අතීතකාමය

අයියා සමග රැයක්…!

Off

ජීවිතය ගෙවෙන්නාවූ දෙයකි. සූර්යයා වටේ බැමෙන පෘතුවිය ගමන් කරන්නාවූ වට රවුම් ගණනින් ජීවිතය මැ‍ණෙන අතර, ධනාත්මක ගණනයක් වූවත් ඒ ගැණෙන්නේ ක්ෂය වීමක්ය යන්න පසක් කරන්නා තරමට මෝරා පදම්වීමට අපට යම් කාලයක් ගතවෙයි.

නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අ‍ටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර උපන් දෝණියන් දෙන්නාත්, ලේලියන් දෙන්නෙක් හා බෑනෙකුත්, මුනුපුරන් හතර‍ දෙනෙකුත් ඇතුළුව ඒ ගෙදරට ගෙදරය කියූ ගණන දහතුනක් වී තිබුණි. නවසිය අනූහත අවසන් වෙද්දී, අම්මාත් ලොකු නංගීත් දෙන්නාම අප අතැර ගොස් සිටි අතර, මේ ගෙවුනු දශකය ඇරඹි දෙදහස් ‍දහයේ ජනේරුවේ, ඒ පැත්තට එකතු වුනු අපේ අයියාගේ ‍වියෝවට අද වෙද්දී දසවසක් ගෙවෙයි.

අම්මාත්. තාත්තාත්. අයියාත්, මමත්, නංගිලා දෙන්නාත් වශයෙන් හය දෙනෙක් වූ පවුල දෙන්නෙකුට පහත හෙළු‍නු එදා අපේ අයියා අපේ ගෙදර සාලයේ නිදා හිටි අන්තිම දවස වූ‍යේය. අයියා එක්ක තනියට ඉන්නට එදා රෑ අට දහය වෙද්දී ඉතුරු වූයේ පොඩි නංගීත්, අයියාගේ ලොකු පුතාත්, එයාගේ මිත්‍රයෙකුත් මමත් පමණකි. එයිනුත් රෑ ‍එකොලහ දොලහ වෙද්දී, දවස තිස්සේම එහා මෙහා දුව පැන මහන්සි වී සිටි පුතාත්, යාළුවාත් දෙන්නාටම නින්ද ගොස් තිබූ අතර, දෙක විතර වෙනතුරු, සාලය පිල අතුගගා නොනිදා ඉන්නට තැතනු පොඩි නංගී සිටියේ නින්දත් නොනින්දත් අතරේය. දරුවන්ව දුව පැන ගහ මරාගත් ගෙදර, බොහෝ කාලයකට පසුව අයියාත් මමත් තනිවී සිටි මුත්, අප අතර කිසි කතා බහකට නම් ඉඩක් නොවීය.

එක ගෙදර එකට ඉස්කෝල‍ේ ගිය දරුවන් වූ අපි, පවුල් පන්සල් වී ගෙදරින් දුරස් වී ගොස්, වසර දෙදහස් ගණන් වෙද්දී, නාඳුනන්නන් තරමට ඈත් වී සිටියෙමු. මේ විරසක වීම් වලට බොහ‍ෝ හේතු කාරණා කිව හැකිව තිබුණු නමුදු, ඒ කිසිවක් වෙනස් කරන්නට නොහැකි තැනකට පැමිණ සිටි එදා, මට කලහැකිව තිබූ එකම දෙය, රැය පහන් වන තුරු අවදියෙන් සිටීම පමණක්ම වී තිබිණි.

ලොකු නංගී ලැබෙන්නට ඉඳිද්දී අම්මාගේ ඇවටිල්ලට හවස ඔරසම් කියද්දී, දණ ගසා නංගියෙක් දෙන්නැයි කියා අප දෙන්නා ඔරසම් කියූ හරි‍ය‍ේ පුටු දෙකක දිගාවී අයියාගේ පුතාත්, ඔහුගේ යාළුවාත් නිදා සිටී.

ඉන් කාලයකට පසුව, මගේ ළමා ජීවිතයේ මා අගය කල එකම එක තෑග්ග වූ, ජෝන් බාප්පා ගෙනැවිත් දුන් මවුත් ඕගනය, අපේ අයියා මොකක් හෝ කෝන්තරයකට බිම දිග‍ේ රූටවා එවා හප්පා කීතු කීතු කල බිත්තිය ද එතැනම වෙයි.

අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ ජනෙල් උළු ‍වස්සේය. ඒ කාලේ ‘විම්’ සබන් කුඩු අසුරා ආ, සිලින්ඩර පෙට්ටියේ මතුපිට ඊයම් කොලයේ හැඩ කපා, මෝටරයකට යා කර කැරකවෙන්නට සලසා හැදූ ෆ්ලෑෂරයට වයර් අවුණා, වල්ග තරුවේ විදුලි බුබුළු රවුමට දිගට නිවි නිවී දැල්වෙන්නට හැදුවේත්, රඹසෙවනෙන් කළු කොල ගෙනැවිත්, ඇත්තම ඇත්ත තණ පිඩෙලි ඇල්ලූ නිම්නයකට ඉහලින් ගල්ලෙනක් අඹවා, ගවහලක් මැවුවේත් එතනය.

තාත්තාගේ පේර කෝටු පහරවල් කා, අප දෙන්නා දණ ගසා සිටි සුරුවම යට දැල්වෙන ඉටි පහන් දෙකක් මැද අයියා තනියෙන් වැතිර සිටී.

මද සුළඟට සෙලවෙන ගස් කොලන් හැරෙන්නට ගෙදරට එන පාරේවත්, අහල දෙවටේවත් පණැති කිසිවෙක් නැත. වැහි දවසට, ගුල් අතරින් ගෝනුස්සන් මතුවන හැටි බලා හුන් ගෙදර මහදොර පඩිය යට මිදුලපුරාවට අද සිමෙන්ති පලසක් අතුරා තිබේ. මහපාර අයිනේ අයියාට මොක් සුව පතා එල්ලා ඇති බැනර් සොලවන සුළඟ, වත්ත පුරා වැටී ඇති ඒවායේ විසල් සෙවනැලි ද සොලවයි. මගක් දුර පාර පැත්තට ගොස් නැවතුණු මම, ඉස්සරහ ජනේලය ලඟ තාත්තා බලා ඉන්නවා දැයි ආපසු හැරී බලමි. කිසිවෙක් නැත. මිදුලේ තබා ඇති හිස් පුටු හදිසියේ අවදිවී මා දෙස බලා සිටිති.

අප දෙන්නා අතර වයස් පරතරය වසර එකහමාරකට නොවැඩි වූව ද, අපේ පාසල් පංති අතර වෙනස වසරක් ව තිබිණි. වසරකට ඉහල පංතියක අක්කෙක් අයියෙක් හිටි හැමෝටම මෙන්ම, මටත් බොහ‍ෝවිට ලැබුණේ අයියාගේ පාඩම් පොත් ය. මේ කාරණයේ නරක පැත්ත මෙන්ම හොඳ පැත්තද ‍වූයේ, වසරකට පස්සේ ලැබිය යුතු පාඩම් පොත්, විශේෂයෙන්ම සිංහල පොත, අවුරුද්දක් පුරාම අත පත ගාන්නට අවස්ථාව ලැබීමයි. එසේ වුවත් ඒ අවස්ථාව ස්ථාන‍ෝචිත ප්‍රඥාව යොදවා කල් යල් බලා ලබා නොගැනීමේ අවාසනාව ද එයට ලැබෙන අච්චු කිරීම් ද විඳින්නට සිදුවෙයි.

ඒ ලපැටි සමයේ, මාස දෙක තුනකට සැරයක්, වත්ත පිටියේ කුණු දමන්නට තරමක වලක් කැප්පවෙන හැටිත්, සතියක් හමාරක්, ඒ විසල් වල‍ අප‍ේ නිවහන වන හැටිත් මට සිහිපත් වෙයි. රතට රතු පසේ අළුතෙන් කැපුණු වල ඇතුලත නැවුම් සුවඳක් තිබෙයි. අපේ නොවැසුනු උඩුකය, හවස ගෙදර එද්දී, රතුපසින් රතුවී තිබෙයි. ඒ අයියාත් මමත් වත්ත කෙළවරට වෙන්නට කැපූ කුණු වල ඇතුලේ පොල්කටු අඟුරු ගිනිමැලයක් ද සහිත කම්ම‍ලේ යකඩ කම්බි රත්කර තලා ඉස්කුරුප්පු නියන් හදනාකාරය මට පෙනෙයි.

වසරක පරතරයක සිටියත්, ළමා කල ගෙවා තුරුණු විය වැළඳගන්නා උසස්පෙල සමයේ දී අප දෙන්නාම උගත්තේ එක පන්තියේ ය. බයිසිකලයේ ර‍ෝද වලට පෑගෙන වැලිකැට සිරි සිරි ගානා හඬත්, බයිසිකලය පදින අයියාග‍ේ හුස්ම වැටෙන හඬත් මට ඇසෙයි. යම් පමණක දුරස් වීමක් තිබුණ ද, එකම පන්තියේ එකම යාළුවන් සමග උගත් ඒ වසර දෙක එක්තරා අයුරකින්, අප දෙන්නා සමීපවම සිටි කාලයය කියාත් මට සිතෙයි.

කිසිම දවසක හරි විස්තරය හරියාකාර කියන්නට නොහැකි වූ, අයියා අයියාගේ පෙම්වතිය සමග හවස්යාමේ ඇගේ නෑ ගෙදරක හමුවන බව තාත්තාට ආරංචි වූ දා වූ සිද්ධිය කියන්නට ඕනෑයි සිතා සාලයට ගියත්, දැන් ඒ කතාබහට පරක්කු වැඩි බව මට හැඟ‍ේ. කෝපයෙන් ගෙදර ආ තාත්තා, අම්මාට බණින්නට පටන් ගත් සැටිත්, අම්මා මට කතා කර ගිහින් බලන්නැයි කිවූ සැටිත්, එදා නෑ ගෙදර මිදුලේ දී, තාත්තා පාරේ ඉන්නවායි කියා කැන්දාගෙන ආවත්, අම්මාටත් තාත්තාටත් කිව්වේ අයියාව පාරේදී හමුවුනාය කියා බවත් කියන්නට ආයේත් ඉතින් වෙලාවක් එන්නේ නැති බව මට මතක් වෙයි.

අපේ ජීවිත වල අප මුහුණ දෙන්නාවූ බොහ‍ෝ ප්‍රශ්න ගැටළු එකට එකතු කර වර්ග කලහොත් ඉතාමත් සරලව විග්‍රහ කල හැකි ගොඩවල් කීපයකට ගොඩ ගසන්නට පුළුවන් වේ යැයි මට සිතේ. ඒවාට සරිලන සාධාරණ හා තර්කානුකූල විසඳුම් ද එවැනිම සරල ගොඩවල් කිහිපයක එකතු කරන්නට පුළුවන් විය යුතුයැයි හඟිමි. ඒ එසේ වූවත්, කිසිම දෙදෙනෙක්, ඒ ‍එක් එක් ගොඩට එකම නමක් නොදෙනු ඇත. එකම විග්‍රහය හෝ එකම විසඳුම නොතෝරනු ඇත. බලාපොරොත්තු හා අප‍ේක්ෂාවන් අවසානයේ එකම ලක්ෂ්‍යයක් වෙත යොමු වූව ද, එතැනට යන්නට අපේ අපේම වූ ස්වාධීන මාර්ග හොයන්නේත්, ඒ නිසාම, තරඟයක් ඇතිකරගෙන රේස් දුවන්නට අප පෙළැඹෙන්නේත්, මේ නොදැක්ම නිසාමයැයි මට සිතෙයි.

යාන්තම් උදා ඉර මෝදු වී එද්දී, අවදිවූ පොඩි නංගී, මා වෙත එයි. එක්තරා අයුරකින්, අප දෙදෙනා තනිවී ඇතැයි හැඟුනත්, මගේ සිතට තනිකමක්වත් පාළුවක් වත් නොදැනෙයි. ඇයටත් එසේම යැයි මට ‍සිතේ.

ලොකු අකුරු

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල