දේශපාලන

බැඳුම්කර දේශපාලනය

Off

හඬපට හඬ පරයමින් නැවතත් බැඳුම්කර හඬ මතු වී තිබෙනවා. ඒ වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ වීමෙන් පසුවයි. තවමත් සම්පූර්ණ කර තිබෙන්නේ වාර්තා හයකින් පහක් පමණයි. ඒ වාර්තා පහේද ඇමුණුම් ප්‍රසිද්ධ කර නැති නිසා වාර්තා වල ඇති දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම තරමක් අමාරුයි. එහෙත්, අදාළ වකවානු වල බැඳුම්කර නිකුතු නිසා රජයට සිදු වූ අලාභය කියන නිශ්චිත කරුණ ගැන කතා කිරීමට ප්‍රමාණවත් තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ වී තිබෙනවා. දැනට ප්‍රසිද්ධ වී තිබෙන වාර්තා පහ පිළියෙළ කිරීම සඳහා අදාළ විගණන සමාගම විසින් රුපියල් මිලියන 275ක මුදලක් අය කර තිබෙනවා.

බැඳුම්කර දේශපාලනය අමතක කර මේ සිද්ධිය ගැන කතා කරන්න බැහැ. මේ හා අදාළ ක්‍රියාදාමය පටන් ගත්තේ 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු වෙන්දේසියෙන් පසුවයි. ඒ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී සත් සතියක් ගෙවිලාත් නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී මාසයයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුනේ එජාප, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් මහින්ද රාජපක්ෂට එරෙහිව ඔහුට සහයෝගය දුන් නිසයි. රාජපක්ෂ අනුගාමිකයින්ගේ පැත්තෙන් බැලු විට මහින්දගේ පරාජය අනපේක්ෂිත හා දරා ගන්න අමාරු එකක්ව තිබුණා. ජනාධිපතිවරණ වේදිකා වල මහින්ද ඇතුළු කණ්ඩායමේ හොරකම් හා දූෂණ ගැන විශාල ලෙස කතා වුනා. මේ කතා ඡන්දදායකයින් විසින් විශ්වාස කළ බව බොහෝ රාජපක්ෂවාදීන්ගේ අදහස වුනා.

මේ වෙද්දී රනිල් වික්‍රමසිංහට කාලයක් තිස්සේ ගොඩ නගාගත් “මිස්ටර් ක්ලීන්” ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධාන ඡන්ද ඉවත් වූ පසු එජාපය විශාල වාසිදායක තැනක හිටියේ නැහැ. ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ප්‍රදේශ බොහොමයක් ජයගත්තේ මහින්ද රාජපක්ෂයි. එවන් පසුබිමක එලැඹීමට නියමිතව තිබුණු මහ මැතිවරණය ජයගැනීම එජාපයට අභියෝගයක්ව තිබුණා.

ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාප හා සන්ධානගත වීම සැලකිය හැක්කේ එම පක්ෂය පැත්තෙන් ගත් උපක්‍රමික තීරණයක් ලෙසයි. ජවිපෙට මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට අවශ්‍ය වුනා. එය කළ හැකිව තිබුණේ එජාපයටයි. ඒ සඳහා එජාපයට ජවිපෙ සහයෝගය අත්‍යාවශ්‍යව තිබුණා. එජාපය හා ජවිපෙ එක පිලකට නොපැමිණියානම් මහින්ද රාජපක්ෂ පැරදෙන්නේ නැහැ. නමුත්, ජවිපෙට ඉන් ඔබ්බට එජාපය ශක්තිමත් වනු දකින්න අවශ්‍ය වුණේ නැහැ. ජවිපෙ උපක්‍රමය වුනේ එජාප හා එක්ව රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමෙන් පසුව, වඩා දුර්වල එජාපයටද වැටෙන්නට හැර 2020දී රටේ දේශපාලන බලයට කිට්ටු වීමයි. රාජපක්ෂලා ඉතා ඉක්මණින්ම නැවත හිස ඔසොවයි කියා ජවිපෙ ගණන් බලා තිබුණේ නැහැ.

බැඳුම්කර කතාව එළියට ආවේ මෙවැනි පසුබිමකයි. සිද්ධිය ජනගත කිරීමට වැඩිම දායකත්වය සැපයුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේ කිරීමට ජවිපෙට උපක්‍රමික හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් රාජපක්ෂලා දුර්වල වී සිටියදී රනිල් ශක්තිමත් වීමද වැළැක්වූ විට තෙවන පාර්ශ්වය වූ ජවිපෙට මහ මැතිවරණයේදී ජනතා ආකර්ශනයක් හිමිවීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණා. දෙවනුව, මෙය ඔවුන්ගේ “උනුත් හොරු මුනුත් හොරු” ප්‍රවාදය සමඟ හොඳින් ගැලපුනා. තෙවනුව, රාජපක්ෂවාදීන් විසින් ජවිපෙ වෙත අලවා තිබුණු රතු අලි ලේබලය හමුවේ තමන් එජාපයට ප්‍රතිවිරුද්ධ විකල්ප දේශපාලනයක යෙදෙන බව ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් ජවිපෙට තිබුණා. අද දක්වාම මේ සිද්ධිය ඉදිරියට ඇදගෙන යාමේ ප්‍රමුඛ කාර්යයක් ජවිපෙ විසින් කරනවා.

පරාජයේ කම්පනයෙන් වික්ෂිප්ත වී සිටි රාජපක්ෂවාදීන්ට මෙය අනපේක්ෂිතව ලැබුණු මහඟු අවස්ථාවක් වුනා. ඔවුන් වහා ක්‍රියාත්මක වී කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙක් බවට පත් කළා. බැඳුම්කර මගඩිය ලංකා ඉතිහාසයේ සිදු වූ ලොකුම මූල්‍ය වංචාව බව එජාප පාක්ෂිකයින්ද ඇතුළුව රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පටන් ගත්තා. නමුත්, සිදු වුනේ කුමක්ද කියන එක ගැන රටේ බොහෝ දෙනෙකුට හරි අදහසක් තිබුණේ නැහැ. අදටත් නැහැ. සමහර අය මෙය තේරුම් ගන්නේ මහ බැංකුව මංකොල්ල කෑමක් ලෙසයි.

මේ සිදුවීම හා අදාළව කමිටු ගණනාවක් පත් කෙරුණු අතර වාර්තා ගණනාවක් එළි දැක්වුනා. ජවිපෙ විසින් බොහෝ විට පදනම් කර ගත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාවයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ “අසාමාන්‍ය” බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් මිලියන 889ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් රුපියල් මිලියන 785 ක පාඩුවක් ලෙසයි.

එහෙත්, පොහොට්ටු පාක්ෂිකයින් විසින් ජනගත කළ අදහස් අනුව මේ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. 2015 අගෝස්තු මහ මැතිවරණයට මසකට පමණ පෙර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව ඒ වන විට රජයට සිදු වී තිබුණු අලාභය රුපියල් මිලියන 56,700ක්. මේ 2015 පෙබරවාරි 27 වෙන්දේසිය නිසා එදිනම සිදු වූ රුපියල් බිලියන 2ක අලාභයේත්, ඉන් පසුව අනෙකුත් රාජ්‍ය සුරැකුම්පත් වල පොලී අනුපාතික ඉහළ යාම නිසා සිදු වූ රුපියල් කෝටි 5,470ක (බිලියන 54.7ක) අලාභයන්හි එකතුවයි. මේ මුදල කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ට සාපේක්ෂව අති විශාල මුදලක්. මේ මුදල සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කළ පහත තිබෙන කබ්රාල්ගේ සාකච්ඡාවේදී තමන්ගේ කාලයේදී සිදු කළ බැඳුම්කර නිකුතු ගැනද කරුණු සොයා බලන මෙන් ඔහු අභියෝග කළා.

කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි මා මගේ වියුණු දෙකෙහි මේ සිදුවීම ගැනත්, පොදුවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළ තාක්ෂණික කරුණු ගැනත් කතා කරමින් ලිපි මාලා දෙකක් සහ තවත් තනි ලිපි ගණනාවක් පළ කළා. පළමු ලිපි මාලාවෙන් මා අවධානය යොමු කළේ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් රජයට සිදු වූ අලාභය ගැනයි. බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙය නොවූවත්, මේ ලිපි මාලාව හරහා මා පෙන්වා දුන්නේ ඉහත බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා නිසා රජයට සිදුව ඇති අලාභය විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ක මුදලට වඩා අඩු මුදලක් විය යුතු බවයි. එම ලිපි මාලාව හරහා මා ඉදිරිපත් කළ කරුණු ඇතැම් අයගේ කණස්සල්ලට හේතු වී ඇතත් අභියෝගයට ලක් වී නැහැ.

මා මේ ලිපි ලියන විට දැන් හෙළිදරවු වී ඇති බොහෝ කරුණු හෙළිදරවු වී නැහැ. ඒ නිසා, මට බොහෝ නිගමන වලට පැමිණෙන්න වුනේ න්‍යායාත්මක හා විශ්ලේෂණාත්මක පදනමක සිටයි. අලුතෙන් හෙළිව ඇති තොරතුරු වලින් එම නිගමන නිවැරදි බව සනාථ වී තිබෙනවා. ඒ නිසා, මා ලියූ දේවල් වෙනුවෙන් මට අදටත් පෙනී සිටිය හැකියි. ලියා පළ කළ සියළු ලිපි තව දුරටත් සංවාදයට විවෘතව අද දක්වාම එළෙසම තිබෙනවා.

මා විගණකාධිපති වාර්තාව හා ඒ මත පාදක වූ කෝප් වාර්තාව විවේචනය කළේ තාක්ෂනික පදනමක සිටයි. එම වාර්තා වල සඳහන් ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි.

පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1,154ක දීර්ඝ වාර්තාවක්. ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් මිලියන 689 ක් බවයි.

මේ අලාභය සිදු වී තිබෙන්නේ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ.

අළුත්ම වාර්තා අනුව, ඉහත කී කාලයේ මෙන්ම ඊට පෙර 2002 ජනවාරි 1 සිට 2016 මාර්තු 16 දක්වා වූ මුළු කාලය තුළ බැඳුම්කර නිකුතු වලින් රජයට සිදු වූ අලාභය ඇස්තමේන්තු කර තිබෙනවා. අදාළ ඇස්තමේන්තු සකස් කළ සමාගම ජාත්‍යන්තර විගණන සමාගමක් වීම හෝ එම සමාගමට රුපියල් මිලියන 275ක මුදලක් මේ වෙනුවෙන් ගෙවා තිබීම නිසා රජයට සිදුව ඇති හානිය පිළිබඳ මේ වාර්තා වල ඇති ගණන් බැලීම් හරියටම හරි කියා කියන්න බැහැ. මේ වාර්තා වල අලාභය ගණන් හදා තිබෙන්නේ අදාළ දිනයේ පැවති සාමාන්‍ය ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතිකය යටතේ රජයට අවශ්‍ය තරම් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකිව තිබුණේය යන පදනමින්. එය වැරදි උපකල්පනයක්. එහෙත්, කවර හෝ උපකල්පන මත නොපිහිටා අලාභය ගණනය කිරීමක් කළ නොහැකියි.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී රජයට සිදුව ඇති අලාභය අවම වශයෙන් රුපියල් මිලියන 1106.43ක්ද, උපරිම වශයෙන් 1114.63ක්ද වෙනවා. මේ ගණන් ජනාධිපති කොමිෂමේ වාර්තාවේ හා විගණකාධිපති/ කෝප් වාර්තා වල ඇති ඇස්තමේන්තු වලට වඩා වැඩියි. එහෙත්, අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි.

මේ ආකාරයටම 2002 සිට එක් එක් නිකුතු වලදී රජයට අලාභයක් සිදු වූයේද යන්නත් මේ විගණනයේදී සොයා බලා තිබෙනවා. මෙසේ අලාභ ගණනය කර තිබෙන පදනම නිවැරදියි මා සිතන්නේ නැති වුවත්, සියලු කාලපරිච්ඡේද හා අදාළව ඔවුන් යොදාගෙන තිබෙන්නේ එකම පදනමක් නිසා මේ ඇස්තමේන්තු සංසන්දනාත්මකයි. ඒ නිසා, උපකල්පන වෙනස් කර එක් කාලයක අලාභ අඩු හෝ වැඩි ලෙස ඇස්තමේන්තු කරන්නට සිදු වුවහොත් අනෙක් කාලයේ අලාභත් අනුරූපී ලෙස අඩු හෝ වැඩි වෙනවා.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 1 දින සිට සිදුව තිබෙන සමස්ත අලාභය රුපියල් මිලියන 6642.67ක්ද උපරිම වශයෙන් රුපියල් මිලියන 9690.16ක්ද වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 6.6-9.7 පරාසයේ අලාභයක්. ඊට පෙර 2005 සිට 2015 දක්වා කාලය තුළ රජයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 10.5-10.6 පරාසයේ (අවම වශයෙන් රුපියල් මිලියන 10477.31ක් හා උපරිම වශයෙන් රුපියල් මිලියන 10622.35ක් ලෙස) බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මගේ පෞද්ගලික මතයනම් 2015ට පෙර කාලයේදී අක්‍රමිකතා සිදුව ඇතත් මේ කියන ආකාරයේ අලාභයක් රජයට සිදුව නැති බවයි. අලාභයක් සිදු වුනා විය හැක්කේ රාජ්‍ය බැංකු වලට සහ සේවක අර්ථසාධක අරමුදලටයි. ඉන් පසු කාලයේද, රජයට අලාභයක් වූවානම් ඒ 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී පමණයි. එදින සිදු වී ඇති දෙය මේ වන විට රහසක් නෙමෙයි. ඒ අනුව, වඩාත්ම නිවැරදි ඇස්තමේන්තුව ලෙස මා සලකන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇස්තමේන්තුවයි.

මේ වන විට අර්ජුන් ඇලෝසියස් විසින් 2015 පෙබරවාරි 27 වෙන්දේසියට පෙර අභ්‍යන්තර තොරතුරු ලබාගෙන ඇති බවත්, අර්ජුන් මහේන්ද්‍රන් විසින් එම වෙන්දේසියට බලපෑම් කර ඇති බවත් පැහැදිලි කරුණක්. එය එජාප පාක්ෂිකයින්ට බැහැර කළ නොහැකි කරුණක්. ඒ නිසා, එජාපය දැන් උත්සාහ කරන්නේ එම වෙන්දේසියේදී රජයට අලාභයක් වූවානම් එම පදනම මත බැලූ විට ඊට පෙර යුගයේදී ඊට වඩා වැඩි අලාභයක් සිදු වී ඇති බව පෙන්වන්නයි. එවිට 2015 පෙබරවාරි සිදු වූ දෙය සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. වෝහාරික විගණන වාර්තාවෙන් එජාපයට අවශ්‍ය දෙය සිදු වෙනවා.

මේ වන විට එජාපය දේශපාලනිකව ශක්තිමත් තැනක නොසිටින නිසා උපාය මාර්ගිකව සැලකූ විට ජවිපෙට එජාපයට පහර දීමේ විශේෂ වාසියක් නැහැ. දෙගොල්ලන්ම එකයි කියන ඔවුන්ගේ දිගුකාලීන ප්‍රවාදය තහවුරු කිරීම ඔවුන්ට වඩා වාසියි. වෝහාරික විගණන වාර්තාවෙන් ඒ කටයුත්තත් සිදු වෙනවා. මූල්‍ය වෙළඳපොළ ඒකාධිකාරය, ළබැඳියා ගැටුම් වැනි බොහෝ කරුණු හා අදාළව ජවිපෙ විසින් දිගින් දිගටම කියන හා අපේ ලිපි වලද අප විසින් කතා කර තිබෙන දේවල් බොරු නෙමෙයි. ඒ බව මේ විගණන වාර්තා වලින් නැවත වරක් තහවුරු කර තිබෙනවා.

එහෙත් මේ තත්ත්වයන්ට මුල් වී ඇති හේතුව ලෙස අප විසින් හඳුනා ගන්නේ ජවිපෙ විසින් හඳුනා ගන්නා දෙයම නෙමෙයි. අප ඊට වඩා පියවරක් ආපස්සට යනවා. ඒ නිසා, අප විසඳුම ලෙස දකින්නේ ජවිපෙ දකින විසඳුම නෙමෙයි. ජවිපෙට අනුවනම් දැන් ප්‍රශ්නය ඔවුන්ගේ මැදිහත්වීම නිසා විසඳී තිබෙනවා. එහෙත් අප එය ස්ථිර විසඳුමක් සේ දකින්නේ නැහැ.

බැලූ බැල්මටම පෙනෙන පරිදි වෝහාරික විගණන වාර්තාව පොදුජන පෙරමුණට අවාසිදායක එකක්. ඔවුන් විසින්ම ඉදිරිපත් කළ උපකල්පනයක් වන සෘජු ක්‍රමයට ද්වීතියික වෙළඳපොළ පොලියටම ප්‍රමාණවත් අරමුදල් සපයාගත හැකිව තිබුණේය යන පදනම මත පෙර වසර වල රජයට සිදු වූ අලාභ ගණනය කර තිබීම නිසා ඔවුන් උගුලක සිර වී සිටිනවා. එහෙත්, ඔවුන්ට ඒ අවාසියෙන් ගැලවිය හැකි මාර්ග මෙහි ඉතිරි වී තිබෙනවා. 2005-2015 අතර රජයට සිදුව ඇති අලාභයෙන් 95%ක් පමණම රාජ්‍ය බැංකු වලට හෝ සේවක අර්ථසාධක අරමුදල හරහා නැවත රජයට ලැබී ඇති බව වැනි තර්ක ඔවුන්ට ඉදිරිපත් කළ හැකියි.

බැඳුම්කර වෙන්දේසියෙන් සිදුවූ අලාභයට අමතරව 2005-2015 කාලයේ ඇතැම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට සිදුව ඇති හානි පෙන්වා දීමට පසුබිමක්ද මේ විගණන වාර්තා නිසා ලැබී තිබෙනවා. විශේෂයෙන්ම 2008 හා 2012 වසර වලදී. විගණන වාර්තා අනුව රජයට වූ පාඩුවේ වැඩි කොටස සිදුව තිබෙන්නේ රුපියල නාමික පදනමකින් පවා අධිප්‍රමාණය වෙන්නට සලස්වනු ලැබූ ඒ දෙවසර තුළදී. රජයට සිදු වූ පාඩු ලෙස පෙන්වා ඇති සංඛ්‍යා තුළ මේ එක් එක් වසර වලදී පැවති සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ අපිළිවෙළ (ඇනෝමලිය) පිළිබිඹු කරනවා. 2005-2015 වැරදි ආර්ථික ප්‍රතිපත්ති කියන එකෙන් අදහස් කළේ 2015-2019 ප්‍රතිපත්ති මුළුමනින්ම නිවැරදියි කියන එක නෙමෙයි.

රුපියල් මිලියන 275ක් අය කර මේ විගණනය සිදු කළ සමාගම විසින් අන්තිමේදී සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 275කට වඩා අඩුයි කියා හොයා ගත්තානම් ඔවුන්ට කොන්ත්‍රාත්තුව භාර දුන් අය අමාරුවක වැටෙනවා. මෙහි අලාභය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැති නිසා එය කොහොමටත් කරන්න වෙන්නේ මොනවා හෝ උපකල්පන මතයි. විගණන සමාගම විසින් වැඩි අලාභයක් පෙන්විය හැකි පරිදි ඔවුන්ගේ උපකල්පන සිදු කර තිබෙනවා. මේ උපකල්පන සහ විශේල්ෂණ අප අපේ බ්ලොග් ලිපි ලියන විට සිදු කරන විශ්ලේෂණ වලට සාපේක්ෂව වුවත් ඉතා සරලයි.

කොහොම වුනත්, මාස කිහිපයකින් මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීම අභියෝගාත්මක කාර්යයයක්. ලිපි පෙළ ලියන්න පටන් ගනිද්දී මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ පසුබිම් කරුණු ගැන මනා අවබෝධයක් අපට තිබුණත්, අදාළ විගණන සමාගමේ නිලධාරීන්ට මේ දේවල් මුල සිටම හදාරන්න වෙනවා. ඔවුන් කර තිබෙන්නේ ඔවුන්ට කළ හැකි දේ. විගණනයේ මූලධර්ම හා ආර්ථික විද්‍යා මූලධර්ම හැම විටම සමාන නැහැ. ආර්ථික ලාභ හා ගිණුම්කරණ ලාභ (හෝ අලාභ) අර්ථ දක්වන්නේ එකම ආකාරයට නෙමෙයි. ගිණුම්කරණ සම්මත වෙනස් වෙන කොට ගිණුම්කරණ ලාභ වෙනස් වෙනවා. ආර්ථික ලාභ එසේ වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ආර්ථික ලාභ ගණනය කිරීමේදී විවිධ අවිනිශ්චිතතා ගැන සැලකිල්ලට ගන්නා නිසා හරියටම සතේටම ගණන් හදන්න අමාරුයි. බොහෝ විට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ මිනුම් වරදක් එක්කයි. එවැන්නක් මත පදනම්ව නීති ක්‍රියාමාර්ග ගන්න අමාරුයි. විගණන ඇස්තමේන්තු ඒ වැඩේට වඩා ගැලපෙනවා.

සිදුව තිබෙන අලාභය මීට වඩා බෙහෙවින්ම අඩු බව අපට පෙන්වා දිය හැකි වුවත්, එය මේ වෙලාවේ පොදුජන පෙරමුණේ, ජවිපෙ හෝ එජාපෙ යන කිසිදු පක්ෂයක පාක්ෂිකයින් සතුටු කරවන්නක් නෙමෙයි. එවැනි පාක්ෂිකයින් නොවන බොහෝ දෙනෙක් පවා මේ අලාභය විශාල වන තරමට සතුටු වෙනවා. රටේ දැවැන්ත හොරකම් සිදුවන විට තමන්ට පොඩි හොරකමක් කරන්න හිත හදාගන්න ලේසියි. කොහොම වුවත්, අපේ අදහස් දැනගන්න කැමති ටික දෙනෙක් හෝ ඉන්න නිසා අපේ හෘදය සාක්ෂිය අනුව අපට නිවැරදි සේ පෙනෙන දෙය සටහන් කරන්න අප පැකිළෙන්නේ නැහැ.

ඉකොනොමැට්ටා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල