කාලීන සංවාද

සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages)

Off

මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.

අහන්නත් දෙයක් යැ. ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට වුනේ. අන්න ඒ විදියට කොට වුන මාව දැකල අමන්දානන්දයට පත් වුන අය තැන තැන කොඳුරන කතා වලින් තමයි ඔය “ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්” කියන විශේෂණය බිහිවෙන්න ඇත්තෙත්.

ඇත්තටම මගේ කොට භාවය මට ආභරණයක්!

එදා අපේ නඟාගෙ ශ්‍රේණියෙ ළමයින්ට ඉස්කෝලෙන් බෙහෙතක් විදින දවස. ඕකා හය වසරෙ කිරිසප්පය. අවුරුදුම හතක් වැඩිමල් අක්ක කෙනෙක් වෙච්ච මම ඔතනට ගිහින්, පොරව බෙහෙත් විදින තැනට ඇදගෙන ගිහින් ඇඩ් එකක් නොදැම්මොත් ඒක මගේ වැඩිමල් සහෝදර භාවයේ අභිමානයට කැළලක්.

අන්න ඒ නිසයි මම වීරයා වගේ කිරිහාමි, බැටිස්ටා, මලියා, රඟසොබා කියන ත්‍රිවිධ හමුදාව සහ පොළීසිය එක්කාසු කරගෙන හය වසරට බේත් විදිනව බලන්න යන්න පිටත් වුනේ. ඒ ලෙවල් පන්තිවල අක්කලා විදියට ඔය ඇච්චොන්ට උසස් පෙළ ගරු ගාම්භීරත්වය පෙන්වීම අපේ පරම වගකීමක්.

බෙහෙත් විදින තැනට ගියා විතරයි මෙන්න අපේ චූටි සුරතලා කට ලොරියකට අහුවෙච්ච කජුලෙල්ල වගේ කරගෙන බලන් ඉන්නව.

“මොකද හලෝ කටේ හැටි නිකම් යූ අකුර කණපිට ගහල වගේ?” මම වගකීම් සහගත අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් පොරගෙන් අහනවා.

“මේ… බේත… මට කලින් විද්දා…..” පොර වෙරි වෙච්ච පූසෙක් වගේ අඬන්න රෙඩි වෙච්ච වොයිස් එකකින් කියනවා.

“කොහෙදිද?” අනෙ මේ පච නොකියා ගිහින් ඕක විදගන්නව.”

“නෑ අක්කියෝ ගිය සතියෙ තාත්ත එක්ක ඩොක් ගාවට ගිය වෙලේ විදගෙන ආවෙ. ඔයාට මතක නැද්ද?”

හත්වලාමයි! කතාව ඇත්ත. පොර ගෙදරදි මට දාන ලොරි පාර්ට් වලට හොඳ පාඩමක් උගන්නන්න තිබුන අදත් බේත විදගන්න ඇරලා. ඒ උනාට මූ බේත් වැඩිවෙලා මලොත් කාරිය මට තමයි සාක්කි කියන්න යන්න වෙන්නෙත්. ඒ නිසා මම තීරණය කලා මගේ ගෞරවණීය වැඩිහිටි අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් මේ බව ඒකාගෙ ටීචර්ලාට දැනුම් දෙන්න.

අන්න එතන තමයි පොඩි පරහකට තිබුනෙ. සේරම ගුරුවරු ඉංග්‍රීසි මාධ්‍ය පංතිවලට උගන්නන්න කියල අලුතින් ආනයනය කරපු ඈයො. අපි වගේ ඒ ලෙවල් “ඩයල්” අඳුරන්නෙවත් නෑ අලුත් ටීචර්ලා කස්ටිය. ඒත් ඉතින් මම ඔයවගේ බාධක වලින් සැලෙන එකෙක් නෙමෙයි. අනික මා එක්ක ඉන්නවනෙ මං වගේ දෙගුණයක් උස බැටෑලියන් එක. ඒ නිසා සුරතල් නංගියගෙ අතින් ඇදගෙන ටීචර් ගාවට එක්කන් ගියා කියන්නකෝ.

ටීචර් කණ්නාඩියට පහළින් මා දිහා බැලුව. අඩියට දෙකට ආව ළඟට.

“දෙන්න අත් අල්ලගෙන කොහෙ යනවද මන්දා.” අපි දෙන්නවම අතේ වීරියෙන් ඉන්ජෙක්ෂන් පෝළිමට තල්ලු කරපු ටීචර් කියපි.

“මම මෙයාගෙ අක්ක ටීචර්” නැති වෙන්න ගිය අභිමානය බේරගැනීමේ පරම අධිෂ්ඨානයෙන් යුක්තව මම ප්‍රකාශ කලා.

“ඉතින් පුතේ හත වසරෙ ළමයින්ටත් කැමතිනම් මෙතනින් බෙහෙත් විදගත්තැකි. ඔයත් නංගි එක්කම ගිහිල්ලා බෙහෙත් විදගන්නකෝ මෙතනින්ම.”

ඒ මොකද්ද බොලේ ඒ අටම්හරුපෙ කියල අහස පොළව ගැටලන්න කල්පනා කරපු මට වැඩේ නෝණ්ඩි වුනේ කලර්ස් පෙන්නන්න එක්කන් ආපු අතිජාත මිත්‍ර ද්‍රෝහියො හතරදෙනා බඩවල් අල්ලගෙන දෙකට නැමිලා කොමඩි ෆිල්ම් එකක් බලන්නැහෙ හිනාවෙන හැටි දැක්කමයි.

***********
ඔය රස්තියාදු ගැසීම කියන චරිත ලක්ෂණය ඒ කාලෙ ඉඳන් මගේ ජාන එක්ක බද්ධ වෙලා තියෙන සහජ උරුමයක්. ඒ සෙනසුරාදා දවසෙත් හිරාන් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මම තව ෆ්‍රෙන්තෝ ඩබලක් එක්ක නුගේගොඩ ඒ මේ අත පාවෙනව.

ඔහොම පාවෙන අතරෙ එකෙක්ට හැදුන කියන්නකෝ ගෑල්ලමයින්ට ආවේණික බඩේ අමාරුවක්. කරුමෙට අපි එකෙක් ගාවවත් අවශ්‍ය ද්‍රව්‍ය නෑ. කොහොමත් මගේ නිර්භීත භාවය නිසාම ස්වීප් එක ඇදිච්ච එකා ගාව අනිත් යාලුවා නැවතිලා ඉද්දි මම ගියා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගෙන එන්න.

කරුමෙ කියන්නෙ එදා පෝය දවසක්. ෆාමසි වහල. ඔහොම ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔන්න නිකම් සුපර්මාකට් ටයිප් එකේ කඩයක් ඇරල තියෙනව හම්බවුනා. කඩේටම හිටියෙ සේවකයො දෙන්නයි. හැබැයි සෙනග හරියට.

ඔන්න තියෙනව මම හොයපු භාණ්ඩෙ. පූජා වස්තුවක් වගේ රාක්කෙක උඩම තට්ටුවෙ අඩුක් කරල.

මම එකපාරක් දෙපාරක් සර්කස් කාරයෙක් වගේ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඉලක්කය වෙත ළඟා වෙන්න හැදුව. ම්හු! මිෂන් ඉම්පොසිබල්. උඩ පැනලා නිකම් පැට්‍රෝල් පුච්චගන්න කලින් කඩේ මනුස්සයෙක්ට කතා කලා.

“මට විස්පර් පැක් එකක් දෙන්න.”

මෙන්න බොලේ පොර අරන් එනවා ක්‍රිස්කෝ බිස්කට් ටින් එකක්. මට හොල්මන්ද පොල්කොළ වුනා.

“මම ඉල්ලුවෙ ක්‍රිස්කො නෙමෙයි අංකල් විස්පර්”

පොර ටිකක් වෙලා මා දිහා පුදුමෙන් වගේ බලන් හිටිය. ඊට පස්සෙ ආයෙම ගිහින් අරන් ආවෙ අර කාර්ඩ්බෝඩ් පෙට්ටියෙ තියන ක්‍රිස්කෝ එකක්.

සමහර වෙලාවට මගේ අසහාය තීක්ෂණ බුද්ධිය මෙහෙයවලා උනත් ඉලක්කය කරා ළඟා වෙන්න අපහසු වෙනව. ඉතින් මම කලේ මගේ අපරිමිත ක්‍රීඩා කෞෂල්‍ය විදහා දක්වමින් පුලුවන් තරම් උඩ පැනලා රාක්කෙ උඩම තට්ටුව ස්පර්ශ කරපු එකයි.

දඩබඩාස් ගාල කාන්තා සනීපාරක්ෂක තුවා වැස්සක් වැටෙද්දි මම ජයග්‍රාහී ලීලාවෙන් එයින් එකක් ඇහිඳගෙන කඩේ මුදලාලිට දුන්න. පොර හොල්මනක් වගේ ඇස් ගෙඩි දෙක තඩි කරන් මගේ වීර්යවන්ත කොට ජීවිතේ දිහා බලන් උන්න.

ඇත්තටම තනියම ෂොපින් යන එක වුනත් ඉතාම දුෂ්කර වෙනව මගේ මේ මන නන්දනීය දේහ ප්‍රමාණය නිසාම. ඇඳුම් කඩ වලදි නම් සෑහෙන්න හොඳ සහයෝගයක් ලැබුනට පොත් කඩ වලදි ශබ්ද නගා ජාතිය අමතන්න හිතෙන තරමට අපහසුතාවයට ලක්වෙනව පොත් තෝරන්න ගියාම. මම ඉතින් ඕකට හේතුවත් දන්නව. ඔවුවයෙ වැඩ කරන උදවිය හද පත්ලෙන්ම ඉරිසියයි මගේ ආකර්ශණීය උස ප්‍රමාණය ගැන. අන්න ඒ නිසාම මම බොහෝ වෙලාවට එයාලට අනුකම්පා කරල රාක්ක මතට උස පැනීමේ යෙදෙනව.

කෝච්චියක හිටගෙන යන්න සිද්ධ වීම මට මේ චිත්තාකර්ෂණීය දේහ ප්‍රමාණය වෙනුවෙන් කැප කරන්න වුන තවත් එක සුලු වරප්‍රසාදයක්. කෙසේ වෙතත් මම මගේ නිර්මාණශීලී චින්තනයේ ආධාරයෙන් විසඳුමක් හොයාගත්ත. ඒ තමයි බස්සාව කනුවක් විදියට ප්‍රයෝජනයට ගැනීම. අපේ බස්සා නැති දාට වාඩි වෙලා යන්න සෙනඟ අඩු කෝච්චියක් එනකම් බලා ඉන්න හෝ බස්සෙකේ යන්න සිද්ධවෙන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

ඔය පොඩි පැකේජ්වල එන වටිනා දේවල් ගැන සමහර ඉරිසියාකාර දිගංචියන්ට විස්වාස නෑ. අන්න ඒ අය ඔය පහළ තියෙන ලැයිස්තුව කියෙවුවොත් මම කියන දේ බොරුවක් නොවන බව තහවුරු කර ගත්තැහැකි.

1bass

මගේ සුවිශේෂී දේහ ප්‍රමාණය නිසා හිමිවුන තවත් වරප්‍රසාදයක් තමයි මට හිමිවුන නික්නේම්. ඔහේල කාටවත් යාලුවො ආදරේට කියල තියෙනවද “රේ-මිස්ටීරියෝ” කියල? අන්න මගේ කොට භාවයේ අතුරු වරප්‍රසාද! නම අහද්දිත් සරුවාංගෙම කිළිපොලා යන හැඟීමක් දැනෙනව නේද?

ඔන්න ඕකයි මම හැමවෙලේම කියන්නෙ. මේ කොට භාවය මා විසින්ම පවත්වාගෙන යන්න තීරණය කරපු අතිවිශේෂ උරුමයක්! ඕන්න දැන් පහළින් වැටෙන කමෙන්ට් වලින් තමුන්නාන්සේලාට තහවුරු කරගන්න පුලුවන් දිගංචියන්ගේ ඉරිසියාව රුසියාවට වඩා ඉන්තේරුවෙන්ම විශාල බව.

**************
මේ පෝස්ට් එක පබ්ලිෂ් කලාට පස්සෙ අපේ ඩූඩ් දාපු කමෙන්ට් එකකට උත්තරයක් විදියට මම කොට ජීවිතේ තියෙන අනුපමේය වැදගත්කම් ලැයිස්තුගත කලා. ඒකත් පෝස්ට් එක අගටම ඇමිණුවා. කියවලා බලන්නකො බොරුද කියල.

* බස් එකේ වහලෙ ඔලුව හැප්පෙන එක හීනෙන්වත් නොවෙන නිසා ඉතාම උදාරම් විදියට අපිට කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න පුලුවන්.
* කොයි වෙලෙත් සැබෑ වයසට වඩා අඩු වයසක් පේන්නෙ.
* බැච් ෆොටෝ එකේ ඉස්සරහම පේලියේ සිටීමේ භාග්‍යය හිමිවීම නිසා ඔයාව යාලුවන්ට ලේසියෙන් අමතක වෙන්නෙත් නෑනෙ. ඔය දිගංචියන්ගෙ ඔලුගෙඩිය ඉතරයි බැච් ෆොටෝ එකේ තියෙන්නෙ.
* අනික එළිමහන් පීරියඩ්වල අකමැති සබ්ජෙක්ට් එකක් නම් පිටිපස්සටම ගිහින් ටීචර්ට නොපෙනි ඉන්න පුලුවන්. ආස හිතෙන පාඩමක් නම් කාගෙවත් විරුද්ධත්වයක් නැතුව ඉස්සරහම පේළියට යන්නත් පුලුවන්.
*ඩී ජේ එකකදි, ඩාන්ස් එකකදි කස්ටිය අස්සෙන් රිංගලා රිංගලා ස්ටේජ් එක ආසන්නයට ළඟා වෙන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව.
* උස යාලුවො හිමින් ඇවිදිද්දි උනත් උන්ගෙ වේගෙට ළඟා වෙන්න අපිට දුවන්න වෙන නිසා කොහොමත් අපේ ෆිට්නස් හොඳයි.
* දහතුන වසරෙදි උනත් බාගෙ ටිකට් එකෙන් බස්සෙකේ යන්න/ ෆිල්ම් බලන්න පුලුවන්.
* සෝෆා එකේ ඇඹරෙන්නෙ නැතුව දිගාවෙලා ටී.වී බලන්නත්, නිදා ගන්නත් පුලුවන්.
* ඕනෙම උසක සපත්තු දාන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම.
* බස් එකේ, කාර් එකේ සීට් අතර දුර අඩුයි කියන ප්‍රශ්ණය අපිට අදාල නෑ.
* අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පහළින් නිසා බිම ඇදන් වැටීමේ සම්භාවිතාවයත් අඩුයි නෙව.
* හිටගෙන අහන් ඉන්න බෝරින් ස්පීච් එකක් මැදදි කාගෙවත් අවධානයට ලක් නොවී ලිස්සලා යන්නත් පුලුවන්.

උපුටා ගැනීම – http://bassigenawathana.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල