කාලීන සංවාද, දේශපාලන

ජාතික ගීය

Off

මහාචාර්ය කේ.එම්. ද සිල්වා, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා තිබෙන ආකාරයට 1949 පෙබරවාරිවලදී පවත්වන්නට නියමිතව තිබූ නිදහස් උත්සවයේදී එතෙක් ලංකාවේ ජාතික ගීය වශයෙන් ගායනා කෙරුණු ‘God save the king/Queen’ හෙවත් ‘දෙවියෝ රජු/රාජිනී රකීවා’ යන බ්‍රිතාන්‍ය ජාතික ගීය ගැයීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඒ ගැන ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව 1948 දී තේරී පත්වූ ඩී.එස්. සේනානායක ආණ්ඩුවට ඇතිව තිබුණි. 1934 ලංකාවේ ජාතික සමුළුවට ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම ගායන කරන ලද “නමෝ නමෝ මාතා” ගීතය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනට මතකයක් තිබූ අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා ඔහු ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව ඊ.ඒ.පී. විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කැරිණි. ජේ.ආර්. ජයවර්ධනද මේ කමිටුවේ සාමාජිකයෙක් වූ අතර ජී.ජී. පොන්නම්බලම් හා සී. චිත්තම්බලම්ද එම කමිටුවේ සාමාජිකයෝ වූහ.

ඔවුහු ආනන්ද සමරකෝන් කමිටුව ඉදිරියට කැඳවූහ. ගීතය ලියවී තිබුණේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ වන නිසා හා දැන් රට තිබෙන්නේ ඊට වෙනස් තත්ත්වයක වන නිසා ගීතයේ ‘නව ජීවනය දෙමිනේ’ යන 10 වැනි පේළිය වෙනස් කිරීමට සුදුසු බව කමිටුව ආනන්ද සමරකෝන්ට යෝජනා කළේය. පද වැල වෙනස් කරන්නට ආනන්ද සමරකෝන් කැමති වී ඒ වෙනුවට “නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා’ යනුවෙන් එය වෙනස් කළේය. ගීතයේ දෙමළ පිටපතක්ද තිබිය යුතු බව කමිටුව තීරණය කරන ලද අතර දමිළ පිටපත සකස් කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ දෙමළ උගතකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බිය.

ආණ්ඩුව විසින් 1952 මාර්තු 12 වැනිදා ජාතික ගීයේ සිංහල හා දෙමළ පිටපත සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් පළවන සියලු පුවත්පත්වල විශාල දැන්වීමක් මගින් පළකරන ලද අතර ඉන්පසු උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වෙන රජයේ නිල උත්සවවලදී දෙමළ ගීතය ගායනා කැරිණි. රේඩියෝ සිලෝන් ආයතනය සිංහල පිටපතේ හා දෙමළ පිටපතේ තැටියක්ද නිර්මාණය කළ අතර දෙමළ පිටපතට සංගීතය සපයන ලද්දේ ආනන්ද සමරකෝන් වුවත් තමිල් පිටපත ගායනා කරන ලද්දේ තමිල් ගායිකාවන් දෙදෙනකු වූ සංගරී හා වීනා විසිනි.

1960 පෙබරවාරිවලදී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ගීතයේ අක්ෂර පිහිටුවීමේ දෝෂයක් ඇතැයි සලකා (අසුබ ගණයකින් ආරම්භ කෙරෙන බව) ආනන්ද සමරකෝන්ගේ බලවත් විරෝධය මැද්දේ “නමෝ නමෝ මාතා” වෙනුවට “ශ්‍රී ලංකා මාතා” යොදා ගත්තේය. ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගන්නා ලද්දේ එම ආරාවුලේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රභාකරන් ජාතික ගීය ගැයීම සිය බල ප්‍රදේශවල තහනම් කරන තෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශවල ජාතික ගීය ගායනා කෙරුණේ දෙමළ භාෂාවෙනි.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩදීම සුදුසුද යන ප්‍රශ්නය මුල්වරට කරළියට ආවේ අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු 2010 වසරේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මතය වූයේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවය. යහපාලන ආණ්ඩුව එම තහංචිය ඉවත් කරන ලද අතර අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එම තහංචිය අලුත් කළේය.

නව ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබෙන වැදගත්ම කරුණක් වනුයේ 1956 සිංහල රාජ්‍ය භාෂා නීතිය වර්තමානයට වලංගු නැති බවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 18 හා 19 යන වගන්තිවලින් සිංහල භාෂාවට පමණක් නොව දෙමළ භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක්ද එම භාෂා දෙකට ජාතික භාෂා තත්ත්වයක්ද ලබාදී තිබේ. නීති සම්පාදනයට සේම රාජ්‍යයේ සියලු කටයුතුවලට එම ප්‍රතිපත්තිය අදාළය.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමෙන් සිංහලකමට හෝ බෞද්ධකමට කිසිදු හානියක් හෝ අගෞරවයක් ඇති කරන්නේ නැත. මහත්මා ගාන්ධි කියා තිබෙන ආකාරයට සුළු ජාතීන්ට සලකනු ලබන ආකාරය ජාතියක සභ්‍යත්වයක් විනිශ්චය කිරීම සඳහා යොදාගත හැකි හොඳ මිනුම් දණ්ඩකි. මෙවැනි ක්‍රියා සිංහල ජාතියේ ගෞරවයට හානි කරයි.

ජනවාරි දොලොස්වෙනි දින රාවය පුවත්පතෙහි පළ වූ වික්ටර් අයිවන් මහතාගේ ‘ජාතික ගීය හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ’ යන ලිපියෙන් උපුටා ගැනිණ.

විපාගේ සිතිවිලි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල