අතීතකාමය

ධර්ම ගුණසිංහ මහතා පිලිබඳ මතකය

Off

ධර්ම ගුණසිංහ මහතා මා මුලින්ම දුටුවේ 1973 වසරේදී එක ශ්‍රේණියට ඇතුලත් වූ විටදීය. ආරෝහ පරිණාහ සම්පන්න කඩවසම් පුද්ගලයෙකු වූ එතුමාගේ පෞරුෂත්වය කැපී පෙනුනේය.

1973 වසරේ මැද කාලයේදී අපගේ පන්තියේ සිටි සරත්නරත්න හෙවත් ටිප්ටොප් පන්තියේ සිටි තවත් සිසුවෙකු වූ සුභසිංහ හෙවත් අලිකණාගේ පෝටෙලෝ බෝතලය හොරෙන් පන්නාගෙන ගෙනැවිත් පානය කලේය. ඔහු මට සහ ලක්‍ෂ්මන් ද සේරම් හටද මෙය බොන්නට දුන්නේය. සුභසිංහ මේ පිලිබඳව ගුරුවරියට පැමිණිලි කරන ලද අතර සරත්නරත්න සමග මටද ධර්ම ගුණසිංහ මහතාගේ කාර්‍යාලයට යාමට නියමිත විය. තවද ලක්‍ෂ්මන්ද සේරම්ද අප සමග ආවේය. ධර්ම ගුණසිංහ මහතා අප තිදෙනාටම වේවැල් පහර බැගින් දුන් අතර එය ධර්ම ගුණසිංහ මහතා සමග මාගේ ප්‍රථම ඉන්ටර් ඇක්‍ෂන් එක විය. ඉන් පසු මම සරත්නරත්න අසලින්වත් යාමට බිය වූයෙමි. වර්තමානයේ ලක්‍ෂ්මන් ද සේරම් එංගලන්තයේ වාසය කරයි.

1976 හතර වසරේදී මා විසින් ලියන ලද කුඩා කතාවක් මිහිර පත්‍රයට යැවීමට අවශ්‍ය වූ අතර එය විදුහල්පතිතුමා සහතික කිරීම අනිවාර්‍ය විය. මේ නිසා මා සිතේ දිරිය ගෙන එතුමාගේ කාර්‍යාලයට ගොස් මාගේ ලිපිය එතුමා අතට දුන්නෙමි. ධර්ම ගුණසිංහ මහතා එය බලා අත්සන් කොට එතුමාගේ සීල් එක ගැසුවේය.

ධර්ම ගුණසිංහ මහතාගේ අත්සන යුනීක් එකක් විය. එය අසීරු අත්සනකි. එහෙත් එම අත්සන හොරට ගැසීමේ හැකියාවෙන් යුතු සිසුන් කිහිප දෙනෙකු පාසලේ සිටියහ. වරක් ලසිත ලුවිස් දෙව්රුවන් අල්විස් මහතාගේ රසායණ විද්‍යාව පන්තියේදී ධර්ම ගුණසිංහ මහතාගේ අත්සන මාගේ රසායණ විද්‍යාව පොතේ ගසා පෙන්වීය. පසු කාලයක ධර්ම ගුණසිංහ මහතා පිටරටකට ගිය විට ආදි සිසුන් සාදයක් සූදානම් කළහ. එහිදී එක් සිසුවෙක් ධර්ම ගුණසිංහ මහතා ඉදිරි පිට එතුමාගේ අත්සන ගසා ගුණසිංහ මහතාව විමතියට පත් කලේය.

අප පහ වසරේ සිටියදී ධර්ම ගුණසිංහ මහතා කැනඩාවට ගිය අතර පසුව පාසල් රැස්වීමේදී කැනඩාවේ පාසල් සහ සමාජය පිලිබඳ තොරතුරු අපට කියා දුන්නේය.

ධර්ම ගුණසිංහ මහතා පාසල් රැස්වීම අමතන විට අප සාවධානව සිටින බවට පෙන්වමින් සිටි නමුත් පහත් හඬින් එකිනෙකා සමග කතා කලෙමු. වරක් මා ඇතුළු පිරිසක් පාසල් රැස්වීමේදී ගුණසිංහ මහතාට ඇහුම්කන් නොදී කතා කරමින් සිටියදී ශිෂ්‍ය නායකයන්ට හසුව රැස්වීමෙන් පසු අපව එතුමා ඉදිරියට පමුණුවන ලදි. පාසල නිම වීමෙන් පසු අපව රඳවා ගත් ධර්ම ගුණසිංහ මහතා අපට “මම මින් පසු පාසල් රැස්වීමේදී කතා නොකරමි” යන්න 200 වාරයක් ලියන ලෙස නියම කලේය. අප සැම දෙනා තෙමිච්ච කුකුලන් මෙන් අදාල වාක්‍ය ලියුවෙමු. ඉන් පසුව මම පාසල් රැස්වීමේදී කතා කලේ ශිෂ්‍ය නායකයන්ට නොපෙනෙන ලෙසටය.

1978 වසරේදී මා ඉගෙන ගත්තේ හිල්ඩා ගුණවර්ධන මහත්මියගේ පන්තියේය. එම පන්තියේ වාර අවසාන විභාගයේදී පන්තියේ තුන් වෙනියා වී මම මාගේ ප්‍රගති වාර්තා පොත රැස්වීමේදී එතුමා අතින් ලබා ගත්තෙමි. එය පාසලේදී මා එතුමාගෙන් ලද එකම ධනාත්මක ප්‍රසාදය විය.

1979 අප 7 වසරේ සිටින විට පාසල් කාලයෙන් පසුව අපට කතා කරන ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ධර්ම ගුණසිංහ මහතා ගුරුවරියන් කිහිප දෙනෙකු ගෙන ආවේය. අපගේ ඉංග්‍රීසි දැණුම මෙන්ම පෞරුෂත්ව වර්ධනය සඳහා එතුමා නොයෙකුත් ධනාත්මක පියවර ගත්තේය. මේ නිසා අපගේ ද්වී භාෂා දැණුම වර්ධනය විය.

1980 දී මම වරක් ලාල් රූපතුංග සහ රුෂාන්ත සමග ජය මාවතෙන් කට්ටි පැන යන්නට හදද්දී ශිෂ්‍ය නායකයන් අප පසුපස එලවාගෙන ආවෝය. මම පණ එපා කියා දිව්වේ හසු වූයේ නම් ධර්ම ගුණසිංහ මහතා ලඟට යාම නියත නිසාය. පසුව ධර්ම ගුණසිංහ මහතා ජය මාවත යනු පරාජයේ මාවත කියා පාසල් රැස්වීමේදී කියූ නිසා මම ජය මාවතෙන් කට්ටි පැනීම නවතා දැමුවෙමි.

1981 වසරේදී මමත් සිදත් සුරේන්ද්‍රත් උදිත පලිසේනත් ධර්ම ගුණසිංහ මහතාගේ කාර්‍යාලය පසුපස තිබෙන උක් ගස් වගාවෙන් උක් ගසක් හොරෙන් කඩාගෙන කෑවෙමු. උක් ගස කන ගමන් අප නිතර අවට බැළුවේ ධර්ම ගුණසිංහ මහතා කොහෙන් හෝ පාත් වේදෝ කියාය.

1982 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයේදී ලියනපතිරණ විසින් රතිඤ්ඤාවක් පත්තු කොට විභාග ශාලාවේ කොරිඩෝවට විසි කරන ලද අතර එයට හසු වූයේ මාවය. ජයවර්ධන සර් විසින් මාව විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාට ඉදිරිපත් කරන ලදි. ධර්ම ගුණසිංහ මහතා මාව පාසලෙන් අස් කරන බව පවසා මාව විදුහල්පති කාර්‍යාලයට ගෙන යන ලදි. එහිදී මාගේ විස්තර ලියා ගත් අතර එම අවස්ථාවේදී මොරේ හෙවත් සමන් ධම්මික පැමිණ රතිඥාව දැමුවේ මා නොව ලියනපතිරණ බැව් කීම නිසා මාව මුදා හරින ලදි.

1984 උසස් පෙළ පන්තිවලදී මම ධර්ම ගුණසිංහ මහතාව මුණ නොගැසෙන ලෙසට හැසුරුනෙමි. එහෙත් වරක් සෙනරත් විජේසූරියගේ අත ඇඹරීම නිසා ඔහු එය ධර්ම ගුණසිංහ මහතාට පැමිණිලි කිරීමට යන ලදි. මම සෙනරත් විජේසූරියට වැඳ කේස් එක ශේප් කර ගත්තෙමි. සෙනරත් විජේසූරිය වර්තමානයේදී නාවික හමුදාවේ නිලධාරියෙකි.

1985 උසස් පෙල විභාගයෙන් පසු මම චරිත සහතිකයක් ගැනීමට ධර්ම ගුණසිංහ මහතාගේ කාර්‍යාලයට ගියෙමි. එතුමා මාගේ හිසේ සිට පාදාන්තය දක්වා බලා චරිත සහතිකයක් දුන්නේය.

1999 වසරේදී නාලන්දා විද්‍යාලීය ආදි වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විදුහලේ සායනයක් පවත්වන බැවින් එම සායනයට එන ලෙස මගෙන් ඉල්ලා තිබුනේය. මම එම සායනයට ගිය අතර ධර්ම ගුණසිංහ මහතා ප්‍රෙෂර් එක චෙක් කරවා ගැනීම සඳහා මා වෙත ආවේය. මම අසුනෙන් නැගිට එතුමා පිලිගෙන ගෞරව බහුමානයෙන් යුතුව එම උපකරණ එතුමාගේ අතේ සවි කොට රුධිර පීඩනය මැන්නෙමි.

2002 වසරේදී මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර පොත දොරට වඩින උත්සවයට ධර්ම ගුණසිංහ මහතා පැමින කතාවක්ද කලේය. එම දිනයෙන් පසු මා විසින් අතීතයේ කරන ලද සියළු නසරානී ක්‍රියාවන්ට සමාවක් ලැබුණි.

වරක් එතුමාව ධර්මසිරි ගමගේ කලාකරුවාගේ අවමගුල් දිනයේදී කොලඹ කනත්තේදී මට හමු විය. මම එතුමාට පිරිස ඉදිරියේ වැඳ කතා කලෙමි. තවද 2005 වසරේදී වරක් මමත් කර්නල් සුනිල් සෝමවීරත් ඇපොලෝ රෝහලේ උත්සවයකට ගියෙමු. එහිදීද මට එතුමා හමු විය.

මට එතුමාව අවසන් වරට මුණ ගැසුනේ 2007 දී සර්වෝදය ආයතනයේදීය. මේ කාලයේදී මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කලෙමි. එම කාලයේදී අප ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජෝන් මැහෝනී සමග පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් කීපයක් කලෙමු. මෙයට සර්වෝදය ආයතනය විසින් අපට සහාය දෙන ලදි. එම වසරේදී ආචාර්‍ය ඒ.ටී. ආරියරත්න මහතාටත් ධර්ම ගුණසිංහ මහතාටත් මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලයේ පැවති මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනකට මා ආරාධනා කල නමුදු එම වැඩසටහනට පැමිනියේ ආචාර්‍ය ඒ.ටී. ආරියරත්න මහතා පමණි. පසුව හෙලි වූයේ තම බල්ලන් දෙදෙනාට කෑම දීමට තිබෙන නිසා ධර්ම ගුණසිංහ මහතාට බොහෝ කාලයක් ගෙවා මාදම්පේට ඒමට නොහැකි වූ බවයි.

ධර්ම ගුණසිංහ මහතා අපගේ ජීවිතයට බොහෝ ධනාත්මක දේවල් ලබා දුන්නේය. වර්තමානයේ දේශපාලකයන් ඉදිරියේ වැඳ වැටෙන, ඉස්කෝලයට ළමුන් ගැනීමට පගා ගන්නා විදුහල්පතිවරුන් යැයි කියන නිකමුන් නිබඳවම දකින අපට ධර්ම ගුණසිංහ මහතා වැන්නවුන්ගේ වටිනාකම මනාව පසක් වේ.

ධර්ම ගුණසිංහ මහතා යනු නාලන්දාවේ එක් සුවිසල් පරිච්ඡේදයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල