සංචාරක හා ඡායාරුප

නොදුටු මිතුරන් තිදෙනා

0

කොහොමද කෑම?

අති විශිෂ්ටයි සර්!!

මට ඒ වෙළඳ දැන්වීම් දෙබස මතක් උනේ අපේ කට්ටිය ඉන්දියාවෙන් කාපු කෑම දිහා බලාගෙන ඉන්න ගමන්. කොටින්ම අපිට ඕවර් විස්සක් වත් බැට් කරගන්ඩ අමාරුයි…හැබැයි කොහොමද කතාව? මං ඔය වගේ වෙලාවල් වලදී කරන්නේ අපිට සන්තෝස වෙන්ඩ පුළුවන් දෙයක් ගැන හිතන එක. ජීවිතේ තියෙන්නේ විඳින්ඩ මිසක් විඳ වන්ඩ නෙවෙයි නේ….ඒ හිංද මම දිල්ලියේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්රීඩාංගනේ ගැන කල්පනා කරන්ඩ පටන් ගත්තා. ඒ තමයි ෆෙරෝස් ෂා කොට්ලා කියල කියන්නේ. ගිය අවුරුද්දේ අග හරියේදී අරුන් ජායිට්ලි ක්‍රීඩාංගනය කියල නම වෙනස් කරාට මොකද අවුරුදු සිය ගානක් තිස්සේ ඔය පිට්ටනියට කිව්වේ ෆෙරෝස් ෂා කොට්ලා කියල. කොට්ලා කියල කියන්නේ බලකොටුව කියන එක. ඒ කියන්නේ ඔය පිට්ටනියේ නම ෆෙරෝස් ෂා ගේ බලකොටුව කියන එක.

කවුද මේ බලකොටුවක් හදපු ෆෙරෝස් ෂා? මොකද්ද ඔය තරම් ඒ ගැන හිත හිතා සැනසෙන්ඩ තියෙන හේතුව? ඒ ගැන තමයි 2020 මුලින්ම කට්ටකාඩුවට ලියන්ඩ හිතුවේ.

ඔය කියන කාලේ වෙනකොට ඒ කියන්නේ දා හතර වෙනි ශත වර්ෂේ…හරියටම තේරෙන්ඩ කියනවා නං එක්දාස් තුන්සිය ගණන් වලදී උතුරු ඉන්දියාවේ රජ වෙලා හිටියා තුග්ලක් කියල රාජ පරම්පරාවක්. ඒ අය මුස්ලිම් වරු. තුර්කි – ඉන්දියානු සම්භවයක් තිබ්බ. ඔය තුග්ලක් රාජ පරම්පරාව පටන්ගත්තේ ඝාසි මලික් එහෙම නැත්තං ඝාසියාඋද්දින් තුග්ලක් කියල තමන්ව හඳුන්වා ගත්තු රජ කෙනෙක්. එයාටම තමයි තුග්ලක් ෂා කියල කියන්නෙත්. මේ ඝාසි මලික්ට හිටියා මල්ලි කෙනෙක් රාජාබ් කියල. රාජාබ් ගේ හිත උතුරු ඉන්දියානු රාජ්‍යයක් වෙච්චි දීපාල්පුර් වල නයිලා කියන ලස්සන හින්දු රාජ කුමාරියක් ළඟ නතර උනා. හැබැයි ඒ කුමාරිවත් කුමාරිකාවගේ පියතුමා වෙච්ච රජ්ජුරුවොවත් කැමති උනේ නෑ මේ මුස්ලිම් රාජ කුමාරයාට. දැන් මොකද කරන්නේ? ප්‍රේමය පිස්සුවක් වගේ කියල කියනවනේ. රාජාබ් ප්‍රේමයෙන් පිස්සු වැටුනා.

ඔහු යුද්ධ හමුදාවක් අරං අර කුමාරිකාවගේ රට වැටලුවා. යටත් වෙනවද නැත්තං දරන්ඩ බැරි වන්දියක් ගෙවනවාද කියල අහල ඔහු යවපු පණිවිඩේට උත්තරයක් යවන්ඩ විදිහක් නැතුව පිය රජ්ජුරුවෝ අසරණ උනා. සාගතයකින් බට කමින් හිටපු ඒ රටට ලොකු වන්දියක් ගෙවන්ඩ සල්ලි තිබ්බේ නෑ. අනික් පැත්තෙන් යටත් උනොත් හැමෝගෙම බෙලි කැපෙන බව සහසුද්දෙන්ම රජ්ජුරුවෝ දැනං උන්නා. දැන් මොකද කරන්නේ?

රජ්ජුරුවෝ මොනවා කරන්ඩද කියල හා අතේ කල්පනා කර කර ඉන්න කොට නයිලා කුමාරිකාවට මේ සන්තෑසිය ආරංචි උනා. ඔන්න අපේ දේවී කුමාරිකාව මුහුදට බිලි වෙන්ඩ කැමති උනා වගේ මේ ලස්සන කුමාරිකාවත් කැමති උනා රට වෙනුවෙන් තමන්ගේ අකමැත්ත කැමැත්ත කරගන්ඩ. ඒ ලස්සන කුමාරිකාව රාජාබ් කියන මුස්ලිම් කුමාරයාට කැමති උනා. මේ රාජාබ් කුමාරයාටයි නයිලා කුමාරිටයි පුතෙක් හම්බ උනා. එයාගේ නම ෆෙරෝස්. ඒ උනාට ෆෙරෝස් ඉපදිලා ටික කාලෙකින්ම රාජාබ් මිය පරලොව යනවා. නයිලා කුමාරි පුංච් පුතාත් එක්ක මේ ලෝකේ තනිවෙනවා. ඒ උනාට නයිලා කුමාරි හිත දැඩි කරගෙන පැත්තකට වෙලා තමන්ගේ පුතාවත් හදාගෙන පාඩුවේ ජීවත් වෙනවා.

ඝාසි මලික්ව මරලා දාපු එයාගේ පුතෙක් වෙච්චි ජුනා ඛාන් රජ උනා. ඔය ජුනා ඛාන් ට ටිකක් විතර නෙවෙයි හොඳටම පිස්සු තිබ්බා කියල සමහර කට්ටිය කියනවා. ඒ අතරේ තවත් සමහරු නං කියන්නේ දකුණු ආසියාවේ ජිහාඩ් යුද්ධයක් පටන් ගන්ඩ ඔහු උත්සාහ කලා කියලත්. ඒ කොහොම උනත් එයාගේ අධිරාජ්‍යය දකුණු ඉන්දියාව වෙනකල්ම පැතිරිලා ආවා. අපේ වාසනාවකට එයාට ලංකාවට එන්ඩ බැරි උනා. ඒක බොහොම රසවත් කතාවක්. මම වෙන දවසක ඒක කියන්නම්. එතකල් මේ මහා මුස්ලිම් අධිරාජ්‍යයේ වෙච්ච දේ අහන්ඩකෝ. ජුනා ඛාන් එහෙම නැත්තං මොහමඩ් බින් තුග්ලක් ඉන්දු ගං ඉවුරේදී උණ රෝගයකින් මිය යනවා. එයාගෙන් පස්සේ රජ කමට කෙනෙක් නෑ. සිංහාසනේ හිස්!!

රජකම ගැන කිසි අදහසක් නැතුව පැත්තකට වෙලා හිටපු අහිංසක ෆෙරෝස් කුමාරයාව රජ වාසලේ ඇත්තන්ට මතක් වෙනවා. ඒ වෙනකොට ෆෙරෝස් ට අවුරුදු හතලිස් පහක් වයසයි. රාජ මාලිගේ දන්නා අඳුනන කවුරුවකුත් නෑ. ඒ හින්දා ඔහු රජකම එපා කියනවා. අච්චර ලොකු අධිරාජ්‍යයක් පාලනය කරන්ඩ ඕන ධනය, බලය, යාලු මිත්‍රයින් වගේ කිසිම සුදුසුකමක් ඔහු ළඟ නෑ. දවස් හතරක් තිස්සේ වදෙන් පොරෙන් ඇවිටිලි කරලා අන්තිමට කට්ටිය මේ කුමාරයාව කැමති කර ගන්නවා රජ වෙන්ඩ! දැන් නං කොහොමද? දැන් විතරක් නෙවෙයි ඒ කාලෙත් හුන්ඩුවක් විතර අටමගලක හරි රජ වෙන්ඩ තියෙනවා නං කවුද අකමැති නේද?

එතකොට ඇයි මේ වටේ හිටපු ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා, පුරෝහිතයෝ, පළාත් සභා…ආ නෑ..නෑ…වෙන රටවල් වල පළාත් සභා තිබ්බට ඔය කියන කාලේ තුග්ලක් අධිරාජ්‍යයේ පළාත් සභා තිබ්බේ නෑ. ඔව්…ඔව්…ඉන්දියාවේ උඩ ඉඳන් පල්ලෙහාටම යනකල් ඒ අධිරාජ්‍යය පැතිරිලා ගිහිං තිබ්බට එහෙ පළාත් සභා තිබ්බේ නෑ. ඔය දැන් අපෙත් පළාත් සභා විසුරුවලා තිබ්බත් මොන කෙන්ගෙඩියක්වත් නැතිවෙලා, බැරි වෙලා, අතපසු වෙලා නෑ නෙව.ඒක නෙවෙයිනේ අපේ කතාව. අපි අපේ කතාව කියමු නේ. ඔය වටේ පිටේ හිටපු මිනිස්සු මොකද මේ තමන්ගේ වැඩක් බලාගෙන අහක හිටපු කුමාරයාව ඇදලා ගත්තේ රජකමට? ඒ කාලෙත් ආයිබෝං රජ උනාට වඩා වටිනවා රජාව තමන්ගේ පදේට නටවන්ඩ පුළුවන් කම ලබා ගත්තා නං. ඒකයි!! සහසුද්දෙන්ම කියනවා නං රජාවත් කඩේ යවන්ඩ පුළුවන් මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. හෙට නැතිවෙයි කියල හිතන්ඩ එපා.

ඒ කොහොම වෙතත් ෆෙරෝස් දැනගත්තා මේ උන්දැලා එකක හිටියොත් තමුන්ට වෙන්නෙත් රන්ජා එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරපු උන්ට අනාගතේ දවසක වෙන දේම තමයි වෙන්නේ කියල. ඒ හින්ද ෆෙරෝස් රජ වෙච්ච ගමන් එච්චර කල් රජ වාසලේ හිටපු එව්වෝ ටික අස් කරලා හිස ගසා දැම්මා කියලත් කතාවක් තියෙනවා. ඔව්ව හොඳ පාඩම් අපේ නයක් උත්තමයින්ටත් ඕං…එහෙමවත් බලමුකෝ ඔය දෙපිට කාට්ටු වැඩ කරන එව්වෝ මෙල්ල වෙයිද කියලා!

සමහරු නං කියනවා ෆෙරෝස් එහෙම නැත්තං ෆෙරෝස් ෂා තමයි දිල්ලියේ මුස්ලිම් පාලනයක් පටන් ගත්තු දැවේ ඉඳලා හිටපු කරුණාවන්තම පාලකයා කියල. ඒ කොහොම උනත් ඔහුත් විවිධ ප්‍රදේශ ආක්‍රමණය කළා.

ඒ ආක්‍රමණ සිහි වෙන්ඩ ඔහු විශාල නගරයක් ගොඩ නැගුවා. මේක තමයි හයවෙනි දිල්ලි නගරය. ඒ කාලේ ඒකට කිව්වේ ෆිරෝසාබාද් කියල. මේ ෆිරෝසාබාද් වල ඔහු ලස්සන බලකොටුවක් හැදුවා. ඒක තමයි ෆිරෝස් ෂා ගේ බලකොටුව එහෙම නැත්තං ෆිරෝස් ෂා කොට්ලා!

ඔය රජවරුන්ගේ මහා නරක පුරුද්දක් තියෙනවා ආයිබොවන් අනුන්ගේ වැඩ තමුන්ගේ කියල පෙන්නන්ඩ. තමුන්ගේ යුද්ධ හමුදාව ලේ, දාඩිය, කඳුළු පූජා කරලා දිනාදුන්නු දේවල් තමන්ට පරවේණියෙන් හම්බ වෙච්ච තෑගි වගේ පෙන්නන්ඩ. ඔය ලෙඩේ ෆෙරෝස් ෂා ටත් තිබ්බා. දවසක් ෆෙරෝස් ෂා දඩයමේ ගියා උත්තර දොආබයට. දොආබ් කියල කියන්නේ ගංගා දෙකක් මැද්දේ තිබ්බ ප්‍රදේශය. දෙගංමැදි ප්‍රදේශය කියලා කියන්ඩත් පුළුවන්. මේක ඕනෑම ගංගා දෙකක් අතර ප්‍රදේශයට කියන්ඩ පුළුවන් උනාට මෙතෙන්දි මේ දොආබ් කියල කියන්නේ යමුනා සහ ගංගා නදී දෙක අතර ප්‍රදේශයට. හරියටම කියනවා නං උත්තර දොආබය කියල කියන්නේ හරිද්වාර් වල ඉඳන් අලිගාර් දක්වා ප්‍රදේශයට.

ඔහොම දඩයමේ යන අතරේ මෙන්න ෆෙරෝස් ට හම්බ වෙනවා අඩි හතලිස් දෙකක් විතර දිග තනි ගලකින් නිමවපු මහා විශාල ගල් ටැඹක්. කැලේ මැද්දේ හරි අපූරුවට තියෙනවා. කවුරුවත් අයිතිකාරයෙක් නෑ. තව ටික දුරක් යද්දී මෙයාට තවත් ඒ වගේම ගල් ටැඹක් හම්බ වෙනවා. ඒ දෙවැනි එක හම්බ වෙන්නෙත් දිල්ලියට නැගෙනහිර දෙසින් පිහිටලා තිබ්බ මීරුට් කියන ප්‍රදේශයේදී. මොනවද මේ විශාල ගල් ස්ථම්භ? කාගේද මේවා? කොයි කාලේද මේවා හැදුවේ? කවුද මේවා මෙතෙන්ට ගෙනාවේ? ෆෙරෝස් ට ප්‍රශ්න රාශියක්! එයා මොකද කලේ? ඕන රජ කෙනෙක් කරනවා වගේ ළඟ අහල පහල හිටපු මිනිස්සුන්ගෙන් අහලා බැලුවා. ඒ අයත් දන්නේ නෑ. ඒ කට්ටියත් දන්නේ මේවා අම්මා මුත්තා කාලේ ඉඳලා නැත්තං කිත්තා කිරි කිත්තා කාලේ ඉඳන් කොටිම්ම කියනවා නං දන්නා කාලේ ඉඳන් ඔහොමම තිබ්බා කියල විතරයි.

අපි මේවා ගැන හරියට දන්නේ නැති උනාට රාජෝත්තමයාණන් වහන්ස කෝවිලේ ඉන්න බ්‍රාහ්මණ පණ්ඩිතයන් නං දන්නවා ඇති කියල ඒ අය උත්තර දුන්නා.

ඊට පස්සේ ෆෙරෝස් ගියා බ්‍රාහ්මණයින් ගාවට. ඇහුවා මේ ගල් ස්ථම්භ ගැන…

ආ රජතුමනි ඔබතුමා හරිම තැනට තමයි ආවේ ඔය ගැන අහන්ඩ. අපිට වඩා කවුද ඔය ගැන දන්නේ?

ඉතින් කියන්ඩකෝ මොනවද මේ කණු?

ඔබතුමා අහලා තියෙනවා නේද මහා භාරතය ගැන?

ඔව්..රාජ සභාවේ ඉන්න කවියන් ඒ ගැන කියනවා.

ඒ මහා භාරතයේ කියවෙන්නේ ඔබතුමා වගේම ශූර, වීර, මහා බල පරාක්‍රමයකින් යුක්ත පාණ්ඩව කුමාරවරු පස් දෙනෙක් ගැන. අපිට පුළුවන් ඔබතුමාත් එහෙම කෙනෙක් කියල පොතක් ලියන්ඩ.

නෑ..එහෙම අවශ්‍යතාවයක් දැනට නෑ….මට පොත් පෙරලන්ඩ ආපු හිටපු ඇමතිලා රොත්තකටම මම මළපොත කියෙව්වා!! මට කියන්ඩකෝ මේ කණු මොනවද කියල…

රජතුමනි, ඔය පාණ්ඩව කුමාරවරු පස් දෙනා තමයි. යුධිෂ්ථිර, භීම, අර්ජුන, නකුල සහ සහදේව. ඔය අතරින් භීම ඉන්නවා නේද…ඔහු යෝධයෙක්.මහා විශාල මනුස්සයෙක්.

ඉතිං?

ඔය භීම වයසට ගියාම ඇවිදින්ඩ වාරුවක් විදිහට ගල් කණු දෙකක් පාවිච්චි කළා හැරමිටි විදිහට!

නෑ!!??

නෑ…නෙවෙයි රජතුමනි ඔව්…අපේ පුරාණ පොත් පත් වල එහෙම ලියලා තියෙනවා..අය ඉතින් අපි වගේ පණ්ඩිතයන් කියන දෙයක් ඔබ තුමා සැක කරන්නේ මොකටද?

එතකොට මේ ගල් කණු භීම ගේ සැරයටි?

ආයෙත් අහනවා රජතුමනි…ඔව්..ඔව් ඒ ගැන අපිට හොඳටම විශ්වාසයි!

ෆෙරෝස්ට හරිම සතුටුයි. මහාභාරතයේ කියවෙන වීරයන් පස් දෙනාගෙන් එක කෙනෙක්ගේ සැරයටි දෙක තමන්ට හම්බ වෙච්ච එක ගැන. තමන් අලුතින් හදන බලකොටුවට මේ සැරයටි ගෙනිච්චොත් හොඳයි කියල ෆෙරෝස් ට හිතුනා. ඒත් මෙව්වා කොහොමද ගෙනියන්නේ? එකක් ටොන් විසි පහකට වඩා බරයි. අනික දිල්ලිය තියෙන්නේ හැතැම්ම සිය ගානක් දුරින්. කොච්චර වහල්ලු හිටියත් මෙහෙම වැඩක් කරන්ඩ අමාරුයි. අනික කොහොමද මේ කණු ගලවා ගන්නේ?

ෆෙරෝස්ට මතක් උනා තමන්ගේ තාත්තව. තමන් ආදරය කරන සුරූපිණිය වෙනුවෙන් රටක් යටත් කර ගන්ඩ යුද්ධ කරන්ඩ ඔහුට පුලුවන් උනා නම්, ඒ යුද්ධයෙන් දිනලා තමන්ට අවශ්‍ය දේ ලඟා කර ගන්ඩ පුළුවන් උනා නං ඇයි මට බැරි? ෆෙරෝස් එහෙම හිතන්ඩ ඇති.
කතාව දිගයි. ඒ හින්දම ෆෙරෝස් මොකද කලේ කියල කියන්ඩ කලින් හුස්මක් කටක් අරං සුටුස් ගාල එන්නං. එතකල් හැමෝටම ආවඩා ආයුබෝ වේවා!!

කට්ටකාඩුව

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල