදායකයෙකුට අසාර්ථක වූ අය විශාල ගණනක් ඉන්නවා. යම් හෙයකින් ඒ විදිහට ක්‍රියා කළත්, එසේ කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් වෙන්නේත් නැහැ.
පුද්ගලයෙක් විදිහට ගෝඨාභය ගත්තොත්, යකා කියන තරම් කළු නැහැ කියනවා වගේ, පවතින බාහිර තත්ත්වයන් යටතේ ඔහු ගොඩක් අය හිතන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයකට හැසිරෙන්න වුවත් පුළුවන්. ග්‍රීසියේ සිරිසා සන්ධානය වගේ. ගෝඨාභය කියන පුද්ගලයාට වඩා ප්රශ්නය තිබෙන්නේ ඔහුට කැමති මිනිස්සු ඔහුගෙන් අපේක්ෂා කරන දේවල්වලයි. මිනිස්සුන්ගේ ඉල්ලුම තිබෙන්නේ ආඥාදායකයෙකුට නම් ගෝඨාභය හෝ වෙනත් නොහිතනම අයෙකු ආඥාදායකයෙකු සේ මතු වෙන්න පුළුවන්. වැඩේ වැරදුනා කියා තේරෙන කොට පරක්කු වැඩි විය හැකියි.
Related Posts
-
October 28, 2019 -
October 22, 2019 කෘත්‍රිම බුද්ධිය සහ වගවීම
-
September 14, 2019 දැනුම, බුද්ධිය, සහ ප්‍රඥාව
-
September 1, 2019 යුද අපරාධවලට වගකිව යුත්තේ කවුදැයි විමසන ශේක්ස්පියර්
-
August 23, 2019 මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද ?
-
August 22, 2019 කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (154)
- අධ්‍යාපනික (142)
- ඉතිහාසය (83)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (787)
- කෙටි කථා (156)
- දේශපාලන (109)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (80)
- බ්ලොග් නවකතා (8)
- විචාර (90)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (63)
- විවිධාංග (120)
- විශේෂ (313)
- සංගීතය (61)
- සංචාරක හා ඡායාරුප (47)
- සඳැස් / නිසඳැස් (341)
- සාහිත්‍ය කළා විචාර (317)
- හයිකු හා කෙටි කවි (51)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam