කාලීන සංවාද

අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය – ජෝජ් රොබ්සන් ද සිල්වා

Off

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ගායක ගායිකා යුගලය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ විශාරද නන්දා මාලනිය බව කාගේත් පිළිගැනීමය. ඔවුන් දෙදෙනා ද අනුන්ගේ ගී ගායනා කර ඇතැයි කීවොත් ඔබ අප සමඟ එකඟ වෙනවා ද? එහෙත් අනූව දශකයේ එළි දැක්වූ කැසට් පට සඳහා අමරදේව සහ නන්දා අනුන්ගේ ගී ගැයූ බව සැබෑවකි.

අමරදේවයන් එලෙස ගැයූ එක් ගීතයක් මේ රටේ ජනපි‍්‍රයම ගීතයක් වන “සිරි බුද්ධගයා විහාරේ” ගීතයයි. රූපසිංහ මාස්ටර් එනම් එච්. ඩබ්ලිව්. රූපසිංහ සමඟ රුක්මණි දේවි මුලින් ගයා තිබුණු “සිරි බුද්ධගයා විහාරේ” අමරදේව සමිතා මුදුන්කොටුව සමඟ ගායනා කළේය. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නීතිඥ ජෝන් ද සිල්වාගේ ජනපි‍්‍රය නූර්ති ගීතයකි. පසු කලෙක අමරදේවයන් විසින් එම ගීතය ද ගයනු ලැබුවේය. නෙවිල් ප්‍රනාන්දු “රන්සළු” චිත්‍රපටයට ගැයූ “බඳුන් පිරී ඉතිරෙන මී” ගීතය පසුව අමරදේව නිරෝෂා විරාජිනි සමඟ ගායනා කරනු ලැබුවේය.

‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සමඟ ගායනා කර ජනපි‍්‍රය වූ “සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ” ගීතය ද අමරදේව විසින් ගයන ලද අනුන්ගේ ගීත අතර වේ. තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ පළමුව නන්දා මාලනී, නීලා වික්‍රමසිංහ වැනි ගායිකාවන් සමඟ ගැයූ සමහර යුග ගීත පසුව අමරදේවයන් සිය දියණියන් වන පි‍්‍රයංවදා සහ සුභානි සමඟ ද ගායනා කර ඇති බවයි. එමෙන්ම ගුවන් විදුලි ගීත නාටකයකින් උපුටා ගන්නා ලද “පේ‍්‍රම තටාකේ මේකයි මැණිකේ” අමරදේවයන් වෙනත් ගායිකාවක සමඟින් ගැයු ගීතයකි. පසුව ඔහු එම ගීතයම රශ්මි සංගීතා සමඟත් නැවත නන්දා මාලනී සමඟත් ගායනා කළේය.

අමරදේවයන් ගැයූ ගීත එඩ්වඩ් ජයකොඩි, සමිතා මුදුන්කොටුව සහ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ද ගායනා කළ බැව් ඇතැමුන්ට දැන් අමතකය. “අනෝතප්ත විල” (එඩ්වඩ්), “නිම් හිම් සෙව්වා මා සසරේ” (සමිතා), “පේ‍්‍රම සැඳෑවෝ” (ආරියසිංහ) වැනි ගීත ඒ අතරින් සමහරකි.

අනුන්ගේ ගීත යළි ගායනයට අවසර ගෙන ගායනා කළ අපේ මුල්ම ගායන ශිල්පිනිය නන්දා මාලනී යැයි අපි සිතමු. ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ පිරිස ගැයු “මුනි නන්දන සිරිපාද වඳිම්” ගීතය ඇතුළු ග්‍රැමෆෝන් ගී රැසක්ම නන්දා ගායනා කළාය. එම ගී ඇය මුළු රටට දැනෙන්නට ඇගේ “ග්‍රැමෆෝන් ගී” නම් කැසට් පටය සඳහා ගැයුවා ය. නන්දාට ඇතැම් යුග ගීත ගායනයේදී ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනකු වන ටී. එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ සහාය වූහ. වසන්තා සන්දනායක ගැයු “දොළ ළඟ ගුරු පාර දිගේ” වැනි ගීතත් ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයට මර්සි එදිරිසිංහ ගැයූ “මඩේ ලගින තාරවුන් නාවන්න ද මං” වැනි ගීතත් නන්දා ගැයු අනුන්ගේ ගීත අතර වේ.

Nanda_Malani_-_geepadura.blogspot.com

නන්දා මාලනීගේ ගීත ද පසු කලෙක අමිල තරංග විසින් (සමහර පද වෙනස් කොට) ගායනා කළ කැසට් පටයක් ද වෙළෙඳපොළේ අලෙවි වූ අයුරු අපට මතකය.
මහාචාර්ය සනත් නන්දසිරි ද අනුන්ගේ ගී ගැයු ගායන ශිල්පීන් අතර සිටියි. මුලින් ශාන්ති ගීතදේව ගැයූ “කවුරුදෝ අර කවුළුවෙන් සිනාසී එබිකම් කළේ” ගීතය පසුව සනත් නන්දසිරි විසින් ද ගායනා කරනු ලැබුවේය.

ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ ගීතයක් වන “පුන්සඳෙන් රැස්” ගීතය පසුව පුන්සිරි සොයිසා ද ගායනා කර ඇත. අපේ රටේ ගීතලෝලීන්ගේ අසහාය ගායන ශිල්පියා ලෙස විරුදාවලී ලබා සිටින එච්. ආර්. ජෝතිපාලයන් ද අනුන්ගේ ගී ගායනා කළ ගායකයකු බව නොරහසකි. ජනපි‍්‍රය නාට්‍ය ගීත වන “වෙස්සන්තර රාජ පුතා” “දැක්කොත් පද්මාවතී” “රන් මැණිකේ මගේ” “හරිම රජ සැපා මම ලක්දිව තී නිසා” ඇතුළු අනුන්ගේ ගීත රැසක්ම ජෝති “නාට්‍ය ගීත” කැසට් පටයකට ගැයුවේ ය. “සුවඳයි මුවේ මල් පැණි” සුමිත් අහංගම ගැයූ ජනපි‍්‍රය ගීතයකි. එම ගීතය ද පසුව ජෝති කැසට් පටයකට ගායනා කළේ ය.

jothipala
ජෝති සමඟ යුග ගී ලෙසින් අනුන්ගේ ගීත ගැයු ගායිකාවන් අතර ලතා වල්පොල (මා ප්‍රාර්ථනා ආසාවෝ ඇතුළු ගී රැසක්), ඉන්ද්‍රානි පෙරේරා (මේ මාමා), මායා දමයන්ති (කෝකිලයා කෙවිලිය හා), උරේෂා රවිහාරි (නුපුරුදු හැඟුමකි), සංජීවනි වීරසිංහ (හොඳ සිරියාවයි ආකාසේ) වැනි ජනපි‍්‍රය ශිල්පිනියෝ ද සිටිති. එකී සමහර ගීත තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් මුල් ගායිකාවගේ හඬ ඉවත් කොට පසු ගායිකාවගේ හඬ කැවීම් කළ ගීත ය. ජෝති සමඟ ඇන්ජලින් ගැයූ “වසන්තයේ මේ” සහ ජෝති සමඟ මල්ලිකා කහවිට ගැයු “හැන්දෑවේ මං බලා හිටියා” ගීත ලතා විසින් ද, “මල්සර දෝණි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “සේලේ අඳින අඳින සේලේ රැල්ල” උරේෂා විසින් ද, “ජය අපටයි” චිත්‍රපටයට ඇන්ජලින් ගැයූ “මල් වෑහෙනා” ගීතය මායා විසින් ද පසුව ගායනා කරනු ලැබ ඇත.

මල්ලිකා කහවිට ජෝති සමඟ ගැයු “පේ‍්‍රම අඹරේ මධු සඳ පානේ” ගීතය පසුව ලතා, ජෝති සමඟ ගායනා කළ අතර මල්ලිකා ගැයූ “ගොයම් පැසීලා සාරයි” ගීතය රූපා ඉන්දුමතී විසින් පසුව ගයන ලදී.

වර්නන් පෙරේරා ද ජෝති ගැයූ ගීත කිහිපයක්ම ගැයුවේය. එම ගී අතර “දුරකතනයකින්” “උමයංගනියෝ” “මල් කැකුළි” සහ “මල් පිබිදෙන එක වසන්ත සමයක” වැනි ගීත විය.

“අප්සරා” චිත්‍රපටයේ ජෝති ඇන්ජලින් සමඟ ගැයු “සඳ මෝදු වෙලා” ගීතය ලතා විසින් ජෝති සමඟත් ජෝතිගේ වියෝවෙන් පසුව සමන් ද සිල්වා සමඟත් ගායනා කළාය.

ජෝති, ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු ගීතයක් වන මේ දෑස කාගෙදෝ” ගීතය ඉන්ද්‍රානි, සමන් ද සිල්වා සමඟ නැවත ගායනා කර ඇත. එමෙන්ම ජනපි‍්‍රය බයිලා ගායන ශිල්පියකුව සිටි වොලී බැස්ටියන් ගැයූ “අයිරින් ජොසපින්” ඇතුළු ගී කිහිපයක් ද සමන් නැවත ගායනා කළේය. (“බයිලා” ගායකයින් අතරේ අනුන්ගේ ගී ගැයීම බොහෝ විට සිදු වී ඇති හෙයින් ඒ සම්බන්ධව වැඩිදුර විමසා නොබලමු.)

එච්. ආර්. සොයිසා සහ කිංස්ලි පීරිස් ජෝති ගැයූ ගීත ගයමින් අනුන්ගේ ගී ගායනා කළ ගායකයන් අතරට එක්වන විට රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යුවළ ද ඔවුන් අතරට එක්වන්නේ ජෝති ගැයූ ගීත නැවත ගයමින් ය. ඒ මෙසේ ය. රූකාන්ත ජෝති ගැයූ ගී නැවත ගයා ගීත ඇල්බමයක් එළිදැක්වූ අතර ජෝති ඇන්ජලින් සමඟ ගැයූ “රන් පොකුණට” ගීතය රූකාන්ත චන්ද්‍රලේඛා සමඟ ගැයුවේය.

එමෙන්ම රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ ගායනා කරන තවත් ජනපි‍්‍රය යුග ගීතයක් වන “මඳ සීත නල රැල්ල” ගීතය ද අනුන්ගේ ගීතයකි. එය ‘වහල් දූපත’ චිත්‍රපටයේ ඇතුළත් වූවකි. එය ගැයුවේ සරත් සන්දනායක සමඟ දයා හේමන්තා ය. රූකාන්ත, නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ ‘මිදුලේ අතන නංගෝ’ ගීතයත් රූකාන්ත, රුවිනි දුනුවිල සමඟ ගැයු ‘මිතුරි’ ගීතයක් චන්ද්‍රලේඛා පසුව රූකාන්ත සමඟ ගැයු ගීතය.

Neela_Wickramasinghe
කළු දිය දහර” චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු ගැයු “මාස්ටර් සර්” ගීතය නැවත ගයමින් නීලා වික්‍රමසිංහ ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටියි. නීලා ‘රන් ටිකිරි සිනා’ ගීතය ගැයුවේ ටී. එම්. ජයරත්න සමඟ වුව ද පසුව එම ගීතය ටී. එම්. සමඟ නිරෝෂා විරාජිනී ගායනා කළාය.

එම්. එස්. ප්‍රනාන්දු සමඟ ඇන්ජලින් ගැයු “නෙළුම් මලේ පෙති කඩලා” ගීතය පසුව එම්. එස්. සමඟ ගයන මරියසෙල් ගුණතිලක ද අනුන්ගේ ගී ගැයු ගායිකාවන් අතරට එක් වී සිටින අතර එම්. එස්. ගේ වියෝවෙන් පසු මරියසෙල්, වෝල්ටර් ප්‍රනාන්දු සමඟ ද මේ ගීතය ගායනා කළාය. ඇන්ජලින් මේ ගීතය පසුව ඇන්ටන් සමන්පි‍්‍රය සමඟ ද ගායනා කළාය.

දැනට ප්‍රතිපත්තියක් ලෙස අනුන්ගේ ගීත ගායනා නොකරන ඇන්ජලින් ගුණතිලක ද ජී. එස්. බී. රාණි පෙරේරා ගැයූ ගීත දෙකක් සහ රුක්මණි දේවි ගැයූ ගීතයක් ජෝති සමඟ නැවත ගායනා කර ඇත. එම ගීත වන්නේ “ඇල් හේනේ පැල් රකිද්දී” (රාණි) “මුල අමතක කොට” (රාණි) “දෙන්න පි‍්‍රයේ දෑතට” (රුක්මණි) යන ගීත ය. මොහිදින් බෙග් ගායකයාණන් ගැයු “සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” ගීතය ගයමින් අසංක පි‍්‍රයමන්ත පීරිස් ද අනුන්ගේ ගී ගැයු ගායකයින් අතරට එක්වන්නේය. එමෙන්ම සුරේන්ද්‍ර පෙරේරාගේ ප්‍රථම ගීත ඇල්බමයේ ඇතුළත් වූ “අවිචාර උන්මාද මේ ලෝකයේ” ගීතය මොහිදින් බෙග් ගැයූ ගීතයකි. සුරේන්ද්‍ර ගැයු ජනපි‍්‍රයම ගීතය වන “වැහි පබළු සැලී” ගීතය ද මුලින් දිනේෂ් බෝගොඩ ඔහුගේ ගීත ඇල්බමයට ගැයූ ගීතයකි. (මෙම ගීත සුරේන්ද්‍ර ගයන විට ඒවායේ තනු පමණක් මඳක් වෙනස් කොට ඇතැයි අපි සිතමු.)

මාලනී බුලත්සිංහල සමඟ ලයනල් සේනාරත්න ගැයු “සොඳුරිය තනිකර ගුවන් නැවෙන් අද” ගීතය ද පසුව වෙනත් ගායක ගායිකා යුවළක් විසින් ගයන ලද ගීතයකි. මෙම ගීතය පසුව ගායනා කළේ ශිරෝමාලා ප්‍රනාන්දු සමඟ ෂෙල්ටන් මුතුනමගේය. විජේරත්න වරකාගොඩ ගැයූ “රඟහල දැන් ඇත අඬ අඳුරේ” ගීතය පසුව සංගීත් විජේසූරිය විසින් ද ගායනා කරනු ලැබූ බැව් මුළු රටම දන්නා කරුණකි. සංගීත් ගැයු “පින්වන්තිය මාගේ” ගීතය පසුව සිය “සිහින පාරාදීසේ” ගීත කැසට් පටය සඳහා ලක්ෂ්මන් හිල්මි ගායනා කළේය. එසේම ග්‍රේෂන් ජයමහ ගැයු “මන බන්ඳන මුහුණ නුරා” සහ “තරු එළියේ” ගීත ද පසුව හිල්මි ගැයුවේ ය. ග්‍රේෂන් ගැයු “මා හඬවලා” ගීතය භාතිය සන්තුෂ් ගායනා කළ බව අසන්නට ලැබුණේ මෑතකදී ය.

පසුගිය 13 වැනිදාට විසි දෙවැනි අනුස්මරණ දිනය යෙදී තිබුණ සාගරිකා ගෝමස් ද අනුන්ගේ ගී කිහිපයක් ගායනා කර ඇත. ලක්ෂ්මි බායි ගැයු “ආදි සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා” ගීතය පසුව සාගරිකා ගැයු ගී අතරින් එක් ගීතයකි.

ලක්ෂ්මි බායි ගැයු ‘සාදු දන්ත දා’ ගීතය නැවත ගයමින් සුජාතා අත්තනායක ද අනුන්ගේ ගීත ගායනා කළ ගායිකාවන් අතරට එක් වී සිටී. ජී. එස්. බී. රාණි පෙරේරා, මොහිදින් බෙග් සමඟ ගැයූ ගීත සුජාතා පසුව ගායනා කර ඇතැයි කලකට ඉහත සුජාතාට චෝදනාවක් විය. එසේම සුජාතා ගැයූ ගී නිරෝෂා විරාජිනි පසුව ගායනා කළ බවට ද චෝදනාවක් වූ බව අපට මතකය.

අයිවෝ ඩෙනිස් අනුන්ගේ ගීත ගායනා කළ කිසිදා චෝදනාවට ලක් නොවන ගායන ශිල්පියෙකි. අයිවෝ ගයන්නේ සුනිල් ශාන්තගේ ගීතයයි. අයිවෝ මෙන්ම අනුන්ගේ ගී ගායනා කළත් වැඩි දෝෂාරෝපණයකට ලක් නොවූ තවත් ගායකයින් දෙදෙනෙක් අප අතර සිටිති. ඔවුන් නම් රජිව් සෙබස්තියන් සහ මංජුල වර්ණකුලසූරිය ය. රජිව් ක්ලැරන්ස් විජේවර්ධන ගැයූ ගී ගායනා කළ අතර මංජුල විජය කුමාරතුංග ගැයූ ගී ගැයුවේය.

කණ්ඩායම් සංගීතයෙන් ගීතලෝලී සිත් දිනු නිර්මාණශීලි සංගීත ශිල්පියකු සේම ගායන ශිල්පියකු ද වූ ක්ලැරන්ස් විජේවර්ධන අනුන්ගේ ගී ගැයූ ශිල්පීන් අතරට එක්වන්නේ ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගැයු යුග ගීතයකින් ය. “පෙරළෙන ඉරණම” චිත්‍රපටයේ රුක්මණි දේවි සමඟ අරුණ ශාන්ති ගැයු “ඕලු මලෙහි සුදෝ සුදු” ගීතය පසුව ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සමඟ ගැයුවේය.

ජේ. ඒ. මිල්ටන් පෙරේරා ද අනුන්ගේ ගීත ගැයු ගායකයින් අතරට එක් වී සිටියි. ටියුඩර් ජයශාන්ත ගයා ජනපි‍්‍රය වූ “මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ” ගීතය මිල්ටන් පසුව ගායනා කළේය. එමෙන්ම චන්ද්‍රානි ගුණවර්ධන ගැයු “දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්” ගීතය පසුව ශ්‍රී ලාල් සෙනෙවිරත්න නම් ගායකයා ද ගායනා කළේය.

සුනිල් එදිරිසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් සහ රෝහණ වීරසිංහ ද අනුන්ගේ ගී ගායනා කළ ගායක ගායිකාවෝ අතරේ වෙති. “රාමායනය” නූර්තියේ ගීතයක් වන “ශි‍්‍රයා මනමත් වී” ගීතය සහ මුලින් ආනන්ද සමරකෝන් ගැයු “කොල්ලනි නුඹලා දන්නෙ නටන්නයි” ගීතය නන්දා මාලනී සමඟ ගයමින් සුනිල් ද, විදේශ ප්‍රසංගයකදී නන්දා මාලනී සමඟ ගැයු “රෑන ගිරා ජෝඩුවයි” ගීතය පසුව කැසට් පටයකට ඇතුළත් වීමෙන් රෝහණ ද අනුන්ගේ ගීත ගැයු ගායක ගායිකාවන් අතරට එක් වී සිටිති.

කීර්ති පැස්කුවල් ගැයූ අනුන්ගේ ගීත අතර නෙවිල් ප්‍රනාන්දු සමඟ රුක්මණි දේවි ගැයු “මැණිකේ ඔබේ සිනාවේ” ගීතය ද “මල් බර හිමිදිරියේ” සහ “කළු කෙල්ලේ ඔබ” වැනි ජනපි‍්‍රය ගීත කිහිපයක්ම වේ.

තිස්ස නාගොඩවිතාන ගැයූ “පබාවතීගේ රූපෙට ආලෙ” ගීතය පසුව චිත්‍රපට නළුවකු වන මහේෂ් ජයසිංහ ගායනා කළේය. රොඩ්නි වර්ණකුල ද අනුන්ගේ ගීත කීපයක් ම ගායනා කර ඇත. යූ. ආරිය විමල් ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයට ගැයු “ශෝබාව දේ මෙපුර” වැනි නාට්‍ය ගීත එලෙස රොඩ්නිගේ හඬින් පසුව ගැයුණු ගී අතර වේ.

“සුදු සමනළියේ දේව මන්දිරේ” ගීතය ඇන්ටන් ජයකොඩි ගැයු ගීතයකි. පසුව එය ඔගස්ටස් ප්‍රනාන්දු, සුනිමල් සුජීව ද සිල්වා සහ ජානක මධුසංඛ වැනි නව පරපුරේ ගායකයින් කිහිප දෙනකු විසින්ම ගයන ලදි. එමෙන්ම “බඹසර සුරකින කුමරියේ ඔබ මට” සහ “රෑ තරු යායේ” ගීත මුලින් ගායනා කළේ මර්වින් ජයමාන්න ය. පසුව එම ගී ජානක මධුසංඛ ද ගායනා කර ඇත.

අතුල අධිකාරි ද සමිතා මුදුන්කොටුව සමඟ ග්‍රැමෆෝන් ගී ගයමින් අනුන්ගේ ගී ගයන ගායකයින් අතරට එක්වී සිටියි.මුලින් විකුම් වර්ණසූරිය සමඟ සමිතා ගැයු “රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා” ගීතය පසුව අතුල සමඟ ද ගායනා කළාය.

රාජ් වික්‍රමසිංහ ගැයු “සෙබළාණනේ නුඹ මැරුණා නොවේ” ගීතය පසුව නීල් වර්ණකුලසූරිය ද ගායනා කළ අතර සුනිල් පෙරේරා ප්‍රමුඛ “ජිප්සීස්” ගැයූ ගීත කීපයක්ම පසුව නීල් ප්‍රමුඛ ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායම විසින් ද ගයන ලදී.

අවසාන වශයෙන් “රන්සිළු” ආයතනය මඟින් නිපදවන ලද “මගේ පොඩි යාළු” ළමා ගී පට සහ තැටි පිළිබඳ මෙහි ලා සටහන් කිරීම සුදුසු යැයි අපි සිතමු. “සුරතල් නංගියෙ අපෙ අම්මා” – “දැන් නිවාඩු කාලෙ හින්දා” – “මගේ පොඩි යාළු නෙළමුද ඕලු” – “මොනවද අම්මෙ අකුරු ජාතියක්” – “නිල් අහස් තලේ” – “මට මෑණි වගේ” – “ඇය කොණ්ඩෙ දිගට දාලා” – “හිංචි පිංචි හාවා” – “කොටු වැටිච්ච පුංචි සරම” – “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” – “පොඩි කාලේ දඟ කෙරුවාම” – “හිනැහේවි බෝනික්කා” – “හිතන්නකෝ අයියේ” – “හොඳ හොඳ ළමයින් අපි වාගේ” – “දණ ගාද්දි ඇවිදින්නට” – “අකුරු මැකී නැහැ” – “මිදුලේ වැලි මාළිගාවේ” – “අම්බිලි මාමේ” – “චූටි කුරුල්ලනි” – “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා” වැනි ජනපි‍්‍රයම ගී ගණනාවක් එම ගී පට සහ තැටි වල අඩංගු විය. එම ගී පට සහ තැටි සඳහා ගී ගැයුවේ නවක ළමා ගායක ගායිකාවන්ය. ඔවුන් ගායනා කළේ අනුන්ගේ ගීතමය.

ගායක ගායිකාවන්ගේ දරුවන් සිය මව්පියන් ගැයු ගී නැවත ගැයීම මෙම විමසුමට අදාළ කර ගෙන නැත

උපුටා ගැනීම – සිළුමිණ ”රසඳුන” (වර්ෂ 2011 සැප්තැම්බර් 18 ඉරිදා)
http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=av11091811&p=1
අප උපුටා ගනු ලැබුවේ http://dampatadedunna.blogspot.co.uk/ වෙතිනි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල