අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

අතීතයෙන් අනාගතයට

0

අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා. මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක් නැති කමට) සමග ගැලපෙනවා. එහි ගැටළුවක් නැහැ.

අප දේශපාලන වශයෙන් මිස ඓතිහාසික වශයෙන් සංවේදී නැහැ. අප අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන කියනවා ආඩම්බර වෙනවා. එහෙත් ඒ දේශපාලනික වශයෙන්. අප ඒ ගැන සත්තකින් ම ආඩම්බර විය යුතුයි. එවැනි දිර්ඝ ඉතිහාසයක් ගැන කතා කළ හැකි ජාතීන් ඇත්තේ දෙකයි. ඒ සිංහලයන් හා චීන ජාතිකයන්. යුදෙව්වන්ට දීර්ඝ ඉතිහාසයක් තියෙන නමුත් ඒ ජාතියක් ලෙස නොව ජනවර්ගයක් ලෙස. යුදෙව්වන් අවුරුදු දහස් ගණනක් තම චින්තනය මත පදනම් වෙලා ක්‍රියා කරනවා. ඒ චින්තනය ඉතා ප්‍රබලයි. අද බටහිර චින්තනයට යුදෙව් චින්තනය විශාල වශයෙන් දායක වී තිබෙනවා. බටහිර දැනුමට යුදෙව්වන්ගෙන් සිදු වී ඇති එකතුව අතිමහත්. යුදෙව්වන් ඓතිහාසික වශයෙනුත් දේශපාලන වශයෙනුත් සංවේදී ජනවර්ගයක්.

මහාවංසය දේශපාලනික කෘතියක් බව කී විට පඬියන්, පඬිපෝතකයන් හා පඬිනැට්ටන් උඩ පනින්න පුළුවන්. මා මහාවංසය දේශපාලනික යැයි කියන්නේ එය බොරුය කියන අර්ථයකින් නො වෙයි. අද වන විට දේශපාලනය බොරුව සමග කියැවෙන බැවින් මහාවංසය දේශපාලනික යැයි කී පමණින් බටහිරයන් උදෙසා බොරු මිස වෙනත් කිසිවක් නෙකියන පඬියන් මහාවංසය බොරු යැයි කියාවි.

ඓතිහාසික කෘතියක් වුවත් අවසානයේ දී දේශපාලනිකයි. දේශපාලනයෙන් තොර ඉතිහාසයක් කිසිවකුටවත් ලියන්න බැහැ. අද මෙරට විශ්වවිද්‍යාලවල බොහෝවිට ඉගැන්වෙන්නේ බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය පතුරවන ඉතිහාසයක්. මොවුන් බොහෝ විට පුහුණුව ලබන්නේ බටහිර විශ්වවිද්‍යාලවල. ඔවුන්ට තම පුහුණුවෙන් හා තමන් වෙත පටවන ලද ආධිපත්‍යයෙන් කැඩීමට තරම් බුද්ධිමය ශක්තියක් නැහැ. ඔවුන් නිවට අහිනක් පමණයි.

මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස ලියැවුණත් එය දේශපාලනික වෙනවා. මා කියන්නේ එය ඉතිහාසය සඳහා නොව දේශපාලනය සඳහා ලියුවක් බවයි. මහාවංසය මෙරට මහා වංසයේ කතාවයි. විජයගෙන් ආරම්භ වන මහා වංසය විකාසය වූ අයුරු මහාවංසයෙන් කියනවා. මා මේ කියන දේට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් උද්දාමයට පත්වන අතර ම ඇතැම් ජාතිකවාදී උගතුන් මට බනින්න ඉදිරිපත් වේවි.

ජාතිකවාදී උගතුන්ට දෙවියන්, සංසාරය, පුනබ්භවය නැතැයි කියන ගුණදාස අමරසේකර වැන්නන් ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් ඔහුට මහා ප්‍රාඥයකුට මෙන් ගරු කරනවා. එහෙත් ඔහුගේ චින්තනය සම්මත ථෙරවාදය සමග එකඟ වන්නේ නැහැ. ඔහු බටහිරයන් අනුව වැඩ කරන්නෙක්. ජාතික චින්තනය, සභ්‍යත්ව රාජ්‍යය ආදී මේ සියල්ල බටහිර සංකල්ප. ඔහු හා කාලෝ ෆොන්සේකා අතර දාර්ශනික ව ගැටුමක් නැහැ. එයින් කියන්නේ ඔවුන් දර්ශනයට යමක් එකතු කර ඇති බවක් නො වෙයි.

කාලෝ ෆොන්සේකා ගුණදාස අමරසේකරට වඩා බටහිර විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය දන්නවා. ඔවුන් දෙදෙනා වෙන වෙන ම සිංහලයන්ට පක්‍ෂ පැත්තේ හා සිංහලයන්ට විරුද්ධ පැත්තේ සිටිමින් බටහිර සංකල්ප යොදා ගන්නවා. මෙරට ජාතිකවාදී උගතුන් යම් පිරිසක් හිතන්නේ බටහිර සංකල්පවලින්. මේ උගතුන් මා කියන බොහෝ දේට නම් විරුද්ධ වෙනවා. ඔවුන් මට කැමති වන්නේ මා කියන දේ ඔවුන්ගේ දේශපාලනයට උපකාර වන අවස්ථාවල පමණයි. මේ උගතුන් බුදුහාමුදුරුවන්ට වඩා බුදුදහම දන්නවා. ඔවුන් බුදුහාමුදුරුවන් මෙන් නොව පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි ප්‍රතික්‍ෂෙප කරනවා.

අප කියනවා මුළු රටට ම එක ම නීතියක් තිබිය යුතු බව. එහෙත් ඒ නීතිය රෝම ලන්දේසි නීතිය බව බොහෝ දෙනකුට වැටහෙන්නේ නැහැ. කිව්වත් පිළිගන්නේ නැහැ. ඔවුන් මුස්ලිම් නීතිය මෙරට ක්‍රියාත්මක කිරීමට විරුද්ධයි. එහෙත් රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නැහැ. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ ඔවුන්ට දේශපාලනික ව මිස ඓතිහාසික ව හිතන්න බැරි වීමයි. මේ අය සිංහල නීතියක් මෙරට තිබූ බවවත් නොදන්නවා ඇති. තමහරවිට දන්නේ ටික කලක් උඩරට ක්‍රියාත්මක වූ එකගෙයි කෑම වැනි සිරිත් ටිකක් පමණක් වෙන්න පුළුවන්.

රෝම ලන්දේසි නීතිය එක දවසකින් නොවෙයි අවුරුදු පහකින්වත් අහෝසි කරන්න බැහැ. ඒ සඳහා විශාල කාලයක් යාවි. එහෙත් අපට කුඩා නමුත් පියවර කිහිපයක් ගන්න පුළුවන්. අද රෝම ලන්දේසි නීතිය නිසා අධිකරණ නායක හාමුදුරුවරුත් උසාවිවල දකින්න පුළුවන්. ඒ අතර මුස්ලිම් මෞලවීලා කියනවා මුස්ලිම් නීති වෙනස කරන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා. මෙරට වඩා බලවත් හාමුදුරුවරුන් ද මෞලවීලා ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. 70%, 9%ට වඩා වැඩි වුවත් වඩා බලවත් වන්නේ 9%.

මහාවංසයේ නොකියැවෙන දේ අප කියන්න ඕන. එය ඌන පූරණයක් පමණයි. ධාතුසේන රජුගේ පියා කවුද? ධාතුසේන රජු මෞර්ය වාංශිකයකු වූයේ කෙසේ ද? ඔහුගේ එක් භාර්යාවක් වූ ද කාශ්‍යප රජුගේ මෑණියන් වූ ද පෘථා බිසොව කාගේ කවුද? මිගාරගේ පියාත් මිගාර නමින් ම හැඳින්විණි ද? ඔවුන් කතෝලික ද? ගුරළුගෝමි යනු ශ්‍රී විජය රාජ්‍යයේ ගරුඩාචාර්ය ද? එකල ශ්‍රී විජය රාජ්‍යයට කාලිංගයේ සම්බන්ධයක් වී ද? චන්ද්‍රාචාර්ය සඳගෝමි වූ පරිදි ගරුඩාචාර්ය ගුරුළුගෝමි වී ද?

ජනාධිපතිවරණයක් ළඟ තියාගෙන මේ ප්‍රශ්න අහන්නේ ඇයි ද කියා කාහට හරි විමසන්න පුළුවන්. ඒ මා ඉතිහාසය දැන ගැනීමට කැමති නිසාත් ඓතිහාසික ව සිතන නිසාත් අතීතය අමතක කර අනාගතයක් ගොඩ නැගීමට නොහැකි නිසාත්.

කාලය

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල