කාලීන සංවාද

ඔබතුමා, වැසිකිළි සහ රටේ දියුණුව

Off

කලකට ඉහත ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනපති රටවල් සහ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපියානු සමාජවාදී රටවල් අතර සීතල යුද්ධයක් පැවතුණු සමයේ දී, අප ජීවත්වෙන පෘථිවිය නමැති ලෝකය, එකී ධනපති රටවල්වලින් සමන්විත “පළමුවන ලෝකය”, සමාජවාදී රටවල්වලින් සමන්විත “දෙවන ලෝකය” සහ අන් සියලුම රටවල්වලින් සමන්විත “තුන්වෙනි ලෝකය” යනුවෙන් කොටස් තුනකට ඛෙදා විශ්ලේෂණය කිරීම සිරිත විය.

පසු කලෙක, මේ “දෙවෙනි ලෝකය” ස්වභාවික මරණයකට ගොදුරුව අහෝසි වී ගිය අතර, ඊට කලින් සිට ම වාගේ තුන්වෙනි ලෝකයේ රටවල් වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් යන යෙදුම භාවිතය ඇරඹී තිබුණි.

එකල සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි හැඳින්වුණු කණ්ඩායමෙන් ද කොටසක්, මේ වන විට නව කාර්මික රටවල් යනුවෙන් වඩා ඉහළ තත්වයක ලා හැඳින්වේ. අවාසනාවට මෙන් අපේ ලංකාව නම් තවමත් ඇතුළත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගොන්නටය.

එක් කලෙක සංවර්ධනය වෙමින් පවතින්නේ යැයි සැකකෙන රටක්, පසු කලෙක සංවර්ධනය වූ, එනම් දියුණු වූ, රටක් යැයි උසස් කිරීම සඳහා භාවිතා කළ යුතු විවිධ සමාජ ආර්ථීක මිනුම් දඬු හා ඒවායේ අවම මිනුම් මේ කරුණු පිළිබඳ විශේෂඥයින් විසින් නීර්ණය කර ඇති බවට සැක නැත. මගේ මේ වෑයම, ඒ විෂයානුබද්ධ කරුණු ගැන සාකච්ඡා කරනු වෙනුවට, සංවර්ධනය වෙමින් පවතින තත්වයෙන් සංවර්ධිත තත්වයට අවශ්‍ය පිම්ම පනින්නට නම් අපේ ශ්‍රී ලංකාවට සාක්ෂාත් කර ගත යුතු ඉතා සරල කරුණු දෙකක් ගැන කෙටියෙන් සඳහන් කරන්නයි.

ඉන් පළමුවැන්න මෙසේය.

අප එකෙකුට අනෙකා ඔවුන් ගේ මුල් නම භාවිතා කර, විශේෂණ පද නොමැතිව ඇමතීමට හැකි දිනයක අප රට දියුණු රටක් වූවා වෙනු ඇත.

මා එයින් අදහස් කරන්නේ සමාජයේ පුද්ගලයින් එකිනෙකා පිළිබඳව ඇති ගෞරවය හෝ සැලකීම නැති කළ යුතු ය කියා නොව, සොක්කන් ලොක්කන්ට එතුමා, ඔබතුමා, මැතිතුමා යනාදී වචනයෙන් මූ‚ච්චාට හෝ බය පක්ෂපාතකම පෙන්වීමට කෙරෙන ඇමතුම් මෙන්ම, ලොක්කන් සොක්කන්ට ඕයි, තමුසේ යනාදි ලෙස කෙරෙන ඇමතුම් ද නතර වී, සැම දෙනාටම එකිනෙකා තමන් ගේ නමින් අමතන්නට හැකි වෙන දින අප දියුණු වූවා යැයි සලකන්නට හැකි බවයි.

රටක දියුණුවේ ප්‍රධාන ම සාධකයක් විය යුත්තේ රටවැසියන් ගේ සමානත්වයි. සියලූ දෙනාටම එකම අයිතිවාසිකම් සහ එකම වගකීම් තිබිය යුතු අතර, එකෙකු අනෙකාට වඩා උසස් හෝ පහත් නොවිය යුතු ය. අප සහමුලින් ම නැති කර ගත යුත්තේ පිදිය යුත්තාට පිදීම හෝ ගෞරව කළ යුත්තාට ගෞරව කිරීම නොව, එං පිටුපසින් එන බලු ගැත්තරකමයි. අනිත් පසට එන හයිරංකාරකමයි.

මීට අමතරව අද සමාජයේ වෘත්තිකයින් අතරට ද පැතිර ඇති පිළිලයක් වන අයියාමල්ලී (අක්කා-නංගී) ඇමතීම ද සහමුලින්ම නතර විය යුතු ය. එය ඥාතීත්වයෙන් සහෝදරකමට පමණක් සීමා විය යුතු ය. මගේ අදහස අනුව අයියා-මල්ලී (අක්කා-නංගී) ඇමතීමෙන් ගම්‍යවන්නේ ද හයිරංකාර-බලු ගැත්තරකමයි. එය දියුණු සමාජයකට අනවශ්‍ය පන්ති භේදයකි.

නොදියුණුකමෙන් දියුණු තත්වයකට අප පත්වීම සලකුණු කෙරෙන දෙවැනි නිර්ණායකය ලෙස මා දකින්නේ පෙර කී මුල් අවශ්‍යතාවයට වඩා සහමුලින්ම වෙනස් එකකි. එය මෙසේය.

ලංකාවේ පුරවැසියන් ගැවසෙන සෑම ප්‍රසිද්ධ ස්ථානයකම, විශේෂයෙන්ම කාන්තාවන්ට සහ පොදුවේ සැමටම, හිරිකිතයකින් තොරව තම ශරීර කෘත්‍යයන් සිදු කරගත හැකි පොදු වැසිකිළි ගොඩ නැගී පැවතෙන දිනයක අප දියුණු රටක් වුවා වෙනු ඇත.

පොදු වැසිකිළිවල හිඟකම මෙන්ම, තිබෙන පොදු වැසිකිළිවල අපිරිසිදුකම නිසාම, තමන්ට නිවසෙන් පිටවී පැය දෙක තුනක ගමනක් යාමට ඇති නම්, ඊට පැයක පමණ කාලයක සිට දියර වර්ග නොබී වෛද්‍ය පරීක්ෂණයකට මෙන් පේ වෙන්නට කාන්තාවන්ට සිදුවෙන තාක් කල් අප ලබන දියුණුවක් නැත.

පිරිමින්ගේ තත්වය කාන්තාවන් ගේ තත්වය තරම්ම කනගාටුදායක නැති මුත්, පොදු පිරිමි වැසිකිළිවල තත්වය දුටුවොත් බල්ලන් බත් නොකන බව අපි හොඳින් දනිමු.

මෙය වැසිකිළි පහසුකම් සැපයීම පිළිබඳවම ප්‍රශ්නයක් නොවේ. වැසිකිළි පාවිච්චි කරන්නන්ගේ නොදියුණු, ආත්මාර්ථකාමී හැසීරීමද, අද ඇති ඛේදජනක තත්වයේ එක් ප්‍රධාන සාධකයකි. රට දියුණු වූවා යැයි සැලකීමට නම්, රටේ පුරවැසියන් ගේ දියුණු හැසීරීමද මනාව ප්‍රදර්ශනය විය යුතුය.

මගේ ප්‍රාර්ථනය, සමානයන් වෙසෙන, පිරිසිදු වැසිකිළි ඇති සුපිරි රටකි.

එය අති සරල වචන කිහිපයක් පමණක් වුවත්, එවැනි තත්වයක් සාක්ෂාත් කර ගැනීම ලේසි පහසු කාර්යයක් නොවෙන බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

රසිකොලොජි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල