අධ්‍යාපනික

මූදේ නැව් ගිය විට පාරවල් හිටී!

0

මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති බව ජනප්‍රිය කියමනක්. සමහර අය කියන විදිහට මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති වුනත් තෙල් ලීක් වුනොත් පාරවල් හිටිනවා. එහෙම කියන අයත්, තෙල් ලීක් කර නොගත්තොත් මූදේ නැවු ගිය පාරවල් ඉතුරු නොවන බව හිතන බව පෙනෙනවා.

මම හිතන්නේ මේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති කතාව ගොඩක් පරණ කතාවක්. බොහෝ විට ඔය කතාව හැදෙන කාලේ නැවු දුවන්න ඇත්තේ තෙල් වලින් නෙමෙයි. ඒ වගේම ඒ කාලේ පාරවල් වල වැඩිපුරම දුවන්න ඇත්තේ කරත්ත. බොරළු පාරක කරත්තයක් ගියාම රෝද පාර හිටිනවා. ඒ නිසා, පාරේ කරත්තයක් ගිහින් බව කාට වුනත් තේරෙනවා. නමුත්, මූදේ නැවක් හරි ඔරුවක් හරි ගියාම ඒ විදිහට පාරවල් හිටින්නේ නැහැ.

මූදේ නැවු ගියාට වතුරේ ඉරි ඇඳෙන්නේ නැහැ. නමුත් පාරවල් ඇඳෙනවා. නැවු දුවපු පාරවල් වල තෙල් පාරවල් ඉතුරු වෙන්න පටන් ගත්තේ නැවු දුවවන්න තෙල් යොදා ගන්නත් කලින් ඉඳලාමයි. එක පැත්තකින් බැලුවහම ඉතිහාසය කියා කියන්නේ නැවු ගිය පාරවල් වල ලීක් වුනු තෙල් පාරවල්.

කොලොම්බස්, වස්කෝ ද ගාමා, ලොරෙන්සෝ ද අල්මේදා වගේ නාවිකයෝ ගිය තැන් වල තෙල් පැල්ලම් දැන් සෑහෙන්න පැතිරිලා. විජය නම තිබෙන හෝ ඒ නමින් සංකේතවත් වන පුද්ගලයෙක් සමඟ පැමිණි නැවේ සහ ඉන් පසුව ලොරෙන්සෝ ද අල්මේදාගේ නැවට පෙර හා පසු ලංකාවට පැමිණි නැවු ගණනක තෙල් පාරවල් අදටත් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

තැනින් තැන ඉතිරි වී තිබෙන තෙල් පාරවල් වලින් අතීතයේ නැවු ගිය පාරවල් හරියටම හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ අතීතයේ. දැන්නම් නැවු යන පාරවල් නිශ්චිතවම හොයා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මූදේ යන නැවු දිහා අහසේ තිබෙන චන්ද්‍රිකා ගණනාවක් ඇසි පිය නොහෙළා බලාගෙන ඉන්නවා. ඒ නැවු යන පාරවල් වතුරේ ඇඳුනේ නැතත්, කොහේ හෝ දත්ත ගබඩාවක හරියටම ඇඳෙනවා. එහෙම ඇඳෙන්න මේ නැවු වලින් තෙල් ලීක් වෙන්න අවශ්‍ය නැහැ.

මූදේ නැවු යන පාරවල් කොහේ හෝ හරියටම ඇඳී තිබුණත්, මේ පාරවල් හැමවිටම හැමෝටම පේන්නේ නැහැ. අදාළ දත්ත තමන් සතුව තිබෙන අයට ඒ දත්ත වෙනත් අයට ලබා නොදී තමන් සතුව තියා ගැනීමෙන් කිසියම් වාසියක් ලබා ගත හැකි වීම ඊට හේතුවයි. සමහර වෙලාවට මේ දත්ත පොදු අවකාශයේ තිබුණත්, ගොඩක් අය නැවු ගිය පාරවල් නොදකින්නේ ඔවුන්ට ඒ පාරවල් ගැන හොයන්න උනන්දුවක් නැති නිසයි. අනෙක් අතට නැවු ගිය පාරවල් හොයන්න ඉල්ලුමක් ඇති වුනු වුනු වෙලාවට ඒවා කොහෙන් හෝ හොයලා දෙන කට්ටියත් ඉන්නවා. එවිට මේ දත්ත වලට වෙළඳපොළක් හැදෙනවා. සම්ප්‍රදායික මාධ්‍ය විසින් කරමින් සිටි මේ කටයුත්ත දැන් සමාජ මාධ්‍ය අතට ඇවිත් තිබෙනවා. ඒ නිසා, ඉතා අඩු මිලකට නැවු ගිය පාරවල් වගේම තෙල් ලීක් වුනු තැනුත් හොයා ගන්න පුළුවන්.

උඩ සිතියමේ තිබෙන්නේ මේ ලිපිය පළ කරන්න මිනිත්තු පහකට පමණ පෙර ලංකාවට ආසන්න සාගර කලාපයේ ගමන් කරමින් හෝ නැංගුරම් ලා තිබුණු නැවු. රතු පාට ඒවා තෙල් නැවු හෝ වෙනත් දියර වර්ග ප්‍රවාහනය කරන නැවු. කොළ පාට ඒවා භාණ්ඩ ප්‍රවාහන නෞකා. එතකොට තැඹිලි පාට ඒවා ධීවර නැවු. තද නිල් පාට ඒවා මගී ප්‍රවාහන නෞකා. පේනවා නේද මූදේ නැවු යන පාරවල්? විශේෂයෙන්ම මැද පෙරදිග සිට චීනයට තෙල් යන පාර.

දිගට ලියන ලිපි කියවන්නේ ටික දෙනයි. ඒ නිසා අදට මේ ඇති. නැවු ගිය පාරවල් ගැන අපි හෙමිහිට කතා කරමු.

ඉකොනොමැට්ටා

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල