අතීතකාමය, කාලීන සංවාද

මනෝ: රංගන විෂය අලුතෙන් ලියූ ‘ගැමි දරුවා’

Off

පේරාදෙණිය සමකාලීන විද්‍යාර්ථීන් අතරින් පැන නැඟුණු ‘ගැමි දරුවෝ” නම් සංවිධානයක මනෝද උද්යෝගිමත් සාමාජිකයෙකු විය. මනෝ වැනි පිටිසරින් පැමිණි දරුවෝ මේ සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් වූහ. ඒ ‘ගැමිකම’ ඒ විශේෂ කුලකයේ අනන්‍යතාව විය.

සමකාලීන නාට්‍යකරුවන් අතරින් පැනනැඟුණු ’80 කණ්ඩායම’ නම් සංවිධානයේ ද මනෝ උද්‍යෝගිමත් සාමාජිකයෙකු විය. 80 දශකයේ නාට්‍ය පුනරුදයේ ලොකු භූමිකාවක් 80 කණ්ඩායම ඉටු කළේය. උද්‍යා්ගයකිනුත් නව දැක්මකිනුත් යුත් මෙම සංවිධානයේ සාමාජිකයන් මිස නායකයන් නොසිටියේය.80 කණ්ඩායම මගින් නිෂ්පාදිත නාට්‍යයක් වේදිකාතරණයට පෙර මෙහි සාමාජිකයන්ගේ විචාරයට භාජනය වී සංස්කරණය වීම සුලබ සිදුවීමකි.බොහෝවිට නාට්‍යයේ නම පවා සංස්කරණයට භාජනය විය. ‘සොල්දර ගෙදර’ සිහින සාප්පුව වන්නේත්, පියා සහ පුතා ‘පුත්‍ර සමාගම’ වන්නේත් ඒ සාමුහික වෑයමේ ප්‍රථිපල ලෙසිනි. මේ සාමූහික ශික්ෂණයක් යටතේ නිෂ්පාදනය වූ 80 කණ්ඩායමේ නාට්‍ය බොහොමයක් ප්‍රේක්ෂක -විචාරක ප්‍රතිචාර සමෝසේ ලැබූ අද දක්වාමත් යළි යළි නිශ්පාදනය වන නාට්‍යයන් බවට පත්ව තිබේ.

මනෝ යනු ස්වකීය අනූපම ප්‍රතිභාවෙන්ද විවිධාකාර ශාස්ත්‍රීය කුලකයන්ගේ ඇසුරෙන්ද සුවිශේෂී ශාස්ත්‍රවන්තයන්ගේ ඇසුරින්ද සමෝසේ පෝෂණය ලැබූ අප්‍රමාන කලාකරුවෙකි. අනේකාකාර විලෝපයන්ගෙන් අද මෙන් විනාශ නොවූ එහෙයින් ‘ගැමිකම’ ලෙස යමක් මනාව හඳුනාගත හැකි සමයක නුවරඑළියේ හඟුරන්කෙත ,දෙහිපේ පසුගිය සියවසේ මැද භාගයේ උපත ලද මනෝ ඒ මන්දාරම්පුර කඳුකරයෙන් බැස පේරාදෙණිය, කොළඹ මෙට්රොපොලිටනය හා අනතුරුව ලෝකය පුරා ඇවිද යමින් උකහා ගත් දැනුම සම්භාරය දැනුවත්ව සිය රංගනය උදෙසාත් සිය අනෙකුත් නිර්මාණ උදෙසාත් යොදා ගත්තේය. මනෝ සිය දීර්ඝ තීර්ථ යාත්‍රාවේ දී උකහාගත් හා ලැදිව හැදෑරූ සියල්ල ශාස්ත්‍රීය ලෙස ගොනුකොට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තේය.

මන්දාරම්පුර ප්‍රත්‍යන්ත ගම්මානයකින් බැස ආ කුලෑටි යෞවනයා සිය දිවිසැරිය නිමකරන විට උකහා වර්ධනය කරගත් දැනුම ද, අප්‍රමාණ ප්‍රතිභාව ද සහිත අසමසම රංගධරයෙකු ද තත් විෂයයෙහිලා අසමසම ශාස්ත්‍රවන්තයෙකු ද විය.
80 දශකයේ අග භාගයේ ආරම්භ වූ ලාංකීය සමාජයේ දේශපාලන සංස්කෘතික සමාජ හා දේශපාලනික බිඳ වැටීමේ අනියත ප්‍රථිපලයක් ලෙස දිවයින පුරා රඟහල් බොහෝ ගණනක් වැසී ගියේය. වේදිකාවන්හි දුඹුටු හා මකුළුදැල් බැඳිනි. එහෙත් මනෝ එයින් උකටලී නොවී වසරකට හෝ දෙකකට වරක් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එසේ නැත්නම් නාට්‍යයේ තරම මිස නාට්‍යකරුවාගේ තරම නොබලා අනෙකෙකුගේ නාට්‍යයකට රංගනයෙන් දායක වෙමින් රටපුරා ගියේය.

මනෝගේ රංගනය ඔස්සේ ප්‍රහර්ශයට පත් නොවුනු සිංහලයෙකු ඇත්නම් ඒ අතළොස්සකි. මනෝගේ සමුගැන්මෙන් හිස්වන වේදිකාව තුළ පවා අනාගතයේ දී මනෝ පතුරුවාලූ සුවඳ විහිදෙනු ඇත.

දශක තුනහමාරක් පමණ තිස්සේ මනෝගේ විචිත්‍ර මිත්‍රත්වයේ ගුණ සුවඳ විඳි අපට ඔහුගේ කායික හැර යාම අපගේ වැඩිහිටි ජීවිත කාංසාවෙන් බර කරන බව නම් ස්ථිරය.

චන්ද්‍රරත්න බණ්ඩාර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල