කාලීන සංවාද

“මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?” – ජයලත් මනෝරත්න

0

කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්.

තැන තැන සිසු සටන්, ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර කර ගනිමින් බස් වලට නැග ජනතාව දැනුවත් කිරීම්, මාධ්‍ය ආයතනවලට ගොස් සංවාද කිරීම්, දෙමාපිය සම්මන්ත්‍රන, මහා පරිමානයේ සිසු උද්ඝෝශණ, පුවත්පත් මුද්‍රන‍ය කිරීම් සහ වෙනත් විශ්ව විද්‍යාල වලට ගොස් ඒවායේ මේ වෙනුවෙන්ම නිර්මාණය වූ බිත්ති පුවත්පත් නිර්මාණය කිරීම් ආදී මෙකී නොකී සියලු ආකාරයේ ශිෂ්‍ය මැදිහත්වලට අපිටත් (අතින් පයින් සටන් හැර) සහභාගි වෙන්න හෝ විටෙක නායකත්වය දෙන්න වුනා.
නමුත් අද මම ලියන්න යන්නෙ ඒ අරගල ගැන නොවේ..

ජයලත් මනෝරත්න කලාකරුවා ගැන.. හේතුව, එතුමන් සමඟ මුලින්ම මුහුනට මුහුන මට කතා කරන්න ලැබුනේ ඉහත මා සඳහන් කල ගැටුම් වාතාවරනය තුල..

ඒක වුනේ මෙහෙමයි..

දවසක් ඉන්ජිනේරු සිසුන් සියල්ලම මහා රෑක පිලියන්දල නගරයට රොක් වුනා.. ඒකට මූලික වුන නිධාන කතාව නම් මතක නෑ.. සමහර විට ශිෂ්‍ය උපවාසය තහනම් කොට සියලුම් සිසුන්ට විශ්ව වද්‍යාල භූමියෙන් ඉවත් වෙන්නට නියෝග ලැබුනා විය හැකියි.. කොහොම හරි මහ රෑ 12ත් පහුවෙලා පාලු පිලියන්දල නගරෙ, එක් වරම ඉංජිනේරු සිසුන්ගෙන් පිරී ගියා.
තැන තැන ඔවුන් කතා කරමින් ඉන්න අතරෙ මෝටර් රථ‍යක් එක්වරම නගරය මැද්දෙ නැවත්වුනා..

ඉන් බැස ආවෙ ජයලත් මනෝරත්න සහ සරත් චන්ද්‍රසිරි කලාකරුවන්..

ඔවුන් එදා රෑ ගුරු තරුව වේදිකා ගත කිරීමකින් අනතුරුව, ගෙදර බලා යන මොහොතේ “මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?” කියලා බලන්න තමා වාහනයෙන් බැස්සෙ..

අපේ සුව දුක් විමසීමෙන් පසුව, ඔහු එදා නැවත වාහනයට නගින්නට කලින් තමන්ගේ නාට්‍යය ගැනත් කියා යන්න අමතක කරේ නැහැ.. මට වචන ඒ විදියටම මතක නැතත්, ඔහුගේ මුහුනේ තිබුන සතුට තාම මැවිලා පේනවා වගේ.

ඒක නිර්මාණකරුවෙක්ට හිමි , කිසි කෙනෙකුට සොරා ගත නොහැකි, මහා විසල් නිධානයක් කියලා මට දැන් හිතෙනවා.
ගුරු තරුවෙන් කියවෙන දේ ගැන මහා හෑල්ලක් කියන්න වෙලාව තිබ්බත්, එතුමා ඒ වෙලාවෙ ඒ දේ නොකර එතන ඉන්න ‘දරුවන්ගේ’ සුව දුක් විමසලා, බොහොම නිහතමානීව, අපේම තාත්තා කෙනෙක් වගේ කරුණාබර වදනෙන් සංග්‍රහ කරන්න තරම් සංවේදී වුනා.

ඊට දශකයකටත් පස්සෙ, එතුමන් මෙල්බර්න් නගරයෙදි දැක්කත්, එතුමන්ගෙ පුතා (භානුක) මගේ පුද්ගලික මිතුරෙක් වුනාට පසුවවත්, මනෝරත්නයන් සමඟ කෙලින්ම කතා කරලම නැහැ..

ඒ නිසා එදා පිලියන්දලදි ඒ කතා කරේ පලමු සහ අවසාන අවස්ථාවට..

කතා නොකරට ඒ දැවැන්ත කලාකරුවාණන් දායකත්වය දුන් කලා නිර්මාණ රස වින්ඳා.. පැටිවියේ වගේම, මැදි වයස කරා යන මේ මොහොතෙත් ඒ ලබා දුන් ආනන්දය සිතේ රටා ඇන්දා..

මනෝගේ වියෝවෙන් රටක් කම්පිතව ඇති මේ මොහොතේ මේ ගැන ඊට වඩා අකුරු කරන්නට නොදනිමි.. එදා පිලියන්දල දී දුටු අව්‍යාජ සිනාවේ මතකය ඔහුව සැමදා මාගේ සන්තානයේ ජීවමාන කරන බව පමණක් දනිමි..

මූනු පොතේ දුටු ශෝක ප්‍රකාශ, කවි සහ ඇගයීම් දහසක් මැද්දේ මා සිත් ගත් මනරම් කෙටි සටහනක් සමඟින් මෙය අවසන් කරමි.
(නිර්මාණ අයිතිය, මා නොහඳුනන, සුජිත් රත්නායක සොයුරාගේය)

“චිත්‍රපටයක්නම් ඕනෑ ම වෙලාවක බලා ගන්න පුලුවන්. කුමන වෙලාවෙ කුමන තාක්ෂණයෙන් බැලුවත් චිත්‍රපටය චිත්‍රපටයම තමයි. වේදිකා නාට්‍යය එහෙම නෙමෙයි. එකම නළුවකු එක භූමිකාවකට රග පාන වේදිකා නාට්‍යයක් උවත් දවසින් දවස වෙනස්. ‘‘එක ම ගගකට මිනිහෙකුට දෙවරක් බැසිය නොහැක‘‘ කියලා බුදුන් සහ හෙරක්ලීටස් කියන්නේ මේ නිසා වෙන්න ඇති. ජයලත් මනෝරත්න නලුවෙක් විතරක් නෙමෙයි. තමන් ම ලියා ගත්ත නාට්‍ය පිටපතක තමන් නලුවෙක් හැටියට අවබෝධයෙන් සුදුසු තැන ස්ථානගත කර ගත්ත උචිතානුචිතභාවය ගැන තක්සේරුවක් තිබුණ දුර්ලබ ගණයේ නාට්‍ය නිෂ්පාදකයෙක්. අධ්‍යක්ෂවරයෙක්. ‘‘ජයලත් මනෝරත්න යනු ශ්‍රී ලංකාවේ ම සොයා ගැනීමක්‘‘ කියලයි මම හිතන්නෙ. ඔහු ජීවමානව රග පෑ සියලු නාට්‍ය රසිකයකු හැටියට බැලීමට හැකි වීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්. මම වාසනාව විශ්වාස කරන්නෙ නෑ ඒත් ජයලත් මනෝරත්නගෙ නාට්‍යය බලන්න ලැබීම වාසනාවක් ය කියලා හිතෙන තරමට ඔහුගෙ මරණය මාව ෂොක් කරා. අපි හැමෝ ම මැරෙනවා තමයි. ඒත් මනෝරත්න ඔබට එහෙම යන්න පුළුවන්ද ? “

සිතුවිලි රුදාව

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල