අතීතකාමය

අපට නැතිවුණු දේශීය පළතුරු

0

දශක කීපයකට පෙර ගම්මානයක ඔබ්බේ ඇති ළඳු කැලෑවේ, බඩවැටියේ, පාර අයිනේ හෝ කුඹුරු අද්දර ඕනෑ තරම් පළතුරු තිබිණ. දම්, මාදම්, හිඹුටු, බෝවිටියා, උගුරැස්ස, නෙල්ලි, වීර, රට ලාවුළු, පලු, ලාවුළු, පේර, ඇඹුල් පේර, කෝන්, ඇඹිල්ල, කරඹ, කොම්පිඥ්ඥා, මොර, අත්තික්කා, වල් උගුරැස්ස, වෙරළු, පිනි ජම්බු සහ ජම්බු වැනි ගස් වැනි ගස් වලින් කිහිපයක් හෝ වැවී තිබිණ.

පාසැල් යන සමයේ පාසැලේ සිට නිවසට එන විට දහවල් කෑම කන්නට බඩගින්නක් නැත්තේ, ඒ එන ගමනේ ඕනා තරම් පළතුරු කඩා කෑමට හැකි වූ හෙයිණි.

වඩාත් නිර්භීත වන පොඩිත්තන් රැළක් පාරෙන් ඔබේ ඇති ළඳු කැලෑවට ගොස්, තවත් විවිධ ආකාරයේ පළතුරු කඩාගෙන ගෙදරටත් රැගෙන ගියෝය. සමහරවිට ජල පහරවල් තරණය කර කෙකටිය වැනි එළවළු මෙන්ම කිරල ගෙඩිද කඩා ගෙන ආවෝය. හල් ගසක ගෙඩි කඩා ජලය ගලා යන වක්කඩක සඟවා, පසුවදා ඒවායේ තිත්ත හැරුණු විට නිවසට ගෙන ගියේ ‘හල්’ යන මුන්ගුලි වලට සමාන රස කැවිලි තැනීමටය. ඒ සමහර පළතුරු වර්ග වල නම් අද ජීවත් වන දරුවෙක් නම් දන්නේ වත් නැත.

ඒ සුන්දර කාලය, ‘ඉන්දුමතී හිස පීරු කාලයයි’. ‘දීසිය පුරවා දෝසි දැමූ කාලයයි’. ‘මේ ඊරි බිම සීරු කාලයයි’. “පොඩි එකෙක්ට ඉහෙන් බහින ලෙඩක් දුකක් නොමැති වූ කාලයයි”. “සාමා සහ අමර එන්නට පෙර කාලයයි”. … “ සොඳුරිය කාලය කොපමණ නපුරුද ? … යයි අමර, සාමා ගෙන් අද අසනවා විය හැක. ඒ සින්දුව නැති වූ ආදරය ගැන නොව අපට නැති වූ පළතුරු ගැන කියනවාක් මෙන් දැනේ.
ස්වභාවිකව එසේ වැවී තිබුණු පළතුරු ගස් ජනගහණය වර්ධනය වීමෙන් වැඩිවූ මිනිස් සංඛ්‍යාවට පර්චස් කීපයේ නිවාස තැනීම සඳහා, ඒ භූමින් ඉවක් බවක් නොමැතිව හෙළි පහළි විණි. ජීවත් වීම සඳහා නිවහනක් අවශ්‍ය බව සැබෑවකි. නමුත් එය කල යුත්තේ ස්වභාව ධර්මයෙන් අපට ලැබෙන දායාද අකා මකා නොව, ස්වභාව ධර්මය සමඟ සමාන්තර සේ ජීවත් වීමෙනි. එසේ නොමැතිව ස්ථිර සාර විසඳුමක් මිනිසාට ලැබෙන්නේ නැත. එසේ විනාශ කරන ලද පරිසරය නිසා ඇතිවී තිබෙන විපාක වලට අප අද ඉතා අභ්‍යාග්‍ය සම්පන්නව මුහුණ දී ඇත්තෙමු.

ඉහත කියන ලද එක පළතුරක් වූ, පින්තුරයේ දැක්වෙන ‘දම්’ කාණ්ඩයේ පළතුරු ‘ඔක්සිහාරක ගුණයෙන්’, [Antioxidant] බෙහෙවින් පොහොසත් බව සොයාගෙන ඇත.

Antioxidants ඇති මේ දම් වර්ගයේ හෙවත්, ‘ප්ලම් වර්ගයේ’ පළතුරු විදේශීය රටවල් වල විකිණෙන්නේ ඉතා ඉහළ මිළ ගණන් වලටය. පිටරට සිටින සහෝදර සහෝදරියන් ඒ බව දන්නවා ඇත. මේ අතරේ අප, අපේ රටේ ස්වභාවික සේ වැවුණු මේ පළතුරු වඳ කර ඇත්තෙමු. ඒවා අමතක කර විදේශයෙන් ගෙන්වන ලද, කල් ඉකුත්වී ගිය ශරීරයට අහිතකර රසායනික සංයෝග අඩංගු විකෘති පළතුරු අනුභව කරන්නෙමු.

මෙන්න මේ Antioxidants යනු මොනවාදැයි සොයා බලමු. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඔක්සිජන් හා සම්බන්ද වීමය. එනම් දිරා යෑම වේ. Antioxidants යනු ඔක්සිකරණය වීම අතපසු කරන, ප්‍රමාද කරන රසායනික සංයෝගයන්ය. ඔක්සිකරණයෙන් ඇති කරන රසායනික කොටස් [Free radicals] නිසා දිගෙන් දිගටම වන රසායනික ප්‍රතික්‍රියා නිසා සෛල වලට හානි ඇති වේ. Antioxidants මගින් මේ රසායනික ප්‍රතික්‍රියා දාමය දිගෙන් දිගටම වීමට බාධා පමුණුවන්නේය. විටමින් C බහුලව ඇති පළතුරු වල මේ Antioxidants ගුණය පවතී.

ස්වභාව ධර්මය හා එකට බැඳුණු එදා මිනිසාට විටමින් C ගැනීමට වෙළඳ හලකට යන්නට අවශ්‍යතාවයක් වූයේ නැත. සාමාන්‍ය ජීවිතයක් ගතකල මිනිසාට ඒ ඒ පෝෂ්‍යදායි අවශ්‍යතාවයන් සඳහා ගෙවත්ත අවට ඒ ඒ පළතුරු එළවළු ලබා ගැනීමේ හැකියාව පැවතිණි. අද ඇති පළතුරු වෙළඳපොලක ලස්සණට දිළිසෙමින් තිබෙන පළතුරු ඒ ආකාරයෙන් තබන්නට රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නොවන්නේය යන්නට සාක්ෂි නැත. මේ පළතුරු ෆෝමලීන් වැනි මිණී එම්බාම් කරන දියර වල බහා තැබීම මෙන්ම කාලයක් පවත්වා ගැනීම සඳහා රසායනික එන්නත් භාවිතා කරන බවත් සොයා ගත් අවස්ථාවන් ඇත.

සති කීපයකට පෙර, ‘අල්පොන්සෝ’ අඹ ගෙඩියක් කා ලෙඩ වී ලංකාවේ දරුවෙක් මිය ගිය බවටද, ලංකාවේ ජීවත් වන වැඩිහිටියෙක් සතියකට ක්‍රෙඩිට් කාර්ඩ් එකක ප්‍රමාණයේ ප්ලාස්ටික් අනුභව කරන බවත් පළවිය. ඇපල් ගෙඩියක් නියපොත්තෙන් සූරා බලන්න. ඔබේ නියපොත්තට වැටුණු වැක්ස්/ වාර්නිෂ් කුඩු දකින්නට හැක. මේවා, ‘සෞඛ්‍යාරක්‍ෂිත වරදක් නැති පළතුරු තබා ගැනීමේ ක්‍රම බව’ ඇතැම් කෘෂිකාර්මික නිළධාරීන් පවා කීම දුකට සේම හාස්‍යයටද කරුණකි.

කෙනෙක් පළතුරු මිළදී ගන්නේ, වැක්ස් හෝ වාර්නිෂ් කන්නට නොවේ.

මේ ආකාරයේ උපද්‍රව වලින් වැළකීම සඳහා සමූහයක් සේ එක්ව ක්‍රියාත්මක විය යුතුය. එයින් කල හැකි එක් විශේෂ දෙයක් වන්නේ හැකිතාක් දේශීය පළතුරු මිළට ගැනීම, ඒවා අපේ පරිසරයේ වැවීම සහ ගොවියන්ටද ඒවා වැවීමට දිරි ගැන්වීමය. පළතුරු වල පණුවන් ඇත්නම්, එය එම පළතුරු ගෙඩි ගොඩෙන් හොඳ පළතුරු ගෙඩි තෝරා ගැනීමට විශේෂ හේතුවකි.

වර්තමාන නිවසක මිදුලේ බොහෝ විට නමවත් නොදන්නා මල් සහ ගස් වර්ග ඇත. වැඩියෙන්ම දැකිය හැක්කේ කනාටු වී ගිය මල් පඳුරුය. මෙහි ඇති අප්‍රසන්නම දේ වන්නේ මිදුලේ සහ අවට පරිසරයේ ‘ආක්‍රමණික ශාඛ වැවී යාම වේ. නිවසක මිදුලේ වුවද ඉහත සඳහන් කල බොහෝ දේශීය පළතුරු ශාඛ වැවිය හැකීවාක් පමණක් නොව, ලංකාවේ දේශගුණය හා සමගාමීව යන ඒ දේශීය පළතුරු ශාඛ දළු ලමින් නිරෝගීව, පොහොර හෝ නොදමා වැඩෙන්නේ අන් විදේශීය ශාඛ වලට [ආක්‍රමණික ශාඛ හැර] වඩා පහසුවෙනි.

සති කීපයකට පෙර රැල්ලක් මෙන් ලංකාවේ දියත් වූ රූප ඇඳීමේ කලාව මෙන්ම ඒ ඒ පැරණි ගස් වැල් සිටවීමද රැල්ලක් කර ගැනීමේ අවශ්‍යතාවය අද පවතී. එසේම ප්ලාස්ටික් වලින් ඉවත්වීමේ රැල්ලක්ද පවතී.. නමුත් මේ රැළි සියල්ල එකට එකතු විය යුතුය. ගස් සිටවීමටද යම් ප්‍රවණතාවයක් ඇතිව තිබෙන නමුත් මේ ආකාරයේ, විශේෂයෙන් ළඳු කැලෑවල වැවෙන ගස් වැල් සිටවීමක් ගැන නම් ආරංචියක් නැත. මේ විශේෂිත ගස් වැල් වැවීමේ තවත් වාසියක් වන්නේ ඒ ඒ පළතුරු ගස් වලට විශේෂයෙන් ඇදෙන කුරුල්ලන් ගේ ජීවිත දාමයට රුකුලක් ඉන් ලැබීමය.

සත්ව සංහතියම එකිනෙකා හා සම්බන්ද වී ඇති සංකීර්ණ, එහෙත් සියුම් ක්‍රමයක් ඇත. ආහාර දාමයේ පහළම සිටින බත් කූරා වැනි සතුන්ගේ සිට ඉහළ ජීවියා තෙක් එකිනෙකා හා සම්බන්ද වේ. ආහාර දාමයේ මැද පවතින සත්ව වර්ග වල පැවැත්ම සඳහා ළඳු කැලෑවල් වල වැවෙන ශාඛ සහ පලතුරු ගස් බොහෝ ප්‍රයෝජනවත් විය. ඒ ස්වභාවික ක්‍රමය නැවත ඇති කර ගැනීමට සමූහයක් සේ අප එක්විය යුතු වන්නෙමු.

පරිසරය සතුරු කර ගැනීම නොව මිතුරු කර ගැනීමට උත්සාහ කල යුතුය.

මේ ගස් සිටවීමට මිදුළේ ඉඩක් නොමැති නම් හැකි ආකාරයකින් පෝච්චි වල හෝ සිටවීම වටී. තවද දක්ෂිණ අධි වේග මාර්ගය වැනි ස්ථානයක් මායිම් වන, ඒ දෙපස ඇති කුඹුරු යායවල් වලට ආශ්‍රිත බඩ වැටී මේවා සිටවීමට ඉතා යෝග්‍ය ස්ථාන වේ. එනම් ඒ ස්ථාන කුඹුරු වල වැඩ කෙරෙන කාලයට හැර අන් කාලවලට එතරම් ජනතාව රැස් නොවෙන හෙයිණි. ලෝකයේ සිටින අංක එකේ පරිසර ත්‍රස්තවාදියා වන, ‘මිනිසාගෙන්’ හැකි තාක් ඉවත්ව මේ ගස් වැවීම වටී.

රෝග ඇති වීමට මූලික හේතුවක් වන්නේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග නිවැරදිව නොලැබීම හේතුවෙනි. ඒ රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවණතාවය අඩු කිරීම සඳහා මෙවන් ස්වභාවික පළතුරු වල සැඟව ඇති දිව්‍ය ඔසු වර්ග භාවිතය හැර වෙන ක්‍රමයක් නැත. මේ තරම් හොඳ දේශගුණයක් තිබියදී වස විෂ ගිලින අපට සාපේක්ෂව බටහිර ජාතිකයන් එම පළතුරු වල නොමඳ ගුණ හඳුනා ගන්නා ආකාරය පහත ලින්ක් එකේ දැක්වේ.

‘ජ්‍යෝෆ්‍රී බේකන්’

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල