අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

ආදරයේ වෑයම් අහිමිය (Love’s Labour’s Lost)

Off

කිසිම උත්සවයක් ගැන කෙළින්ම සඳහන් නොකළත්, විලියම් ශේක්ස්පියර් ලියූ නාට්‍යය වල, නව වසර ඉලක්ක කරගත් අධිෂ්ඨාන දකින්නට හැකියි. අලුත් අවුරුද්ද නමින් සඳහන් කරමින් කියැවෙන එකම වගන්තිය ඇති ශේක්ස්පියර් නාට්‍යය, “වින්ඩ්සර් හි ප්‍රීතිමත් වැන්දඹුවන්” වෙයි. එහි දී ෆෝල්ස්ටාෆ් රැවටිල්ලකට (practical joke) හසුව ගඟකට දමනු ලැබේ. එහි දී ෆෝල්ස්ටාෆ් මෙසේ කියයි:
“ඉතින්, මාව යළිත් එවැනි රැවටිල්ලකට හසුවේ නම්, මම මගේ මොළය එළියට අරන් බටර් ගාලා, ඒවා දෙනව බල්ලෙකුට අලුත් අවුරුදු තෑග්ගක් හැටියට.”

2020 වසරේ මුල් මාසයේ අවසානයත් ළඟටම ඇවිත්. මේ මේ දේවල් ඉෂ්ට කරනවා යැයි අධිෂ්ඨාන හදාගත් අය ශේක්ස්පියර්ගේ කාලයේ ද සිටි බව පෙනී යයි. මුල් මාසය අවසන් වෙන්නටත් පෙර ඒ අලුත් අවුරුද්ද සඳහා හදාගත් අධිෂ්ඨානයක් දෙකක් අත්හැරීම අත්විඳ නැත්තෙක් ලොව නැති තරම්. නමුත් මෙම නාට්‍යය ඔවුන් හදාගන්න අධිෂ්ඨාන කියවා ඉවර වෙන්නටත් කළින් අවුල් රාශියක ඔවුන්ව පටලවන සුඛාන්තයකි.

එක දිනයක් ගෙවෙන තුරු හෝ ඉටුකරත නොහැකි අධිෂ්ඨාන හතරක් ගැන කියැවෙන්නේ ආදරයේ වෑයම් අහිමිය (Love’s Labour’s Lost) නමැති නාට්‍යයේය.

1595 දී ලියන ලදැයි සැලකෙන මෙම නාට්‍යය ඔහුගේ මුල්කාලීන වෑයමකි.

1588 දී ස්පාඤ්ඤ නැව් සංග්‍රාමය එංගලන්තය විසින් පරාජය කරන ලදි. ශේක්ස්පියර් සිය නාට්‍යයට ඩොන් ආඩ්‍රියානෝ ඩෙ ආමාඩෝ (Armado) නැමති ස්පාඤ්ඤ ප්‍රභූ චරිතය එකතු කරන්නේ යුද ජයග්‍රහණය තවමත් අලුත් මතකයක් වූ සිය ප්‍රේක්ෂකයන් පිනවන්නට බව පෙනී යයි.

1589 දී ප්‍රංශයේ තෙවැනි හෙන්රි ඝාතනය විය. ඉන් පසුව වසර පහක් පුරා සිවිල් යුද්ධ පැවතිණ. ඔටුන්න හිමි වූ තිදෙනෙක් අතරින්, 1594 දී ප්‍රංශයේ සිහසුන නවාරේ හෙන්රි නැමැත්තාට ලැබිණ. ඔහු හතරවැනි හෙන්රි නම් රජ වූයේය. ඒ සිද්ධියත් මේ නාට්‍යය ලියද්දී ශේක්ස්පියර් සිය කතා වස්තුව සඳහා භාවිතා කරන ලදැයි පෙනී යයි. මුද්‍රිත නාට්‍යය පිටපතේ නවාරේ ෆර්ඩිනැන්ඩ් රජු යැයි සඳහන් වුවත්, නාට්‍යය දිග හැරෙද්දී කිසිත් අවස්ථාවක ඔහුව නමින් අමතන හෝ සඳහන් කරන අවස්ථාවක් දකින්නට නොලැබේ. රජු කියා පමණක් ඔහුව සඳහන් වේ.

නවාරේ රජු පරාදීසියක් වැනි උද්‍යානයක් අධ්‍යාපනික වෑයම් සඳහා යොදා ගන්නට අදිටන් කරගනියි. ඒත් එහි පිවිසෙන කාන්තාවන් සමඟ පෙම් පළහිලව් පටන් ගන්නා සාමිවරුන් පොත් වලින් ඉගෙන ගන්නවාට වඩා දේවල් ආදරයෙන් ඉගෙන ගන්නට හැකිබව දකිති.

ඒ රදළ කාන්තාවන් තම ආදරය ලබන්නට සුදුසු යැයි ඔප්පු කරන මෙන් සාමිවරුන්ට කියති. සමාජ සේවයක් හෝ නැත්නම් සමාජ ආශ්‍රය අත්හැර සිටීම වැනි ඉලක්ක, අධිෂ්ඨාන, ස්වයං දියුණුව ගැන කියැවෙන ඒ ඉල්ලීම් හාස්‍ය රසයෙන් පිරි ඒවා වෙති. නාට්‍යයේ චරිත අධිෂ්ඨාන හදාගෙන ඒවා පිළිපදින්නට වෑයම් කළත් ඉතා ඉක්මණින්ම ඔවුනට ඒවා අත්හරින්නට සිද්ධ වේ.

සමාජ තත්වය ඉහළ දමාගන්නට භාෂාව උපයෝගී කරගැනීම හාස්‍යයට ලක්වීම මේ නාට්‍යය තුලින් දැකිය හැකියි.

ඩොන් ඒඩ්‍රියානෝ ඩෙ ආමන්ඩෝ, සිය ජයග්‍රහණයන් ගැන උඩඟු ප්‍රකාශ කරන්නෙකි. ජැකුනෙටා සමඟ ආදරයෙන් වෙළෙන ඔහු පිස්සෙක් මෙන් හැසිරෙයි. හොලොෆෙයාර්නස් (Holofernes) නමැති ගුරුවරයා සහ ආමන්ඩෝ අතර හුවමාරු වෙන වදන් හාස්‍ය රසයෙන් පිරි වුවත් පිටින් පෙනෙන එයට වඩා යමක් එහි අඩංගුයි. උගතුන් පමණක් එවක දැන සිටි ලතින් භාෂාවේ එන වදන් ශේක්ස්පියර් ඔවුන් දෙදෙනාගේ දෙබස් තුලට ඉංග්‍රීසියෙන් එකතු කර ඇත.

ඉතින් ශේක්ස්පියර් තවත් එලීසබීතියන් සමාජයේ වෙනස්වෙමින් පැවති ලක්ෂණයක් උලුප්පා දක්වන්නට සමත්වීද?

නවාරේ රජු සහ ඔහුගේ රජවාසලේ ප්‍රභූන් වන බරෝන් (Berowne), ලොන්ගවිල් (Longaville), සහ ඩුමේන් (Dumaine) තිදෙනා තම තමන්ගේ ජීවිත වර්ධනය සඳහා ප්‍රතිඥාවක් අත්සන් කරති.

එහි පළමුවැනි අධිෂ්ඨානය, “මෙහි වාසය කරමින් වසර තුනක් පුරා ඉගෙන ගැනීමයි”. බරෝන් ඊට වැඩි කැමැත්තක් නොදැක්වුවත් “අපේ රජවාසල පුංචි ඇකඩමියක් බවට හැරේවි,” යැයි රජු කියයි.

ඔවුන්ගේ දෙවැනි අධිෂ්ඨානය, “සතියේ එක දවසක් ආහාර නොගෙන සිටීම, අනිත් දවස් සියල්ලේම එක ආහාර වේලක් පමණක් අනුභවයයි.” එවැනි ඩයට් ප්ලෑන් වැඩ නොකරන බව දැන දැනත්, 2020 වසරේ ආහාර අනුභවය අඩු කිරීම සඳහා විවිධාකාර ලෙසින් ලෝකයේ කොතරම් දෙනෙක් අධිෂ්ඨාන හදාගත්තා දැයි කල්පනා කර බලන්න.

ඔවුන්ගේ තෙවැනි අධිෂ්ඨානය, “රාත්‍රියේ පැය තුනක් පමණක් නිදාගෙන, දහවල් කාලයේ නිදිකිරා නොවැටී සිටීමයි.”

හතරවැනි අධිෂ්ඨානය, “කාන්තාවක් දිහා, ඇය කාන්තාවක් හැටියට සලකමින් නොබැලීම.” “කිසිම කාන්තාවක් රජවාසල වෙතින් සැතපුමක් ඈතින් සිටීම, එසේ නොසිටිය හොත් ඇයගේ දිව ඇයට අහිමිවීම.” “යම් පුරුෂයෙක් මේ වසර තුන ඇතුලත දී කාන්තාවක් හා කතාබහ කරනවා යැයි දකින්නේ ද, ඔහුට රජවාසලේ සෙසු ප්‍රභූන් වෙතින් ප්‍රසිද්ධයේ ලැජ්ජාවට පත්කළ හැකි ඕනෑම කටයුත්තක නියැළීමට අවසර ලැබීම.”

මේ ප්‍රතිඥාව කියවන අවස්ථාවේ දී, බරෝන් විසින් රජුට මතක් කරන්නේ ප්‍රංශයේ කුමාරිකාව, (නාට්‍යයේ ඇය හැඳින්වෙන නම එසේය) එදින නවාරේ වෙත පැමිණෙන බවයි.

කුමාරිකාව සමඟින් රොසලයින්, මරායා සහ කැතරින් නමැති පරිවාර කාන්තාවන් තිදෙනෙක්ද එති. ඉතින්, සාමිවරයන් තිදෙනා ඒ කාන්තාවන් තිදෙනා සමඟ පෙමින් වෙළෙති. කුමාරිකාවට පෙම් කරන රජු ඇය රැවටිල්ලකට (practical joke) හසුකරන්නට යද්දී ඇය ඔහුව රවටන්නට සැලසුම් කරන්නීය. එතැන් සිට අතිශයෙන් හාස්‍ය රසය පිරි සුඛාන්තය දිග හැරේ.

වෙනස් වෙමින් පැවති එවක සමාජයේ ලක්ෂණ සුමට ලෙසින් මෙම නාට්‍යයට එකතු කරන්නට ශේක්ස්පියර් සමත් වූ බව පෙනී යයි. ප්‍රංශයේ කුමාරිකාව දක්ෂ තානාපතිවරියකි. එසේම දඩයම් ශිල්පයටද හපන්කම් දක්වන්නියකි.

එක පැත්තකින් නළුවන් කණ්ඩායමක් ද, තවත් පැත්තකින් නිළියන් කණ්ඩායමක් ද, ප්‍රධාන චරිත රඟපාන ආකාරයකින් කතාව දිග හැරීම මෙහි තවත් විශේෂයකි. ප්‍රධාන චරිතය කුමක්දැයි පැහැදිලි නැතිවීම නිසා, ශේක්ස්පියර්ගේ ජීවිත කාලයෙන් පසුව මෙම නාට්‍යය 1837 තෙක් නැවත රඟදැක්වුනේ නැතිබවක් කියැවේ.

මෙම නාට්‍යය සඳහා මූලාශ්‍රයක් ලෙසින් යොදාගන්නා ලද්දක් ගැන සොයා ගන්නට නැත. ඔවුන් හා සමාන වූ පරිවාර සේවකයන්, උඬඟු පම්පෝරි කියන සාමිවරුන්, රජවාසල විකටයන් යනාදිය සිටින ඉතාලි සුඛාන්ත බොහොමයක් තිබුණ ද, මෙම කතා වස්තුව වෙනත් කිසිත් නාට්‍යයක් හෝ ගද්‍ය පංතියකින් දකින්නට නැත.

මෙය ශේක්ස්පියර් නාට්‍යය අතරින් තවමත් අඩුවෙන්ම රඟ දැක්වෙන්නයි. අතරමං වූ නිවුන්නු මෙහි නැත. නාට්‍ය අවසානයේ සුඛාන්තයක් යැයි දක්වන්නට විවාහ මංගල්‍යයක් සිද්ධ වෙන්නේ ද නැත. මාලිගාවක් සහ උද්‍යානයක් පමණක් පසුතලය හැටියට ගන්නා මෙම නාට්‍යය හුදු වාග් කෞශල්‍යයෙන්ම පමණක් දිග හැරෙන්නකි. ඒ නිසාම දක්ෂ රංගන ශිල්පීන් අවශ්‍ය වෙන්නකි.

අරුණි ශපීරෝ‍ වෙතින්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල