කාලීන සංවාද, දේශපාලන

පෙබරවාරි හතරේ හිර කරන සෞභාග්‍ය යේ නිදහස

0

වර්ෂ 1815 වසරේ අත්සන් කරන ලද ගිවිසුමක් මගින් සිංහල ද්වීපය නොහොත් සිංහලේ රටවල් බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීම සිදු විය. මෙම කාල වකවානුවේ සිට වසර එකසිය පණහකට ආසන්න කාලයක් දක්වා මේ රට පාලන කළ ඉංග්‍රීසීන් 1948 පෙවරවාරි 04 වන දින ලංකා නිදහස් පණත නිදහස් රාජ්‍ය පණත ආරක්ෂක ගිවිසුම ඇතුලු පනත් කීපයක් මගින් ලංකාවට නිදහස ප්‍රදානය කළහ. නමුත් 1815 ගිවිසුමට අනුව නම් ඉංග්‍රීසීන් මේ රට නැවත භාර දිය යුතු වන්නේ පෙර අත්සන් කරන ලද උඩරට ගිවිසුම සිහිපත් කරවමිනි.එසේ වූයේ නම් ලංකාවට පූර්ණ ස්වාධිපත්‍ය හිමි වීමට ඉඩ තිබුණී.එහෙත් ඉංග්‍රීසීන් අනුදත් පණත් කීපයකින් නිදහස ප්‍රදානය වීම නිසා තවදුරටත් බ්‍රිතාන්‍ය මහ රැජිනට වග කියන ආණ්ඩුකාර වරයෙකු ගේ සහ පාර්ලිමේන්තුවක පාලනයට රට බැඳ තබා ගැනිමට අවසර හිමි විය. විශේෂයෙන්ම මෙහිදී ආරක්ෂක ගිවිසුම පෙන්වා දිය හැකිය. එහි පළමුවන වගන්තියේ සහ අවසාන වගන්තියේ සඳහන් වන පරිදි බ්‍රිතාන්‍ය නාවික සහ ගුවන් හමුදාවන්ට ලංකා භූමියේ ඉඩකඩ ලබා දිය යුතුය.පහසුකම් සැලසිය යුතුය. එසේම පොදු රාජ්‍ය (පොදු ධන ) මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ලංකා රාජ්‍යය සිය වගකීම ඉටු කළ යුතුය.මෙය කිසි සේත් නිදහස ලෙසට හඳුන්වන්නට නොහැකි වුණි. ස්වදේශිකයන් අතට පාලන බලය හිමි වුවද පෙර සිරිත අනුව රට පාලනය කර ගැනීමේ අයිතිය මේ දේශපාලනය තුළ අහිමි වී තිබෙන බව නිදහසේ ස්වභාවය ගැන කල්පනා කරන විට වැටහේ.එබැවින් වර්ෂයක් පාසා පෙබවරවාරි 04 නිදහස් දිනය වශයෙන් සැමරීම කෙතෙරම් කාලෝචිතද යන්න කල්පනා කොට බැලිය යුතුය.

එක්සත් ජාතික පක්ෂය ආසන 14 කට පසු බස්සවා ජයග්‍රහණය හිමිකර ගත් සිරිමා මැතිණිය 1972 වසරේ මැයි 22 දින දී මහජනයා ඉදිරියේ දිවුරුම් දී ලංකාව පූර්ණ නිදහස් ස්වෛරී ජන රජයක් බවට පත් කළ ආකාරය මෙහිදී යළි සිහිපත් කළ යුතුය. මෙයට එක්සත් ජාතික පක්ෂය සහමුලින්ම විරුද්ධ විය. පෙබරවාරි 04 නිදහස සැමරීමෙන් බැහැරව ජනරජ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහි විය. මේ වන ජේ.ආර්. ජයවර්ධන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සැසි වාරයකට සාභාගි වීම පිණිස එංගලන්තයට ගොස් සිටියේය. ඔහු ආපසු ලංකාවට පැමිණියේ 1972 මැයි 17 වන දිනය. වෝඩ් පෙදෙසේ ඔහුගේ නිවස්නය වෙත ගිය පසු කළ පළමු කාර්යය නම් ජනරජ දිනය අගයා ප්‍රකාශයක් කිරීමයි.එම ප්‍රකාශය මෙසේය. ප්‍රශ්ණ බදාගෙන ජනතාව උසි ගැන්වීම වැරදියි යනුවෙන් එම ප්‍රකාශය මැයි 24 දිනමිණ පත්‍ර යේ පළ විය.

ලංකාවේ විරුද්ධ පක්ෂයේ කර්තව්‍ය කුමක් විය යුතුද.පසුගිය විසි අවුරුද්ද තුළම සෑම ආණ්ඩුවක්ම මුහුණ පෑ සමාජය වෙනස් කිරීමේ ප්‍රතිපත්තියට අපත් විරුද්ධ විය යුතුද.සමාජය වෙනස් කිරීමට තැත් කළ අයට විරුද්ධ වීමෙන් අයත් වූ ඉරණම අපට නිදසුනකි.විරුද්ධ වීමේ පළියට විරුද්ධ නොවී බලයේ සිටින රජය සාධාරණ සමාජවාදී සමාජයක් පිහිටුවීමට තැත් කරනවානම් එයට සහාය දීම අප කළ යුතු නොවේ ද මෙය දැන් ජීවත් වන පරම්පරාවටත් ඉදිරි අනාගතයේ ඇති වන පරම්පරාවලටත් සෙත සලසන ක්‍රමයක් නොවේද නව සමාජයක් ගොඩ නැන්වීමට නව රජය ගන්නා පියවර වලට සහය නොදී ජීවන වියදම ප්‍රශ්ණය රැකී රක්ෂා ප්‍රශ්නය විදේශ විනිමය හිඟ ප්‍රශ්නය ආහාර ද්‍රව්‍ය හිඟ ප්‍රශ්ණය ආදී කී නොකී ප්‍රශ්න බදාගෙන ජනතාව උසි ගැන්වීමට වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම රට ප්‍රපාතයට වැටී ඇති අවස්තාවකට උචිතද

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ අග්‍රාණ්ඩුකාරයෙකු පත් කර ස්වදේශිකයන් හට රට පාලනය භාර දී වසර විසිහතරක් ගෙවුණු තැනදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගනිමින් ස්වාධීන රටක් නොහොත් ජනරජයක් නිර්මාණය කරගන්නට අපට හැකි වූයේ ජාති මාමකත්වයෙන් ඔද වැඩුණු ජන බලවේගයකින් පත් වූ ආණ්ඩුවකින් ගත් තීරණ නිසාවෙනි. එවකට තිබූ විදේශ ප්‍රතිපත්තිය රටේ ආර්ථික වෙනස්කම් ආදී සියල්ල මේ තීරණය ගැනීමට බලපා තිබේ. එවැනි අවස්ථාවක එයට සහාය පළ කළ යුතු බවට එදා ජේ.ආර්. ජයවර්ධන මහතා කළ ප්‍රකාශය සත්‍යය වුවත් ඔහු නැවත 1978 දී බලයට පත් වූ පසු ජනරජ ව්‍යාවස්ථාව වෙනස්කර නැවත වෙස්ට්මිනිස්ටර් පන්නයේ සංශෝධන රැසක් ඈඳා රටේ ස්වාධීනත්වය නැති කරලීමට කටයුතු කලේය.එම ව්‍යවස්ථාවේ 4 (8) වගන්තියෙන් පෙබරවාර් 04 නිදහස් දිනය වශයෙන් දක්වා තිබුණි. එමෙන්ම මානව හිමිකම් ප්‍රඥප්ති රටේ නීතියට වඩා ඉහළින් තබා මේ ව්‍යවස්ථාව නිර්මාණය කර තිබුණී. එසේම ඒකීය රටක් වූ ලංකාව භාෂාත්මකව බෙදීමට මෙන්ම 13 වන සංශෝධනය මගින් භූමියෙන් රට බෙදිමට ප්‍රතිපාදන වෙන් කරන ලද්දේය..1978 සිට මේ රටේ නැවත ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදය මෙන්ම එයට එහා ගිය නව යටත් විජිත සංකල්ප මත එතනින් පසු අපට පූර්ණ නිදහස ක්‍රමයෙන් අහිමි වූ බව පසු ගිය කාලයේ සිදු වූ සිදුවීම් වලින් පැහැදිලි වේ..

රට නැවත එංගලන්තයේ සහ ඇමරිකාවේ යටත් විජිතයක් බවට පත් කරලීමට සකස් කළ බෙදුම්වාදී යෝජනා එට්කා ඇක්සා සහ එම්.සී. සී. ගිවිසුම් ආදිය මගින් රජයේ ස්වාධීනත්වය ක්‍රමයෙන් පිරිහීමකට ලක් කර ඇත.බ්‍රිතාන්‍යයන් සමග එදා ඇති කරගත් ආරක්ෂක ගිවිසුම නව වටයකින් ඉදිරියට එමින් ඇමරිකාව සමග අත්සන් කර ගැනීමට සහ ඔවුනට ලංකා භූමියේ හමුදා පහසුකම් දීමට සිදුව තිබේ.රුපියලේ අගය අඩු කිරීමට සහ රටේ ආර්ථිකය ඝාතනය කරලීමට විදෙස් අනුමැතිය සහිතව කුමන්ත්‍රණයක් දියත් වීමේ ප්‍රතිඵලය මත මේ සියල්ල සිදු විය. මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදු වූයේ ඉහත යටත් විජිත අරමුණු ඉටු කරලීමටයි. මෙයට විරුද්ධ විය හැකි ජාතිමාමක බලවේග මර්දනය කරලීමට විනිසුරුවන් සහ පොලිසිය අව භාවිත කළ ආකාරය දැන් හඬ පට මගින් හෙළිදරව් වී තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ඉත්තෙකු වශයෙන් තබා ගෙන ක්‍රියාත්මක වූ මේ මෙහෙයුම පූර්ණ වශයෙන් අවසන් වූයේ නම් අප නිදහස සමරන්නේ නැවත ඇමරිකන් තානාපතිවරුන්ගේ මූලිකත්වයෙනි. පසුගිය කාලයේ ඇමරිකන් තානාපතිනිය හැසිරුණු ආකාරය මේ අවස්ථාවේ මතකයට නගා ගනුයේ උදාවන්නට නියමිත ව තිබූ පරාධින බව සිහිපත් කරලීමටයි.කෙසේ වෙතත් මේ පීඩනයට එරෙහිව ඇතිවූ ජාතිකත්ව බලවේගය ගොනුවන ලද්දේ මහින්ද සුළඟ නම් අනපේකෂීත රැල්ල හරහාය. එය අවසාන වශයෙන් මහින්ද මහතා නොව ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අසුනේ තැබීම දක්වා පුළුල් විය.එය සැබවින්ම ජාතිය විසින් ඓතිහාසිකව කළ සම්මුඛ පරීකෂණයක් විය.එයින් ඔහු ජයග්‍රහණය කලේය. රටේ බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා චන්දය ප්‍රකාශ කරන ලද්දේ රටේ නිදහස ස්වාධිපත්‍ය සහ තීරණ ගැනීමේ බලය තවදුරටත් සිංහල යන් සතු වන බැවිනි.

ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෞභාග්‍යොයේ දැක්ම නමින් විය. මේ දැක්ම තුළ රට ඉදිරියට යන්නට නම් රට නිදහස් විය යුතුය.එහෙත් 1948 වසරේ එකඟ වූ ආරක්ෂක ගිවිසුම තවමත් අවලංගු කර නැත.එහි දිගුවක් වූ ඇක්සාව පසුගිය කාලයේ තවත් පුළුල් කරගන්නට ඉඩකඩ විවර විය.එසේම ඇමරිකාවට අවැසි පරිදි මේ රටේ ඉඩම් පරිහරණයට අවස්ථාව සලසන එම්. සී. සී. ගිවිසුම සහ ව්‍යාපෘති වල බලපෑම ඉවත් කරගන්නට නොහැකි මට්ටමක තවමත් පසුවේ. යළි අප පෙබරවාරි 04 දිනයේ නිදහස සමරන්නට යන්නේ ජනතා රජයක අභිලාශය වන නිදහසේ අපේක්ෂාව සහ සෞභාග්‍ය දැක්ම එහි හිර කරමිනි. අපේ ඉතිහාසය විසින් 1972 දී ජනරජයක් ප්‍රකාශයට පත් කළ බවත් ජනපතිවරයෙකු රටට හඳුන්වා දුන් බවත් වර්තමාන රජයටද අමතක වී තිබේ. ඔවුහු පෙබරවාරි 04 නිදහස සමරන්නට යන්නේ එහෙයිනි. අප ගේ මුතුන් මිත්තන් මේ රට බ්‍රිතාන්‍ය යන්ට භාර දුන් මාර්තු 02 ට යලි ආපසු යෑමට හැකිවුවහොත් පූර්ණ නිදහස පමණක් නොව සෞභාග්‍ය ද ළඟා කර ගත හැකි වනු ඇත. එහෙත් ඒ ඉලක්කය වෙත පියවර මැනීමට රටක් වශයෙන් ජාතියක් වශයෙන් ශක්තිමත් විය යුතුය. එම නිසා අඩු ගණනේ 1972 මැයි 22 දින මේ රටේ ජනරජයක් බවට පත් කළ බව නැවත සිහිපත් කර ගැනීම සහ එදා ගත් ඓතිහාසික පියවර කෘතඥපූර්වකව සිහිපත් කර ගැනීම යුතුකමකි.ඒ සඳහා 1978 ව්‍යවස්ථාවේ 4(8) වගන්තිය වෙනස් කළ යුතුය. නිදහස සැමරීම අර්ථවත් කරගත හැක්කේ එවැනි තැනකින් ආරම්භ කළහොත් පමණකි.

mathugama seneviruwan

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල