කාලීන සංවාද

මිත්‍යාවේ අභියෝගය

0

ඒ 1982 වසරයි .එවකට මම අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි. දිනක් මා මිත්‍ර මහින්ද පසැලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි.එහි සඳහන්ව තිබූ සියල්ල මාගේ මතකයේ නැතත් බොහෝ දේ අදටත් මාගේ මතකයේ රැඳී ඇත.එහි සඳහන්ව තිබුනේ මුචලින්ද නාග රාජයා මෙම අත් පත්‍රිකාව මුද්‍රණය කළ පුද්ගලයාට මුණගැසුනු බවයි .නාග රාජයා එහි දී පැවසුවා යයි කියූ කරුණු කිහිපයක් සටහන් වී තිබුනි.ඒ කිසිවක් මගේ මතකයේ නැතත් අවසානයේ සටහන් ව තිබුනේ නාග රාජයාගේ එම පණිවිඩය සියල්ලටම දැන ගැනීම පිණිස මෙම පත්‍රිකාව මුද්‍රණය කොට බෙදා හරින ලෙසය.එසේ නොකොට පත්‍රිකාව විනාශ කරණ ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට අත් වූ ඛේදජනක ඉරණම ද එහිම සටහන් වි තිබුනි.පත්‍රිකාව කියවා අවසන් වූ සැනින් එය ඉරා දැමීමට උත්සාහ කළ ද මහින්ද විසින් එය වළකාලීය. ඒ මීට අවුරුදු තිස් හයකට පෙරයි.එදා දාහතර වියේ පසු වූ අප මිතුරන් සියලු දෙනාට දැන් වයස අවුරුදු පනහ පිරී ඇත. බොහෝ මිතුරන්ට උසස් පෙළ පසු කල දරුවන් ද ඇත. මුණුබුරු මිණිබිරියන් සිටින අයද සිටිය හැක.1982 ඉපදුනු දරුවෙකු අද තරුණ විය ද ඉක්මවා යන අවුරුදු 36 ක පුද්ගලයෙකි.අවුරුදු තිස් හයක් යනු දීර්ඝ කාලයකි.අපගේ ජීවිත කාලයෙන් හරි අඩකි. එවැනි දීර්ඝකාලයක් තුල බොහෝ දේ වෙනස් වේ.විද්‍යාව නිසා තාක්ෂණයද, ඒ නිසාම සමාජයේ ඇවතුම් පැවතුම් ද,සිතුම් පැතුම් ද වෙනස් වේ. තාක්ෂණයේ ඇති වූ පෙරළිය නිසා 1982 ට සාපේක්ෂව අද ඇත්තේ විශාල වෙනස්කම් වලට භාජනය වූ සමාජයකි.අප භාවිතා කරන සියළු උපකරණ ස්මාර්ට් වී ඇත.නමුත් ඇත්තටම ලංකාව ස්මාර්ට් වී ඇත් ද. ලාංකිකයාගේ සිතුම් පැතුම් ස්මාර්ට් වී ඇත්ද?

මුහුණු පොතේ සැරිසැරීමේ දී ද දක්නට ලැබෙන්නේ ඉහතින් මා දැක් වූ පත්‍රිකාවට සමාන දෑ විශාල වශයෙන් බෙදා ගන්නා බවයි.විවිධ දේව රූප රැගත් ඡයාරූප සමඟ එය බෙදා ගන්නා අයට මහාර්ඝ ප්‍රතිඵල ලැබෙන බව සඳහන් පණිවිඩයන් ද එහි සඳහන්ය. අතීතයේ ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර තුලින් කළ දේම නූතන තාක්ෂණය ඔස්සේද අපි කරමින් සිටිමු. වැද්දෙකුට තුවක්කුවක් දුන් විට වැද්දා තුවක්කු බඳෙන් ගසා සතුන් දඩයම් කරන්නා සේ, නූතන තාක්ෂණය විසින් මුළු ලෝකයම අපගේ අත්ල මත තබා තිබුණද අප එයින් කරන්නේ ද මිත්‍යා මතයන් ප්‍රචාරය කිරීමයි. මිත්‍යා විශ්වාසයන්ගෙන් මිදීමට තවමත් අපට හැකි වී නැත.

අප විභාග සඳහා පිටත්ව යාමේ දී නැකැත් බලා පිටත්වීමක් එකල තිබුනේ නැත.මා දන්නා කිසිම මිතුරෙකු එසේ කලේ නැත.නමුත් මාගේ මිතුරන්ගෙන් බහුතරයක් දෙනා තම දරුවන් විභාග සඳහා පිටත් කරණු ලබන්නේ නැකැත් වේලාවට අනුවයි.විද්‍යාව වැලඳ ගනිමින්, අපගේ සමහර විශ්වාසයන්ගේ ඇති අවිද්‍යාත්මක බව අප තේරුම් ගත යුතු වුවද, ලංකාවේ දී නම් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. අද සමාජය ඇත්තේ අප කුඩා කල තිබුනාටත් වඩා මිත්‍ය විශ්වාසයන්ගෙන් ගිළන්වය. අපි එහි කරවටක් ගිලී සිටිමු.ශිෂ්ඨාචාරයේ අප ඉදිරියට යාමේ දී පාර කියන පහන් තරුව විය යුත්තේ නවීන විද්‍යාවයි.නමුත් අප පාර අසා ගන්නේ ජ්‍යෝතීෂය, යන්ත්‍ර මන්ත්‍ර. ගුරුකම්.බෝධි පූජා,හෝ හිතේ මවා ගත් රූප අනුව සාදා ගත් පිළිම වලට දුක කීමෙනි.මෙය මුළු ශ්‍රි ලාංකික දේහයේම පැතිර ගිය පිලිකාවක් බවට පත් වී ඇත. උපතේ සිට විපත දක්වාම අප විසින් කරන සියළු කාර්යයන් කරනු ලබන්නේ මිත්‍යාව පෙරටු කොට ගෙනයි.උපන් වේලාව අනුව සාදා ගන්නා කේන්දරයේ ඇති අකාරයට සියල්ල සිදු වනවා යැයි දැඩිව විශ්වාස කරණ අප, මරණයට පත් වූ විටද මලකඳ එලියට ගැනීමට නැකැත් බලයි.

දිනක් අපගේ නැන්දා කෙනෙක් අපගෙන් ඉල්ලා සිටියේ ගසක් කපා ගැනීමට කෙනෙක් සොයා දෙන ලෙසයි.ඇයට සැලකිය යුතු ඉඩ කඩම් ප්‍රමාණයක් ඇත.එහි විටින් විට ගස් කපන නිසා ගස් කපන්නන් සමඟ ඇයට සබඳකම් තිබිණි.එසේ වීත් අප‍ගෙන් විමසන කාරණය සොයා බැලූ විට දැනගන්නට ලැබුනේ කපා දැමීමට ඇත්තේ රුක් අත්තන ගසක් බවත්, එහි දෙවියන් වැඩ සිටින බවට ඇති විශ්වාසය නිසා කිසිවෙකු රුක් අත්තන ගස් කැපීමට ඉදිරිපත් නොවන බවත්ය.මෙයින් පෙනෙන්නේ ව්‍යාධියේ බරපතල කමයි.මිත්‍ය විශ්වාසයන්ගේ එල්බගෙන සිටින විශේෂ සමාජ ස්ථරයක් අපට හඳුනාගත නොහැක. මහාචාර්යවරයාගේ සිට සාමාන්‍ය නූගත් මිනිසා දක්වාද,ඉහලම ධනවතාගේ සිට අන්ත දිළින්දා දක්වාද බහුතරයක් ලාංකිකයන් මෙම මිත්‍ය විශ්වාසයන්ගේ දැඩිව එල්බගෙන සිටිති.බරපතල අසනීපයක් වැළදුන විට, වෛද්‍යවරයෙකු වෙත ගියද අවසාන විනිශ්චය උදෙසා ඔවුන් බාර හාර වෙති.වෛද්‍යවරුන් වෙහෙස මහන්සි වී රෝගියා සුවපත් කළද ඔවුන් ස්තූතියි කියන්නේ මැටි පිළිමවලට හෝ රූස්ස ගස් වලටය.මරණයට කැප වූ ගවයෙකු නිදහස් කිරීමෙන් හෝ දැවැන්ත ගස් වලට ජලය වක්කිරීමෙන් තමන්ට පැමිණෙන මහ විපතකින් ගැලවිය හැකි බව විශ්වාස කිරීමට තරම් අප සමාජය නූගත් වී ඇත. කළින් සාදා ගන්නා සුභ නැකැත් වලට, සිසේරියන් සැත්කමකින් දරුවන් ඉපද්දවීම ලංකාවේ දුලබ කාරණයක් නොව සුලබ කාරණයකි. නිවස තුල හොරකමක් සිදු වූ විට සාස්තර බැලීමට යන්නේ පහලම සමාජ ස්ථරයන් හී කොටස් පමණක් නොවේ.වෛද්‍යවරු,ඉන්ජිනේරුවන් වැනි උගතුන්ගෙන් සැලකිය යුතු කොටසක් ද සාස්තර බැලීමෙන් හොරු ඇල්ලීමට යති.

බෙදුනු සමාජය

පූසන්ගේ සිරිත රාත්‍රි කාලයේ ඇවිදීමයි.අපගේ ඥාති නිවසක ඇති කරන සුරතල් පූසකු අල්ලපු වැටේ ඇති තවත් අපගේම ඥාති නිවසකට ගොස් ඇත. නිවැසියන් කොතරම් බියට පත් වී ද යත් ඔවුන් නතර වන්නේ සාස්තර කරුවෙකු ලඟයි.සාස්තර කරුවාගේ සොයා ගැනීම වන්නේ පූසා අල්ලපු ගෙදරින් එවූ පිල්ලියක් බවයි.කලක සිට පැවති විරසකය තවත් තීව්‍ර විය.නිවෙස් දෙක අතර තිබූ වැට තාප්පයක් බවට පත් විය.මෙම පවුල අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්නා පවුලකි.අමාරුවෙන් ඉතිරි කල මුදල තාප්පයට යට වන්නට ඇති. සැලකිය යුතු කොටසක් සාස්තර කරුවා විසින් ඩැහැ ගන්නට ඇති.

බැලූ බැල්මට මෙම සිදුවීම තුල ඇත්තේ හාස්‍ය ජනක බවක් වූවද වඩා ලංව බැලුවහොත් මෙහි ඇති ඛේදජනක බව හොඳින්ම බලා ගත හැකිය. මෙවැනි සිදුවීම් අප සමාජයේ දිනපතා සිදුවන අතර,මේ නිසාම එකට සිටින අසල් වැසියන් කල් ගෙවනුයේ ජම්මාන්තර වෛරක්කාරයන් ලෙසිනි.වර්ග, කුල, ආගම්, අනුව බෙදුනු සමාජය මේ නිසා තවත් දුර්වල කරනු ලබයි.

ජීවිතයේ තමන්ට ඇති වන ගැටළු සඳහා පිළිතුරු සෙවීමට සාස්තර කරුවන් සහ දේවාල ගානේ රස්තියාදු වන පිරිස ඉතා විශාල වන අතර සාස්තර කරුවන් සහ දේවාල කපුවන් මිනිසුන්ගෙන් කොල්ල කන මුදල දිනකට රුපියල් කෝටි ගණනක් විය හැක. ප්‍රසිද්ධ දේවාලයක් තුල පැයක පමණ කාලයක් ගත කලහොත් මෙය හොඳින් බලා ගත හැක.එසේත් නැතිනම් කපුවන් හෝ ප්‍රසිද්ධ සාස්තරකරුවන් ගමන් ගන්නා වාහන වලින් මෙය සිතා ගත හැකිය. ගැටළුව කුමක් වූවද සාස්තරකරුවාගේ උත්තරය වන්නේ මෙය අසල්වාසියෙකු විසින් සිදු කරන ලද්දක් බවයි.සිදුවූ හොරකමකදී නම් කවුරුන් හෝ අසල්වාසියෙකු සොරෙකු බවට පත් වන අතර අසනීප තත්වයක් නම් අසල් වැසියා හදි හූනියම් කරනු ලැබූ පුද්ගලයා බවට පත්වේ.සාස්තරකරුවා පෙන්වන දිශාව අනුව තමන්ට හදි කල අසල්වාසියා සොයා ගනියි. සාමාන්‍යයෙන් සාස්තර ඇසීමට යාම රහසක් වන අතර කිසිම හේතුවක් නොමැතිව ගමේ යම් පවුලක් තමන් සමඟ අමනාපයෙන් පසු වන බව පමණක් අසල්වාසියාට දැනේ.මෙය අපරාධයකි.එකක් නොව කිහිපයකි.අහිංසක මිනිසෙකු වරදකරුවෙකු කරයි. තවත් අහිංසකයකුගේ මුදල් පට්ට පල් බොරු ගොතා කඩා වඩා ගනියි.සියල්ලටම වඩා බරපතලම අපරාධය වන්නේ සමාජය භේද භින්න කිරීමයි.මෙය ඉක්මනින් නවතා දැමිය යුතුය.මෙම අපරාධකරුවන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කළ යුතුය.

ජනමාධ්‍යය හා මිත්‍යාව

මිත්‍යාවේ ගිලී සිටින සමාජයක් ඉන් මුදා ගැනීමට ජනමාධ්‍යයට ඇති හැකියාව ඉතා ඉහලය. අවාසනාවකට ලංකාවේ ජනමාධ්‍ය එසේ හැසිරෙන්නේ නැත.ඔවුන් කරන්නේ සාස්තරකාරයන් සමඟ කල්ලි ගැසී මිත්‍යාවම පැතිරවීමයි. සති අන්ත පුවත් පත් වල ඇති වෙළඳ දැන්වීම් වලින් සැලකිය යුතු කොටසක් වෙන් වී ඇත්තේ මෙම සාස්තරකාරයන්ගෙනි.පුවත් පත් ඒ මගින් ලබන ආදායම ඉතා විශාලය. සමහර රූපවාහිනී නාලිකා ද සාස්තරකාරයන්ගේ වෙළඳ දැන්වීම් වලින් පිරී ඇත. එයින් පෙනී යන්නේ ජනමාධ්‍ය තමන්ට ලැබෙන ලාභය ගැනම පමණක් සිතා කටයුතු කරණ බවයි.

දිනක් උදෑසන මා රැකියාවට යන අතර තුර, බස් රථයේ දමා තිබූ ගුවන් විදුලි නාලිකාවේ, දිනයේ ලග්න පලා ඵල ප්‍රචාරය වෙමින් තිබුනි.එක් ලග්නයක් සඳහා ජ්‍යෝතීෂවේදිනිය කියා සිටියේ, ඔබට අද දින මිස් කොල් ඇමතුම් ලැබෙන බවයි.ඇය කල්ල කපටි අම්මණ්ඩි කෙනෙකු බව අමුතුවෙන් පහදා දිය යුතු නැත.ජංගම දුරකථනය සොයා ගැනීමට පෙර මෙම ග්‍රහ පිහිටීමේ දී සිදු වූයේ කුමක්දැයි වැඩසටහන මෙහෙයවන නිවේදකයා අසන්නේ නැත.ජනමාධ්‍ය‍යෙන් සමාජය වෙත ඉටු විය යුතු වගකීම් හා යුතුකම් වෙනුවට ඔවුන් කරන්නේ පල් වල ඉහගෙන කෑමයි.

ආර්ථිකය ප්‍රසාරණය වීම හා මොළය හැකිලීම

1977 සිදු වූ ආර්ථික ප්‍රතිසංස්කරණත් සමඟ ලංකාවේ අර්ථිකය විශාල වශයෙන් ප්‍රසාරණය විය.අඩු ආදායම් ලබන්නන්ගේ තීරුව කුඩා වූ අතර මැද පංතිය, ඉහල මැද පංතිය හා ධනපති පංතියේ තීරුව පුළුල් විය.මුදල් සංසරණය වේගවත් විය.ක්‍රය ශක්තිය වැඩි විය.නමුත් මීට සමානව ලංකාවේ බුද්ධි වර්ධනයක් සිදු නොවීය.ඒ නිසාම සමාජයේ හරසුන් දේ සඳහා නිර්ලෝභීව අත දිගහැර වියදම් කිරීම සිදු විය.

අප කුඩාකල සාස්තර කරුවෙකු යනු ගමක විසූ සමාන්‍ය ගැමියෙකි.නැතහොත් කුඩා දේවාලයක කපුවෙකි.එසේත් නැතිනම් අහිගුණ්ටික කාන්තාවක් හෝ පාරේ ගිය ගිය රැවුල වවාගත් මිනිසෙකි.ආර්ථිකයේ සිදු වූ වෙනසත් සමඟ, සාස්තර කරුවාට තිබූ ඉල්ලුම වැඩි වීම නිසා සාස්තරකරුවාගේ ස්වභාවයද වෙනස් විය. දිගට වැවුනු රැවුල අතුරුදන් විය.අපිලිවෙලට තිබූ ඇඳුම සුදු ඇඳුමක් බවට පත්විය.අතේ,කරේ තිබූ ඇට මාල, නුල් වෙනුවට රත්‍රන් මාල ආදේශ විය.පාවහන් පවා නොමැතිව ගිය ගමන මොන්ටෙරෝවට මාරු විය.නිවස, නිතර බලවත් පුද්ගලයින් යනෙන තැනක් බවට පත් විය. පුවත් පත් සහ රූපවාහිනී කාර්යාලවල නිතර ගැවසෙන පුද්ගලයෙක් බවට පත් විය.ඉහලම දේශපාලකයින්ගේ ඇසුරට පත් විය.මේ අර රැවුල වවා ගත් පාරේ ගිය සන්නාසියා යැයි කිසිවෙකුටත් දැන් සොයා ගැනීමට නොහැකිය. සියල්ලටම වඩා භයානකම දේ වන්නේ, මිත්‍යාවම ආත්මය කරගත් ජනතාවගේ මනසට බලපෑම් කරමින් මේ සන්නාසියා අනියම් වශයෙන් රට පාලනය කරන දේශපාලකයෙකු බවට පත්වීමයි.

මිත්‍යාවේ අභියෝගය

මෙහි දී අපට මුහුණ දීමට සිදුවන එක් ප්‍රභල අභියෝගයක් වන්නේ මිත්‍යා‍වෙන් අසාධ්‍යව සිටින සමාජය ඉන් ගලවා ගැනීමයි. මිත්‍යාව වෙනුවට විද්‍යාව සමාජයට හුරු කල යුතුය.මිත්‍යා විශ්වාසයන් සමාජයක් තුල පැවතීම අරුමයක් නොව සාමාන්‍ය දෙයකි.නමුත් විද්‍යාවේ එලිය දකිත්ම මිත්‍යව හිරු දුටු පිනි මෙන් දිය වී යා යුතුය. අභාග්‍ය සම්පන්න දේ වන්නේ ලංකාවේ දී එය එසේ නොවීමයි.ලංකාවේ සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්තයි.එනම් අතීතයේ තිබුනාටත් වඩා විශාල ලෙස සමාජය මිත්‍ය විශ්වාසයන් වැළඳ ගැනීමයි. මෙය කෙතරම් බරපතල තත්වයකට පත් වී ඇත් ද යන්න විභාග දෙපාර්තමේන්තුව පවා විභාග කාලසටහන් සෑදීමේ දී රාහු කාලය ගැන සැලකිලිමත් වීමෙන්ම පෙනී යයි. දරුවන්ගේ නැණස පාදන ඉහලම ආයතනත් හැසිරෙන්නේ මෙසේ නම් මුළු සමාජයම මිත්‍යා දෘෂ්ඨික වීම අරුමයක් නොවේ. දේශපාලකයා ද මිත්‍යාවම බදා වැළඳ ගන්නා නිසා අධ්‍යාපන ඇමතිටද මෙවැනි තීන්දු තීරණ ගැන ගැටළුවක් නැත.රාහු කාලය මඟහරවා කාළසටහන් සෑදීමෙන් හෝ දරුවන් නැකතට විභාග සඳහා පිටත් කර වීමෙන් එසේත් නැතිනම් දරුවන්ට විභාග සඳහා පෑන් පැන්සල් ජීවම් කර දීමෙන් සිදු වන්නේ දරුවන්ට තමන් ගැන ඇති ආත්ම ශක්තිය හීන වීමයි. මෙය පිටින් පෙනෙනවාට වඩා බරපතල කාරණයකි. දරුවා වැඩිහිටියෙකු වූ පසු, තමා අසාර්ථක වන සෑම අවස්ථාවකදීම අසාර්ථකත්වයට සැබෑ හේතු විමර්ශනය කීරීම පසෙකින් තබා සාර්ථකත්වය උදෙසා මිත්‍යාව පසුපස යාමට පුරුදු වේ.එය ජයග්‍රහණය තව තවත් ඈත් කරවයි.

මිත්‍යාවෙන් ලොව දිනූ රටක් නැත. ලොව දිනිය හැකි එකම මාර්ගය වන්නේ නවීන විද්‍යාවයි. මිත්‍යාවෙන් අප සමාජය මුදා ගන්නා තුරු දියුණු නූතන රාජ්‍යයක් බිහිකර ගැනීමේ අප සිහිනය ඵල නොදරනු ඇත.අප සමාජය මිත්‍යාවට ඇබ්බැහි වී ‍ඇති ආකාරය අනුව එය ලෙහෙසි කරුණක් වන්නේ නැත. නමුත් කෙසේ හෝ එය කළ යුතුය. මේ සඳහා දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.මිත්‍යාව මිත්‍යාවම බව අප දරුවන්ට අවබෝධ කොට දිය යුතුය.නවීන විද්‍යාව තුලින් මානව ශිෂ්ඨාචාරය රැගෙන ආ ඉම ගැන ඔවුන්ට නිසි අවබෝධය ලබා දිය යුතුය. අප විසින් අද භුක්ති විඳින සියලු දෑ නවීන විද්‍යාවේ හපන්කම් බව ඔවුන්ට කියා දිය යුතුය. නවීන විද්‍යාව ඉදිරියේ මිත්‍යාව පලා යනු නියතය.

විපාගේ සිතිවිලි

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල