කාලීන සංවාද, දේශපාලන

මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද ?

0

ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 94 දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, මහජන නියෝජිතයින්ට කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි කියන එක දැන් කලක සිට කතා බහට ලක් වෙන අදහසක්. මේ අදහස ගොඩක් ප්‍රචලිත වුනේ පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස් කුඩු ප්‍රහාර එල්ල වුනු, පිහි උරුක් වුනු මහින්දගේ දින පණහේ ආණ්ඩුව කාලයේ. නමුත්, මේ අදහස කලක සිට තිබෙන අදහසක්.

මේ අදහස වෙනුවෙන් පෙනී සිටින අයගේ මූලික තර්කයක් වන්නේ වෙන ඕනෑම රස්සාවක් කරන්න මූලික අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යව තියෙද්දී මන්ත්‍රීවරයෙක් වෙන්න පමණක් එවැනි අවශ්‍යතාවයක් නොතිබීමේ වැරැද්දක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මතුවන තර්කය වන්නේ ආචාර්ය උපාධි වැනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය පවා සමහර වෙලාවට හැසිරෙන්නේ අට පාස් නැති අයට වඩා අන්ත විදිහට කියන එකයි. ඒ වගේම, මිනිස්සු කැමතිනම් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගෙන කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබෙන අවස්ථාව වලක්වන එක නිවැරදි නැහැ කියන තර්කයත් ප්‍රචලිත තර්කයක්.

දෙවන තර්කය එතරම් නිවැරදි එකක් නෙමෙයි. ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති ඇතැම් අයට වඩා හොඳින් අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන ඇතැම් අය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන බව ඇත්තක් වුවත්, පොදු වශයෙන් ගත් විට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය හා අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. එහෙත්, ඒ හේතුව යමෙකු අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සාධාරනීකරණය කරන්නේ නැහැ. මිනිස්සුන්ට තමන්ගේ නියෝජිතයා ලෙස පත් කර යවන්න අවශ්‍ය වන්නේ ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති අයෙක්නම් එයට බාධා වන නීති පැනවීමේ කිසියම් අවුලක් තිබෙනවා. එසේ කිරීමෙන් වෙන්නේ රටේ පාලන බලය කිසියම් කල්ලියක් අතට පත් වීම රටේ නීතියෙන්ම තහවුරු වීමයි. නීතියේ උදවුවක් නැතුවත් වෙලා තියෙන්නේ ඒකනේ.

අනෙක් පැත්තට ගත්තහම මහජන ඡන්දයෙන් “නුසුදුස්සන්” නියෝජිතයින් සේ පත් වීමේ මූලික අවුලට කවර හෝ විසඳුමක් අවශ්‍යයි. නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් තේරී පත් වෙන කෙනෙක් නුසුදුස්සෙක් කියා කියන්න බැරි නිසා සමහර අය මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්නයක් ලෙස දකිනවා. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියා රටේ විශාල පිරිසක් හරියට දන්නේ නැති වීමයි. ලංකාවට ආවේණික හූනෝ ඉන්නවාක් මෙන්ම ලංකාවට ආවේණික ප්‍රශ්නත් තිබෙන නමුත්, මේක ලංකාවට පමණක් ආවේණික ප්‍රශ්නයකුත් නෙමෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය වගේම නීතියේ ආධිපත්‍යය වගේ සංකල්පත් සියවස් ගණනාවක් තිස්සේ බටහිර සංස්කෘතිය ඇතුළේ පරිණාමය වූ සංකල්ප. මේ සංකල්ප ලංකාවට හඳුන්වා දෙන්නේ යුරෝපීයයන් විසින්. පොඩි වෙනස්කම් කිහිපයක් සිදු වී තිබුණත් ලංකාවේ රාජ්‍ය ආකෘතිය ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් එකක්. ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේ ගොඩක් දේවල් ලංකාවට ඇවිත් තිබෙන්නේ එංගලන්තයෙන්. බටහිර රටවල මිනිස්සුන්ට වගේ ලංකාවේ (හා වෙනත් දකුණු ආසියාතික රටවල හා තවත් රටවල) මිනිස්සුන්ට මේ සංකල්ප ඇඟට පත්තියම් වෙලා නැහැ. මුල් කාලයේ මහජන නියෝජිතයින් වුනේ එංගලන්තයේ අධ්‍යාපනය ලබා, ටික කලක් හෝ එංගලන්තයේ ජීවත් වී, එහෙම නැත්නම් අඩු වශයෙන් ලංකාවේම සිට එංගලන්ත සම්ප්‍රදායන් ඇතුළේ ජීවත් වී මේ බටහිර සංකල්ප ඇඟට පත්තියම් කර ගැනීමට සමත්ව සිටි සීමිත ලාංකිකයින් අතරින් පිරිසක් වුවත් ඒ තත්ත්වය මේ වෙද්දී වෙනස් වෙලා.

ලංකාවේ ඡන්දදායකයින් අතර සිටින බොහෝ දෙනෙක්ට තමන් විසින් මහජන නියෝජිතයෙකු පත් කර යැවිය යුත්තේ ඇයි කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. දොස්තර කෙනෙක් කියා කියන්නේ ලෙඩ වූ විට බෙහෙත් දී ලෙඩේ සුව කරන කෙනෙක් කියා මිනිස්සු හැමෝම වගේ දන්නවා. පොලිස් නිලධාරියෙක්ගේ රස්සාව නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලාත් මිනිස්සු හැමෝම වගේ දන්නවා. ඒත් මන්ත්‍රී කෙනෙක්ගේ රස්සාව මොකක්ද කියලා රටේ ගොඩක් මිනිස්සු වගේම මේ මන්ත්‍රීලාගෙන් ගොඩක් අයත් දන්නේ නැහැ.

රටේ විශාල පිරිසක් තමන්ගේ මහජන නියෝජිතයාගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය කඩා, නීතියට පිටින් ගිහින් තමන්ට උදවුවක් කිරීමයි. සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් තමන්ට හෝ තමන්ගේ කාට හෝ රජයේ රැකියාවක් ලබා ගැනීම, සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් රජයේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම, වැරැද්දක් කර පොලීසියට අහු වූ අයෙක්ව නිදහස් කර ගැනීම, නීති විරෝධීව වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළක මිනියක් වල දමන්න උදවු ලබා ගැනීම ආදී වශයෙන් ලැයිස්තුවක් ලියන්න පුළුවන්. ඔය හැම වෙලාවකම සිදුවන්නේ මහජන නියෝජිතයා මැදිහත් වී රටේ නීතිය කඩන එකයි.

එක පැත්තකින් බැලුවහම රටේ මිනිස්සු මහජන නියෝජිතයින්ගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වීම සාධාරණයි. ඔවුන් එසේ කරන්නේ පවතින නීතිය හා/හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළේ තමන්ට සාධාරණය ඉටු නොවන බව පෙනෙන විටයි. නමුත්, මේ ක්‍රමයට කිසියම් අයෙකුට සාධාරණය ඉටු වන බොහෝ විට එය සිදු වන්නේ තවත් බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදු කරමිනුයි. මහජන නියෝජිතයෙකුට නීති කඩන්න කිසිම අයිතියක් නැහැ. නීතියේ හෝ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ කිසියම් හෝ වැරැද්දක් තිබේනම් ඔවුන් කළ විසින් කළ යුත්තේ ඒ වැරැද්ද සිදු නොවන ආකාරයට නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කිරීම මිසක් ප්‍රශ්නය එසේම තිබියදී හුදෙකලා සිද්ධියකට විසඳුමක් දීම නෙමෙයි. හුදෙකලා සිද්ධි වලට නීතියට පිටින් ගිහින් විසඳුම් දීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. තවත් අවුල් වෙනවා.

මෙහිදී නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය කියා එකට ලිවුවත් මෙයින් පළමුවැන්න ව්‍යවස්ථාදායකයේ කාර්යයක්. දෙවැන්න විධායකයේ කාර්යයක්. නමුත්, ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ඇතුළේ විධායකයේ ඉහළින්ම ඉන්නේත් ඡන්දයෙන් තේරී පත් වන මහජන නියෝජිතයින් නිසා මේ අංශ දෙකේදීම මෙහි ලියා තිබෙන කරුණ අදාළ වෙනවා.

මෙහි ලියූ “නුසුදුස්සන්” කියන වචනය මා භාවිතා කරන්නේ “තමන්ගේ පංතිය අමතක කර වෙනත් පංතියකට සේවය කිරීම” හෝ “රට ජාතිය අමතක කර බරහිර උවමනා වෙනුවෙන් පෙනී සිටීම” වැනි දේශපාලනික මතවාදයක් හා බැඳුණු අර්ථයකින් නෙමෙයි. තමන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත්, පොදුවේ වැරදි දේවල් ලෙස බහුතරයක් මිනිස්සු දකින දේවල් හා අදාළවයි. උදාහරණයක් විදිහට රටේ සාමාන්‍ය මිනිහෙක් තවත් කෙනෙකුගේ ඇස් වලට මිරිස් කුඩු ගැහුවොත් ඔහුට හෝ ඇයට නීතියෙන් ගැලවීමක් නැහැ. නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටම බලා සිටියදී හා වීඩියෝ සාක්ෂි තිබියදී එවැන්නක් කර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බේරී සිටිය හැකියි.

හොරු, මෝඩයින් හා නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැවිය යුතු බව ගොඩක් අය කියනවා. නමුත් කිවුවට කෙරෙන්නේ නැහැනේ. ප්‍රමාණවත් පිරිසකගේ ඡන්ද ලබා ගත හැකිනම් කාට වුවත් මහජන නියෝජිතයෙකු විය හැකියි. මෙයට හේතුව තමන් මහජන නියෝජිතයෙක් සේ පත් කර ගත යුත්තේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන, තවත් සරලව කිවුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් නැති විශාල පිරිසක් රටේ සිටීමයි. ඒ අයට මේ අවබෝධය ලැබෙන තුරු ප්‍රශ්නය මේ ක්‍රමයට විසඳෙන්නේ නැහැ. මහජන නියෝජිතයෙකු වීම සඳහා අවම සුදුසුකම් පැනවීම වැනි යෝජනා එන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහටයි.

ප්‍රශ්නය වෙනත් කෝණයකින් බැලුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක නොදන්නා විශාල පිරිසක් මේ මන්ත්‍රීලා අතරම ඉන්නවා. තමන්ගේ රස්සාව මොකක්ද කියලා රස්සාව කරන මිනිස්සුම දන්නේ නැත්නම් වෙන මිනිස්සු කොහොමද දන්නේ?

ඇත්තටම කියනවානම් පොදුවේ රස්සාවක් සැලකුවොත් රස්සාවේ කාර්යය තීරණය කරන්නේ රස්සාව දෙන කෙනා මිසක් රස්සාව කරන කෙනා නෙමෙයි. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්. එහෙම බැලුවහම මෙතැනත් වෙලා තිබෙන්නේ ඒකමයි. එහෙමනම්, ලංකාවේ සමස්ත ඡන්දදායකයා තමන්ගේ කාර්ය භාරය පිළිබඳව සබුද්ධික වන තුරු ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

දැනටමත් යෝජනා වී තිබෙන මුල් යෝජනාව තරම්ම දැඩි නැති එක් විසඳුමක් තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ අපේක්ෂකයින් තේරීමේදී කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබෙන අයට පමණක් අවස්ථාව දීමයි. ලංකාවේ මහජන නියෝජිතයින් සියල්ලම වාගේ තේරී පත් වෙන්නේ කිසියම් දේශපාලන පක්ෂයකින් නිසා මෙය කළ හැකිනම් ප්‍රශ්නයට විසඳුමක්.

නමුත්, කුඩා ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂයකට මිස ප්‍රධාන පක්ෂයකට ප්‍රායෝගිකව මෙයද කළ හැක්කක් නෙමෙයි. ඡන්ද පදනමක් තිබෙන, ජනප්‍රිය අපේක්ෂකයෙකුව අධ්‍යාපන සුදුසුකම් නොතිබූ පමණින් අත හරින්න කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේත් හරියන වැඩක් නෙමෙයි.

අධ්‍යාපන සුදුසුකම් නොතිබීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සුදුසු නැතත්, මහජන නියෝජිතයෙකුට තමන්ගේ රාජකාරිය කරන්න මූලික දැනුමක් අවශ්‍යයි. ඒ මූලික දැනුම නැති කෙනෙකුට මේ රස්සාව කරන්න බැහැ. මගේ අදහස අනුව, මේ මූලික දැනුම කියන දෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබද දැනුම ඇතුළත්. ඒ නිසා, අධ්‍යාපන සුදුසුකම් කෙසේ වෙතත්, මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂයෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම, රටේ මූලික නීතිය හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වැනි දේ පිළිබඳව හදාරා විභාගයක් සමත් වෙන්න නියම කිරීමේනම් වැරැද්දක් නැහැ. පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදියට තරඟ කරන අය ඒ ආයතන වල කාර්ය භාරය කුමක්ද කියා දැනගෙන සිටිය යුතුයි.

රටේ සියලුම ඡන්දදායකයින් මේ දේවල් ගැන දැනුවත් කරනවාට වඩා ඔවුන්ගේ නියෝජිතයින් වෙන්න කැමැත්තෙන් ඉන්න අයව දැනුවත් කිරීම පහසුයි. එතකොට, අඩු ගානේ තමන්ගේ රස්සාව මොකක්ද කියා ඒ මිනිස්සු දන්නවා. වෙනත් අය වෙන වෙන දේවල් ඉල්ලා සිටින විට ඒක මගේ රස්සාවේ කොටසක් නෙමෙයි කියා මේ අයගෙන් ටික දෙනෙක් හෝ කියන්න ඉඩ තිබෙනවා.

රටේ නීතිය වෙනස් කරනවා වෙනුවට දේශපාලන පක්ෂ වලට තනි තනිව මේ වැඩේ කළ හැකියි. විශේෂයෙන්ම ඔවුන්ගේ පක්ෂ වලින් නාම යෝජනා අපේක්ෂා කරන අයට මේ මූලික කරුණු ඇතුළත් විභාගයකට පෙනී සිට සමත්වීම අනිවාර්ය කිරීම දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් නෙමෙයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම එකඟ වන දවසක වැඩේ විභාග දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනයකට භාර දිය හැකියි. එතකොට කියන්න තරම් අධ්‍යාපන සුදුසුකමක් නැති මහජන නියෝජිතයෙකුට අඩු ගානේ පෙන්නන්න සහතිකයක් හෝ ලබාගත හැකියි.

බටහිර රටවල සියවස් ගණනක් තිස්සේ පරිණාමය වූ සංකල්ප ලංකාව වගේ රටක මිනිස්සුන්ට එකපාර පත්තියම් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු තමන්ට නොතේරෙන දෙයක් ඉගෙන ගන්න වැඩිපුරම මහන්සි වෙන්නේ විභාගයක් තියෙන වෙලාවටයි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල