අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

යුද අපරාධවලට වගකිව යුත්තේ කවුදැයි විමසන ශේක්ස්පියර්

Off

ඉංග්‍රීසි සාහිත්‍ය ගැන මට උනන්දුවක් මුලින්ම ඇති වූයේ ලංකාවේ උසස් පෙළ හදාරන කාලයේ. විශාඛාවේ අපට එය ඉගැන්වූ ගුරුතුමිය තමයි ප්‍රනීතා රාජසිංහම්. ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරය උගන්වපු ගුරුවරිය වූයෙත් ඇයමයි. පෙලපනීසියන් යුද්ධ ගැන කියද්දී ඇයගේ දැනුම එදා රසවත් ආශ්වාදයක් වූවාට එය නිසි ලෙසින් අගය කළේ නැතැයි වැටහෙන්නේ අද.

විලියම් ශේක්ස්පියර් සිය නාට්‍ය තුලින් ඔහු සතු වූ ග්‍රීක සහ රෝම ඉතිහාසය ගැන දැනුම බ්‍රිතාන්‍යයේ වේදිකාවට සරිලන සේ හැඩගසන්නට සමත් වූවා. දේශපාලනය සහ ශේක්ස්පියර් නමින් මහාචාර්ය පෝල් කැන්ටර් විසින් හාවඩ් විශ්වවිද්‍යාලයේ පවත්වපු දේශන මෙතැනින් යූටියුබ් මඟින් නරඹන්නට හැකියි.

පාඨකයෙක් සහ ප්‍රේක්ෂකයෙක් හැටියට කලාත්මක නිර්මාණයකින් ගන්නට හැකි උපරිම ආස්වාදය තීව්‍ර වෙන්නේ නිර්මාණකරුවා ගැනත් ඒ නිර්මාණයට පාදක වූ සහ පසුබිම් වූ දේ ගැනත් දැනුම වැඩිවෙච්ච තරමට. ආයෙත් කියවද්දී, එවිට ආයෙත් අලුත් සොයාගැනීම් දකින්නට ලැබෙනව. ශේක්ස්පියර් නිර්මාණ සුවිශේෂී වෙන්නෙ ඒ නිසා.

දේශපාලනය කියන්නෙ මිනිස් ජීවිතයක් ඉතා ඉක්මණින් කිබිසිනි කරන්නට සමත්වෙන්නක්. ඒත් ඛේදනීය තත්වයක් කෙසේ සිද්ධ වූවා යැයි පහදාගන්න ඉතාමත් දීර්ඝ කාලයක් යන අවස්ථා තියනව. සමහර අයට කිසිත් ලෙසකින් පහදාගන්න බැරි අවස්ථා එමට. දැන සිටියත් නැතත්, කිසිත් ලෙසකින් මඟහැර යා නොහැකි වූවක් තමයි දේශපාලනය.

ග්‍රීක සහ රෝම ඉතිහාසය පසුබිම් කරගෙන හැදෙන ශේක්ස්පියර් නාට්‍ය අපිට වර්තමාන දේශපාලනය ගැනත් දැනුමක් ලබාදෙනව. වර්තමාන ලංකාවේ පමණක් නොව ලෝකය පුරා දකින්නට ලැබෙන දේශපාලන තත්වයන් ශේක්ස්පියර්ගේ නාට්‍ය වලින් කියවන්නට හැකි යැයි කිව්වොත්, ඔබ පිළිගනීවිද?

විලියම් ශේක්ස්පියර් 1598 දී ලියූ ‘පස්වැනි හෙන්රි’ නාට්‍යයේ, යුද පිටියක දී සිදුවන අපරාධ සහ කෲර දාමරික ක්‍රියා වලට වගකිව යුත්තේ කවුදැයි විමසන ප්‍රශ්නය සංවාදයට ගැනෙයි.

සටන් ඇරඹෙන්නට කළින් දින, සවස් කාලයේ පස්වැනි හෙන්රි රජු වෙස්වළා ගෙන (ඒත් කිසිත් ලෙසකින් හඳුනාගන්න නොහැකි ආකාරයෙන් නොවේ) යුද කඳවුරේ සිටින සොල්දාදුවන් අතරේ ගැවසෙයි. එහි දී ඉහත ප්‍රශ්නය අහන්නේ හෙන්රි රජුයි. වගකිව යුත්තේ අතපය කපන කොටන සොල්දාදුවන් ද, නැත්නම් යුද්ධයට යන්නැයි අණ දුන් රජ්ජුරුවන් ද?

බේට්ස් සහ විලියම් නමැති සොල්දාදුවන් දෙදෙනා යුද්ධයට යෑමේ ආචාර ධාර්මිකත්වය ගැන සිය අදහස් ප්‍රකාශ කරති. බේට්ස් කියා සිටින්නේ තමන් අවනත වූයේ රජුගේ අණ පිළිපැදීමට නිසා සියළු නීතිමය සහ ආචාර ධාර්මීය වගකීම් වලින් තමන් නිදහස් බවයි.

විලියම් නැමති සොල්දාදුවාගේ වදන් වලින් ශේක්ස්පියර් පාඨකයා වෙතට මෙම කියමන ගෙන එයි. “නමුත්, හේතුව හොඳ නොවේ නම්, එවිට රජුට දැඩි විනිශ්චයකට මුහුණ පාන්නට සිද්ධ වෙනු ඇත; …. යුද පිටියක දී මිය යන අය අතර හොඳින් මිය යන්නේ අල්පයක් යැයි මට කණගාටුවෙන් කියන්නට සිද්ධ වෙනව; ඔවුන්ගේ තර්කය ලේ වෙද්දී ඔවුන් පරිත්‍යාගශීලී ලෙස කිසිවක් අයින් කර දමන්නේ කෙසේද? දැන්, මේ මිනිස්සු හොඳින් මිය නොගියොත්, එය ඔවුන් ඒ තත්වයට යැවූ රජුට කළු පැල්ලමක්, රජුට අවනත නොවී ඉන්නට කිසිත් ලෙසකින් ඉඩකඩක් ඔවුනට නැති නිසා.”

ඒ විලියම් නමැති සොල්දාදුවාගේ විමසිල්ලට පස්වැනි හේන්රි සපයන සියල්ල කිසිත් ලෙසකින් සෑහීමකට පත්විය හැකි පිළිතුරු නොවෙයි.

ශේක්ස්පියර් එසේ ලියා වසර 421 ක් ගෙවී යද්දී පවා මේ පැනය සිය සොල්දාදුවන් යුද්ධයකට යවන්නට පෙර පාලකයෙකු විසින් විමසිය යුතු වූවක් නොවේද? එසේම රටවැසියන් සිය පාලකයා වෙතින් අහන්නට උවමනා පැනයක් නොවේද?

රජුට අනුශාසනා කරන අයළුවන් සම්බන්ධයෙන් එම පස්වැනි හෙන්රි නාට්‍යයේම එන, වර්තමානයට බලපාන තවත් වැදගත් සඳහනක් ඇත.

රජුගේ හමුදාව ප්‍රංශය අල්ලා ගැනීමට සටන් වදිද්දී, ඔහුගේ රටවැසියන් ස්වභාවයෙන් පිහිටා ඇති පරිද්දෙන් නොකඩවා මී මැස්සන් මෙන් වෙහෙසෙමින් ආර්ථික කටයුතු වල නියැලෙනු ඇතැයි කියමින් ඒ ගැන බියක් නොමැතිව ප්‍රංශය ආක්‍රමණය කළ යුතුයි කියා අවවාද අනුශාසනා සපයන්නේ රදළ සහ පූජ්‍ය පක්ෂයයි. මෙහි දී පස්වැනි හෙන්රි රජු යුද්ධයට නොයා මධ්‍යස්ථව සිටින්නට හදනවා ද නැත්නම් යුද්ධයකට යෑම සාධාරණීය කරන්නට ඔහු ඒ අවවාද අනුශාසනා වලට සවන් දෙනවාදැයි පාඨකයාට තර්ක කළ හැකි ලෙසින් ශේක්ස්පියර් එය ඉදිරිපත් කර ඇත.

සියළු අවවාද අනුශාසනා අසා අනතුරුව පස්වැනි හෙන්රි තීරණයක් ගනියි. ප්‍රංශයට එරෙහිව යුද ප්‍රකාශ කරන රජු ඔවුන් “අප වෙත භක්තියෙන් නම්වා ගන්නවා නැත්නම් එය කැබලි බිඳිති වලට කඩා දමනවා” යැයි පොරොන්දුවක් දෙයි.

යුද්ධයක් නිසා ආර්ථිකයක් කඩා වැටෙන්නේ නැතැයි මිථ්‍යාව තවත් කොතරම් කාලයක් තිස්සේ පැවතේවිද? එසේම යුද බලයට යටත් වූ ජනතාවක් තුළ සිය ආක්‍රමණිකයන් ගැන ගරුසරු ඇති බියක් හටගන්නවා ද?

බිලියනයක් ඉක්මවන ජනගහණයක් සිටිය ද, හොංකොං උද්ඝෝෂණ මර්ධනයට චීන සොල්දාදුවන් පෙළ ගස්වන චීනයේ පාලකයා වෙතින් මෙවැනි ප්‍රශ්න අහන්නට හැකියාව සතු ශේක්ස්පියර් කියැවූ අය එහි ඇති. ඒත් ඒ ගැන කතාබහට නිදහස් ඉඩකඩක් නොමැති වීම ඔවුන් මුහුණ දී සිටින ඛේදනීය තත්වයයි.

බලයේ සිටින අය කොතරම් යුහුසුළු ලෙසකින් දුෂ්ට කරත හැකියාව ඇත්දැයි පෙන්වන ශේක්ස්පියර් නාට්‍යය “මිම්මට මිම්ම” (Measure for Measure) යන නමින් වූවයි.

ඩ්‍යූක්වරයා විසින් තමන් නැති විට දී තීරණ ගැනීම සඳහා තමා යටතේ සිටි ඇන්ජලෝ වෙත බලය පවරා ඇත. නීතියේ පැවතුනත්, දීර්ඝ කාලයක් නුදුන් දඬුවමක් ක්‍රියාත්මක කරමින්, නීතිය අකුරට පිළිපදින බව පෙන්වන ඇන්ජලෝ විසින් ඔහු අකමැති ක්ලෝඩියෝ නැමැත්තාට මරණ දණ්ඩය නියම කරයි. ක්ලෝඩියෝගේ සහෝදරිය වූ ඉසබෙලා ඔහුට ජීවිත දානය දෙන්නැයි ඉල්ලා සිටිය දී, ඒ සඳහා ලිංගික අල්ලස් ලබාගෙන ඒත් ඇයගේ සහෝදරයාව ඇන්ජලෝ මරණයට පමුණුවයි.

මෙහි දී ඉසබෙලා විසින් ඇන්ජලෝ වෙත එල්ල කරන චෝදනා රාශිය අතර ඇති මේ කියමන අතිශය වැදගත්:
“ඉතින් ඔබට අවශ්‍ය මේ දඬුවම දෙන පළමුවැන්නා වීමට,
එයින් පාඩුව ඔහුටයි. අහෝ! එය විශිෂ්ටයි
යෝධයෙකුගේ ශක්තිය පැවතීම, ඒත් දුෂ්ටයි
එය යෝධයෙක් මෙන් භාවිතය.”

“රිදවන්නට බලය තිබුණත් එසේ කිසිවක් නොකරන ඒ අය,” යැයි ශේක්ස්පියර්ගේ අංක 94 පටන් ගන්නේ හොඳ පාලකයෙක් කිසිදා ඇන්ජලෝ වැනි අයෙක් නොවිය යුතුයි යන්න තව දුරටත් පහදන්නට වගේ.

සාරධර්මයෙන් පිරුණු මිනිස් ජීවිතයක් ගෙවීම සඳහා අවශ්‍ය දැනුම හැකි තරමින් මෙම බ්ලොග් එකට එකතු කරන්නෙ සිංහලෙන් පමණක් කියවන්නට සීමා වූ අය අතර කැමැත්ත නිෂ්පාදනයටයි. අනගිත්වයට ඇති ඉල්ලුම කොතරම්දැයි කියා දකින්න, අනගිත්වය කුමක්දැයි කියා දැන සිටිය යුතුයි නේද?

අරුණි ශපීරෝ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල