අධ්‍යාපනික

මද්‍රසා පිළිබඳව බෞද්ධ මතය

Off

සිංහල බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් අයට පවා අතිශය පීඩාවක් වන අන්දමේ අන්තවාදයක් ශ්‍රී ලංකාවේ ඇති බව මුස්ලිම් අය පවා පිළිගන්නා කරුණකි. අන්තවාදීන් විසින් පාස්කු දින සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරත්, අන්තවාදීන් විසින් මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීමත්, සා‍ෆි සහාබ්දීන් විසින් සිංහල මව්වරුන්ව වඳ කිරීමේ චෝදනාව ආදියත් එහි උච්ඡතම අවස්ථායි.

අන්තවාදය නැවැත්වීමට රජයක් වශයෙන් ගත යුතු පියවරයන් පිළිබඳව අප 2009 සිටම මෙම පි‍ටුවේ දක්වා ඇත. දැන් දැන් ඉස්ලාම් අන්තවාදය ගැන බොහෝ අය කතා කලද ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉස්ලාම් ආගම ගැන තබා බුදු දහම ගැනවත් හරි හැටි නොදනී.

උදාහරණ ලෙස “පුනරුප්පත්තිය” යනුවෙන් දෙයක් බුදු දහමේ නැති අතර තාමත් බොහෝ දෙනා සිතන් ඉන්නේ බුදු දහමේ “පුනරුප්පතියක්” ඇති බවයි. මෙය කියවන බොහෝ අය ඒ අසා කම්පනයට පත් වෙන්නට ඇත. බුදු දහම විකෘති කරනවා යැයි සිතන්නට ඇත. එනමුත් බුදු දහමේ “පුනරුප්පත්තියක්” නැති බව අපි යළිත් කියන්නෙමු.

පුනරුප්පත්ති සංකල්පයට අනුව නොවෙනස්වන සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරන අතර එවැන්නක් බුදු දහමෙන් ප්‍රතික්ශේප කෙරේ. බුදු දහමේ දැක්වෙන්නේ “පුනර්භවය” යි. පුනර්භවය යනු කෙනෙක් මිය යද්දී ඇති වෙන චුති සිතට පසුව තවත් ශරීරයක ප්‍රතිසන්ධි සිත ලෙස ඇති වීමයි. අප අතීතයේ කළ කර්මවල බලපෑම් තුළ වෙනස් විඤ්ඤාණයක් සකස් වෙනවා. එය සංවත්තනික විඤ්ඤාණය යනුවෙන් හැඳින්වෙනවා. ඒ සංවත්තනික විඤ්ඤාණය නොනවත්වා ම වෙනස් වෙමින් ගමන් කරන එකක්.

පුනර්භවය ගැන වැඩි විස්තර අවශ්‍ය අය රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි බුදුසරණ පුවත්පතේ ලියූ මෙම ලිපිය කියවා බලන්න. https://www.budusarana.lk/budusarana/2019/04/19/tmp.asp?ID=vision09 ඊටත් වඩා ගැඹුරින් පුනර්භවය ගැන කියවන්න අවශ්‍ය අය මෙම ලිපිය බලන්න.

අන්තවාදයට එරෙහිව කටයුතු කරනවානම් ඔවුන්ගේ ආගම ගැන පළමුවෙන්ම හදාරා සිටිය යුතු වේ. නැතහොත් සර්පයාව වල්ගයෙන් අල්ලා ගත් ඇබැද්දිය සිදුවේ. හරි හැටි නොදැන, හුදු ආවේගය නිසාම කරන කියන දේවල් වලින් සිදුවන්නේ අන්තවාදය තව තවත් පෝෂණය වීමකි. එහි වන්දිය ගෙවන්නේ අනාගත පරම්පරාවයි.

මේ දිනවල අන්තවාදය ගැන කතා කරන බෞද්ධ පේජ් වලින් පවා වැඩ්පුරම කතා කරන්නේ මද්‍රසා පාසල් ගැන නිසා මෙම ලිපියෙන් මද්‍රසා පාසල් ගැන විමසා බලමු.

  1. මද්‍රසා යනු කුමක්ද?

(අ). මද්‍රසා යනු ඕනෑම වර්ගයක අධ්‍යාපන ආයතනයක් හෙවත් පාසලක් හැඳින්වෙන අරාබි වචනයයි. එය ආගමික හෝ නිර් ආගමික පාසලක් විය හැකිය. ප්‍රාථමික හෝ උසස් අධ්‍යාපන පාසලක් විය හැකිය. https://en.wikipedia.org/wiki/Madrasa

(ආ). මද්‍රසා යනු පාසල හැඳින්වීමේ අරාබි වචනය බව ඔබට මෙම ගූගල් පරිවර්තකය මගිනුත් පෙනේ. https://translate.google.lk/?hl=en&tab=wT1#view=home&op=translate&sl=auto&tl=ar&text=school

  1. ශ්‍රී ලංකාවේ මද්‍රසා ආයතන ගැන තොරතුරු.

(අ). ශ්‍රී ලංකාවේදී මද්‍රසා යනුවෙන් හැඳින්වෙන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් වලටය. නමුත් සමහර මද්‍රසා පාසල් වෙනත් විශයන්ද උගන්වන පූර්ණ කාලීන පෞද්ගලික පාසල් ලෙස ක්‍රියාත්මක වේ.

(ආ). බොහෝ මද්‍රසා පාසල් පැවැත්වෙන්නේ ඉරිදා දිනයේය. එය සමාන වන්නේ ඉරිදා දින බෞද්ධයන්ගේ දහම් පාසල් පැවැත්වෙන ආකාරයටයි. නමුත් බෞද්ධ දහම් පාසලක උගන්වන ඒවා සහ මද්‍රසා වල උගන්වන ඒවා හාත්පසින්ම වෙනස් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමහර මද්‍රසා පාසල් සතියේ දිනවලත් පැවැත්වේ.

(ඇ). ඉස්ලාම් පූජකයින් හෙවත් මව්ලවිවරුන් බිහි කරන්නේ මෙම මද්‍රසා පාසල් වලින්ය. එය සමාන වන්නේ බෞද්ධ පිරිවෙන් වලින් භික්ෂූන් වහන්සේලාව බිහි කරන ක්‍රමයටය. නමුත් භික්ෂූන් වහන්සේලා සහ මව්ලවි වරුන් හාත්පසින්ම වෙනස් බව යළිත් කියමි. යම් විදිහකින් පිරිවෙන් නොමැති වුවහොත් පාසල් හෝ විශ්ව විද්‍යාල වලින් භික්ෂූන් වහන්සේලාව පුහුණු කරන්න නොහැකි වන අතර බුදු සසුනේ පැවැත්ම අභියෝගයට ලක් වේ. ඒ ආකාරයෙන්ම මද්‍රසා නැති වුණොත් මව්ලවිලව බිහි කරන්නත් නොහැකි වී ඉස්ලාම් ආගමේ පැවැත්ම් බාධා වේ.

(ඈ). මෙම මද්‍රසා පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙතෙක් ලියාපදිංචි කර නැත. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තම නිලධාරීන්ව මද්‍රසා වෙත යවා ඒවායේ උගන්වන්නේ මොනවාද කියලා බලන්නට අයිතියක් නැත. එය උදාහරණයකින් කිවහොත්, ඔබගේ නිවසේ ඔබ සිසු සිසුවියන්ට පෞද්ගලික උපකාරක පන්තියක් කරනවා යැයි සිතන්න. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඔබ එහි උගන්වන්නේ මොනවද කියල බලන්නට අයිතියක් නැත. මන්ද යත් ඔබ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති නිසාවෙනි.

(ඉ). මද්‍රසා ආයතන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති නිසා ඒවායේ උගන්වන දේ තීරණය වන්නේ මද්‍රසා වල මව්ලවිලා විසිනි. ජනාධිපති නීතීඥ අලි සබ්‍රි වැන්නෙක් ඉරිදා දින මද්‍රසාවක උගන්වන්නේනම්, සහජීවනය ගැන සහෝදරත්වය ගැන උගන්වනු ඇත. ඒ අතරේ සහරාන් උගන්වා ඇත්තේ අනතවාදය ගැනයි. එක්තරා මද්‍රසාවක පෙළ පොතේ අන්‍යාගමිකයන්ව ඝාතනය කිරීමටත් උගන්වා තිබුණි.

  1. “මව්ලවිලා බිහි වෙන්නේ මද්‍රසා පාසල් වලින් නම්, මද්‍රසා තහනම් කළාම වැඩේ හරිනේ, එතකොට මව්ලවිලා බිහි වෙන්නේත් නෑනේ, එතකොට ඔය මළ කරදරේ ඉවටම ඉවරනේ” යනුවෙන් සමහරුන් යෝජනා කරනු ඇත. මද්‍රසා තහනම් කළොත් වෙන දේවල් පහතින් දක්වමි.

(අ). පලමුවෙන්ම සියලුම මුස්ලිම් නීතීඥයින් එකතු වී මද්‍රසා තහනම් කිරීමේ ගැසට් එකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දානු ඇත. මද්‍රසා යනු මුස්ලිම් මව්ලවිලා බිහි කරන ආයතන බව ලෝක උදාහරණත්, ශ්‍රී ලංකාවේ උදාහරනත් අරගෙන ඔවුන් සනාථ කරනු ඇත.

(ආ). ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්ක කරනු ඇත්තේ මද්‍රසා තහනම් කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය උල්ලංඝනය වූ බවයි. (එකහෙලාව හෝ අන් අය සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස)

(ඇ). තීන්දුව පැහැදිළියි. මද්‍රසා තහනම් කිරීමේ නියෝගය වහාම අත් හිටවෙනු ඇත. යම් විදිහකින් පාර්ලිමේන්තු පනතකින් මද්‍රසා තහනම් කළත්, එම පනත ගැසට් කිරීමට පෙර උක්ත අධිකරණ නියෝගය ලැබෙනු ඇත. ඉන් පසුව මද්‍රසා ගැන ආණ්ඩුවට කිසිවක් කිරීමට නොහැකි වෙන ආකාරයට වාරණ නියෝගයක්ද ලැබෙනු ඇත.

(ඈ). මෙවැන්නකට මෑත කාලීන උදාහරණය වන්නේ ආගමික ස්ථාන වල ශබ්ද විකාශන දැමීමට එරෙහිව ගෙන ආ නීතියයි. එමගින් පල්ලි වල දවසට 5 වතාවක් සිදුකරන හඬ ගෑම නැතර විය. ආගම යනු පුද්ගලික දෙයක් නිසාවෙන් ශබ්ද විකාශන දමා අන් අයට බලෙන් ඇස්සවීම අනවශ්‍ය බව අපගේද අදහසයි. එනමුත් කිසියම් පිරිසක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එමගින් අදාල නීතිය අත් හිටවිණි.

(ඉ). නමුත් මද්‍රසා තහනම් කරන්නම අවශ්‍යනම් ඊට ක්‍රමයක් තිබේ. එනම් 2/3 ක බලයක් අරගෙන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය ඉවත් කිරීමයි. ඉන් අනතුරුව ආණ්ඩුවට ඕනා විදිහට වෙනත් ආගම් සම්පූර්ණයෙන්ම වුවද තහනම් කිරීමට අයිතිය ලැබේ.

(ඊ). නමුත් එය කළ හැකිද? බටහිර රටවලින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල වෙන යුද අපරාධ වලදී සහය දෙන්නේ ඉරානය ඇතුළු අරාබිකරයේ රටවල් ය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ ආගමික මර්දනයක් සිදුවෙන බව ලෝකයට ගිය විට චීනය සහ රුසියාවත් නිශේධ බලය යොදාගෙන සහය දීමෙන් වළකිනු ඇත.

  1. කෙසේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය ඉවත් කර, මද්‍රසා තහනම් කළා යැයි සිතමු. එහි වාසිය කාටද?

අපේ සමහරුන් නොදැනුවත් කමින් මද්‍රසා තහනම් කරන්න යැයි කෑ ගැහුවත්, මද්‍රසා තහනම් කිරීමේ වඩාත්ම වාසිය ඇත්තේ අන්තවාදීන්ටයි. මෙන්න ඔවුන්ට ලැබෙන වාසි.

(අ). මද්‍රසා යනු ඉස්ලාම් පූජකයින් බිහි කරන ආයතන බව සෑම මුස්ලිමයෙක්ම දන්නා කාරණයකි. මද්‍රසා තහනම් කිරීම මගින් අන්තවාදයට ගොස් නැති අති බහුතරයක් මුස්ලිම් අයටත් සිංහල ජනතාව සමග ජීවත් වීමට නොහැකි බවට ඒත්තු ගැන්වීමට අන්තවාදීන්ට හැකි වෙනු ඇත. ඒ අනුව අන්තවාදීන්ගේ ගොඩ වැඩි වෙනු ඇත.

(ආ). මෙය උදාහරණයකින් කිවහොත්, සිතා බලන්න ඔබ සිටින දේශපාලන පක්ෂය විපක්ෂයේ සිටියදී ආණ්ඩුව විසින් ඔබගේ පක්ෂය තහනම් කළ බව. සිදුවන්නේ කුමද? තව තවත් ජනතාව ඔබගේ දේශපාලන පක්ෂයට එකතු වේ.

(ඇ). මද්‍රසා තහනම් කළ විට ඒ ගැන අති විශාල අනුකම්පාවක් ලබා ගැනීමට අන්තවාදීන්ට පමණක් නොව සාමාන්‍ය මුස්ලිම් නායකයින්ටද හැකි වෙනු ඇත. ඒ අනුව මැදපෙරදිගින් ඔවුන් අනුකම්පාව විකුණමින් අති විශාල ධනයක් ලබා ගනු ඇත. ඒ හරහා මද්‍රසා තහනම් කළ ආණ්ඩුව ගෙදර යවනු ඇත. ඉන් පසුව ඒ මහා ධනස්කන්ධයෙන් තවත් මද්‍රසා පාසල් දහස් ගණනක් පිහි‍ටුවා, ඒවාට එන සිසුන්ට මුදල් පවා ගෙවෙනු ඇත.

(ඈ). 1983 දී එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් පොලිසියට දින 3 ක නිවාඩුවක් දී පොලිසි වසා දමා, පසුව කොළඹ ඇති දෙමළ කඩ සුද්ද කර දැමුවේය. එදා ජේ ආර් යනු “කොන්ද පන ඇති නියම” සිංහල නායකයෙක් යැයි සමහරුන් උදම් ඇනූ හැටි අපට මතකය. එහි ප්‍රතිඵලය එදා සිට 2009 දක්වාම අපි දු‍ටුවෙමු. එනිසා අන්තවාදයට එරෙහි විය යුත්තේ එවැනිම අන්තවාදයකින් නොවේ. “නහි වේරේන වේරානී” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති නමුත් සමහරුන් එහි ඇති ගැඹුර තේරුම් නොගනී.

  1. මුස්ලිම් රටක් වන පකිස්ථානයේ මද්‍රසා තහනම් කළා නේද?

පකිස්ථානයේ මද්‍රසා තහනම් කළා කීම සිංහල ජනතාව කුලප්පු කරමින් රටේ ගැ‍ටුමක් ඇති කිරීමට සමහරුන් කී ගල් පැලෙන බොරුවකි. පකිස්ථානය කළේ මද්‍රසා රජයේ පාලනයට නතු කිරීමයි. රොයිටර් පුවත් සේවය මෙසේ වාර්තා කරයි.
ISLAMABAD (Reuters) – Pakistan plans to take control of a network of over 30,000 madrasas as part of a drive to “mainstream” the Islamic schools by bringing them under state control, the military’s spokesman said on Monday.
https://www.reuters.com/article/us-pakistan-madrasas/pakistan-plans-to-bring-30000-madrasas-under-government-control-idUSKCN1S517Z

  1. එසේනම් මද්‍රසා වලට මොකක්ද කරන්න ඕන?

කළ යුත්තේ මද්‍රසා පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමයි.

(අ). එවිට රජයට මද්‍රසා පාසල් අධීක්ෂණය කිරීමේ නෛතික බලය ලැබේ.

(ආ). එසේම මද්‍රසා පාසල් වලට විශය නිර්දේශය ලබා දීමට බලයත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිමි වේ.

(ඇ). කිසියම් මද්‍රසාවක රටේ නීතියට එරෙහි දෙයක් ඉගැන්වේනම් එවිට එය කරපු මව්ලවිගේ බලපත්‍රය අහෝසි කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයිතිය ලැබේ.

(ඈ). එවිට බලපත්‍රය නොමැති බැවින් එම මව්ලවිට තවත් ඉගැන්වීමට නොහැකි වේ.

(ඉ). එසේම ඔහු ත්‍රස්තවාදය උගන්වා ඇතිනම් ඔහුට ජම්පරය ලැබේ.

ඉහත දේවල් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන නිසාවෙන් කාටවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ගැසට්‍ටුව අත් හිටවීමට නොහැකියි. අන්තවාදීන් පෝෂණය වන්නේත් නැත. ජාත්‍යන්තරයද අමනාප නොවේ. නමුත් අපේ සමහරුන්ට අවශ්‍ය වී තිබෙන්නේ 1983 දී ජේ ආර් කල විදිහට ‘කොන්ද පන ඇතිව’ ගේම දෙන්නටය.

සිංහල බෞද්ධයා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල