කාලීන සංවාද, විද්‍යා හා තාක්ෂණ

උඩගෙදර කතා 208 – ඔස්ටියෝපොරෝසිස්

Off

ඔස්ටියෝපොරෝසිස්…… සැලකිල්ලෙන් ඈ…. දෙයක් වුනාට පස්සේ කියල වැඩක් නෑ. ඒ හින්දා මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.

අපි උපදිනකොට ඇඟේ ඇටකටු ගණන 270 ක් විතර තියෙනවා. වැඩිහිටි වෙනකොට සමහර කටු හාවෙල (fuse) ඒ ගාන 206 කට විතර අඩු වෙනවා. ඒක හානියක් නෙවේ. මේ ඇටකටු (අස්ථි) අපේ ශරීරයේ ඉටු කරන මෙහෙය ලේසි පාසු නෑ. දිහෑරිය දුහුල් සාරියක් උසකිං බිම දානකොට ඔහෙ අපිලිවෙළට වැටෙනවා විනා කෙලිං හිටින්නෙ නෑ. මිනිස්සුයි සත්තුයි එහෙම වුනා නං ? නෑ… ඔය කිව්ව ඇටකටු සැකිල්ල එහෙම වෙන්න දෙන්නෙ නෑ. ඒත් එව්වටත් කරන්න දෙයක් නැති වෙන වෙලාවල් එනවා.

මේ ඇටකටු හැදිල තියෙන්නේ ප්‍රධාන වශයෙන් “කැල්සියම්” වලිං. මේ කැල්සියම් මවගෙ බඩේ ඉන්න කාලේ ඉඳලම ඇටකටු වර්ධනය කරන්නේ. ඒ අතරේ ඇඟේ වෙනත් ක්‍රියාකම් වලටත් කැල්සියම් අවශ්‍ය වෙනවා. ඒකට බාහිරින් ලැබෙන කැල්සියම් මදි නං, මේ ඇටකටු වල තියෙන කැල්සියම් ඒ සඳහා හොරකම් කර ගැනෙනවා. එතකොට ඇටකටු වල ස්වභාවයයි (quality) ඝනත්වයයි (density) දුර්වල කෙරෙනවා. එහෙම වුනාම ඇටකටුවල කුඩා සිදුරු (porus) හැදිල ඇටකටු වල ශක්තිය ටිකෙන් ටික හීන කරනවා. අන්න අර “ඔස්ටියෝ පොරෝසිස්” කියන්නේ එහෙම වුනාම. ඒකෙං වෙන්නේ ඇටකටු පහසුවෙං බිඳිල යන එක.

ඇටකටු බිඳීම් වෙංට පුලුවං විදි හුඟක් තියෙනවා, වැටීම, වාහන ඇතුලු වෙනත් හදිසි අනතුරු, කෙනක් පහර දීම,ඇවිදිනකොට එක පාරම හැරීම, **** වාගේ. පුංචි කාලේ, තරුණ කාලේ බිඳෙන ඇටකටු තිබුන විදියට හදංට ලේසියි. ඒත් වයසට යනකොට තත්වේ වෙනස්. බිඳුනොත්, පිපුරුනොත් බිඳුනම තමයි. පිපිරීම් වුනත් කාලෙකදී හරි බිඳිල යාමේ ඉඩක් තියෙනවා. වයසට ගියාම ඇටකටු “ලියලන්නේ නෑ” කියන්නේ අන්න ඒකයි.

ඉතිං හැමදාම අනික් අයටත් කරදර කාරයෙක් වෙල ඔත්පල වෙල ඉංටවත්, ඉස්පිරිතාලෙක දුක් විඳිංටවත්, අතක් උරචක්කර මාලෙක කරේ එල්ලාගෙන ඉංටවත්, නොංඩියෙක් වෙංටවත්, අසාමාන්‍ය විදියට (හරහට, ගැස්සි ගැස්සී එහෙම) ඇවිදිංටවත්, කිහිලිකරු වලිං බස්තමෙං හැරමිටියෙං වෝකරයෙං ඇවිදිංටවත්, කොයි විදියකවත් විකෘති අවයවයක් තියා ගංටවත් ඕනැන්නෙ නෑ. ඒක ගත හිත දෙකටම මහ වේදනාවක්. තමංට විතරක් නෙවෙයි… සමීප ඇත්තංටත්.

ඒ තත්වෙං කල්වේලා ඇතුව ආරස්සා වෙන එකයි වැඩිය හොඳ. එක පැත්තකිං පරිස්සම් වීමයි අනිප්පැත්තෙං අවශ්‍ය තරමට කැල්සියම් ඇඟට ලැබෙන කෑම බීම ගන්න එකයි තමයි හොඳම දේ. වෙළෙඳ දැන්වීම්වල මොනවා කිව්වත් ස්වාභාවික කෑමබීමෙං කැල්සියම් ඇඟට ලබා ගැනීම තමයි නිර්දේශ කරන්නේ.

ගෙදර අවදානම් තැන් අවම කරන එක කොහොමත් හොඳයිනෙ. නාන කාමරේදී ලිස්සල වැටිල කී දෙනෙක් නං උකුල් ඇටේ එහෙම කඩාගෙන තියනවද, පාරේ වාහන වල වාගෙම පයිං යද්දිත් සැලකිල්ලෙං… උසකට නගිංට ඕනමද.. එහෙම ඕනැම නං සැලකිල්ලෙං, සෙල්ලං කරනකොටත් එහෙමයි… බල්ලෝ ආදරේ පෙන්නංට කරේ නගිනවා, ඒ වෙලාවට සමතුලිතතාව ගිලිහිල ඇද වැටෙංට ඉඩ තියෙනවා… ඔය වාගේ අවදානම් ගැන කල් වේලා ඇතුව හිතල බලනවා නං හොඳයි.

කැඩෙන පුපුරන ඇටකටු වෙනුවට, ටයිටේනියම් වලින් හැදුව අලුත් කොටස් ඇඟ ඇතුලට දාල ශල්‍යකර්ම කරනවා. ඉංග්‍රීසි ක්‍රමයට.. එව්වා ඉතිං වියදං වැඩ!

කෑමෙං බීමෙං ඇඟට ඕනෑ කැල්සියම් ලබා ගැනීම තමයි හොඳම විදිය. මෙන්න මෙව්වා කැල්සියම් බහුල කෑම බීම: හාල්මැස්සං, මුරුංගා කොලයි කරලුයි, වෙනත් තද කොල පාට පලා ජාති, කූනිස්සං, වෙනත් කුඩා මාලු ජාති, දිව්ල්, නැවුම් කිරි, මුදවාපු කිරි වාගෙම කිරි වලිං හැදුව වෙන ආහාර පාන, නෙලුම් අල, ඒවායිං සමහරක්.

මිනිසුන්නේ ඇඟට දවසකට ඕනෑ කැල්සියම් ප්‍රමාණය මිලි ග්‍රෑම් 2000 යි කියල එක තැනකයි මිලි ග්‍රෑම් 1000 යි කියල තව තැනකයි කියෙව්වා. මේ ගැන නිවැරදි තොරතුරු හොයා ගංට. දන්න කෙනෙක් ඉන්නවා නං අපිට අනුකම්පා කරල කියල දෙංට කාරුණික වෙංට. මොකද… වැඩිපුර ගැනීමත් හොඳ නෑ කියල තිබුනා.

ගර්භණී කාලේදියි, මව් කිරි දෙන කාලේදියි බවලත් ඇත්තෝ වැඩිපුර කැල්සියම් ගංට වෙනවා. මොකද… දෙන්නෙක් නඩත්තු කරංට එපායැ.. ඒ වාගෙම බවලත් ඇත්තෝ ඔය ඔස්ටියෝ පොරෝසිස් තත්වෙට පත්වෙනවා වැඩී.

තේ වල තියෙන “ටැනින්” සරීරයට කැල්සියම් අවශෝෂණය (උරා ගැනීම) කර ගැනීමට බාදා කරනවලු. ඒ වාගෙම විටමින් ඩී, කැල්සියම් අවශෝෂණය පහසු කරනවා. කෑමෙං බීමෙං විටමින් ඩී කඩිනමිං ගංට බැරි හිංදා විටමින් ඩී පෙති හරි පෝෂණ අතිරේකයක් (food supplement) හරි ගංට පුලුවං.

දේශීය වෙද කමෙං, කැපිලි කෙටිලි කිසි දෙයක් නොකර තෙල් බේත් පත්තු ආදිය භාවිතයෙං ඇටකටු බිඳීම් පිපිරීම් සුව කිරීමට අති දක්ෂ වෛද්‍යවරු අදත් සිටින බවත් අපි කව්රුත් දන්නවා.

ඒ අතරේ මෙන්න මේ කාරණේ බෝම වැදගත් :

අපෙ ඇටකටුවල තත්වයයි (quality) ඝනත්වයයි (density) දැන ගංට රසායනාගාර (laboratary) පරීක්ෂයකිං හැකියාව තියෙනවා. ඒ පරීක්ෂණය කරගෙන අවශ්‍යතාව අනුව බේත් හේත් ආහාර පාන ගැනීම බෝම වැදගත්.

හැම දෙනාටම සුවපත් දිවියක් අත් වේවා!

උඩගෙදර කතා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල