අධ්‍යාපනික

අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම්

0

අර්තාපල් කියන්නේ ලන්දේසි නමක්. ලංකාවට තාමත් වැඩිපුර බීජ අල ගේන්නේ ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තෙන් නැත්නම් ඕලන්දෙන්. තාමත් අපේ යාලුවෝ කීප දෙනෙක්ගේ ජීවිත ඉතිරි වෙලා තියෙන්නේ අර්තාපල් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අර්තාපල් හෙවත් අල අපේ ජීවිතවලට සම්බන්ධ වුනු හැටි මට ආපහු චිත්ත රූප එක්කම මතක් වුනේ පහුගිය සතියේ කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණායතය අයිනෙන් වැටිලා තියෙන පාරේ දියතලාව, බණ්ඩාරවෙල හා වැලිමඩ හරහා, සීතා එලියටත් එතැනින් නුවර එලියටත් ගිය ගමන නිසා.

අඟල්, අඩි, රාත්තල්, හොන්ඩර යුගයේ ඉඳන් අපි මෙට්‍රික් යුගයට පිවිසුනේ 1980දි විතර. එත් තාම අල ගොවීන් අතර අර්තාපල් ගැන කිරුම් මිනුම් සිද්ද වෙන්නේ හොන්ඩරවලින්. අල හොන්ඩර කීයක් හැදුවද? බිජ අල හොන්ඩරයක් ගත්තාද, අල හොන්රඩයක් හදලා දහයක් ගන්න පුළුවන්. එකට දහයයි” ආදී වශයෙනි. ඒ කාලේ අල ප්‍රවාහණය කලේ ලී පෙට්ටිවල. අල හොන්ඩරයක් හෙවත් කිලෝ පණහක් දාන්න පුළුවන් පෙට්ටිවල තමයි රට ඉඳන් බීජ අල ආවේ.

කාඩිනල්, ඩිසයිරී, ගිනිකේ, ආකා, බාරකා කියන්නේ අල භාෂාවේ වචන. ඇන්ට්‍රකොල්, රෙඩොමිල්, ටමොරෝන් කියන්නේ තවත් වචන පේලියක්. මේ මොනවද ? මුලින් කිව්වේ ඉස්සර 1990ට කලින් අපි වගා කරපු අර්තාපල් වර්ග කීපයක්. කාඩිනල් හා ගිනිකේ කිව්වේ මුල් කාලේ වවපු පොත්ත රතු අල වර්ග දෙකක්. ඒත් පස්සේ ඩිසයිරී රතු අල වර්ගේ තමයි ජනප්‍රියම වුනේ. ආකා හා බරාකා නමින් තිබ්බ පොත්ත සුදු අල වර්ග දෙක පහු පහු වෙනකොට කවුරුත් වවන එක අත ඇරියා. ඒවාට ලෙඩ වැඩියි.

එතකොට ඇන්ට්‍රකෝල්, රෙදොමිල් යනාදිය අර්තාපල් වගාවට ඉහින දිලීර නාශක දෙකක්. ටමරෝන් කොළ පණුවෝ කනවට එකතු කරපු සැර වැඩි කෘමිනාශකයක් . මේ මොන ජාති තිබ්බත් අල ගස් හිටු මැරෙන එක හෙවත් අංගමාර රෝගේටනම් බෙහෙත් තිබ්බේ නෑ. කරන්නේ හිටු මැරිච්ච අල ගස් ගලවලා වගා බිමෙන් ඈතට වීසි කරන එක. දවස්පතා මේ වගේ ගස් දහයක් පහළවක් ගලවලා විසි කරනවා. ඒ වුනත් මේ නොමේරු අර්තාපල් ගස්වල මුලින් මතුවෙලා ආපු ටීක් බෝල වගේ අල ගෙඩි පොකුර වෙනම එකතු කර ගන්නවා. දැන් සුපිරි කඩවල තියෙන බේබි පොටෙටෝම තමයි ඒ. අම්මා මේවා ගෙඩිය පිටින් තම්බනවා. පොත්ත අයින් කරලා බදිනවා. නැත්නම් හොදි හදනවා. ඒත් මේ විදිහට ගලවන හිටු මැරුණු අල කොට්ට උර බාගයක් විතර සතියකට ඉතිරි වෙනවා. වට්ටක්කා වෙළඳාම නිසා හොඳ අත්දැකීම් තිබ්බ මම මේ අල ටික උරේකට දාගෙන දියතලාවේ දිසානායක කඩේට ගෙනියනවා. ආපහු එනකොට අනිවාර්යයෙන්ම ගන්න දෙයක් තමයි සතොසෙන් පැතලි මාළු ටින් එකයි, පෙරේරාගේ කඩෙන් පත්තරයයි.

අපි බඩු ගත්තු සතොස ගැන ආයෙමත් කතාවක් කියන්න තියෙනවා. දියතලාවේ තිබ්බ සනානි මන්දිරය තෙමහල් ගොඩනැගිල්ලක්. පාර මට්ටමෙන් පහළ තිබ්බ තට්ටුවේ තමයි සතොස තිබ්බේ . පළමු මහල සෙත්සිරිය, සමුපකාරය හා සනානි පොත් හල තිබ්බා. දෙවැනි මහලේ බැංකුවක් හා තව කාර්යාල කීපයක් තිබ්බා. මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලලගේ පවුලට මේ මන්දිරය අයත්ව තිබූ බව අහල තියෙනවා.

අල වගාවේ එදා ඉඳන් අද වෙනකම් තිබ්බ ප්‍රශ්නයක් තමයි බීජ අල නැති කම. මේ පාර අල වවන්නේ නැද්ද කියල අහපුවාම අපේ මස්සිනා කිව්වේ දැන් අල හොන්ඩරයක් හදන්න රුපියල් පනස්දාහක් විතර යනවා කියල. රටින් ගේන බීජ අල හොන්රඩයක් රුපියල් දාහත්දහයිලු. මේ රටේම සීතා එලිය ගොවිපොළේ හදන අල හොන්රඩයක් රුපියල් එකොලොස් දහයි. ඒ වුනත් අපේ බීජ අලවලින් පලදාවක් නෑ ලෙඩ වැඩියි කියලයි මට අහන්න ලැබුනේ. බිජ අල කර්මාන්තෙ එක්තරා මාපියාවක් කියල සමහරු කියන්නේ . ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වෙනකොට අල වගා කරන්න කම්කරුවෝ නෑ. ඉස්සර වගේ පවුලේ සමජිකයෝ කුඹුරට බහින්නේ නෑ.

අර්තාපල් වගාව කියන්නේ හරියට ක්‍රමවත්ව කරනවානම් ලංකාවේ ගොවි ආර්ථිකය විතරක් නෙවෙයි රටේ ආර්ථිකයත් උස්සන්න පුළුවන් වගාවක්. ආචාර්ය යෝගරත්නම්ලා වගේ මිනිස්සු ඒ කාලේ වෙහෙසුනේ අපේ රටේම බීජ අල හදල අල හොන්ඩරයක් වවන්න යන වියදම අඩු කරවන්න. තාමත් වැඩේ කෙරිලා නෑ. වෙන රටවලනම් කෘෂිකර්ම අමාත්‍යාංශයක් එහෙම තියෙනවා .

අපි අල වගා කරේ 1980 දශකයේ. සතොසෙන් හරි සමුපකාරෙන් හරි තමයි බීජ අල ගත්තේ. තාත්තගේ ප්‍රියතම වර්ගය ඕලන්දෙන් ගේන ඩිසයිරී කියන රතු අල වර්ගය . ඒකෙන් පෙට්ටි දෙකක් ගන්න තාත්තා ගෙදර වත්තේ ඉස්සෙල්ලලම ඒ ටික වවනවා. පලදාව ලෙස එතරම් විශාලෙට නොවැඩුණු අල ගෙඩි හොන්ඩර හත අටක් ලැබෙනවා මාස දෙක හමාරකින්. මේ මාස දෙක හමාර ඉවර වෙනකම් පුදුම දුකක් විඳින්න ඕනි. ඌරන්ගෙන් හා හොරුන්ගෙන් අල ටික බේරා ගන්න. නිතිපතා පොහොර වතුර දාන්න. ගෙදර වත්තෙන් නෙලා ගත් අස්වැන්න තමයි බීජ අල. මේ අල පෙට්ටි හත අට මාස හයක් විතර ගියාම ඊළඟ කන්නේ කුඹුරේ හදනවා. පස්සේ කාලෙක බීජ අල ලොකු ගෙඩි දෙකට කපලා, කැපුම වැහෙන්න දිලීර නාශකයක් ගාන්න උපදෙස් ලැබුනා. මේ විදිහට වැඩි ඉඩ ප්‍රමානෙක වවන්න අල ලැබුණා. හැබැයි කුඹුරෙන් ගත්ත අල කවදාවත් බීජ අල විදිහට තියන්න බෑ. ඒවා මාසයක් දෙකක් තිබ්බම නරක් වෙනවා. බීජ අල වවන චක්‍රය එතැනින් නවතිනවා. ආයිමත් රට බීජ තමයි.

කුඹුරේ අල හදන්න, වතුර දාන්න, බෙහෙත් ගහන්න හා පැල් රකින්න අපේ නව යව්වන කාලයෙන් සෑහෙන වැයවුනා. කුඹුරේ පැලේ ඉන්න ආශා හිතෙන තව සිද්දියක් තමයි තිස්සෙම ලිපේ අල තැම්බෙන මුට්ටියක් තිබීම. සමහර දවසට අල්ලපු කුඹුරේ ලියදි අයින දිගේ හිටවලා තිබ්බ ඉරිඟු කරලුත් මේ මුට්ටියේ තැම්බුනා. වැඩිපුරම පැල් රැක්කේ අයියයි අයියගේ යාළුවොයි. දවසක් අල රකින්න රෑ පැලට ගියේ අයියයි මායි. රෑ මැදියමේ කුඹුරේ පහළ මායිමෙන් කාගේදෝ බර අඩි සද්දයක් ඇහිලා මම අයියව ඇහැරෙව්වා. “අන්න සද්දයක් ඇහෙනවා” මම කීවා .
“අර ටෝච් එක අරන් පොඩ්ඩක් බලන්න”. කියපු අයියා අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා. මරු පොර අල රකින්න. ඒ දවස්වල අයියා උසස් පෙලට පාඩම් කරනවා.

තව වතාවක් අපේ අල රකින්න ආවේ සෙනෙවි. එතකොට අයියා කැම්පස් ගිහින්. සෙනෙවියි මායි මාස දෙකක් පැල් රැක්කා. අන්තිමට අල ගලවලා විකුණන්න හිතන් හිටි දවසට කලින්දා අපි පැලට ගියේ රාත්‍රී නවයට විතර. ඒ යද්දී අපිට අල ගස් පෙරලලා තියෙන වග පෙනුනා. තව ටිකක්‌ විපරම් කරද්දී අල වගාවේ හොඳම හරියට හොරු වැඩේ දීලා. ඒ විදිහට අපේ ගේ ළඟ වත්තෙයි කුඹුරෙයි හදාපු අල තුන් පාරක් හොරු ගැලෙව්වා. තුන් හතර පාරක්ම ඌරෝ විනාශ කළා. අපි සැලුනේ නෑ. එක වතාවක් අපි ගමෙන්ම වැඩිපුර අල වවපු පවුල වුනා. අල හොන්ඩර දහයක් හිටෙව්වා. එකට දහයක් වෙච්ච අස්වැන්නක් ඒ කියන්නේ හොන්ඩර සීයකට වැඩිය ගැලෙව්වා. බණ්ඩාරවෙල හිටි පුංචිරාළ මුදලාලි ලොරි දෙකක් අරගෙන අපේ ගමට ඇවිත් අල පටවාගෙන ගියා. ඒ සැරේ සල්ලිවලින් අපි ගමට හැතැප්ම තුන හතරක් ඈත ලස්සන සානුවක තිබ්බ කන්දේ ආරාව කියන කුඹුර සල්ලිවලට ගත්තා. ඒ කුඹුරට යන්න ඕනි හිඹුටු, පේර හා කටුවැල් පිරිච්ච ලන්ක්දක් මැදින්. අපි කන්න දෙකක් විතර ඒ කුඹුර වගා කරලා ආපහු මුල් අයිතිකාරයාටම දීලා දැම්මා.

ඉතින් අපි අල වවන කාලේ දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවර එලිය වගේ පැති අල ආර්ථිකයෙන් සශ්‍රික වෙලා තිබ්බේ. ඒ කාලෙත් බීජ අල සම්බන්ධ ප්‍රශ්නෙත් තිබ්බ. පොහොර ප්‍රශ්නේ තිබ්බා. ඒ වෙනකොටත් කහගොල්ලේ හා සීතාඑලියේ පර්යේෂකයෝ ලංකාවේම බීජ අල වවන හැටි හොයමින් හිටියා. මේ අතර ප්‍රමුඛයා ආචාර්ය වී යෝගරතන්ම. ඔහු තමයි ඉන්දියානු අල ප්‍රබේධ මුහු කරලා ශීතා හා කෘෂි කියන අපේම අල වර්ග දෙක හොයා ගත්තේ. 1989 වෙද්දී ඔහු හිටියේ බණ්ඩාරවෙල, කහගොල්ල සහකාර කෘෂි අධ්‍යක්ෂකවරයා වෙලා. ඒ වෙනකොට අපි යන එනමන් නැතිව අනාත වෙලා . කැම්පස් වහලා. ආචාර්ය යෝගරත්නම් අපි හැමෝටම කෘෂි පර්යේෂනායතනේ සුළු සුළු රස්සා දුන්නා. බීජ ගනින්න, පැකට් කරන්න. දත්ත වගු ගත කරන්න වගේ ඒවා. මේ රස්සා දීම නිසා කීප දෙනෙක්ගේ ජීවිතත් බේරුනා. ගෙවල්වල හිටියානම් වෙන කොහේ හරි ගියානම් පොලිසියෙන් උස්සන කාලයක් ඒක. මමයි තිස්සය් ආචාර්ය යෝගරතම් ගැනත් ඔහුගේ පර්යේෂණ ගැනත් ලිපි කීපයක්ම ලිව්වා. දැන් ඒ පත්තර හොයාගන්න නෑ

මම මේ ළඟදී අන්තර්ජාලය පීරා පීරා හෙව්වා ආචාර්ය වී යෝගරත්නම් ගැන තොරතුරු ටිකක් හොයා ගන්න. ඒත් හම්බුන් නෑ. ඒ වෙනුවට මෙන්න මේ ලිපිය හම්බුනා.

තිලක සිත

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල