සාහිත්‍ය කළා විචාර

Marriage Story (2019)

Off

කේන්ද්‍රීය වශයෙන් විවාහය ගැන කතාකරන චිත්‍රපට දෙකක් 2019 අවුරුද්දේ අපිට දකින්න ලැබුණ. එකක් අපේ රටේ “දැකල පුරුදු කෙනෙක්”. අනෙක හොලිවුඩයේ “Marriage Story”. ලාංකීය සමාජ සංස්කෘතික පරිසරය ඇතුළේ අතිශය ගතානුගතික සහ අධිපතිවාදී අදහස් දරන මිනිසෙක් සහ එයින් ගැහැණියක් ගැන කතාවක් “දැකල පුරුදු කෙනෙක් ” චිත්‍රපටයෙන් අපි දැක්කා. “Marriage Story” චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ අට අවුරුදු විවාහ ජීවිතයකින් පස්සේ දික්කසාදයේ එළිපත්ත උඩ ඉන්න යුවළක් ගැන කතාවකුයි. මේ චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නේ අපිට “අමුතු කතාවක්” දකින්න නොලැබීමමයි. Marriage story හී ජීවිතේ යථාර්ථයන් තිරය මත දිග ඇරෙන්නේ අපි “දැකලා පුරුදු” ස්වරූපයෙන් ම ඒ ආකාරයටම යි. විවාහය කියන කේක් ගෙඩියේ අයිසින් ඉවත් කරලා ඇතුලාන්තයේ පවතින ඇත්ත ස්වරූපය මොකක්ද කියලා මේ චිත්‍රපටයෙන් අපට පෙන්වා දෙනවා. අපි කලින් කතා කරපු ලාංකිය චිත්‍රපටයටත්, Marriage Story එකටත් පොදු ලක්ෂණය වන්නේ එයයි.

විවාහක යුවලක් දිහා පිටින් බලන කෙනෙකුට ඔවුන් බොහෝ ම ආදරෙන් ජීවිතය ගෙවන දෙදෙනෙක් කියා හිතුණත් ඔවුන්ගේ ජීවිතවල තියෙන යථාර්තය ගැන දන්නේ ඒ දෙදෙනා පමණයි. මේ කාරණය Charlie සහ Nicoleටත් පොදුයි. Charlie සහ Nilcole දෙන්නා දකින කොට අපිට හිතෙන්නේ මුන් දෙන්නා ඇත්තට ම මෙච්චර මරා ගන්න ඕනේ ද කියලයි. යම් කෙනෙක් දිහා පිටින් බලලා අපි දෙන තීරණවලට වඩා ඇත්තට ම ඒ පුද්ගලයන්ගේ අත්දැකීමට සමපාත වෙලා බැලුවාම තත්ත්වය වෙනස් කියලා අපිට තේරෙනවා. Charlie සහ Nilcole දෙදෙනා ම එකිනෙකා ගැන දැඩි වෛරයකින් පසුවෙන අය නොවෙයි. නමුත් දෙදෙනාට ම තවදුරටත් එකට පවතින්න හැකියාවක් නැහැ.

විවාහයක් පවතින්නනේ නිතරම “අපි” කියන වචනේ එක්ක වුණත් “මම” සහ “මගේ පැවැත්ම” ළඟ දෙදරා යන්නේ “අපි”. ආදරයෙන් බැඳුණු, ප්‍රේමයෙන් මුසපත් වුණ රසායනිකයන් ක්‍රමයෙන් වියැකිලා යෑම අතිශය ස්වභාවිකයි. විවාහපත් වෙන හැම යුවළක් ම මුහුණ දෙන ගැටලුව මේකයි. “එයා දැන් ඉස්සර වගේ නෑ” , “මම ආදරේ කළ කෙනා නෙමෙයි මේ” ඔය වගේ කතා අහන්න ලැබෙන්නේ එතකොට. නින්දකින් ඇහැරුණා වගේ හැබෑ ජීවිතේ එක්ක හැප්පෙන කොට, අර රොමැන්ටික් ආදරේ ටිකෙන් ටික පෑල දොරෙන් පලා යන කොට කළකිරීම, පසුතැවීම ටිකෙන් ටික ජීවිතේට කාන්දු වෙන්න පටන් ගන්නවා. “ඇයි මම විවාහ වුණේ ?”, “මොන දුකක් ද මම මේ විඳින්නේ ? ” කියලා කම්මුල්ලේ අත ගහන් කල්පනා කරනවා. බොහෝ අයගේ ඇත්තම Marriage Story එක ඕක තමයි. අපි වගේ සම්ප්‍රදාය සංස්කෘතිය ඉහ උඩ තියාගත්ත ආසියාතික රටක නම් ජීවිතේ තියන තුරා මේ බර උහුලාගෙන යන්න වෙනවා. අපිට දකින්න ලැබෙන අතිශය බහුතරයක් විවාහ ජීවිත එහෙමයි. ඇමරිකාව වගේ රටක නම් දෙදෙනාට කතාබහ කරලා දික්කසාද වෙන්න පුළුවන්. නමුත් එය එතරම් සරල නෑ. ඒ වගේ ම පහසුත් නෑ. නීතිය ඉදිරියේ ඔවුන්ගේ ජීවිතය දිග ඇරෙන්න පටන් ගන්නවා. කලක් මේ ලෝකේ කාටත් වඩා මං ආදරෙයි කිව්ව කෙනා ම අද ලෝකයක් ඉදිරියේ මට මේ පුද්ගලයා එක්ක තවත් ජීවත් වෙන්න බැහැ කියලා හඬගානවා; වෙන් වෙන්න කරුණු හොයනවා. නමුත් වැදගත් ම කාරණය වෙන්නේ දරුවන්. දෙමව්පියන් මේ විදිහට බැන ගනිද්දී, එකිනෙකාගේ ලෝකවලට වෙන්වෙන්ව යද්දී ඔවුන්ගේ දරුවන්ට වෙන්නෙ මොකක්ද ? මව්පියන්ගේ ආරවුල්වලට මැදිවෙන දරුවන්ට ඇතිවෙන මානසික බලපෑම කොයි තරම් අයහපත් ද ? වැඩිවියට පත් වුණාට පස්සේ ඔවුන් නැවත සමාජයට එක්වෙන්නේ මේ පීඩාකාරී මානසිකත්වයෙන් පෙලෙන මිනිස් ජීවිත හැටියට නොවෙයි ද ? පවුල කියන්නේ සමාජේ කුඩා ම ආයතනය වුණත් පවුල ඇතුළෙන් සමාජයට ඇතිකරන්න පුලුවන් බලපෑම කොයි තරම් විශාලද ? වගේ ජීවිතයට වැදගත් කරුණු කාරණා Marriage Story එක ඇතුළෙදී මතු කරගන්න පුළුවන්.

Marriage Story තිර රචනාව සහ අධ්‍යක්ෂණය එන ඇමරිකානු සිනමාකරුවෙක් වුණ Noah Baumbach ගෙ. ඔහුගේ මීට පෙර අධ්‍යක්ෂණය කළ “The squad and the whale” චිත්‍රපටය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණා. ඒ චිත්‍රපටයත් විවාහය සහ දික්කසාදය තේමා කරගත්ත එකක්. 2013දී Noah Baumbach එතෙක් ඔහුගේ බිරිඳ වුණ Jennifer Jason Leigh සමඟ තිබුණ විවාහය අවසන් කරනවා. ප්‍රධාන චරිත රඟ දක්වන බොහෝ දෙනා දික්කසාදය සම්බන්ධ අත්දැකීම් ලබපු අයයි. සැකයක් නැතුවබ්ම 2020 ඔස්කාර් සම්මාන උළෙලදී ඔහු ගැන අපට නැවත අහන්න ලැබේවි.

ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන Scarlett Johansson සහ Adam Driver අපට මතක හිටින රංගනයක නියැළෙනවා. විශේෂයෙන් Entertaining ගණයේ සිනමාපටවලටවල බහුලව රංගනයේ යෙදෙන Scarlett Johansson තමන්ට ඕනෑ ම ආකාරයේ චරිතයක් නිරූපණය කළ හැකි බව මෙයින් ඔප්පු කර පෙන්වනවා. නිතර ම සිනාමුසු මුහුණෙන් පසුවෙන ප්‍රීතිමත් ගෘහණිය, දරුවා තමන්ගේ ජීවිතය කරගත් ආදරණීය මාතාව, කෝප වී ආවේගයෙන් බැණ වදින ගැහැනිය, දුක්ගෙන හඬාවැටෙන ප්‍රේමවන්තිය…. මේ හැම චරිතයක ම ඇය ජීවමානව හිඳින බව මට දැනෙනවා. එතන ඉන්නේ Avengers චිත්‍රපටවල හිටපු සුපිරි වීරවරිය නොවේ ; ඈ Scarlett නොවේ. ඈ Nicoleමයි. ඒ රංගනයේ විශිෂ්ටත්වය මතුවෙන්නේ එතනිනුයි. ඒ වගේ ම චිත්‍රපටයේ සංගීතය ගැනත් කිව යුතුමයි. ඒ ඒ මොහොතේ අවශ්‍ය භාවයන් වයලීනයේ නාදයත් එක්ක කණ හරහා ඇවිත් හදවත පිරිමදින කොට අපිත් චිත්‍රපටය එක්ක එකාත්මික වෙන්න පටන් ගන්නේ භාවනාවකට සමවැදුණා හා සමානවයි.

Marriage Story චිත්‍රපටය නිකුත් වෙන්නේ Netflix ආයතනය හරහා රූපවාහිනී මාධ්‍යයෙන්. සම්මානවලට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා ඔවුන් සිනමා ශාලාවල සීමිත දර්ශන වාර ගණනක් පවත්වනවා. මේ Netflix ආයතනට එරෙහිව යම් විරෝධයක් හොලිවුඩයෙන් එල්ල වෙමින් තිබෙනව. ඒ ඔවුන් රූපවාහිනී මාදධ්‍යයෙන් චිත්‍රපට නිකුත් කිරීම සිනමාශාලාවලට දැඩි තර්ජනයක් බව කියමිනුයි. මේ චෝදනාවලට පිළිතුරු බඳින Netflix ආයතනය කියන්නේ ඔවුන් සිනමාශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න හැකියාවක් නැති කෙනෙකුට වුණත් ගෙදර ඉඳන් ම චිත්‍රපට රසවිඳීමේ අවස්තාව ලබා දෙන බවයි. මේ කාරණා කොහොම වුණත් Marriage Story කියන්නේ නම් කොයි මාධ්‍යයකින් හරි බලන්න වටිනා සිනමා නිර්මාණයක් බව නම් ඉතාමත් පැහැදිලි.

(2020/01/21 දින මව්බිම පුවත්පතේ young අතිරේකයේ පළ විය)

Hashan Randika Dias

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල