කාලීන සංවාද

අද අවසන් ගමන් යන අපේ කලා ලොවේ යුග පුරුෂයා – ජයලත් මනෝරත්න

Off

සමාජය පිළිගත් ජනප්‍රිය පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනැමීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක විශ්ව විද්‍යාලවල සිරිතක්. එසේ නොවී තමා ම උපයා ගත් ආචාර්ය උපාධියක් ඇති කීර්තිමත් කලාකරුවෙක් අප අතර ඉන්නවා. ඒ අන්කිසිවකු නොව පසුගියදා අප අතරින් වයෝ වූ අපේ අසම සම කලාකරු, කලාසූරී, කලාකීර්ති ජයලත් මනෝරත්නයි. මනෝරත්නට කලින් දිවංගත මහගම සේකරත් ඒ හපන්කම කර තිබුණා. ආචාර්ය උපාධිය සඳහා සේකර නිබන්ධයක් කර අනුමත වී තිබුණත් ඔහුට මිය යනතුරුම ආචාර්ය උපාධිය පිරිනැමුණේ නැහැ. ඒ විතරක් නොවෙයි ඔහුට ඒ ආචාර්ය උපාධිය පිරිනැමුණේ ඔහුගේ මරණයෙන් වසර විසිපහකට පසුවයි. මා හිතන්නේ ඒකත් ලෝක වාර්තාවක්. ඒ අතින් අපේ අසම සම කලාකරුවා වාසනාවන්තයි. ඔහු මිය යනවිට එසේ ලබා ගත් ආචාර්ය උපාධි දෙකක් ම තිබුණා. ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.

මනෝ රංගනයට පිවිසියේ පාසල් වියේ දීමයි. ඒ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ මග පෙන්වීම යටතේයි.’අස්ස ගුඩුං’ නම් වූ ළමා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපා ඇරඹූ ඒ ගමන වේදිකා නාට්‍ය අසූවකටත් වැඩි ගණනක් දක්වා විහිදුණා. එයින් වේදිකා නාට්‍ය අටක් ඔහු විසින්ම රචනා කොට නිපදවූ ඒවායි. ඒවා නම් මහගම සේකරගේ ‘ප්‍රබුද්ධ’ කාව්‍ය සංග්‍රහය ඇසුරෙන් ඔහු රචනා කළ ‘ලෝකය තනියායක්’, ‘තලමල පිපිලා’, ‘සෙල්ලම් නිරිඳු’, ‘බූරුවා මහත්තයා’, ‘ගුරුතරුව’, ‘අන්දරේලා’, ‘පුත්‍ර සමාගම’ ආදියයි.

පේරාදෙණිය සරසවියේ ඉගෙන ගනිද්දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ගෝලයකු වශයෙන් මුලින්ම ප්‍රධාන චරිතයක් ඔහුට රඟපාන්නට ලැබෙන්නේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේයි. වරක් ඒ පිළිබඳ සිය අත්දැකීම් මනෝ සිහිපත් කළ අයුරු නාට්‍ය කලාව හදාරන්නන්ට ද ප්‍රයෝජනවත් වෙයි. ‘දින කිහිපයක් හොඳින් පුහුණු වීම් කළ පසු දවසක් මහ ඇදුරු සරච්චන්ද්‍රයන් මට කීවා, ‘මනෝරත්න ඔයා ප්‍රේම කරන බව පේන්නෙ නෑනෙ. වේදිකාවෙදි නළුවෙක් ප්‍රේම කරන බව ප්‍රේක්ෂකයන්ට මූණෙන් පේන්න ඕනෑ.’ එදා එතුමා කීවේ ඉතා වැදගත් නාට්‍ය න්‍යායක්. මම එතුමාට එදා කිව්වෙ නිදහසට කාරණා වශයෙන්, ‘සර් මම ප්‍රේම කරනව නෙ.’ කියලයි. ‘මනෝරත්න ප්‍රේම කරනව ඇති. ඒත් ඒ බව අපට පේන්නෙ නෑනෙ.’ එතුමා එදා උපහාසයෙන් එසේ කීවද පසුව මිරැන්ඩා හේමලතා ගෙන්නලා අපට භරත නාට්‍යයේ අභිනයන් කරන හැටි වෙනම පුහුණු කෙරෙව්වා. එදා එතුමාට නොපෙනුනාට මම ඇත්තටම ප්‍රේම කළා. එදා මා සමග එහි ප්‍රධාන චරිතය රඟපෑ තමරා ජයන්ති තමයි මම බිරිඳ කර ගත්තේ. මනෝ සරච්චන්ද්‍රයන්ගේ හොඳම ගෝලයා යැයි මට සිතෙන්නේ එතුමාගේ ඒ සියුම් උපහාසය ඒ අයුරින් ම ඔහුටද පිහිටා ඇති නිසයි.

සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ වූ ‘මනමෙ’, ‘සිංහබාහු’, ‘මහාසාර’, ‘කදාවළලු’, ‘එලොව ගියින් මෙලොව ආවා’ ආදියට පමණක් නොව, මනෝගේ දායකත්වය සුගතපාල ද සිල්වා(දුන්න දුනු ගොමුවේ) , දයානන්ද ගුණවර්ධන (නරිබෑණා, ගජමන් පුවත, මධුර ජවනිකා), හෙන්රි ජයසේන (මකරා, තවත් උදෑසනක්), මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (පොකුරු වැස්ස), ලූෂන් බුලත්සිංහල(රතු හැට්ටකාරි, කාරාවෝ ඉගිලෙති), රංජිත් ධර්මකීර්ති(මෝදර මෝල, අංගාරා ගඟ ගලා බසී) වැනි ප්‍රවීණයන්ටත් ඔහු සමකාලීනයන් වූ කේ.බී. හේරත්(මයාදේවී), කපිල කුමාර කාලිංග(බැංකු වීරයා), ජයන්ත චන්ද්‍රසිරි. ප්‍රසන්න විතානගේ වැන්නන්ටත් එකසේ ලැබුණා. ඔහු මියයන විට රචනා කර නිෂ්පාදන කරමින් සිටි නවතම නිෂ්පාදනය අවසන් කරන්නට ප්‍රසන්න විතානගේට පවරා ඇති බව සැලයි.

ඔහු‍ගේ සිනමා දායකත්වය අමරනාත් ජයතිලකගේ ‘තිලක හා තිලකා’ (1976) චිත්‍රපටයේ පටන් පාලිත පෙරේරාගේ ‘තාල’ (2019) විත්‍රපටය දක්වා නිර්මාණ 39කටත් තවමත් තිරගත නොවූ චිත්‍රපට තුනකටත් විහිදුණා. ‘හෝගානා පොකුණ’ චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට මෙරට සෑම සිනමා උළෙලකින් ම සහය නළුවා ලෙසින් සම්මාන පිරිනැමුණා. වේදිකාව වෙනුවෙන් ඔහු ලද සම්මාන ගණන අති විශාලයි. 1991 හා 1992 වසර දෙකේම හොඳම වේදිකා නාට්‍ය රංගධරයා ලෙස පිට පිට සම්මාන ලැබුවා.

ඔහුගේ රඟපෑ ටෙලිනාට්‍ය ගණන 37ක්. ‘දූ දරුවෝ’, සකිසඳ එලියස්, කන්දෙගෙදර, ගම්පෙරළිය, පස්සෙ ගෙනා මනමාලී, මඩොල් දූව, මගේ කවිය මට දෙන්න ආදිය ඉන් කිහිපයක්. ඔහු රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘තුන්පත් රටාවක ලස්සන’(2005) ටෙලි නාට්‍යයේ ඔහු ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ත්‍රිත්ව චරිත නිරූපණයකද යෙදුණා.

මනෝ සිය දස්කම් ලේඛන කලාව ඔස්සේද පළ කළා. දොළොස් මහේ පහන(සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පති සමඟ), දවස තවමත් තරුණයි, තලමල පිපිලා, සුදුරෙදි හොරා, ගුරුතරුව, අන්දරේලා, බූරුවා මහත්තයා, හඬ නිහඬ, සිංදුබිංදු, ගල්වඩුවා, සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය, පියදාස සහ කුමාරිය ඒ අතර වෙයි.

මනෝ සිය රංගනය වේදිකාවට සීමා නොකර, සිනමාවත්, ටෙලිවිෂනයත් අතික්‍රමණය කරමින් ගිය මග ගිය වෙනත් නළුවකු ඇත්තේ නැහැ. හැම විට ම ප්‍රශස්ත නිර්මාණ පමණක් තෝරා ගෙන සිය හැකියාව පෙන්වූ ඔහු ජනප්‍රියත්වය දැන්වීම්වලට අලෙවි කළේ නැහැ. ඔහු හැමවිට ම කීවේ ‘මගේ ප්‍රේක්ෂකයන්ට බොරු කියන්නට මට බැහැ’ කියායි. ඔහු තරම් ප්‍රේක්ෂකයන්ට ගරු කළ රංගන ශිල්පියකු තවත් නැහැ. ඒ නිසයි, අපේ කලා ලොවේ අසම සම යුග පුරුෂයා ලෙස අප ඔහු හඳුන්වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ දී කෙසෙල්ගස්පෙගේ මනතුංග ජයලත් මනෝරත්න නමින් 1948 ජූනි 12 වැනිදා උපන් මනෝ දශක පහක් තිස්සේ ජනතාව පිනවමින් සිට 2020 ජනවාරි 12 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේදී පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ වියෝ වූයේ ලොව පුරා විසිර සිටින දහස් සංඛ්‍යාත රසික පිරිසක් හඬවමිනුයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින මා මෙන් ඒ රසික පිරිස් වෙනුවෙන් මේ සටහන තබන්නේ ඔහුට බුහුමන් පිණිසයි. මනෝගේ වියෝවෙන් ශෝකයට පත් එම මැතිනියට හා දරු දෙදෙනාට හදපිරි සංවේගය ද මෙයින් පිරිනමමු.

පර්සි ජයමාන්න

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල