සඳැස් / නිසඳැස්

“මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න…”

Off

අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක අපිට ඇතිවෙනවා. අර රචකයාගෙ කතාව මතක් වෙනවා. සිද්ධිය මැවිල පේනවා. ගීත රසවිඳින්නන්ට ඒක හරි සුන්දර අත්දැකීමක්.

ඉතින් අද මේ කියන්න හදන්නෙ මං අහපු ඒ වගේ කතාවක්. මං දන්නවා මේ වගේ දේවල්, ඒ කිව්වේ, මං ඕකට පාවිච්චි කරන වචනෙ ගී නිධාන කතා, අහන්න ආස සහෘදයන් රාශියක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙනුයි අද මේ ලිපිය. සමහර විට මේ කතාව මීට කලින් අහපු අයත් ඇති. ඒ අය මට මොහොතකට සමාවෙන්න.

මට මතක විදියට ඒ දෙදාස් දහය අවුරුද්දෙ. ඔව්, ඔව්, අපි ඒ ලෙවල් කරපු අවුරුද්දෙ. බදුල්ල ධර්මදූත ඉස්කෝලෙ අපේ යාලුවෝ සෙට් එකක් හිටියා සංගීතෙට බොහොම ලැදි. උන් පොඩි ගෲප් එකකුත් හදාගෙන හිටියා. සිංදුවක් දෙකක් එහෙමත් කලා. අපි හිටියෙ මහ විද්‍යාලේ. ඒත් මහවිද්‍යාලෙ එවුන්ටත් වඩා අපි මුන් සෙට් එකත් එක්ක ෆිට්වෙලා හිටියා. ක්ලාස් එකකට ආවත් ඒක පටන් ගන්නකල් මුන් ටික කලේ සිංදු කියපු එක. තව මොනා හරි කියන්න ගියොත් අනිවාරෙන් මාතෘකාවෙන් පිට පනිනවා. ඒ නිසා ඒ කතා මෙහෙමම නතර කරල කියන්න හදපු දේ කියන්නම්.

ඉතින් මං මේ කියපු යාලුවෝ සෙට් එක හරිම අපූරු වැඩසටහනක් සංවිධානය කලා. ඒ තමා කපුගේ සමරු වැඩසටහනක්. ඔය වෙනකොට විභාගෙ එහෙම ලියල මං ගෙදර ඇවිත් හිටියෙ. ඉතින් ඒ නිසා එයාල මට කතාකරල මේ පණිවිඩේ දුන්නා. ඉතින් නියමිත දවසේ උදෙන්ම මමත් කවිකාරිත් මහියංගනෙන් බදුලු බස් එකකට නැග්ගා. මට මතක විදියට ඒ දෙසැම්බර් හෝ නොවැම්බර් මාසෙ දිනයක්.

අපිත් ඉතින් බදුල්ලෙන් බැහැල අදාල තැනට ගිහින් හොඳින් වේදිකාව පේන තැනක වාඩිවුනා. හැම තැනම කපුගේගෙ සිතුවම් වලින් සරසල තිබුනා. ඔහු ගැයූ ගී වල කොටස් තැන් තැන් වල හරිම අපූරුවට සටහන් කරල තිබුනා. මට දැනුනෙ ආරාමයකට ගොඩ උනාවගේ ශාන්ත බවක්. ඉතින් සාමාන්‍ය විදියටම මෙවන් උත්සවයක සමාරම්භය සිදු කරන අයුරින්ම මුල් කොටස් ටික සිද්ධ උනා. මීළඟට තිබුනෙ එතනින් එහාට මෙම උත්සවය, එසේත් නැතිනම් කපුගේ අනුස්මරණ ගීතාවලිය ඉදිරියට මෙහෙයවාගෙන යාමේ කටයුත්ත. ඒ කියන්න මං පුල පුලා බලාසිටි අවස්ථාව.

ඒ මොකද කියල කියනවානම් ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා උනේ රත්න ශ්‍රී විජේසිංහයන්! මට ඉතින් එදාට කෑම ඕනිත් නෑ ඔන්න. එතන සිදුවීම්, ගායනා කල ගීත, කීව දේවල් හැම දෙයක්ම මං ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා මං දැන් මේ ලියන්න හදන්නේ මේ අද ඔබ හමුවට ගෙනා ගීතයේ කතාව රත්න ශ්‍රී මහත්මයාම කීව හැටියි. එහෙනම් මෙතනින් එහාට ඒ කතාව මගේ මතකයේ හැටියට එතුමා කියූ ලෙසම ඔබට ගෙනෙන්නම්.

එතුමා කිව්වේ මෙන්න මේ විදියට..

“මේ කියන්න යන සිදුවීම උනේ මං උසස්පෙළ ලියන කාලේ. උසස් පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රධාන විශයන් සියල්ල නිමවෙලා තිබුනේ. අන්තිමට ඉතුරුවෙලා තිබුනෙ ඉංග්‍රීසි විශය විතරයි. ඒත් ඉංග්‍රීසි විශය තිබුනෙ අපේ අන්තිම විශයත් ඉවරවෙලා සතියකට විතර පස්සේ. ඉතින් ඒ නිසා සතියක කාලයක් යනතුරු කරන්න තරම් විශේෂ වැඩක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් එක්ක හිටපු මිතුරන් විවිධ දේවල් සැලසුම් කලා. ඔය අතරෙ හිටපු එක් මිතුරෙක් තමන්ගෙ ඥාතිවරයකුගේ නිවසකට යන්න තීරණය කලා. ඒ නුවර එළියේ. ඉතින් ඔහු ඒ නිවාඩු දවස් කිහිපය ගතකරන්න නුවර එළියට ගියා.”

“ඉතින් ඔහුට ගතකරන්න තිබුනෙ බොහොම සුන්දර පරිසරයක සුන්දර කාලයක්. සොබා සෞන්දර්‍යයෙන් අනූන පරිසරයක තමයි ඔහු නතරවෙලා හිටියේ. ඉතින් මෙයා හැමදාමත් උදේට අවධිවෙලා ඒ අවට මංමාවත් වල ඇවිදින්න පුරුදුවෙලා හිටියා. තේවතු මැදින් වැටිල තිබුන අඩි පාරවල් වල ඔහු ඇවිදගෙන අවට සිරි නරඹමින් ගියා. මෙහෙම යන දවසක ඔහු යන පාර ඉස්සරහට මුණ ගැහුනා යුවතියක්. පෙනුමෙන් ඇය දමිළ යුවතියක් බව ඔහුට වැටහෙනවා. ඒ උනත් ඇය බොහොම ලස්සන සුන්දර යුවතියක්. මේ විදියට දෑස් හමු උන පළමු දවසෙම මේ දෙදෙනාගේ දෙනෙත් අතර බැඳීමක් ඇතිවුනා. ඔවුන් ටිකක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටියා. ටිකකින් ඔහු ඇයට කතා කලා. හැබැයි සිංහලෙන්. ඒත් ඇයට එක සිංහල වචනයක්වත් නොතේරුණු බව ඇගේ හැසිරීමෙන් ඔහුට අවබෝධ උනා. ඒත්.. කරන්න දෙයක් තිබුනෙ නෑ, ඔහුට දෙමළ භාශාව පුලුවන් කමක් තිබුනෙත් නෑ.”

“මේ විදියට දවස් ගානක් ඔහුට ඇයව හැම උදයකම මුණගැහුනා. හැමදාමත් දෙන්නට දෙන්න හිනා උනා. ඇස් වලින් අදහස් හුවමාරු කරගත්තා. ඒත් කවදාවත් එක වචනයක්වත් කතාකරන්න පුලුවන් උනේ නෑ. ඒක හරි කණගාටුදායක දෙයක්. කියාගන්න දාහක් දේවල් ඔවුන්ට තියෙන්න ඇති. ඒත් කතාකරන්න විදියක් ඔවුන්ට තිබුනෙ නෑ. අඩුම තරමෙ ඇගේ නමවත් ඔහු දැනගෙන හිටියෙ නෑ. ඩිංගක් හිතල බලන්න. ඒ හැඟීම කොච්චර සංවේදිද කියලා. මේ හැමෝම මිනිස්සු. එකම වර්ගයක ජීවීන්. මේ හදවත් අතර හැඟීම් ඇතිවෙන්න, ජාතිය, ආගම්, කුලමල, භාශාව වැදගත් වෙන්නෙ නෑ. ඒත් සියුම් මානව හැඟීම් වචන වලට පරිවර්ථනය කරගන්න බැරි මහා බාධකයක් ඔවුන් ඉදිරිපිට තිබුනා.”

“සතියකට ආසන්න කාලය ඉතාම ඉක්මනට ගෙවුනා. ඉතින් මගේ යාලුවටත් තමන්ගෙ නිවාඩුව ඉවරකරල ආපහු එන්න කාලය ළං උනා. ඉතින් ඔහු එන්නෙ හෙටයි කියල ගෙවුනු අවසාන රෑ, එදා හැන්දෑවෙ පොඩි සාදයක් ලෑස්ති කරල තිබුනා. ඔහුගේ සමුගැනීම වෙනුවෙන්. ඉතින් තමන්ගෙ ඥාතියා ඒ සාදයට අහල පහල කිහිප දෙනෙකුටත් ආරාධනා කරල තිබුනා. ඉතින් රෑ හතට විතර සාදය පටන් ගත්තා. මගේ මිතුරා පුදුමයට පත් කරමින් මේ සාදයට අර මං කලින් කියපු ඔහුට මඟදි නිතර හමු උන ගෑණු ළමයත් ඇවිත් හිටියා. බොහොම ලස්සනට ඇඳල, මාල වළලු දාල, ඇය සුරංගනාවියක් වගේ ඇගේ පියාත් එක්ක මේ සාදයට ඇවිත් හිටියා. ඔහු නොදැන උන්නට ඇගේ පියා මගේ මිතුරාගේ ඥාතියාගේ සමීපතම හිතවතෙක්. ඔහු ද්‍රවිඩ උනත්, මේ සිංහල දෙමළ පවුල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබිල තියෙනවා. මේ වෙලාවෙ ඔහුට දැනගන්න ලැබෙනවා මෙච්චරකල් තමන් සමඟ හදවතින් පමණක් කතාකල යුවතියගේ නම. ඇය ශාන්තිනී.”

“සාදය අතර තුරත් වරින් වර එකිනෙකාගේ දෑස් හමුවෙමින් වෙන් වෙමින් මේ දෙදෙනා කතාකරගන්න බැරුව දාහක් දේවල් හිත් වල හංගගෙන හිටියා. ඒත් ඔහු දැනගෙන හිටියා මේ බැඳීම තමන්ගෙ හදවතටම සීමා කලයුතු බව. මේ ලෝකයේ සම්ප්‍රදායන් වලට අනුව මේ හැඟීම පිටකරගන්න ශාන්තිනීටවත් තමන්ටවත් බැහැ කියන එක.හැම දේම ඒ විදියට අවසන් උනානම් සමහර විට අද මේ කතාව මට ඔයාලත් එක්ක කියන්න බරිවෙන්න ඉඩ තිබුනා. මං එහෙම කිව්වේ මේ සාදය අවසාන අවස්ථාවෙ එක් විශේෂ සිදුවීමක් උනා. ඉතින් හැමෝම කාල බීල, සතුටුවෙලා අන්තිමේදී අමුත්තන් වෙනුවෙන් පුංචි කතා කිහිපයක් පැවැතුවුනා. අන්තිමේදී මේ සාදය පවත්වන්න හේතු වෙච්ච මගේ මිතුරාටත් යමක් කියන්න අවස්ථාව උදා උනා. ඉතින් ඔහු යමක් කියන්න උත්සාහ කලා. හැමෝටම ස්තූති කලා. ඒත් මෙහෙම කතා කරන අතර තුර මං කීව යුවතියගේත් මගේ මිතුරාගේත් දෑස් අනන්තවාරයක් එකිනෙක හා ගැටුණා.”

“අවසානයේ ඔහු කිව්ව මං හෙට මෙහෙන් යනවා, සමහර විට ආයෙ කවදාවත් අපි හමු වෙන එකක් නෑ කියලා. ඇයට මේ කිසි දෙයක් තේරුණේ නැතිවෙන්න ඇති, ඒත් එහෙම කියල ඔහු වාඩිවෙන්න හදනකොට අර යුවතිය එකපාරටම මහ හයියෙන් අඬන්නට පටන්ගත්තා. හැමෝම පුදුම උනත් මගේ යාලුවාටනම් ඒක පුදුමයක් උනේ නෑ. ඒ වෙනුවට ඔහුත් හැමෝටම හොරා දෑස් වල පිරිච්ච කඳුලු පිහදගත්තා.”

“ඉතින් මේ සිද්ධිය ඇසුරුකරගෙන තමයි අපි මීළඟට අහන්න යන ගීතය මගේ අතින් ලියැවුනේ. ගීතය කපුගේ සංගීතවත් කලා, දිවුල්ගනේ ගායනා කලා. ඉතින් සමස්ථයක් විදියට මට මේ අත්දැකීමෙනුත්, ගීයෙනුත් කියන්න ඕනි උනේ, මානව හදවත් තුල ගොඩනැඟෙන සියුම් බැඳීම වලට ආගමක්, ජාතියක්, භාශාවක් අදාල වෙන්නෙ නෑ කියලයි. අපි හැමෝම මිනිස්සු.”

“ගීතය අහන්න කලින් මං තව එකම එක දෙයක් කියන්නම්. මෙච්චර දේවල් කතා කරපු එකේ මං මේ රහසත් එළිකරන්න ඕනි. මේ සිද්ධියට මුහුණ දීපු මගේ යාලුවා වෙන කවුරුවත් නෙවෙයි, මමම තමයි..!”
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන්
පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං..

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..

සියල් සිරිත් දෑ කුළ ගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..

පද – රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය – ගුණදාස කපුගේ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

ගීතය මෙතනින් download කරගන්න…
(Shanthini Thema Wete – Karunarathna Divulgane)

guna-rathna-karu

(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)
උපුටා ගැනීම – http://masandumal.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල