සාහිත්‍ය කළා විචාර

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා

Off

අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා චන්දන ගුණසේකරගේ පළමු පරිවර්තනයයි. චන්දන ගුණසේකර අප දන්නේ සඳුන් සෙවන බ්ලොගයේ රචකයා ලෙසටය. ඔහු සාහිත්‍ය සිනමා ටෙලිනාට්‍ය ආදී කලා තොරතුරු සිය බ්ලොගයේ රසවත් කතා ලෙස ලීවේය. වියෝවූ සෑම කලාකරුවෙක් වෙනුවෙන්ම සිය බ්ලොගයේ ආදරණීය සටහනක් තබන්නට ඔහු නොමසුරු විය. හැත්තෑව දසකයේ තිරයට ආ චිත්‍රපට නාට්‍ය සහ පළවූ පොත් ඔහු බෙහෙවින් ප්‍රියකලා මෙන්ම ඒවායේ විස්තරද මුල සිට අගටම දැන සිටියා පමණක් නොව ඒවා රසවත්ව අකුරු කළේය.

පරිපුර්ණ මිනිසෙක් වීම සඳහා චන්දනට අඩුවකට තිබුණේ පොතක් පළ නොකිරීම පමණය, දැන් එයද ඉටුවී ඇත. හදිසියේම චන්දනව මුණ ගැසෙන තුරු ඔහුත් මමත් බ්ලොග් වලින් පමණක් දන්නා පුද්ගලයා නොදන්නා චරිත වීමු. ඔහු මට මුණගැසුනේද අහම්බෙන් අපූරු ආකාරයකටය. කලකට පසු කොළඹ ගිය වෙලේ මිළදී ගන්නෙමි යි සටහන් කරගෙන තිබු පොත් අතර චන්දනගේ අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා පොතද විය. පොත්හල් කීපයකම කරක් ගසා මම අවසානයට ගොඩවුනේ සුරිය පොත්හලටය. එහි චන්දන සිටියේය. එහෙත් චන්දන නොහඳුනන මට ඔහුව හඳුන්වා දුන්නේ ලේඛක චුලාභය ශාන්ත කුමාර හේරත් සහෘදයාය. එදා චුලාභයලා සුරිය පොත්හලට පැමිණ තිබුණේ ද චන්දන මුණගැසෙන්නටමය. අන්තිමේදී මා ගන්නට ගිය පොත කතුවරයාගේ අත්සනත් සහිතව ලබා ගන්නට මට හැකි විණි.

අවුෂ්විට්ස් හි පච්චකොටන්නා යනු Heather Morris රචිකාවියගේ The Tattooist of Auschwitz පොතේ සිංහල පරිවර්තනයයි. සර්බියානු යුදෙව්වෙකු වූ ලලී එහි කතා නායකයා වන අතර ඔහුගේ පෙම්වතිය ගීටාය. අතිශය භයංකර වද කඳවුරක මරණය පෙනි පෙනී ගලායන ඔවුන්ගේ ආදර කතාව පොතෙන් විස්තර කෙරේ. කෙසේ වුවද ලලී පුදුමාකාර වාසනාවන්තයෙක් බව මට සිතුණේ අප අසා දැක ඇති අන්දමට මරණය සැම තැනම පැල් බැඳගෙන ඇති මළ පුඩුවක් වූ අවුෂ්විට්ස් කඳවුරේ දී ලලීට කෑම බීම මුදල් හදල් පමණක් නොව ලිංගික සැපතද එමතු නොව මරණය පෙනි පෙනී ජීවිතයද හිමිවූ බැවිනි.

මෙය චන්දනගේ පළමු පරිවර්තනය වුවද එහි කිසිසේත්ම ආධුනික බවක් පෙනෙන්නට නොමැති බව කියන්නට මම කිසිසේත්ම නොපැකිළෙමි. ඉතා සුමටව ගලා යන කතාව කියවන්නාට කිසිසේත් ඉහිලක් නොදී අවසානය දක්වාම එක හුස්මට කියවන්නට පොළඹවයි. ඊලඟ ලංකා සංචාරය වනවිට තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් එළිදක්වන්නට චන්දනට හැකිවේවා යනු මගේ ප්‍රාර්ථනයයි.

දැන් අපි චන්දනගේ පරිවර්තන කෘතියේ කුඩා කොටසක් රස විඳිමු.

“ගීටාගෙන් සමුගත් පසු ලලී ලියොන් හා කට්ටි අංක හතේ තවත් කිහිප දෙනෙකු හමු වුයේය. එය ගිම්හානයේ ඉතා විසිතුරු දිනයක් වූ අතර හැකි වෙලාවේ වලාකුළු රහිත නිල්වන් අහසේ තේජාන්විතව දිලුණු හිරුගේ රැස් කිරණ විඳීමත් තම මිතුරන් හමුවී සතුටු වීමත් ලලීගේ අභිප්‍රාය විය. ඔවුහු එක කට්ටියක බිත්තියට පිටුපා වාඩිවී සිටියහ. ඔවුන්ගේ සතුටු සාමීචිය ඉතා සරල විය. සයිරන් නලා හඬ ඇසුණු විට, මිතුරන්ගෙන් සමුගත් ලලී, තම කට්ටිය බලා පා එසවීය. ඔහු ගොඩනැගිල්ලට ළඟාවන විට යම්කිසි අකරතැබ්බයක් සිදුවී ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනිණ. රෝමනියානු දරුවන් වටවී බලා සිටියා මිස වෙනදා මෙන් ඔහු හමුවට දිව ආවේ නැත. ඒ වෙනුවට ඔහු ලඟින් යත්ම ඔවුහු ඔහුගෙන් ඈත් වුහ. ඔහු ඔවුන්ට ආචාර කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ. ඔහු සිය කුටියේ දොර විවර කළ සැණෙකින්ම මේ වෙනසට හේතුව අවබෝධ විය. ඔහුගේ සයනය පුරා, මෙට්ටය යට සඟවා තිබූ මුදල්,මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට අතුරා තිබිණ. එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහු බලාපොරොත්තුවෙන් එහි වුහ.

“මේ ගැන මොකද කියන්න තියෙන්නෙ පච්චේ?”

ලලී නිරුත්තර විය.

ලලීගේ අතවූ ඔලොගුව ඔහුගෙන් උදුරාගත් එක් නිලධාරියෙක් එහිවූ ආයුධ හා තීන්ත බෝතල බිමට දමා එය හිස් කළේය. ඉන්පසු සොයාගත් වස්තු සම්භාරය එයට පිරවුහ. ලලී දෙසට රිවෝල්වර අමෝරාගත් ඔවුහු ඔහු දක්කාගෙන යෑමට සැරසුණහ. ළමයින් දෙපස සිට බලා සිටිද්දී, ලලී මුර භටයන් සමග අහිකුන්ඨික කඳවුරෙන් පිටතට පා එසවුයේය.ඒ ඔහු විශ්වාස කළ ආකාරයට අවසන් වරටය.

ලලී හවුස්ටෙක් ඉදිරියේ සිටගෙන සිටි අතර ඔහුගේ ඕලගුවේ තිබු දෑ මේසය මත අතුරා තිබිණ.

හවුස්ටෙක් එහිවූ වටිනා ගල් කැට හා ස්වර්ණාභරණ එකින් එක අතට ගෙන ඒවා හොඳින් පරීක්ෂා කළේය.

“උඹට මේව කොහෙන්ද ලැබුණේ?”

ඔහු බිමට හරවාගත් මුහුණින් යුතුවම ලලීගෙන් විචාළේය.

“මට මේවා දුන්නෙ හිරකාරයො.”

“කොයි හිරකාරයෝද?”

“මම එයාලගෙ නම් දන්නෙ නෑ.”

හවුස්ටෙක් හිස ඔසවා ලලී දෙස තියුණු බැල්මක් හෙළීය.

“මේවා උඹට දුන්නෙ කවුද කියල උඹ දන්නෙ නෑ?”

“නෑ මම දන්නෙ නෑ.”

“ඔව් සර්,එයාලයි මේවා මට ගෙනත් දුන්නෙ. නමුත් මම එයාලගෙ නම් අහන්න ගියේ නෑ.”

කෝපයෙන් රතුවූ හවුස්ටෙක් සිය අත මිට මොළවා මේසය මතට වරෙන් වැරෙන් පහරක් ගැසුවේය. මේසය මතවු මැණික් එකට ගැටී ඉන් අමිහිරි හඬක් නැගිණ.

“උඹ කියන බේගල්වලින් මගෙ යකා ඇවිස්සෙනවා පච්චේ. උඹේ රස්සාවට නම් උඹ හොඳයි තමයි. ඒත් මට දැන් සිද්ධ වෙනවා ඒ වැඩේට වෙන කෙනෙක් හොයා ගන්න.” ඔහු පරිවාරක නිලධාරීන් දෙසට හැරුනේය.

“අරගෙන යනව මේකව එකොළහේ කට්ටියට. එහෙදි මෙයාට දන්නෙ නැති අයගෙ නම් ටික ඉක්මණින්ම මතක් වෙයි.”

පිටතට රැගෙන යනු ලැබූ ඔහු ට්‍රක් රථයකට නංවනු ලැබිණ. ඔහුගේ පපුවට එල්ල කෙරුණු රිවෝල්වර දරා සිටි එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහුගේ දෙපසින් හිඳ ගත්හ. කිලෝමීටර් හතරක් වූ දුර ප්‍රමාණය ගණන් ගනිද්දී ලලී, ගීටාගෙන් සහ දෙදෙනා දිනෙක එක්ව වාසය කරන්නට මැවූ අනාගත සිහිනයෙන් නිශ්ශබ්දවම සමු ගත්තේය. දෑස වසාගත් ඔහු, සිය පවුලේ සාමාජිකයින් සැමගේම නාමයන් එකින් එක සිතින් මෙනෙහි කළේය. ඔහුගේ සොයුරු සොයුරියන්ගේ ඡායා මාත්‍රයන් වෙනදා මෙන් පැහැදිලිව ඔහුට සිතේ මවා ගැනීමට අපහසු විය. ඔහුගේ මෑණියන්ගේ රුව ඉතාමත්ම පැහැදිලිව ඔහුට පෙනින. එහෙත් ඔබ ඔබගේ මවගෙන් සමුගන්නේ කෙලෙසද? තමන්ව මෙලොවට බිහි කළ, හොඳින් ජීවත්වන්නේ කෙලෙසදැයි තමන්ට ඉගැන්වූ මෑණියන්ගෙන්? ඇයගෙන් නම් සමුගත නොහැකි බව ඔහුට හැඟීණ. ඔහුගේ පියාගේ ඡායා මාත්‍රය ඔහු ඉදිරියේ දිස්වත්ම,හදිසියේ හුස්ම හිරවෙන්නට යන්නාක් මෙන් මුව විවරකොට දැඩි ලෙස හුස්මක් ඉහළට ඇද්දේ එක් නිලධාරියෙකුගේ පිස්තෝලය ඉතා දැඩි ලෙස ඔහුගේ ඉල ඇට මත තෙරපෙන්නට ඉඩ සලසමිනි.”

(පිටු 193-195, අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා, පරිවර්තනය:චන්දන ගුණසේකර, ප්‍රකාශනය: අපූරු පොත්, 2019)

සිත්ගත් සාහිත්‍ය කලා කෘති

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල