දේශපාලන

ඔබ විසින් යෝජිත ‘නම’ මට ගැටලුවක්

Off

සාම්ප්‍රදායික ධනවාදී සමාජ සබඳතා අවසන් වී ඒ වෙනුවට, පශ්චාත්-කාර්මික,පශ්චාත්-වෘත්තීය සමිති,පශ්චාත්-පීතෘමූලික,වසඟකාරී, චූල ආඛ්‍යානයන්ගෙන් පිරී ගිය, අවිඥානයෙන් පාලනය වන යුගයකට අපි අවතීර්ණ වී ඇත්තෙමු. මේ හේතුව නිසා, අන්තර්ජාලය මත මුදාහැර ඇති නව මාධ්‍ය විසින් ලින්චියානු නව අධිකාරි රටාවක් යෝජනා කර ඇත. හිට්ලර්ට අතීතයේ කිසිවෙකු උපන්දින තෑගි තැපැල් කළේ නැති වුවත්, සමකාලීන උගත් නරුමයාට තම බිරිඳට නිල් වෙන්නට පහරදෙන විපරිතයෙකුගේ පොතකට පෙරවදනක් ලිවීමට හැකි ය. දේශපාලකයන්ගේ ජීවිතයේ අඳුරු පැත්ත වාචාලයන් සේ දොඩන්නට කැමති අය, විශ්ව විද්‍යාලවල ගුරුවරුන්ගේ අඳුරු පැත්ත ගැන නිහඬය. තවත් සමහරුන්ට අනුව, අඳුරු පැත්තක් නැති මිනිසුන් භයානක මිනිසුන්ය.

ගෝලීය ධනවාදී නිෂ්පාදන රාමුව තුළ සමාජ ජාලා වෙබ් අඩවි (මුහුණු පොත, වට්ස්ඇප්…) චීනයේ නීතියෙන් තහනම්ය. නිෂ්පාදනය සිදුවන තැන ‘වාචාල නොනිදහස’ නිදහසක් වන අතර ප්‍රතිනිෂ්පාදනය සිදුවන තැන ‘නිදහස’ අර්ථාන්විත වී ඇත. නිෂ්පාදනයට බලහත්කාරය අවශ්‍ය අතර [කොමියුනිස්ට් පක්ෂය] ප්‍රතිනිෂ්පාදනය කරන අඩවි වලදී කැමැත්ත මඟින් ලෝකය පාලනය කරයි.

චීනයේ දී රාජ්‍යය විසින් මිනිසුන් පාලනය කරන අතර අනෙක් රටවල් වලදී මිනිස්සුන්ට ඔවුන්වම පාලනය කරන්නට ඉඩදී ඇත. එනම්, තමාගේ ස්වාමියා තමන් බවට පත්වීමයි. මේ නව තත්ත්වය තුළ, පාලන තන්ත්‍රය පිළිබඳව ජනතාවට දොස් තැබිය නොහැකිය. මන්ද පාලකයා යනු, ස්වකීය කැමැත්ත නිසාය.

නිෂ්පාදනයට අදාළ නැති මෙම ප්‍රතිනිෂ්පාදන කඳවුර තුළදී යථාර්ථයට එසේ පැවතීමට ‘මුලාවන්’ (Illusion) අවශ්‍ය බව සෑම දෙනාම පිළිගනිති. එය, ඉතිහාසයේ ‘යථ’ ඉවත් කිරීම නොව,යථෙන් පලා යන අයට වචන හරහා සමාජ යථාර්ථය පලායෑම්වාදයක් ලෙස ප්‍රති-ඉදිරිපත් කිරීමකි.

‘දෘෂ්ටිවාදය’ (Ideology) ඕපපාතිකව පහළ වන්නක් ලෙසින් ප්‍රතිනිෂ්පාදන සමාජ සබඳතා තුළදී පෙනීයාම අහම්බයක් නොවේ. ලුවී පාස්චර්ට පෙර මිනිසුන් ස්වයංජනනය පිළිගත් පරිදි, අප වෙතට අහසින් වැටෙන අදහස් වන මූලයන් ඕපපාතික බව මිනිසුන් අදහති. ගැටලුව වන්නේ , අප මුහුණ දෙන සැබෑ අනුභූති-උත්තර සම්බන්ධයකට පිටින් හෝ ආත්මයෙන් ස්වායත්තව සිතීම නොවේ. ගැටලුව වන්නේ,ආත්මය තුළම සැබෑව සූත්‍රගත කිරීමයි.

පශ්චාත්- කාර්මික සමාජයක් තුළ සමාජ- ආර්ථික ගැටලු මත පදනම් වන දේශපාලන පක්ෂ වියැකෙමින් ඒ වෙනුවට, ‘දෘෂ්ටිවාදයන්’ දේශනා කරන සමාජ කණ්ඩායම් ජනප්‍රිය වෙමින් පවතී. මෝටර් රථයක වහලක් මත සංසර්ගයේ යෙදීම ඔවුහු විප්ලවයක් ලෙස අදහති.

අප මෙතෙක් වේලා අතිරේක කරුණු ඉදිරිපත් කරන ලද්දේ, දේශපාලනය ජනප්‍රියවාදයට ගමන් කළ ඓතිහාසික සන්දර්භය සලකුණු කිරීමටය. දෘෂ්ටියක් ලෙස ගත් විට, ජනප්‍රියවාදය පශ්චාත්-දෘෂ්ටිවාදීය. එමගින්, පන්ති සතුරා නම් නිර්නාමික ජනයාට මුහුණු පොතක් හරහා නමක් ආදේශ කරයි. ඉදිරිපස දොරටුව අසල සිට ජනප්‍රිය වාදීන් පන්ති සමාදානය සාකච්ඡා කරන අතර පිටුපස දොරටුව අසල සිට ජාතියේ හෝ රටේ හෝ සංස්කෘතික උරුමයේ සතුරා විද්‍යාමාන කරයි. රන්ජන් රාමනායක වීරයකු වන්නේ මිනිසුන් නොදන්නා රහසිගත ජීවිතයත් ගතකරන පාවාදෙන්නෙකු වූ මොහාන් හෙට්ටිආරච්චි නිසාය.[“ අපගේ සංකේත ජීවිතය පවා නොදුන්නේ නම් අද සමාජයේ උත්කර්ෂවත් මේ අය බිහි වන්නේ නැත”. ] වෙනදා කම්කරුවා සූරා කා පොහොසත් මිනිසුන් බිහි වූ පරිදි අද අන් අයගේ දවසේ සංකේත වටිනාකම් සුරා කා සංඥාමය වටිනාකම් (sign values) අධිනිශ්චය වී ඇත. සංවිධානයක් හදන්නට වෙර දැමූ ශ්‍රමයේ ලාභය තනි පුද්ගලයන්ගේ පුද්ගලික දේපලක් වී ඇත. සමාජයක් ලෙස මිනිසුන් හුරේ දුන්නේද මේ පුද්ගලයන් නිසා නව-සහරාන්වාදීන් බිහිවීම ද අමුත්තක් නොවේ .

ජනප්‍රියවාදයේ අක්ෂර වින්‍යාසය දෘෂ්ටිවාදය නම් (සමාජ පසමිතුරුභාවයන් මකා දමා සුසංවාදයක් ගොඩනැංවීමට සාදන කතන්දරය= දෘෂ්ටිවාදය. මෙය දැන් නරක මිනිස්සුන්ගෙන් රට ගලවා ගන්නා යහපත් මිනිසුන්ගේ කතන්දරයක් ලෙසින් ද සළකා බැලිය හැකිය. පුද්ගලයෙකු තමන් ගැන සිතන පරිකල්පනාත්මක අදහස්වලින් තම අන්‍න්‍යතාවය සකස් වන්නේ නම් ජෝන් ලෙනන්ව මරා දැමූ චැප්මන් සයිකෝසිකයෙකු නොව දෙවියෙකි) අප එම දෘෂ්ටිවාදය ජනප්‍රියවාදී ජාලගත වීම් හරහා සංවිධානය වන අයුරු න්‍යායිකව පැහැදිලි කළ යුතුය. සමාජ පසමිතුරුභාවයන් විසින් සමාජ බලවේගයන් නිෂ්පාදනය කිරීමේදී, පන්ති දේශපාලනයට සහ පන්ති නායකයන්ට වෙනස්ව ‘දෘෂ්ටිවාදය’ විසින් සමාජය වෙනස් ආකාරයකට සංවිධානය කරයි. දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීමට අපි උත්සාහ නොකරන්නේ නම්, අප අන්ධ වීම වැළැක්වීම නොහැකිය. අප මෙතෙක් කතා කළ කරුණු සාරාංශගත කරන්නේ නම්, පන්ති දේශපාලනය තුළ අප විවාද කරනු ලැබුවේ පන්තිමය බලහත්කාරය යි.

මිනිසුන් පාලනය කිරීමේදී, ‘කැමැත්ත’ දේශපාලන සාධකයක් ලෙසින් විග්‍රහ කිරීම පටන් ගන්නේ ග්‍රාම්ස්චි කතිකාවෙනි.

නමුත් ග්‍රාම්ස්චිගේ න්‍යායික සීමාව වූයේ, මෙම කැමැත්ත නිෂ්පාදනය වන ආකාරය ගැන ඔහුට තිබූ වැරදි වැටහීමයි. එය නිවැරදි කිරීමට, අපට ලුවී අල්තූසර්ගේ ‘පොළා පැනීම’ (Interpellation) නම් සංකල්පගත කිරීම අවශ්‍ය ය.

පන්ති දේශපාලනයට සහමුලින්ම වෙනස්ව, (වෘත්තීය විඥාණය-පන්ති විඥානය දක්වා තල්ලු කිරීම) පොළා පැනීමේ ක්‍රියාවලිය මගින් ජනප්‍රිය දේශපාලනය පන්තිවාදය සමතික්‍රමණය කරයි.එය සිදු කරන්නේ, සියලු පන්තීන්ට පොදු වූ දෘෂ්ටිවාදී අන්තර්ගතයක් නිර්මාණය කිරීමෙනි. උදා:-ඔබ සිංහල-බෞද්ධයෙක් නම් එය දෙමළා නිසා විනාශ වීමට නියමිතයි. අප කියන දෙයට සවන් දෙන්න! එවිට, එම දෘෂ්ටිවාදී ආමන්ත්‍රණය කරන්නා දෙස මිනිසුන් හැරී බලති.

”එවිට චන්න ජයසුමන වැනි වෛද්‍යවරයෙක්, නාලක ගොඩහේවා වැනි ඉංජිනේරුවෙක්, බිම්සරා සේනාරත්න වැනි ස්ත්‍රීවාදිනියක්, ඉරාජ් වැනි ගායකයෙක්…. හැරී බලයි.”

එනම්, අල්තූෂර්ට අනුව දෘෂ්ටිවාදය විසින් පුද්ගලයන්ව ආත්මයන් බවට පොළා පන්නවයි (TRANSFORM INDIVIDUALS INTO SUBJECTS).ඉහත පුද්ගලයන් බූර්ෂුවා පුද්ගලයන් නිසා ඔවුන් තමන්ව වටහා ගන්නේ යමක් කමක් හිමි නැතහොත් යම් අන්තර්ගතයක්,සාරයක් සහිත පුද්ගලයන් ලෙසිනි. දෙමළා හෝ තම්බියා නිසා වෙහෙස මහන්සි වී (ඉගෙන ගෙන) ලබාගත් තම අනන්‍යතාවය හිස් වීමට නියමිතය.

නමුත්, මාක්ස්වාදයේ ආමන්ත්‍රණය මීට පරස්පරය. ඊට අනුව, ධනවාදය තුළ අනන්‍යතාවය යනු ද ව්‍යාජයකි. ‘ආත්මය’ යනු, හිස් බවක් යන්න ධනවාදයේ මිනිස් උරුමයයි. ඒ අනුව, දෘෂ්ටිවාදී ආමන්ත්‍රණය විසින් යම් ක්‍රියාවක් කරයි. එය නම්, ඇත්තටම හිස් මිනිසුන්ට යම් සංකේත ප්‍රබන්ධයක් ආදේශ කර ඇමතීමයි. එමගින්, ඔවුන්ගේ හිස්කම නැති වී නමක් (Name- සිංහල- බෞද්ධයා, මම දුටුගැමුණු, රණවිරුවා, දේශප්‍රේමියා යන නම් ආදේශ වේ. මෙම ”නම්”-Names- ඉතිහාස නිෂ්පාදනයක් නොව සමකාලීන නිර්මාණයන්ය. එය, අප එසේ යැයි පසුව සිතීමකි.) ආදේශ වෙයි. පහළ කුලයක පුද්ගලයෙක් යම් සමාජ තත්ත්වයක් අධ්‍යාපනය හෝ වෙනත් ක්‍රියාකාරකමක් හරහා ලබාගත් විට, (මන්ත්‍රී, කලාකරුවා, විශ්ව විද්‍යාල ගුරුවරයා, අගමැති, ජනාධිපති….) ඉන් විකසිත වෙයි. සමාජයේ සමාජ ඉල්ලීම් ඒකරාශී කිරීමේදී ජනප්‍රියවාදය කරන්නේ, ඉහත ආකාරයේ දෘෂ්ටිවාදී ප්‍රබන්ධ හරහා පන්තිහරණය වූ මාධ්‍ය මඟින් නිර්මිත ජනතාව ඇමතීමයි. එවිට, ඔවුන් තම තමන්ගේ ව්‍යුහ වලින් එළියට පොළා පනියි.

පොළා පැනීම සාධාරණ සංකල්පයක් ලෙස ගත් විට, සමාජයේ පවතින විෂම පන්ති, කුල, ගෝත්‍ර ,කණ්ඩායම් ජාලගත කිරීමේ පොදු ආඛ්‍යානයක් (දෘෂ්ටිවාදයක්- ඔබගේ වටිනා අනාගතය විනාශ කරන තම්බියා අතුරුදහන් කර ඔබගේ අනාගතයට වටිනාකමක් ලබාදීමට අප සමඟ එකතු වන්න! දීප්ති විසින් කොළඹ සම්මන්ත්‍රණවල අමතන අවංක මිනිසුන්ගේ යටිබඩ නිරාවරණය කිරීම වළක්වා, ඔබට ද ඉන් සිදුවිය හැකි හානිය නැති කරන්නට අපේම දේශන අහන්න! මෙම දේශන ශාලා තුල එකිනෙකා පිට කසා ගන්නවා සහ එකිනෙකාගේ නම් උපුටා දැක්වීමට අමතරව වෙනත් දෙයක් සිදු නොකරන්නේ, අප සියලු දෙනා දීප්තිට එරෙහිව එක්සත් නිසාය. කරුණාකර අපට පමණක් සවන් දෙන්න!) නිපදවීම ජනප්‍රියවාදී ජාලගත කිරීමවල විශේෂ ලක්ෂණයයි. ජනප්‍රියවාදයේ ඊළඟ කතිකාමය උපාය වන්නේ, මුළුමහත් සමාජයේ පසමිතුරුතා කණ්ඩායම් දෙකක් බවට ඌණනය කිරීමයි. එකක්, පවතින තහවුරු වූ මහා සම්මතයයි. අනෙක වන්නේ, ඊට විරුද්ධ ජනතාවගේ රැඩිකල් ආධ්‍යාත්මයයි. ජාලගත කරන්නේ මෙම දෙවැනි තර්කය හරහා ය. එනම්, UNP පරගැතියන්ට එරෙහි සිංහල ජනයා නැතහොත් දීප්තිගේ අශ්ලීල හෙළිදරව් කිරීමට එරෙහි අහිංසක මධ්‍යම පන්තික චින්තකයා හෝ චින්තිකාවයි.මෙහිදී එක පැත්තක්, සාමාන්‍ය දැනීම වන අතර අනෙක, පොදු ජනයාගේ අභිලාෂ නිරූපණය කරන්නකි. මින් එක කඳවුරක් අනෙකට පසමිතුරුව පිහිටුවන අතර ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාවන් ගණිකා සේවයේ යොදවයි. එක පැත්තකින්,ජිජැක්ට ශිගැක් කියන අලුත් නමක් පවා මෙමගින් ආදේශ වෙයි. ඒ ජනප්‍රිය අනන්‍යතාවයන්ගේ හැටිය. ඒවා රැඩිකල් ය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ඇකඩමික් සම්ප්‍රදායේ පිළිගත් ආකෘතීන් අභිභවනය කිරීමට ජනප්‍රියවාදයට හැකි වන්නේ, එමඟින්ද යම් හිස් බවකට අමතන නිසාය. නමුත්, අපට මෙහිදී නව අභියෝග කිහිපයක් සම්මුඛ වෙයි. ලුවී අල්තුසර් සහ අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් දෘෂ්ටිවාදයට හැරී බැලීම සහ ආමන්ත්‍රණයේ ආධිපත්‍යයට මිනිසා යටත් වීම අප හිතන තරම් සරල ද? සෑම දෙනාම මිනිසාට ඇමතුවාට, මිනිසා නැවත හැරී බලන්නේ යම් යම් සුවිශේෂ හඬවල් දෙසට පමණි. ඇමතීම යන ක්‍රියාව කටහඬ පමණක් ද? එයට ක්‍රිස්තියානි මූලාශ්‍රයක් තිබේද? නැවත හැරී බලන්නේ යම් වරදක් කළ අය පමණද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම පහසු නැත.

ගැටලුව අප විසඳීමට උත්සාහ කරන්නේ නම්, අප අල්තුෂර් කතා කරන (අමතන) ”මහා අනෙකා” (Big subject) තැනින් ”ජනප්‍රියවාදී නායකයා” වෙතට නිරීක්ෂණය මාරු කළ යුතුය. මිනිසුන්ගේ ආත්මමූලිකත්වයට අදාළ වන සේ ඇමතිය හැකි නායකයා කවුද? දීප්තිට එරෙහිව, කොළඹ පවතින සම්මන්ත්‍රණවලදී ප්‍රභාගේ නම දහ වරක් කියන පුද්ගලයා, දීප්තිගේ නම එක වරක් හෝ නොකියන්නේ මන්ද? මෙය තමන්ගේ ඊනියා පිරිමිකමට පවා නින්දාවක් වුවත්, ඔවුන් එය යළි යළිත් කරන්නේ මන්ද?

නායකයන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට ව්‍යුහවාදී ප්‍රවේශය පමණක් සෑහෙන බව ලැක්ලෝ ප්‍රකාශ කරයි. එනම්, නායකත්වය යනු, කතිකාමය නිෂ්පාදනයකි. තත්ත්වය සත්‍ය නම්, සුමිත් චාමින්ද ලියා සහ කතා කර ඇති වචන සහ ලිවීම් ප්‍රමාණය අනුව, දකුණු ආසියාවේ ප්‍රබලම නායකයා විය යුත්තේ ඔහුය. නමුත් තත්වය එසේ නොවේ. පුවත්පත්වල පිටු පිරවීමට මෙකල සිහිකටයුතු මිනිසුන් අකමැති නිසා ඒ තැන චමින්දට ලැබී ඇත. ‘දේශපාලන ක්‍රියාව’ යනු, කතා කිරීම හෝ ලිවීම පමණක් නොවේ. මිනිසුන් නායකයන්ගේ මුහුණ දෙස ද බලයි.

2005 වර්ෂයේ ජනාධිපතිවරණයෙදි කථිකයන් පුහුණු කිරීම පිළිබඳව අරලියගහ මැදුරේ පැවති වැඩමුළුවේදී අනුර කුමාර දිසානායක සහෝදරයා දේශනයක් පැවැත්වීය. එහිදී ඔහු මෙසේ කීවේය. “බලන්න මහින්දගේ මුහුණ දිහා, අර ප්‍රතාපවත් උඩු (බුරුසු) රැවුල දිහා. මේක අපේ රජවරුන්ගේ උරුමය. ගම්වලට ගිහින් රැවුල ගැන විතරක් කතා කරත් ඇති දිනන්න!” නායකයා යනු, දෘෂ්ටිවාදී ඇමතුම නිසා හිස්වන, පොළා පනින ආත්මයට ‘නමක්’ දෙන, ඒ ගැන කතා කරන, එම නම සංසරණය කරන පුද්ගලයා ය. 89 යුගයේදී, ඝාතකයා වූ සොල්දාදුවාව දෙදහ දශකය වනවිට, රණවිරුවා බවට භෞතීෂ්ම කළේ ද ජවිපෙ නායකයන් ය.

පොළා පැනීම පිළිබඳව පැවති ඌනිතවාදයන් ඉවත් කරගත් විට, ජනප්‍රිය නායකයෙකු විසින් ලබාදෙන නාමකරණය තුළ සමාජය අලුතින් සංස්කරණය වන ආකාරය අපට වැටහෙයි. පොළා පැනීම සිදු වූවාට පසු හැරී බැලීම පිළිබඳ ක්‍රිස්තියානි අදහස ද අපි විසංයෝජනය කළෙමු. ඒ අනුව, නැවත හැරී බලන්නේ ‘නරක ආත්මයන්’ (මිනීමරුවන්) නොව රටට ආදරය කරන රණවිරුවන්ය. මිනිසුන්ට නායකයෙක් ‘නම්’ දුන් විට, ඔවුන් නැවත හැරී බලන්නේ නමෙහි ඇති සම්භාෂණීය අන්තර්ගතය නිසා නොව, මෙමගින් යෝජනා කරන හැඟීම්බරභාවය, අශ්ලීලත්වය, අහේතුක බව, ප්‍රමෝදය, ආවේදන යනාදී ලුබ්ධිමය සංඝටක නිසාය. වේදිකාවක් මත දී හැඟීම්වලින් තොර සංකල්පීයතාවයන් මඟින් පමණක් නායකයින් විසංයෝජනය කිරීමට නොහැකිය. වේදිකාව මත තර්කයෙන් නායකයන් අතාර්කික කිරීම හුදු ෆැන්ටසියක් පමණි. අප නායකයන් සමඟ බැඳෙන්නේ සවිඥානකව ද? අපි ඊළඟට ඒ ගැන සාකච්ඡා කරමු.

ත්‍රිමාන

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල